නූතන ලෝකය වෙන කවරදාටත් වඩා තරම් අතිවිශාල වේගයකින් වෙනස්වෙමින් තිබුණද අපේ රටේ මතවාදී තලය තිබෙන්නේ ගතානුගතිකත්වය රජකරන හා එකතැනක පල්වෙන තත්ත්වයකය. ප්රභාකරන් දේශපාලන දර්ශනයේ නැතත්, තාමත් අපේ රටේ මතාවදී ගුරුකුල ඔවුන් සිංහල-දෙමළ ප්රශ්නය ලෙස සලකන ප්රශ්නය දෙස බලනුයේ ප්රභාකරන් දේශපාලන දර්ශනයේ සිටි කාලයේදී බලන ලද ආකාරයටමය. දෙමළ කෝණයෙන් ප්රශ්නය බලන අය සිතන්නේ අඩුම වශයෙන් 13වත් පූර්ණ වශයෙන් ලබාදිය යුතු බවය. 13 පූර්ණ වශයෙන් ලබාදෙනවාට සිංහල කෝණයෙන් බලන අය තරයේ විරුද්ධය. මාක්ස්වාදී හෝ ලිබරල් කෝණයෙන් බලන අය සිතන්නේද මේ ප්රශ්නය විසඳා ගැනීමට නම් 13 පූර්ණ වශයෙන් ලබාදීම අවශ්ය බවය.
මෙම මතවාදී ගුරුකුල හතරම හිතන්නේ මෙම ප්රශ්නය අන්තර් වර්ග ආරාවුලකට සීමාවූ ප්රශ්නයක් ලෙසය. එය එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අන්තර් කුල හා ආගමික සම්බන්ධතා සමගද නැවත දේශපාලන ක්රමය සමගද ඈඳුණු වඩා සංකීර්ණ ප්රශ්නයක් ලෙස දකින්නට ඔවුන් පොදුවේ අසමත්ව ඇතැ”යි කිව හැකිය. ඒ නිසා ඔවුන් අපේක්ෂා කරන්නේද සමාජ ක්රමයේ හා දේශපාලන ක්රමයේ පූර්ණ වෙනසක් හෝ ප්රතිසංවිධානයක් නොව අන්තර් වාර්ගික සම්බන්ධතාවලට පමණක් බලපාන ආකාරයේ වෙනසක් හෝ ප්රතිසංවිධානයක් පමණය.
මට පෙනෙන අන්දමට මෙම සාම්ප්රදායික දෘෂ්ටික කෝණවලින් දැකිය හැක්කේ මුළු ප්රශ්නය නොව මුළු ප්රශ්නය තුළ ඇති ප්රශ්න ගණනාවක එක පැතිකඩක් පමණය. නැතහොත් වනාන්තරය වෙනුවට දකින්නේ බැලූ බැල්මට පෙනෙන එහි ඇති ගස් කිසියම් විශාල ප්රමාණයක් පමණය. ඒ ගස් කිසියම් ප්රමාණය වනාන්තරයේ කොටසක් වනමුත් එය වනාන්තරය නොවන්නේය.
