මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට තේරි පත්වීමෙන් පසුවවත් හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පක්ෂ නායකත්වය අත් නොහැරියාය. ඇය ලෙහෙසියෙන් සිය පවුලේ බූදලය ලෙස පැවති පක්ෂයේ නායකත්වය අත්හරින්නට සූදානම් නැති බව ඉන් පෙනී යයි.
එජාප නායක රනිල් වික්රමසිංහ මහතා ද ජනාධිපතිවරණ ප්රතිඵලය දැනගත් වහාම පක්ෂ නායකත්වය අත්හරින බවට සිය හිතමිතුරන්ට ප්රකාශ කළ ද, මේ වන විට එම අදහස අත්හැර පක්ෂ නායකත්වයේ එල්ලී සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන තැනකට පැමිණ තිබේ. පක්ෂ නායකත්වයේ වෙනසක් සඳහා අභ්යන්තර කැරැල්ලක් ඇති බව කියතත්, කැරලිකරුවන්ට ද ඒ අරමුණ ජයගැනීම සඳහා වන බලවත් අධිෂ්ඨානයක් හෝ නිර්භීතභාවයක් ඇති බවක් පෙනෙන්නට නැත.
මෙම පක්ෂ දෙකේ නායකත්වය දෙවැනි වනුයේ ජනාධිපතිකමට පමණය. පක්ෂ දෙකේම නායකයින් සැලකෙනුයේ රජවරුන් ලෙසය. ඒ රජවරුන්ට රජ සැපදි ඔවුන් ගැන බලාගන්නා විශේෂ ක්රමයක් රටේ පවතී. රට අභ්යන්තරයේ හෝ විදේශ සංචාරවලදි ඒ සඳහා යන සියලු වියදම් දරනු ලබන්නේ නායකයා බලාගැනීමට බැඳී සිටින ව්යාපාරිකයා විසිනි. පක්ෂ නායකයාට අවශ්ය අනෙකුත් සියලු වියහියදම් දරන්නේ ද ඔහුය. මැතිවරණවලදි පරිත්යාග වශයෙන් ලැබෙන සියලු කළු සල්ලි ලැබෙන්නේ ද පක්ෂ නායකයා අතටය. ලැබෙන මුදල් පරිත්යාග පිළිබඳ විස්තර හා ගිණුම් පක්ෂයට ඉදිරිපත් කිරීමට අවශ්ය නොවන අතර, පක්ෂ නායකයාට ඒවා තමන් කැමති ආකාරයට පාවිච්චි කළ හැකිය.
පක්ෂ නායකයා අසාර්ථක නම් ඔහු ඉවත් කෙරෙන ක්රමයක් පක්ෂ ව්යවස්ථාව තුළ නොපවතී. පක්ෂ ව්යවස්ථාවේ උල්පත ලෙස සැලකෙන්නේ පක්ෂ නායකයාය. තීන්දු ගන්නා ආයතනවලට තමන් කැමති තරමක් හෙන්චයියලාගෙන් පුරවා ගැනීමේ අයිතිය පක්ෂ නායකයා සතුය. තනතුරුවලට පත් කෙරෙන සියලු පුද්ගලයින් තීන්දු කරන්නේ ද පක්ෂ නායකයාය. ඒ අනුව හැමවිටම තනතුරුවලට තේරි පත්වන්නේ සුදුස්සන් නොව, පක්ෂ නායකයාගේ බැලමෙහෙවර කිරීමට සූදානම් එහෙයියන්ය.
