ක්රමයේ අර්බුදය
මහජන බලයක් තිබෙන ජනාධිපතිවරයකු බලයේ සිටියදී හා එම ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා කැපී පෙනෙන වැඩ කොටසක් කර තිබියදීත් දේශපාලන ක්රමයේ ගරාහැලීම තවදුරටත් වේගවත් වී තිබෙනවා මිස අඩුවී නැත. ජේ.ආර්. ජයවර්ධන සකස් කළ මේ ක්රමය කොතරම් බලවත් වුවද එය විධිමත් ලෙස සකස් කළ ක්රමයක් නොවීය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විග්රහ කර තිබෙන ආකාරයට එය ජනාධිපති ක්රම ගණනාවක් එකට එකතු කොට සකස් කරන ලද ආණ්ඩුක්රම මැල්ලුමකි. එය මනා ගැළපීමක් නැති පරස්පරතාවන්ගෙන් පිරුණු අවුල් ජාලයකි. ඉක්මන් හා වේගවත් ගරාහැලීමකට අවශ්ය සියලු ලක්ෂණ අඩංගු කරගත් ක්රමයකි. මෙම ක්රමය මෙතෙක් ක්රියාවට නැගූ විවිධ ජනාධිපතිවරුන් අතින්ද, විටින් විට ක්රමය අර්ථ නිරූපණයට ලක් ශ්රේෂ්ඨාධිකරණය අතින්ද තවදුරටත් විකෘති වී ක්රමයේ ගරාහැලීමේ ක්රියාවලිය වේගවත් වීයැ”යි කිව හැකිය.
ක්රමය සකස් කර තිබුණේ ඍජු ලෙස රාජ්යයේ මූල්ය පාලන බලය හැර අන් හැම බලයක්ම ජනාධිපති අත කේන්ද්රගත කැරෙන ආකාරයටය. මූල්ය පාලන බලය පාර්ලිමේන්තුව සතුව තිබීම ඇන්.ඇම්. පෙරේරා විග්රහ කර තිබුණේ පාර්ලිමේන්තුවට අවශ්ය නම් ජනාධිපතිවරයා හිරකිරීමට යොදාගත හැකි තැනක් ලෙසය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණා පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට ලබාදී තිබුණු වරප්රසාද හා මේ ක්රමය ඔවුන්ට අලුත්වීම නිසා පාර්ලිමේන්තුවට ලැබී තිබුණු මූල්ය පාලන බලය ගැන බියවන්නට ඔහුට හේතුවක් නොතිබුණි. එහෙත් ඉන්පසු පාර්ලිමේන්තු බලතුලනයේ ඇතිවූ වෙනස්කම් නිසා හා ප්රේමදාස ජනාධිපතිවරයාට එල්ල වූ දෝෂාභියෝග ව්යාපාරය නිසා ඊළඟට බලයට එන ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුව හඳුනාගෙන තිබුණේ ඕනෑම මොහොතක කැරැල්ලක් ඇතිවීමට අවකාශයක් තිබෙන තැනක් ලෙසය. ඒ නිසා ඊළඟට පත්වන ජනාධිපතිවරුන් මූල්ය පාලන බලයද ඔවුන්ගේ අතට ගනිමින් ව්යවස්ථාදායක බලය සම්බන්ධයෙන් පැනවී තිබුණු එම සීමාවද තරණය කරමින් ජනාධිපති සතු බලය සර්ව සම්පූර්ණ කරගත්තේය. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන බලබෙදීමේ දර්ශනයට පටහැනි ඒ සම්ප්රදාය පළමුවෙන් ඇති කරන ලද්දේ ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග විසිනි. ඒ මගින් සිදුවූ අතික්රමණයට විරුද්ධ පක්ෂයද විරුද්ධ නොවීය. විරුද්ධ පක්ෂයේ නායකයා ඒ අවස්ථාවේදී ඇයට සුබ පැතුවා මිස විරුද්ධ වූයේ නැත. ඔහුගේ ගණන් බැලීම අනුව චන්ද්රිකාගෙන් පසුව ජනාධිපති ධුරය හිමිවන්නට තිබුණේ ඔහුටය. ඒ නිසා එවැනි සම්ප්රදායක් ඇතිවීම තමන්ටද වාසිදායක වනු ඇතැ”යි විරුද්ධ පක්ෂ නායකයා කල්පනා කළා විය යුතුය. ඉන්පසු එය පිළිගත් සම්ප්රදායයක් බවට පත්විය.