ප්රශ්නයේ අරටුව
මෙම ප්රශ්නයේ අරටුව තිබෙන්නේ බ්රිතාන්ය යටත්විජිත ක්රමයෙන් අපට උරුම වූ ජාතික රාජ්යයේ හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයේ සාර්ථක පැවැත්මක් සඳහා අවශ්ය කරන එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමට අප අසමත්වීම තුළය. බ්රිතාන්ය යටත්විජිතවාදය අපට උරුම කළ සියලු දායාදයන් යහපත් නොවූවද එය අපට උරුම කළ ජාතික රාජ්යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය පැහැදිලි දේශසීමා නැති එක රටක රාජ්ය ගණනාවක් තිබුණු ක්රමයට හා උරුමයෙන් පාලකයා තෝරාපත් කරගන්නා වැඩවසම් රාජාණ්ඩු ක්රමයට වඩා ඓතිහාසික අර්ථයෙන් යහපත් හා ඉදිරිගාමී ක්රමයක්වීයැ”යි කිව හැකිය. එසේ ලැබුණු ජාතික රාජ්යයේ හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයේ අඛණ්ඩ යහපත් හා නිර්මාණශීලී පැවැත්මක් සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීමත් ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමත් අත්යවශ්ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් නිදහසින් පසු අප ඉදිරියට යන්නට උත්සාහ කළේ එම පූර්ව කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමෙන් තොරවය. එම අවශ්යතා දෙක සම්පූර්ණ කරගැනීමේ වුවමනාව තේරුම් ගැනීමට සියලුම ආකාරයේ ජාතික නායකයෝ අසමත් වූහ. නිදහසින් පසු බලයට පැමිණි හැම පාලක කණ්ඩායමක්ම රට ඉදිරියට ගෙනයන්නට උත්සාහ කළේ එක්සත් ජාතියක් හෝ ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. පාලන බලය ලැබීමේ හැකියාව තිබුණේ වාර්ගික, කුල හා ආගමික වශයෙන් ගත් කල බහුතර බලයක් ඇති කණ්ඩායම්වලට පමණය. ඔවුහු සමහරවිට අන්ය වර්ග, අන්ය කුල හා අන්ය ආගමිකයන් නොසලකා තමන් නියෝජනය කරන වර්ගයට, කුලයට හෝ ආගමට වැඩි සැලකිලි දක්වන ප්රතිපත්තියක් අනුගමනය කළෝය. එම තත්ත්වය සුළුතර වර්ග, කුල හා ආගම්වලට අයත් ජනයා තුළ අතෘප්තියක් හා අසහනයක් ඇති කිරීමට හේතුවිය. එම තත්ත්වය අන්තර් වර්ග, කුල හා ආගම් අතර සම්බන්ධතා සේ ම ආණ්ඩු ක්රමයද විකෘති කිරීමට හේතුවිය.
රාජ්යයේ සුජාතභාවය පිළිනොගන්නා සමාජ කණ්ඩායම් ඇතිවී රාජ්ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්යයක් ඇතිකර ගැනීමේ අරමුණින් රාජ්යයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන සංවිධාන ඇතිවී එම සටන් හා සටන් මර්දනය කිරීම ආශ්රයෙන් රටේ මහා පරිමාණයෙන් ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. එම කැරලිකාර ව්යාපාර ඇතිවීම කෙරෙහි වර්ගභේදය පමණක් නොව කුලභේදය හා ආගම් භේදයද එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් බලපෑවේය.
බැහැරවීම හා බැහැර කිරීම