අවසාන විග්රහයේදි මේ රටේ පවතින පක්ෂ ක්රමය මේ රට පාලනය කිරීමට දැනුම හා සුදුසුකම් ඇති ප්රජාතන්ත්රවාදි දේශපාලන නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්රමයක් ලෙස ක්රියාකරනවා වෙනුවට ඒකාධිපති නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්රමයක් ලෙස ක්රියාකරමින් තිබෙන බව පෙනී යයි. එය රටේ පවතින අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ප්රධාන හේතුවක් වී තිබුණ ද එය මහජන අවධානයට යොමුවූ සාධකයක් වී නැත. රටේ පවතින පසුගාමී බව හා දේශපාලන අශිෂ්ටසම්පන්නභාවය දේශපාලන පක්ෂ ක්රමයේ පවතින පසුගාමී හා අශිෂ්ටභාවයේම පිළිබිඹුවක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිපයෙන් නම් කොට මහජනතාව විසින් තෝරාපත් කර ගන්නා ලද රටේ රාජ්ය නායකයා වුවත්, එම පක්ෂයේ නිල නායකයා වනුයේ හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවේ; මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන විට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂ නායකත්වය ද ඒ මහතාට පවරාදිමේ වගකීමක් යුතුකමක් චන්ද්රිකා කුමාරතුංග මහත්මියට තිබුණ ද, පක්ෂය තමන්ගේ පවුල සතු බූදලයක් ලෙස සලකා පක්ෂ නායකත්වය ඇය තවදුරටත් තමන් අත තබා ගත්තාය. ජනාධිපතිවරණයේදි ද ඇය පක්ෂ නායිකාව ලෙස පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයාට ආධාර නොකළාය. විටෙක ප්රසිද්ධියේ ද, තවත් විටෙක සැගවී ද රනිල් වික්රමසිංහ මහතාට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගෙන පක්ෂ නායිකාව හා විපක්ෂ නායිකාව ලෙස බැබළීම ඇගේ අභිලාෂය විය. ඇය අපේක්ෂා කළ දේ සිදු නොවූවත් ඇය පක්ෂ නායකත්වය අත් නොහැරියාය.
තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබේ නම් තමන් තේරි පත්වන තෙක් පක්ෂ නායකත්වය චන්ද්රිකා අත තිබුණාට වරදක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතාගේ ද තක්සේරුව වී තිබුණි. විධායක ජනාධිපතිකම ලැබේ නම් පක්ෂ නායකත්වය ලබාගැනීම එතරම් අසීරු කරුණක් නොවනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය වූ බව පෙනෙන්ට තිබේ.
එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පක්ෂ නායකත්වය සිය කැමැත්තෙන් අත් නොහරින තත්ත්වයක් තුළ පක්ෂ නායකත්වය සඳහා දුෂ්කර අරගලයක නිරතවීමට දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවී තිබේ.
චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ උපාය මාර්ගය වී ඇත්තේ ජනාධිපතිවරණ ජයග්රහණයේ තේජස තිබෙන තෙක් නිශ්ශබ්දව සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුලට යන තෙක් බලා සිට රනිල් වික්රමසිංහ මහතා සමග එකතු වී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගී සිටීමය.
නිසි වේලාව එන තෙක් පෙනය සගවාගෙන සිට දෂ්ඨ කිරීම ඇගේ අභිලාෂය වී තිබේ. ඇය එජා පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ විට අගමැති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තිය ද එයම විය.
රනිල් වික්රමසිංහ මහතා කල්පනා කරන බව පෙනෙන්නේ ද චන්ද්රිකා කුමාරතුංග මහත්මිය කල්පනා කරන ආකාරයටමය. මහින්ද ඉක්මනින් අනාගනු ඇති බවත්, යුද්ධයක් ඇතිවී රට විනාශ වන විට ශ්රීලනිපයේ මන්ත්රීවරුන් කිසියම් විශාල පිරිසක් චන්ද්රිකා වෙත හැරෙනු ඇති බවත්, එවිට තමන්ට චන්ද්රිකා සමග එකට එකතු වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිර කොට නැගී සිටීමේ හැකියාව ලැබෙනු ඇති බවත් රනිල් වික්රමසිංහ මහතාගේ ද කල්පනාව වී තිබෙන බව පෙනේ.
දෙදෙනාම පක්ෂ නායකත්වය අත් නොහරින්නේ ද දෙදෙනා අතර ඇති කරගත් එකගත්වයක ප්රතිඵලයක් ලෙස ද විය හැකිය. “ඔයත් ඉන්න. මමත් ඉන්නම්. මහින්ද ඉක්මනින් අනාගනීවි. එවිට අපි දෙදෙනා එකට එකතු වී නැගී සිටිමු” යි කියන ප්රතිපත්තිය මත පිහිටාය.