දේශපාලන ක්රමයට ආවේණික දූෂිත බව එසේ තිබියදීත් අධිකරණය පවත්වාගෙන ගිය ස්වාධීනත්වය දේශපාලන ක්රමයට පිළිගැනීමක් ලබාදීමට හේතුවී තිබුණි. දේශපාලන ක්රමය සකස් කර තිබුණේ ස්වාධීන අධිකරණයකට ඉඩ ලැබෙන ආකාරයට නොවූවද, අධිකරණය සිය කැමැත්තෙන් හා ධෛර්යයෙන් කිසියම් විශාල ප්රමාණයක ස්වාධීනත්වයක් පවත්වාගෙන යෑමට සමත් වී තිබුණේයැ”යි කිව හැකිය. චන්ද්රිකා කුමාරතුංග පාලන කාලයේදී මෙම තත්ත්වය මුළුමනින් කනපිට හරවන ලදි. ඒ සඳහා ඇය යොදා ගන්නා ලද්දේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. පක්ෂ මාරුව ඇතුළුව පාලක පක්ෂය කරන ඕනෑම දෙයක් අනුමත කරන අධිකරණ සම්ප්රදායක් ස්ථාපිත වූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. එම තත්ත්වයද දේශපාලන ක්රමයට තිබෙන පිළිගැනීම දුර්වල කොට දේශපාලන ක්රමයේ ගරා හැලීම වේගවත් කළේය.
පාලක පක්ෂයට අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලබාදී තිබෙන අයිතිය මෙම දේශපාලන ක්රමයට දූෂිත හා කොල්ලකාරී පෙනුමක් ලබාදීමෙන් නොනැවතී දූෂණය සමස්ත රාජ්යයම වෙලාගත් බිහිසුණු පිළිකාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වයද දේශපාලන ක්රමයට තිබෙන පිළිගැනීම දුර්වල කොට ගරාහැලීම වේගවත් කළ තවත් වැදගත් සාධකයක් විය. මේ ක්රමයට දේශපාලන හිතවත්කම් මිස පුද්ගලයන්ගේ දක්ෂතාව, සුදුසුකම් හා පළපුරුද්ද වැදගත් නැත. එම තත්ත්වයද රාජ්යයේ කාර්යක්ෂමතාව හා ඵලදායී බව හීනකරන අතර ජාතියේ නිර්මාණශීලී හැකියාව මොට කළා පමණක් නොව, දේශපාලන ක්රමයේ ගරාහැලීම වේගවත් කරන තවත් සාධකයක් ලෙසද ක්රියා කළේය.
දීර්ඝ කාලයක් එක දිගට රටේ පැවති ත්රස්තවාදී ක්රියාකාරකම් හා දේශපාලන නායකයන් ත්රස්තවාදී සංවිධානවල ප්රධාන ඉලක්කයක් වී තිබීම හේතු කොටගෙන දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් පවත්වාගෙන යෑමේ නිදහස ඔවුන්ට ලබාදීමට සිදුවී තිබුණි. බොහෝවිට දේශපාලකයන් ආරක්ෂාව ලබාගන්නේ ප්රාදේශීය අපරාධකරුවන් ලෙස සැලකිය හැකි ගණන්කාරයන්ගෙනි. එම තත්ත්වය අපරාධකරුවන් හා රජය කල්ලිගැසී ක්රියාකරන තත්ත්වයක් ඇති කළේය. එම තත්ත්වය නීතියේ පාලනය තවදුරටත් බෙලහීන කොට ආණ්ඩුවලට රස්තියාදුකාර පෙනුමක් ලබාදීමෙන් නොනැවතී දේශපාලන ක්රමයේ ගරා හැලීම වේගවත් කළේය.