ලංකාවේ නිදහස් ව්යාපාරයට එක්සත් ජාතියක් සඳහා වන පැහැදිලි දෘෂ්ටියක් නොතිබීම හේතු කොටගෙන වාර්ගික අර්ථයෙන් පමණක් නොව කුල හා ආගමික අර්ථයෙන්ද සුළුතර ගණයට වැටෙන සමාජ කණ්ඩායම් අතර නිදහසින් පසු තමන්ට හිමි ඉරණම පිළිබඳව සැකයක් ගොඩනැගී තිබුණි. සිංහල නොවන සුළු ජනවර්ග අතර ගොඩනැගෙන සිංහල ආධිපත්යයක් පිළිබඳවද, ගොවිගම නොවන සුළු කුල වර්ග අතර ගොඩනැගෙන ගොවිගම ආධිපත්යයක් පිළිබඳවද, බෞද්ධ නොවන සුළු ආගම් අදහන්නන් අතර ගොඩනැගෙන බෞද්ධ ආධිපත්යයක් පිළිබඳවද සැක සංකා ගොඩනැගී තිබුණු අතර ඔවුන් එම හැඟීම ඩොනමෝර් කොමිසම හා සෝල්බරි කොමිසම හමුවේ ප්රකාශ කර තිබුණි. නිදහසින් පසු තමන්ට නිසි පිළිගැනීමක් නොලැබෙනු ඇතැ”යි කල්පනා කළ ජනවර්ගය වූයේ බර්ගර්වරුය. ඔවුහු යුරෝපීය මිශ්රිත දේශීය ජන ප්රභේදයක් වුවද බාහිර පෙනුමෙන් යුරෝපීය පෙනුමකින් යුතු ක්රිස්තියානි ආගම ඇදහූ ඉංග්රීසි භාෂාව කතා කළ ජනවර්ගයක් වූහ. රටේ නීති විෂය, පුවත්පත් කලාව, විද්යාව, කලාව හා සාහිත්යය යන අංශවල ප්රගමනයට ඔවුන් කැපීපෙනෙන දායකත්වයක් ලබාදී තිබුණි. එම ජන ප්රජාව විසින් බිහිකළ දැවැන්තයන් හා විශිෂ්ටයන් අතර වෛද්ය විෂයයෙහි පී. ඇන්තනීස්, නීති විෂයයෙහි රිචඩ් ෆ්රැන්සිස් මෝර්ගන්, ජනමාධ්ය විෂයයෙහි චාර්ල්ස් ලොරෙන්ස්ද, දේශපාලන විෂයයෙහි ඇල්ෆ්රඩ් බුල්ජන්ස් හා පීටර් කේනමන්ද, ඡායාරූප විෂයයෙහි ලයනල් වෙන්ට්ඩ්, චිත්ර ශිල්පය විෂයයෙහි ජෝර්ජ් කීට්ද, ගෘහනිර්මාණය ශිල්ප විෂයයෙහි ජෙෆ්රි බාවාද, සාහිත්යය විෂයයෙහි මයිකල් ඔන්ඩච්චිද, මලල ක්රීඩා විෂයයෙහි ඩන්කන් වයිට්ද වෙති. මෙම විශිෂ්ට කුසලතා ඇති ප්රජාව කෙරෙහි එකල අන් ජාතීන් තුළ තිබී ඇත්තේ ඊර්ෂ්යාවක් හා අවඥාවකි. ඔවුන් හැඳින්වූයේ තුප්පහියන් හෝ කැරපොතු ලන්සින් වශයෙනි. නිදහස ලැබීමත් සමග තොග වශයෙන් රට අතහැර ගිය ප්රජාව වූයේ ඔවුහුය. ඒ ගැන අපේ ජාතික නායකයන් තුළ කනගාටුවක් නොවීය. ඔවුන් මෙහි නතර කරගැනීම සඳහා වන කිසිදු උත්සාහයක්ද ඔවුන් කෙරෙන් පළ නොවීය. බර්ගර්වරුන් පිළිබඳව වන මෙම කුඩුකේඩු ආකල්පය සිංහල මහ ජාතිය අතර පමණක් නොව සෙසු සුළු ජාතීන් අතරද පැවති පොදු තත්ත්වයක් විය.
ඊළඟට පීඩනය එල්ල වූයේ වතුකරයේ ජීව රුධිරය ලෙස ක්රියා කළ ඉන්දියානු දෙමළ වතු කම්කරුවන් කෙරෙහිය. ඔවුන්ගේ ප්රජා අයිතිය අහිමි කිරීම සඳහා රටේ ප්රථම අගමැති ඩී.ඇස්. සේනානායක ක්රියාවට නගන ලද වැඩසටහනට පොන්නම්බලම්, සුන්දරලිංගම් වැනි උතුරේ දෙමළ නායකයෝද ආධාර කළෝය. එම ක්රියාමාර්ගයට පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්රීවරුන් අතුරින් විරුද්ධ වූවෝ මන්ත්රීවරුන් දෙදෙනෙක් පමණය. ඒ චෙල්වනායගම් හා වන්නිසිංහම්ය.
දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමිකරන තත්ත්වයක් ඇතිවූයේ ඉන්පසුවය. එහෙත් මෙම අසහනය වාර්ගික අංශයට පමණක් සීමාවූ දෙයක් නොවීය. සුළුතර කුල හා ආගම් අතරද සැඟවුණු අසහනයක් ගොඩනැගී තිබුණි.