දැන් චන්ද්රිකා පිළිබඳව එජාපයට හෝ රනිල් වික්රමසිංහ මහතාට හෝ විවේචනයක් ඇත්තේම නැති තරම්ය. ජනාධිපතිවරණයට පෙර චන්ද්රිකාට දෙන්නට යන මාදිවල ඉඩම පිළිබඳ ප්රශ්නය එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තුළ මතුවූ අවස්ථාවේදි රනිල් වික්රමසිංහ ගත්තේ චන්ද්රිකාගේ පැත්තය.
බැලු බැල්මට චන්ද්රිකා රනිල්ට ආධාර කළේ ජනවාර්ගික ප්රශ්නයට සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමේ අරමුණ සඳහාය. එහෙත් ඒ තුළ වෙනත් යටි අරමුණු ගණනාවක් ද සැගවී තිබුණි. ඒ යටි අරමුණු මොනවාදැයි රනිල් වික්රමසිංහ මහතා දැන සිටියේය. පළමු කොට මහින්ද පරදවා පක්ෂය නැමැති බූදලයේ අයිතිය තවදුරටත් තමන් අත තබාගැනීමට ඇයට අවශ්ය වී තිබුණි. දෙවැනි කොට තමන්ගේ පාලන කාලය තුළ සිදුවූ දූෂිත ගනුදෙනු සගවා ගැනීම සඳහා වන සහතිකයක් ඇයට අවශ්ය වී තිබුණි. තුන්වැනිව රජකම අතහැර යන්නට පෙර ලොකු කුට්ටියක් රැගෙන යාමට අවසරය හා විශ්රාම ජීවිතයට අවශ්ය සියලු සැප පහසුකම් පිළිබඳව සහතිකයක් ඇයට අවශ්ය වී තිබුණි. ඒ සියල්ලේදි ඇයට රැකවරණය ලබාදිමේ සහතිකයක් රනිල් වික්රමසිංහ මහතාගෙන් ඇයට ලැබී තිබුණි.
මේ දෙදෙනාගේම ක්රියාකලාපය ඉතාමත් අවස්ථාවාදි හා ආත්මාර්ථකාමී වුවත්, ඉක්මන් විනාශකාරි යුද්ධයක් පිළිබඳව ඔවුන් ඇති කරගෙන තිබෙන තක්සේරුව වැරදි නැත. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මහා විනාශයක් ඇති වන්නට ඉඩ හැර ඒ නිසා ඇතිවන අළු මත යළි බලය ලබාගැනීමටය.
සිනහව සුන්දරයි…
එහෙත්.. 2005-12-18.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ගැන කියන්නට තව බොහෝ දේ ඇතත්, මේ ලිපියෙන් සියල්ල කියා අවසන් කළ යුතු බැවින් අවශ්යයෙන්ම කිවයුතු තෝරාගත් වැදගත්ම කරුණු කිහිපයකට පමණක් සීමාවෙමි.
ඇය වසර 11ක් එක දිගට (නිදහසින් පසු ඇය තරම් දිර්ඝ කාලයක් එක දිගට රට පාලනය කළ වෙනත් නායකයකු නැත. ජේ.ආර්. ජයවර්ධන පවා රට පාලනය කළේ වසර 10යි මාස 06 ක කාලයක් පමණය.) රට පාලනය කළාය. එහෙත් මෙතෙක් බලයට පැමිණි වෙනත් නායකයින් සමග සසඳන විට ජනතාව මුලා කළ ලස්සන සිනහවේ මතකය හැරුණු විට රටට ඉතිරි වන වැදගත් කිසිවක්ම කිරීමට ඇය සමත් නොවීය.
ඩී.ඇස්. සේනානායක වියළි කලාපීය ගොවි ජනපද ව්යාපාර ඇති කළේය.
බණ්ඩාරනායක බස් ජනසතු කළේය. වරාය ජනසතු කළේය.
සිරිමා බණ්ඩාරනායක ඉඩම් අයිතිය සීමා කළාය. තෙල් ජනසතු කළාය.
ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථික ක්රමයක් ඇති කළේය. මහැවලි කඩිනම් සංවර්ධන ව්යාපාරය ඇති කළේය. විධායක ජනාධිපති ක්රමයක් සමග අනුපාතික ඡන්ද ක්රමයක් ද ඇති කළේය.
ආර්. ප්රේමදාස වාර්තාගත ආකාරයට නිවාස ව්යාපෘති ඇති කළේය. දිළිඳුන් සඳහා ජනසවිය නමින් සහනාධාර ක්රමයක් ඇති කළේය. ඇගලුම් කර්මාන්තය ගමට ගෙන ගියේය.
එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය මහජන මතකයේ ඉතිරි වන රටට වැඩදායී කිසිවක්ම කිරීමට සමත් වී නැත.
රට වෙළාගෙන තිබුණු භීෂණය නැති කළේ තමන් බව ඇය පුන පුනා කියතත්, එය ඇත්තක් ලෙස සැලකිය නොහැකිය. දකුණේ ඇතිවූ භීෂණය ජවිපෙ දෙවැනි කැරැල්ලේ තර්කානුකූල ප්රතිඵලයක් වූ අතර, ඒ නිසා ඇතිවූ බිහිසුණු වාතාවරණය කැරැල්ලේ පරාජයත් සමග ක්රමානුකූලව අවසන් විය. තවදුරටත් ජන හදවත්වල ඉතිරි වූ බියක් වී නම් පළමු කොට විකල්ප පුවත්පත් විසින් ද, ඉන්පසු ලලිත් ගාමිණී දෙපොළ ඉදිරියට ගෙන ගිය දෝෂාභියෝග ව්යාපාරය විසින් ද ඒ බිය ද පහ කළේ යැයි කිව හැකිය. මරණ බිය රජ කරන යුගයේ චන්ද්රිකා මෙරට නොසිටියාය. ඇය නැවත රටට පැමිණියේ මරණ බිය තුරන් වී තිබූ යුගයකය.
මහජන ඡන්ද කොල්ලකෑමේදි ඇය එතෙක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය විසින් තබා තිබූ සියලු වාර්තා බිඳ හෙළීමට සමත් වූ බව ද කිව යුතුය. වයඹ පළාත් සභා මැතිවරණයේදි ඡන්ද කොල්ලකෑවේ කළ එළියේය. එහෙත් එවැනි ක්රමයක් ඉදිරියට ගෙනයා නොහැකි බව තේරුම් ගත් පසු හොර ඡන්ද පත්රිකා අච්චු ගස්සවා ඡන්ද පෙට්ටි පුරවන සියුම් ක්රමයක් 1999 ජනාධිපතිවරණයේදි ක්රියාත්මක කරවීය.
වෙනත් නායකයන්ගේ මෙන් තමන්ගේ අත්වල ලේ තැවරි නැතැයි කියන කතාව ද චන්ද්රිකා කුමාරතුංග මහත්මිය වැඩියෙන්ම කියන්නට කැමති දේශපාලන සිංදුවක් ලෙස සැලකිය හැකිය. චන්ද්රිකා කුමාරතුංග මහත්මියට සමහර දේශපාලනඥයන්ට තරම්ම මිනිස් ඝාතනවලට අණ දෙන්නට අවස්ථාවක් නොලැබුණු බව සැබෑය. ඇගේ වාසනාවට ඇගේ මවට හෝ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට හෝ ජනාධිපති ආර්. ප්රේමදාස මෙන් දකුණේ තරුණ කැරැල්ලකට මුහුණ දෙන්නට සිදු නොවුණේය. ඒ නිසාම මහා පරිමාණයේ මනුෂ්ය ඝාතනවල නොයෙදුණේ යැයි කීමේ හැකියාවක් ඇයට ඇතත්, ඇගේ අත්වල ලේ තැවරි ඇත්තේම නැතැයි ඇයට කීමේ හැකියාවක් නැත. ඇගේ දැනුම හෝ ආශිර්වාදය ඇතිව හෝ ඇය විසින් රජගෙදර ඉන්දවාගෙන කිරි පොවා හදා වඩා ගත් අපරාධකරුවන් අතින් ඝාතනයට ලක්වූ අයගේ සංඛ්යාව විශාල නොවූවත් ඔවුන් කිහිප දෙනෙකු හෝ ඝාතනයට ලක්වූවේය. ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ මිනිසුන් මරන්නටත් වඩා නොමරා මරන්නටය. ඒ කාර්යයේදි ඇය පෙන්වා තිබෙන නිපුණතාව අසමානය.
1999 ජනාධිපතිවරණයෙන් පසු මුදාහළ භීෂණයේදි එක් අපරාධ පරීක්ෂකවරයකු රහසේ (වාර්තා නොකරන පොරොන්දුව මත) මට කියන ලද අපුරු කතාවක් මෙසේය.