ක්රමයට යුක්තිසහගත පෙනුමක් ලැබී තිබීම
මෙම දේශපාලන ක්රමයේ උත්පත්තිය හා විජේවීර හෝ ප්රභාකරන් හෝ අතර අන්තර් සම්බන්ධයක් නොතිබුණද දේශපාලන ක්රමය විරුද්ධ පක්ෂවල ක්රියාකාරීත්වය බෙලහීන කොට ත්රස්තවාදී ව්යාපාරවල පැවැත්ම ශක්තිමත් කළේය. එයම අනෙක් අතට ත්රස්තවාදී ව්යාපාර වර්ධනය කරන ප්රධාන බලය ලෙසද ක්රියා කළේය. ත්රස්තවාදී ව්යාපාර සමග කැරුණු දිග්ගැස්සුණු ගැටුමද ක්රමයේ ගරාහැලීම වේගවත් කළේය. විජේවීරගේ ත්රස්තවාදී කැරැල්ල මර්දනය කිරීමෙන් පසුත් ප්රභාකරන්ගේ ත්රස්තවාදී කැරැල්ල එක දිගට දශක තුනකට ආසන්න කාලයක් පැවතීම නිසා දේශපාලන ක්රමය ගරා හැලෙමින් තිබුණද එය මහජනතාවට හොඳින් පෙනෙන දෙයක් වී තිබුණේ නැත. මහජනයාගේ ප්රධාන අවධානය යොමුවී තිබුණේ ප්රභාකරන්ගේ ව්යාපාරයේ ත්රස්තවාදී ක්රියාකාරකම් කෙරෙහිය. ඒ නිසා දේශපාලන ක්රමයේ ගරා හැලීම නිසා ඇතිවන අවුල් මහජනයාට හොඳින් නොපෙනුණේය. මෙම ගරාහැලීමේ ක්රියාවලිය තුළ දේශපාලන ක්රමය තිබුණේ අවුලෙන් අවුලට ගමන් ගනිමින් තිබෙන තත්ත්වයකය. එහෙත් මහජනතාවට ලොකුවට පෙනුණේ ඒ අවුල නොව තමන්ට ජීවිත බියක් ගෙනදීමට හේතුවී තිබුණු ප්රභාකරන්ගේ ව්යාපාරයේ ත්රස්තවාදී ක්රියාකාරකම්ය. ප්රභාකරන්ගේ ව්යාපාරයේ පැවැත්ම දේශපාලන ක්රමයේ ගරා හැලීම මහජනයාට හොඳින් නොපෙනෙන දෙයක් බවට පත්කිරීමෙන් නොනැවතී ගරා හැලෙමින් තිබුණු දූෂිත දේශපාලන ක්රමය වෙනස් කිරීමද කළ නොහැකි දෙයක් බවට පත්කර තිබුණේය. ප්රභාකරන්ගේ අභියෝගය පරාජය කිරීමට අවශ්ය නම් ලිහිල් පාලනයක් වෙනුවට රාජ්යයේ සකලවිධ බලය එක් පුද්ගලයකු අත ඒකරාශි වූ දැඩි පාලනයක් තිබීම අවශ්යවේයැ”යි මහජනයාද කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි. කිසියම් කාලයක් විජේවීරද ඊට වැඩි දීර්ඝ කාලයක් ප්රභාකරන්ද ගරාහැලෙමින් තිබුණු දූෂිත දේශපාලන ක්රමයේ පැවැත්ම යුක්තිසහගත කරන වැදගත් සාධකයන් ලෙස ක්රියාකළේයැ”යි කිව හැකිය.