ආණ්ඩුක්රමයේ අවුල
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977දී ඇති කළ ආණ්ඩුක්රමය, ආණ්ඩුක්රමයේ පරිහානිය හා විකෘතිය උච්චතම තත්ත්වයකට පත් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි වුවද ආණ්ඩුක්රමයේ පරිහානිය නිදහසේ සිටම ඇතිවී වර්ධනය වූ තත්ත්වයක් ලෙස සැලකිය යුතුය. වතුකරයේ ඉන්දියානු දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කැරුණු නීති සේ ම 1956 දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළ භාෂා නීතිද තිබුණු සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලධර්මවලට හා දර්ශනයට පටහැනි විය. එම අවස්ථා දෙකම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කැරුණු අවස්ථා ලෙස සැලකිය හැකිය. ඉන්පසුව 1972දී ශ්රීලනිප ප්රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ඇති කරන ලද ජනරජ ව්යවස්ථාව, ආණ්ඩුක්රමය විකෘති කිරීමේ ක්රියාවලිය වඩා ඉහළ අදියරකට ගෙන ගියේය. එතෙක් පැවති රාජ්ය සේවා කොමිසම අහෝසි කිරීම මගින් රාජ්ය සේවයේ ස්වාධීනත්වය නැතිකොට එහි කොන්ද කඩා බිඳ දැම්මේය. රටේ ඉහළම අධිකරණය දෙන තීන්දු පරීක්ෂාවට හා විමර්ශනයට ලක් කැරෙන ක්රමයක් ඇති කිරීමෙන් තොරව ජාතික ස්වාධිපත්යය ඇතිකිරීමේ නාමයෙන් ප්රීවි කවුන්සිලයට (රාජාධිකරණයට) අභියාචනා ඉදිරිපත් කිරීමට තිබුණු අයිතිය අහෝසි කිරීම මගින් රටක ඉහළ අධිකරණයක තිබිය යුතු නීතියට අනුකූලව සාධාරණව, අපක්ෂපාතව ක්රියාකිරීමේ ගුණය නැතිභංග කළේය. ඉන්පසු 1977දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඇතිකරන නව ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් ආණ්ඩුක්රමයේ ඇතිව තිබූ විකෘතිය හා පරිහානිය උච්චතම තැනකට ගෙන ගියේය. එම පරිණාම ක්රියාවලියේ ඵලයක් වශයෙන් දැන් රටට උරුම වී තිබෙන්නේ ජාතියේ නිර්මාණශීලී හැකියාවක් සේම ඵලදායකත්වයද මරා දමන, දේශපාලනීකරණය, අල්ලස, දූෂණය හා නාස්තියද, විනයක් නැතිකම, අලසකම හා නීතියක් නැතිකම රජකරන දේශපාලන ක්රමයකි.
ආණ්ඩුක්රමයේ ඇතිවූ ගරාහැලීම හා පරිහානිය තුළ එහි ගමන් මගේ එක යුගයක් තුළ ඇතිවන ප්රචණ්ඩ අරගල හා ඒවාහි දිග්ගැස්සුණු පැවැත්ම, දේශපාලන ක්රමය වෙනස් කිරීමට හෝ මූලික ප්රතිසංවිධානයකට ලක්කිරීමට තිබුණු හැකියාව නැතිකර තිබුණි. අනෙක් අතට එම ප්රචණ්ඩ අරගල විසින් දේශපාලන ක්රමයේ තිබෙන මහා අවුල හොඳින් දැකීමට හා තේරුම් ගැනීමට තිබෙන හැකියාවද දේශපාලන සමාජයට සේ ම සාමාන්ය සමාජයටද නැතිකර තිබුණේය. දේශපාලන ක්රමයේ පරිහානිය හා ගරාහැලීම නොකඩවා පැවති දෙයක් වී තිබුණද මහජනයාගේ ප්රධාන අවධානය යොමුවී තිබුණේ සිදුවන බිහිසුණු ප්රචණ්ඩ ක්රියාකාරකම් දෙසය. දේශපාලන ක්රමයේ මූලික වෙනසක් හෝ මූලික ප්රතිසංවිධානයක් ඇති කිරීමේ හැකියාව නැවත උදාවූයේ එල්ල වී තිබුණු ත්රස්තවාදී අභියෝගයන් පරාජය කිරීමෙන් පසුවය. අනෙක් අතට දේශපාලන ක්රමයේ තිබෙන පරිහානිය, ගරාහැලීම හා ජරාජීර්ණ තත්ත්වය මහජනයාට හොඳින් පෙනෙන තත්ත්වයක් ඇතිවෙන්නේද ඒ සමගය. එම තත්ත්වය පෙරළා සමාජය තුළද දේශපාලන ක්රමයේ මූලික වෙනසක් හෝ මූලික ප්රතිසංවිධානයක් ඇතිකර ගැනීමේ අවශ්යතාව කුළුගැන්වීමට හේතුවී තිබේ. ඒ අර්ථයෙන් සමස්ත සමාජ ක්රමය හා දේශපාලන ක්රමය ප්රතිසංවිධානයකට ලක් කළයුතු හා ජාතිය නිර්මාණශීලීව නැවත ගොඩනැගීමේ ඓතිහාසික මොහොත එළැඹ තිබෙන්නේ දැන්ය. සියලු දේශපාලන නායකයන්ගේ සේ ම බුද්ධිමතුන්ගේ හා සියලුම ආකාරවල දුක්ගැනවිලි ඇති අයගේද, යහපත් ශ්රී ලංකාවක් ගැන සිහින දකින සියලුදෙනාගේද ප්රධාන අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ ඒ කෙරෙහිය.