එහෙත් ප්රභාකරන්ගෙන් එල්ල වී තිබුණු අභියෝගය පරාජය කිරීමත් සමග දේශපාලන ක්රමයේ ගරාහැලීම මහජනයාට හොඳින් පෙනෙන දෙයක් බවට පත්වූවේය. දැන් මහජනයාගේ ඇස්වලට මජර ගලන තරමට කුණුවී තිබෙන, දේශපාලන ක්රමයේ නියම ස්වභාවය පෙනෙන්නේය. එයින් හමන දුගඳ ඔවුන්ගේ නාස්වලට දැනෙන්නේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිදහසින් පසුව ශ්රී ලංකාව මුහුණ දී තිබුණු ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි ප්රභාකරන්ගෙන් එල්ල වූ අභියෝගය පරාජය කිරීමට සමත්වූවත් ප්රභාකරන්ගේ පරාජය සමග තිබෙන දූෂිත දේශපාලන ක්රමයට ලැබී තිබුණු සුජාතභාවයද අහෝසි වන බව තේරුම් ගැනීමට අසමත් විය. ප්රභාකරන් මහින්ද රාජපක්ෂ අතින් පරාජය වන්නට නියමිත බව මම කල්තියා දකින්නට සමත්වූවේයැ”යි සිතමි. මාගේ පුරෝකථනය වූයේ ප්රභාකරන්ගේ ව්යාපාරයට නැවත ගරිල්ලා ව්යාපාරයකට මාරුවීමට පවා ඉඩ නොලැබෙන ආකාරයට පරාජය වනු ඇති බවය. ප්රභාකරන් පරාජය කරන ලද උණුසුම් මොහොතේ ලියන ලද ලිපියක් මගින් මගේ ඊළඟ පුරෝකථනය සංක්ෂිප්ත ලෙස ඉදිරිපත් කළෙමි. නිදහසින් පසුව ශ්රී ලංකාව මුහුණදී තිබුණු ලොකුම අභියෝගය ලෙස සැලකිය හැක්කේ ප්රභාකරන්ගේ අභියෝගය බවත් එම අභියෝගය ජයගැනීම මගින් ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාව බිහිකළ බලවත්ම රාජ්ය නායකයා වනවාට අතිරේකව නිදහසින් පසුව ලංකාව බිහිකළ ලොකුම වීරයා බවට පත්වන බවත් ඔහු හිමිකරගත් වීරත්වය පරිපූර්ණවීමට නම් ඊළඟට තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකි ජරාජීර්ණ වී තිබෙන දේශපාලන ක්රමය මූලික වෙනසකට හෝ මූලික ප්රතිසංවිධානයකට ලක්කිරීම අවශ්ය බවත් එම ප්රතිසංවිධාන වැඩසටහන තුළ ජනවර්ග අර්බුදයටද විසඳුමක් ලබාදිය යුතුව තිබෙන බවත් කීවෙමි. මා හිතන අන්දමට මාගේ එම පුරෝකථනයද නිවැරදිය.
ක්රමයේ නිරුවත ප්රදර්ශනය වීම
එහෙත් ජනාධිපතිවරයා කල්පනා කළ බව පෙනෙන්නේ ප්රභාකරන් පරාජය කිරීමෙන් පසුව දේශපාලන ක්රමයේ මූලික වෙනසකින් හෝ ප්රතිසංවිධානයකින් තොරව වුවත් ලොකු සංවර්ධන වැඩසටහනක් සමග පමණක් වුවත් සාර්ථක ඉදිරි ගමනක් පවත්වාගෙන යා හැකි බවය. එහෙත් එය හිතන තරම් පහසු දෙයක් නොවන බව සමහරවිට සිය අත්දැකීම්වලින් පමණක් වුවත් ජනාධිපතිවරයාද මේ වනවිට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ජනාධිපතිවරයා දැන හෝ නොදැන මජර ගලන තරමට කුණුවී තිබුණු දේශපාලන ක්රමය නිරුවත් කළේය. මීට පෙරද දැන් පෙනෙන්නට තිබෙන අවලස්සන දේවල් එක ආකාරයකට හෝ තවත් ආකාරයකට සිදුවූවේය. ප්රභාකරන්ගේ පැවැත්ම නිසා ඒ දේවල් මහජනයාට හොඳින් නොපෙනුණේය. එකල මහජනයාට ලොකුවට පෙනුණේ ප්රභාකරන්ගේ ත්රස්තවාදී සැණකෙළියේ බිහිසුණු රැඟුම් පමණය. එහෙත් ඒ සැණකෙළිය දේශපාලන චිත්රයෙන් ඉවත් කිරීමත් සමග එහිම ප්රතිඵලයක් වශයෙන් දේශපාලන ක්රමය නිරුවත්වීම තුළ කුණුවී දුඟඳ හමන දේශපාලන ක්රමයේ සැණකෙළිය මහජනයාට හොඳින් දැක බලාගත හැකි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේයැ”යි කිව හැකිය.
ඉන්පසු කුණුවී තිබෙන දේශපාලන ක්රමය ප්රදර්ශනයවෙමින් තිබෙන්නේ කොටස් වශයෙන් ප්රදර්ශනය කැරෙන මහා නාටකයක ස්වරූපයෙනි. මේ මෑතකදී ප්රදර්ශනය වූ ජවනිකාවන්ට අදාළ සමහර තේමාවන් මගේ මතකය අනුව මෙසේය.
1. ලලිත් කොතලාවල, සක්විති හා දඬුවම් මුදලාලි ආශ්රයෙන් ඔවුන්ගේ තැන්පතුකරුවන්ට මුහුණ දෙන්නට සිදුවූ මහා ඛේදවාචකය. 2. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයකු ප්රසිද්ධියේ සමෘද්ධි නියාමකයකු ගස් බැඳ පහරදීම. 3. ග්රීස් යකුන් ආශ්රයෙන් විවිධ ප්රදේශවල ඇතිවූ මහජන කැළඹිලි. 4. පුද්ගලික අංශයේ සේවකයන්ට විශ්රාම වැටුප් ක්රමයක් ඇති කරන්නට යෑම ආශ්රයෙන් ඇතිවූ කැළඹිලි. 5. ප්රමිතියෙන් තොර සිමෙන්ති ආනයනය හා රටට ආනයනය කරන මොනම සිමෙන්ති වර්ගයක්වත් නිසි ප්රමිති තත්ත්වයක නොපවත්නා බව විගණකාධිපති පරීක්ෂණයකින් හෙළිදරව්වීම. 6. භාරත ප්රේමචන්ද්ර හා දුමින්ද සිල්වා අතර ඇතිවූ ගැටුම ආශ්රයෙන් කොළොන්නාවේ ඇතිවූ ඛේදවාචකය. 7. සරත් ෆොන්සේකාගේ සුදුකොඩි නඩු විභාගය. 8. මාලබේ පුද්ගලික වෛද්ය විද්යාලය ආශ්රයෙන් විශ්වවිද්යාල තලයේ හා වෛද්ය සභාවේ ඇතිවූ කැළඹිලි. 9. ජේවීපීය දෙකඩවීම. 10. එජාපයේ නායකත්වය අර්බුදය ආශ්රයෙන් ඇතිවූ ආරාවුල්. 11. ක්රිකට් පාලක සභාව බංකොළොත්වීම. 12. කොටස් වෙළෙඳපොළේ ඇතිවූ අවුල් සහ එහි නියාමන කොමිසමේ ප්රධානියා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම. 13. එළවළු ප්රවාහනය සඳහා යොදා ගැනුණු ප්ලාස්ටික් කූඩ නීතිය හා ඒ ආශ්රයෙන් එළවළු ගොවීන් අතර ඇතිවූ කැළඹිලි. 14. ආණ්ඩුවේ ප්රාදේශීය නායකයකුද ඇතුළත් කණ්ඩායමක් අතින් නත්තල් දින රාත්රියේදී තංගල්ලේදී බ්රිතාන්ය ජාතික සංචාරකයකු ඝාතනයට ලක්වීම. 15. උසස් පෙළ විභාග ප්රතිඵල ආරාවුල.
මෙම ජවනිකා ලැයිස්තුව සම්පූර්ණ නැත. ඉදිරිපත් කර තිබෙන අනුපිළිවෙළේද වැරදි තිබිය හැකිය. එහෙත් ඒ හැම ජවනිකාවක්ම විවිධ ආකාරවලින් දේශපාලන ක්රමයේ නියම ස්වභාවය පෙන්නුම් කරන්නේයැ”යි කිව හැකිය. දේශපාලන ක්රමයේ විවිධ පැති අළලා රඟදැක්වෙන මෙම දීර්ඝ නාට්යය රඟදැක්වීම ආරම්භ කැරුණේ මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව නොව ඊට පෙරය. එහෙත් යුද්ධය අවසන්වීමට පෙර පැවති පූර්ව ජවනිකා නිදහසේ නැරඹීමේ අවස්ථාවක් මහජනයාට නොලැබුණි. මහජනයා ජීවත් වූයේ මරණ බියෙනි. මහජනයාගේ ප්රධාන අවධානය යොමුවී තිබුණේ ප්රභාකරන් රඟදක්වමින් තිබුණු ත්රාසජනක නාට්යය කෙරෙහිය. දේශපාලන ක්රමය ගැන රඟදැක්වෙමින් තිබෙන නාට්යය කෙරෙහි සිය පූර්ණ අවධානය යොමුකිරීමට මහජනයාට පුළුවන්කම ලැබුණේ ප්රභාකරන්ගේ නාටකය අවසන්වීමෙන් පසුවය.