ප්රශ්නය මුළු එකක් ලෙස
මා හිතන අන්දමට මෙම ඓතිහාසික මොහොතේදී රටේ ලේ වැගිරෙන ප්රශ්නයක් බවට පත්ව තිබුණු දෙමළ ප්රශ්නයට විසඳුම් දෙන තැනකට සීමා නොවී අන්තර් වාර්ගික කුල හා ආගමික සම්බන්ධතාවල ඇතිවී තිබෙන මහා විකෘතියද, ආණ්ඩුක්රමයේ හා පරිපාලන ක්රමයේ තිබෙන මහා විකෘතීන්ද යන මූලික ප්රශ්න දෙකම එකට ගෙන ජාතිය හා රාජ්යය නැවත නිර්මාණශීලීව ප්රතිනිර්මාණය කරන තැනකට යායුතුය.
මගේ මතය අනුව නූතන සන්දර්භය අනුව ශ්රී ලංකාවේ වෙසෙන සිංහල දෙමළ හා මුස්ලිම් යන ජාතීන් පූර්ණ ජාතීන් ලෙස සැලකිය නොහැකිය. ඔවුන්ට තනි තනිව, පූර්ණ ජාතියක තත්ත්වය අත්පත් කරගැනීමේ හැකියාවක්ද නැත. ශ්රී ලංකාවේ සන්දර්භය තුළ පූර්ණ ජාතියක් ඇතිවනු ඇත්තේ ඒ සියලුදෙනා සමානතා පදනමක් මත එකට එකතු වී ඒ සියලුදෙනාගේ අනන්යතාවන්ද ආරක්ෂා කරන පදනමක් මත එම එකතුවෙන් ප්රතිනිර්මාණය වන ශ්රී ලාංකික ජාතියක් මගිනි. එසේ ප්රතිනිර්මාණය කැරෙන නවජාතිය තුළ කුලභේදයට ඉඩක් නොතිබිය යුතුය. වර්ග, ආගම්, භාෂා හා සංස්කෘතින් අතර මනා සංහිඳියාවක් තිබිය යුතුය. රාජ්යය, රාජ්යයේ ආණ්ඩුක්රමය හා පරිපාලන ක්රමය ප්රතිනිර්මාණය කළ යුතුව තිබෙන්නේ එසේ ගොඩනැගෙන නව ජාතියේ යහපැවැත්ම ආරක්ෂා කැරෙන ජාතියේ නිර්මාණශීලී හැකියාවන් උපරිම කිරීමට හේතුවන ජාතික අභිලාෂයන්ද සැලකිල්ලට ගනිමිනි. එම ඒකාග්රතාව සිදුවිය යුතුව තිබෙන්නේ සමානතාවාදී හා ප්රජාතන්ත්රවාදී පදනමක් මත මිස බලහත්කාරයෙන් නොවේ.
මේ සියලුදෙනා එකට එකතු කොට බැඳ තබන බදාමය වියයුත්තේ සමානතාව, යුක්තිය, අන්යොන්ය අවබෝධය, ගෞරවය හා විශ්වාසයයි. ආණ්ඩුක්රම ව්යවස්ථාවකට පමණක් ජාතියක් ගොඩනැගිය නොහැකිය. එයට කළහැක්කේ ගොඩනගන නව ජාතියට සුජාතභාවයක් ලබාදීම පමණය. මා හිතන අන්දමට දැනට තිබෙන ආයතන ක්රම අදට වලංගු නැත. දෙමළ ප්රශ්නය විසඳාගත යුතුව තිබෙන වැදගත්ම ප්රශ්නයක් වනමුත් ඊට පමණක් සීමාවී දෙනු ලබන විසඳුමක් ශක්තිමත් හෝ තිරසාර නැත.