නිරුවත සමග ක්රමයේ වලංගුභාවය අවසන්වීම
ප්රභාකරන් පරාජය කිරීම මගින් දේශපාලන ක්රමයද නිරුවත් කිරීමක් සිදුවීයැ”යි කිව හැකිය. ප්රභාකරන්ගේ පැවැත්ම දේශපාලන ක්රමයේ නිරුවත නොපෙනෙන ලෙස වසාගෙන තිබුණේය. නිරුවත් කොට තිබෙන දේශපාලන ක්රමයේ මජර ගලන තරමට කුණුවී විකෘති වී තිබෙන ශරීරය එය නරඹන්නන් තුළ පිළිකුලක් මිස ගෞරවයක් හෝ විශ්වාසයක් ඇති කරන්නේ නැත. කුණුවීමේ ක්රියාවලිය ආණ්ඩුවට පමණක් සීමාවන්නේ නැත. විරුද්ධ පක්ෂ ව්යාපාරවලටද පොදුය. රාජ්ය අංශයට පමණක්ද සීමාවී නැත. පුද්ගලික අංශයටද පොදුය. දේශපාලනයට, ආගමට, විද්යාවට, සාහිත්ය කලාවට යන හැම අංශයකටම පොදුය. දේශපාලකයන්, රාජ්ය නිලධාරීන්, ආගමික නායකයන්, ව්යාපාරිකයන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, ජනමාධ්යවේදීන්, විද්යාඥයන්, සමාජ සේවකයන් යන හැම ප්රභේදයකටම අයත් පුද්ගලයන්ද ඔවුන් නියෝජනය කළ ආයතනද පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කුණුවූ හෝ කුණුවෙමින් තිබෙන තත්ත්වයකට පත්ව තිබෙන්නේය. කුණුවූ දේශපාලන ක්රමයක් මහජනයාට හොඳින් පෙනෙන ලෙස නිරුවත් කළ පසු තවදුරටත් එම දේශපාලන ක්රමය ඉදිරියට ගෙනයා නොහැකිය. නැවත මහජනයා අතර විශ්වාසයක් හා පිළිගැනීමක් ඇති කළ හැක්කේ ඔවුන්ගේ පිළිගැනීමට හා විශ්වාසයට හේතුවන ලෙස ක්රමය වෙනස් කොට නව දේශපාලන ක්රමයක් ඇති කරගැනීමෙන් හෝ තිබෙන ක්රමය මූලික ප්රතිසංවිධානයට ලක්කිරීමෙන් පමණය.
ප්රභාකරන් පරාජය කිරීමෙන් පසුව රටට උදාවූයේ නව යුගයකි. එය රටේ එක දේශපාලන පරිච්ඡේදයක් අවසන් වී නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ කැරුණු ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය නව යුගයක් හෝ නව දේශපාලන පරිච්ඡේදයක් බවට පත්වීමට නම් ප්රභාකරන්ගේ පරාජයෙන් පසු දේශපාලන ක්රමයද වෙනස් කළ යුතුව තිබුණේය. මුළු රටම අලුතෙන් ප්රතිසංවිධාන කරන තැනකට යායුතුව තිබුණේය. රටේ ඉදිරි ගමනට තිබූ ලොකුම බාධාව ප්රභාකරන් වුවද තිබුණු එකම බාධාව එය පමණක් නොවීය. ප්රභාකරන් පරාජය කළ වීරයා ඒ මොහොතේ එය තේරුම් ගැනීමට අසමත් විය. ප්රභාකරන් පරාජය කිරීමෙන් පසු ලොකු සංවර්ධන වැඩසටහනකින් පමණක් වුවත් සාර්ථක ඉදිරි ගමනක් යාහැකිවනු ඇතැ”යි ජනාධිපතිවරයා කල්පනා කළේය. එහෙත් ඒ තක්සේරුව වැරදිය. එය නිවැරදි නොවන බව දැන් ජනාධිපතිවරයාට වුවත් පෙනෙනවාද විය හැකිය.