ඒ වෙනුවට සමස්ත ක්රමයම එකට ගෙන නැවත විවේචනාත්මකව සලකා බලන, නව ශ්රී ලාංකික ජාතියක් ගොඩනගා ගැනීමේ අරමුණ කරා යන හා සමස්ත සමාජ ක්රමය සේ ම රාජ්යයද එම ජාතියේ නව අභිලාෂයන්ට හා නූතන අවශ්යතාවන්ට ගැළපෙන ලෙස ප්රතිනිර්මාණය කැරෙන තැනකට අප යායුතුය. එය දින කිහිපයකින් සම්පූර්ණ කරගත හැකි නොවන අතර ඒ සඳහා වසර හතර පහක් තරම් කාලයක් ගතවිය හැකිය.
ප්රතිසංවිධානයක දර්ශනය
එවැනි ප්රතිසංවිධාන වැඩසහටන න්යාය පත්රයට ඇතුළත් විය යුතුව තිබෙන බව පෙනෙන වැදගත් කාරණා සමහරක් මෙසේය.
1. අන්තර් වර්ග, කුල හා ආගමික සම්බන්ධතා තුළ ඇතිවී තිබෙන විකෘතිය නැති කොට මෙම විවිධ ප්රභේදයන්ට අයත් සියලුදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන්, ගෞරවයෙන් හා විශ්වාසයෙන් ක්රියාකරන එක ශ්රී ලාංකික ජාතියක් බවට පත්කිරීම සඳහා ඇති කරගත යුතු මූලධර්ම හා සංවිධාන ක්රම
2. සිංහල හා දෙමළ සමාජවල ප්රකට ලෙස හෝ අප්රකට ලෙස පවත්නා කුල භේදයට තිබෙන සමාජ පිළිගැනීම අහෝසි කිරීම සඳහා යොදාගත යුතු ප්රතිපත්ති හා සංවිධාන ක්රම
3. විටින් විට ඇතිවන ආණ්ඩු වෙනස්වීම්වලදී වෙනස් නොවන පිළිගත් ජාතික ප්රතිපත්ති සමුදායයක් අධ්යාපනය, මහජන සෞඛ්යය, ගමනාගමනය, විද්යාව හා තාක්ෂණය, කලාව හා සාහිත්යය, බලශක්ති, කෘෂිකර්මය හා කර්මාන්ත, පරිසරය හා විදේශ ප්රතිපත්ති යන අංශ සඳහා ඇතිකර ගැනීම.
4. ආණ්ඩුවේ රැකියා සඳහා පිළිගත් ජාතික ප්රතිපත්තියක් ඇතිකර ගැනීම.
5. විශේෂ රැකවරණය ලැබිය යුතු පුද්ගලයන් හා සමාජ කණ්ඩායම් හඳුනාගැනීම හා ඔවුන්ට ලබාදෙන සහනාධාර පිළිබඳව පිළිගත් ප්රතිපත්තියක් ඇතිකර ගැනීම.
6. දේශපාලනීකරණය, අල්ලස, දූෂණය හා නාස්තිය ජයගැනීම සඳහා සුදුසු ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
7. දේශපාලනයේදී දැනුම, පළපුරුද්ද හා දක්ෂතාවන්ට ලැබෙන වැදගත්කම වෙනුවට මුදලට ලැබී තිබෙන වැදගත්කම අහෝසි කරන ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
8. දේශපාලනය තුළ ගොඩනැගී තිබෙන පාදඩකරණය අහෝසි කිරීමට අවශ්ය ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
9. සියලු ආයතන ක්රමවල පාරදෘශ්යභාවය තහවුරු කිරීමට හේතුවන ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
10. ආදායම් බෙදීයෑමේ විසමතාව තුනී කිරීමට හේතුවන ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
11. දේශපාලන ආයතනවල කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීමට හේතුවන ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
12. රජයේ සේවක වැටුප් නූතන අවශ්යතාවන්ට ගැළපෙන ලෙස ප්රතිසංවිධානය කිරීම සඳහා ප්රතිපත්ති හා සංවිධාන ක්රම ඇතිකර ගැනීම.