රටේ ගැළවීම ඇත්තේ ව්යුහාත්මක ලෙස කැරෙන ප්රතිසංවිධානයකිනි. ඒ බව පාලක පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂ ව්යාපාරයද තේරුම් ගත යුතුය. ආගමික නායකයන්, විද්වතුන්, කලාකරුවන් වැනි අයද තේරුම් ගත යුතුය. අපට නිදහස ලබාගැනීමේදී සම්පූර්ණ කරගත නොහැකි අවශ්යතා දෙකක් තිබුණේය. ඒ එක්සත් ශ්රී ලාංකික ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමය. බ්රිතාන්යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා වර්ග භේද, ආගම් භේද හා කුල භේද ජයගනිමින් එක්සත් ශ්රී ලාංකික ජාතියක් ඇති කරගැනීම සේ ම ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීම අත්යවශ්ය විය. ඉන්දියානු ජාතික නායකයන්ට ඒ ගැන යථා අවබෝධයක් තිබුණා සේ ම නිදහස දිනාගැනීම සඳහා කැරුණු අහිංසාවාදී මහජන අරගල ක්රියාවලිය තුළ ආගම් භේදයට, කුල භේදයට හා වර්ග භේදයට එරෙහිව මහා පරිමාණයෙන් කරන මතවාදී අරගලයක් තුළ ඉන්දියානු ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමට ඔවුහු සමත් වූහ. එහෙත් අපේ ජාතික නායකයන්ට ඒ ගැන හරි අවබෝධයක් නොතිබුණා සේ ම නිදහසින් පසුව හෝ ඒ අරමුණු දෙක සම්පූර්ණ කරගැනීමක්ද සිදු නොවීය. ඒ නිසා නිදහසින් පසුව ශ්රී ලංකාව තමන්ට ලැබුණු ජාතික රාජ්යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය ඉදිරියට ගෙනයන්නට උත්සාහ කළේ ශ්රී ලාංකික ජාතියක් හෝ ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය.
ප්රතිසංවිධානයක අවශ්යතාව
නිදහසින් පසුව ශ්රී ලංකාව මුහුණ දුන් අර්බුදයන්ගේ මුල් පදනම ඇත්තේ එතැනය. මා විසින් ලියා පළකොට ඇති “ශ්රී ලංකාව ගලවාගැනීම” යන කෘතියෙන් මා විග්රහ කොට ඇත්තේ ඒ ගැනය. ජාතිය, වර්ග, කුල හා ආගම් අනුව බෙදී තිබුණේය. වර්ග අතර සේ ම වර්ග තුළද බෙදීම් තිබුණි. ඔවුන් අතර තිබෙන වෙනස්කම් අවම කොට සියලුදෙනාට සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත ශ්රී ලාංකික ජාතියක් හා ඒ මගින් ප්රජාතන්ත්රවාදී සමාජයක්ද ඇති කරගැනීම සඳහා වන දෘෂ්ටියක් සමග දේශපාලන වැඩපිළිවෙළක් අපට නොතිබුණි. එකම ලේ බිඳුවකුදු නොසොල්වා නිදහස දිනාගත් ශ්රී ලංකාව තමන්ගේ ප්රමාණයට නොගැළපෙන තරමට ලේ හලන රටක් බවට පත්වූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරව ජාතික රාජ්යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය ඉදිරියට ගෙනයන්නට දරන උත්සාහ තුළ සමාජ සම්බන්ධතාවල සේ ම දේශපාලන සම්බන්ධතාවල ද මහා විකෘතියක් ඇතිවිය. එම තත්ත්වය වර්ග, ආගම් හා කුල වශයෙන් පැවති බෙදීම් උග්ර කළේය. ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයද විකෘති කළේය.