13. අදහස් පළකිරීමේ නිදහස, තොරතුරු ලබාගැනීමේ අයිතිය ඇතුළු මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ප්රතිපත්ති හා සංවිධාන ඇතිකර ගැනීම.
14. සියලු ආයතන හා වෘත්තීන් සඳහා ඔවුන්ගේ යුතුකම් හා වගකීම් නැවත නිර්වචනය කිරීම.
15. නීතිය ක්රියාත්මක කරන හා නීතිය පසිඳලන ආයතන ක්රම ප්රතිසංවිධානය කිරීම.
16. ප්රචණ්ඩ ක්රියාකාරකම් නිසා හානි සිදුවී තිබෙන ජනයා හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ලබාදිය යුතු ආධාර හඳුනා ගැනීම
17. නීතියේ ආධිපත්යය රජයන රටේ නූතන අවශ්යතාවන්ට ගැළපෙන කාර්යක්ෂම හා ඵලදායී සියලු රටවැසියන්ගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයක් ඇතිකර ගැනීම.
18. මැතිවරණ ක්රමය හා මැතිවරණ නීති රීති ප්රතිසංවිධානය කිරීම.
මෙම ලැයිස්තුවට ඇතුළත්විය යුතු වෙනත් කාරණාද තිබිය හැකිය. මෙම ලැයිස්තුවේ විශාලබව විසින් ජාතිය හා රාජ්යය නැවත ප්රතිනිර්මාණය කැරෙන වැඩසටහනකට ඇතුළත් විෂය පථයේ විශාලත්වය හා සංකීර්ණබවේ තරම පෙන්නුම් කරයි.
මට පෙනෙන අන්දමට මේ මොහොතේ රටට අවශ්යව ඇත්තේ සරල ආණ්ඩු පෙරළි ව්යාපාරයක් නොව, ජාතිය හා එම ජාතියේ රාජ්යය නැවත ප්රතිනිර්මාණය කැරෙන ජාතික ව්යාපාරයකි. එවැනි වැඩසටහනකට රාජ්ය නායකයා ඇතුළු ආණ්ඩුවද, විරුද්ධ පක්ෂ නායකයා ඇතුළු විරුද්ධ පක්ෂ ව්යාපාරද, වෘත්තීයවේදී සංවිධාන, වෘත්තීය සමිති සංවිධාන හා වෙනත් බහුජන ව්යාපාරද පොළඹවා ගත යුතුය. එය කිසිවකුත් බැහැර නොකරන, හැම පුද්ගලයකුම ගෞරවනීය කොටස්කරුවකු බවට පත්කර ගන්නා දේශපාලන පක්ෂ අතර හා තුළද, විවිධ සමාජ කණ්ඩායම් අතර හා තුළද පවත්නා සැකය, වෛරය, ක්රෝධය දුරලා සියලුදෙනාට ශාන්තිය ලබාදෙන ජාතික පුනර්ජීවන ව්යාපාරයක් බවට හරවා ගත යුතුය.
කිසියම් ආකාරයකට හෝ සමස්ත ක්රමය ප්රතිසංවිධානයට ලක් නොකරන්නේ නම් ක්රමය විසින්ම එය සිදුකරනු ඇති බව මගේ විශ්වාසයයි. දැන් ක්රමය තිබෙන්නේ ක්රමයට යාහැකි උපරිම දුරකට පැමිණ එය තවදුරටත් ඉදිරියට යෑමට බැරි තරමට ජරාජීර්ණ වී තිබෙන අවස්ථාවකය. මෙම තත්ත්වය තේරුම් ගෙන ක්රමය ස්වාභාවිකව අකර්මණ්ය තත්ත්වයකට පත්වන්නට පෙර ප්රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් ක්රමය බිඳවැටෙනු ඇත්තේ රට වඩා විශාල අවුලකට තල්ලුකැරෙන ආකාරයටය. ඉන්පසු ඇතිවිය හැකි ප්රතිඵලයේ හොඳ නරක කල්තියා ප්රකාශ කිරීම දුෂ්කරය.