ප්රභාකරන් පරාජය කිරීම, නිදහසේදී සම්පූර්ණ කරගැනීමට අවස්ථාවක් නොලැබුණු එම අවශ්යතාවත් සම්පූර්ණ කිරීමට ඉතිහාසය විසින් අපට ලබාදී තිබෙන අලුත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ අවස්ථාව අප ප්රඥාවන්ත ලෙස ප්රයෝජනයට ගත යුතුය.
වර්ගභේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන සමාජ පිළිගැනීම අවම කොට සමාන අයිතිවාසිකම් පදනමක් මත අපි ශ්රී ලාංකික ජාතියක් ගොඩනගාගත යුත්තෙමු. ඒ එකතුවේ පදනමට ගැළපෙන ලෙස කුණුවී දුගඳ හමන දේශපාලන ක්රමය වෙනුවට දූෂණයට, වංචාවට හා අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන ඉඩ උපරිම ලෙස අහුරන, මානව හිමිකම්වලට ගරු කරන, නීතියේ ආධිපත්යය රජයන ප්රජාතන්ත්රවාදී නව ආණ්ඩු ක්රමයක් ඇති කරගත යුතුය. ආගමික, නායකයන්, දේශපාලකයන්, ව්යාපාරිකයන්, රාජ්ය නිලධාරීන්, වෘත්තීයවේදීන්, ජනමාධ්යවේදීන්, කලාකරුවන් හා විද්යාඥයන් සඳහා ඔවුන්ගේ යුතුකම් හා වගකීම් මොනවාද යන්න පිළිබඳව හරි අර්ථකථනයක් ඇති කරගන්නා තැනකට යායුතුය. ආණ්ඩු වෙනස්වීම්වලින් වෙනස් කළ නොහැකි ජාතික ප්රතිපත්ති සමුදායයක් ඇති කරගත යුතුය. තරුණ අසහන කොමිසමේ නිර්දේශ සේ ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ද බැරෑරුම් ලෙස සලකා බලන තැනකට අප යායුතුය.
දේශපාලන ක්රමය ඇතුළු මුළු රටම නැවත ප්රතිසංවිධානයට ලක්කිරීම අද රට ඉදිරියේ තිබෙන ඓතිහාසික අවශ්යතාව ලෙස සැලකිය හැකිය. ප්රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් පමණක් නොව, රටේ නායකයා වශයෙන්ද තිබෙන පුද්ගලික දේශපාලන න්යාය පත්ර ඉවතලා එවැනි ප්රතිසංවිධාන වැඩසටහනට නායකත්වය දීම ජනාධිපතිවරයාගේ ජාතික යුතුකම හා වගකීම ලෙසද සැලකිය හැකිය. දේශපාලන තරගය නියම කරගන්නා ලද කාලසීමාවකට අත්හිටුවා භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂද එම ප්රතිසංවිධාන වැඩසටහනේ සමකොටස්කරුවන් බවට පත් කරගත යුතුය. ශ්රී ලංකාව නව ශ්රී ලංකාවක් හා ලෝකයාගේ ගෞරවයට හේතුවන ශ්රී ලංකාවක් බවට පත්කර ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. අත්තනෝමතිකභාවයෙන්, අගතියෙන් හා දූෂණයෙන් තොර, භේදයකින් තොරව සියලු ජනයාගේ ගෞරවයට හේතුවන ආණ්ඩු ක්රමයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේද එවිටය.
එසේ නොකරන්නේ නම් ඒ වෙනුවෙන් රටේ සියලු දේශපාලන නායකයන්ට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු නොඅනුමානය. සියලු සාම්ප්රදායික දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ මෙම අර්බුදය විසින් යල් පැනගිය තත්ත්වයකට පත්කරමින් තිබෙන බව ඔවුන් තේරුම් ගත යුතුය. ඒ තත්ත්වය ඔවුන්ට ජයගත හැකිවනු ඇත්තේ මුළු රටම නැවත අලුතින් ප්රතිසංවිධානය කරන වැඩසටහනකට රට යොමු කිරීමට දායකවීමෙනි. ඔවුන් අතින් එය ඉටුනොවේ නම් ඔවුන් මුළුමනින් අවලංගු වූ පිරිසක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.