ප්රතිවාදින් වධහිංසාවට ලක් කිරීමට අවශ්ය වූ විට ඒ සඳහා රජගෙදරින් යවන සාහසික කණ්ඩායම සමග බොහෝ විට අතිවිශේෂ වීඩියෝ කැමරාවක් ද ගෙන ගොස් තිබේ. එම කැමරාව යැවෙන්නේ කැමරාව නොපෙනෙන බෑගයක බහා වුවත් බෑගය තුළ තිබියදිම සිදුවීම් රූපගත කිරීමේ හැකියාව එම විශේෂ වීඩියෝ කැමරාව සතුය.
මෙවැනි දේවලට කැමරාවක් යවන්නේ ඇයි දැයි මා ප්රශ්න කළ විට ඔහු කීවේ “සමහරවිට වැඩේ බාර දුන් අය වැඩේ අකුරටම ඉටු කරනවාද යන්න දැනගැනීම සඳහා හෝ වධ බන්දනයට ලක්වන පුද්ගලයන් වධ වේදනා විඳින ආකාරය සියැසින්ම දැක බලා ප්රීතිවීමේ අරමුණින් එසේ කරනවා විය හැකි බවය.
එම කතාව මා තුළ විශ්මයක් ඇති කිරීමට හේතු වුවත් විශාල විශ්වාසයක් ඇති කිරීමට හේතු වූයේ ද නැත. එහෙත් තවත් කාලයකට පසු තවත් කෙනෙකුට නොපෙනෙන ලෙස තමා ඉදිරියේ සිදුවන සිදුවීම් වීඩියෝ ගත කළහැකි නවීන වීඩියෝ කැමරා දෙකක් ජනාධිපතිනිය මිලදි ගෙන ඇති බව දැනගන්නට ලැබුණු විට පළමුවෙන්ම මගේ මතකයට ආවේ ඉහත කී අපරාධ පරීක්ෂකවරයා කී කථාවය. සමහරවිට එම විශේෂ වීඩියෝ කැමරාවෙන් කරන ලද දුලබ රූගත කිරිම් අදටත් කොහේ හෝ ඉතිරි වී තිබෙනවා විය හැකිය. බැද්දගාන සංජීව රජගෙදර නිර්මාණයකි. ඔහුට කිරි ලැබුණේ ද ආරක්ෂාව ලැබුණේ ද රජගෙදරිනි. රෝහණ කුමාරගේ ඝාතකයා ඔහුය. රූකාන්ත හා චන්ද්රලේඛා සිද්ධියේදි වධකයාගේ කාර්ය භාරය ඉටු කරන ලද්දේ ද ඔහුය.
මේ සාහසික සිද්ධිය සිදුවූ දිනට දින දෙකකට පසුව රූකාන්ත දුරකතනයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ඒ යුවළ ඔවුන්ගේ දරු දෙදෙනා සමග සැගවී සිටි නිවසකට යාමට මට සිදුවිය. රූකාන්ත තමන්ට මුහුණ දෙන්නට සිදුවූ එම ඛේදජනක අත්දැකීම සේ ම වෙනත් රහසක් ද එහිදි මට හෙළි කළේය.
එම සිද්ධිය වන අවස්ථාව වන විට ඔහු සිට ඇත්තේ බීමත්ව පියානෝව වාදනය කරමිනි. ඔහුගේ ඥාති සහකාර පොලිස් අධිකාරිවරයෙකු ද ඔවුන් සමග එහි සිට ඇත්තේය.
බීමත්කම නිසා පියානෝව වාදනය කරන අතර, ඔහුට නොයෙකුත් විකාර දේවල් පෙනෙන්නට වී ඇති අතර, ඒ මොහොතේ ආයුධ සන්නද්ධ පිරිසක් එම ස්ථානයට කඩා වැදුණහොත් කුමක් විය හැකිද යන ප්රශ්නය ඔහුගේ සිත තුළ හොල්මන් කරමින් තිබූ බව ද ඔහු කීවේය. සංතෝෂයට හේතු නොවන විකාර දේවල් දකිමින් ඔහු දිගටම පියානෝව වාදනය කරමින් සිටින විට දුරකතනය නාදවීම නිසා මොහොතකට වාදනය නවතා රිසීවරය අතට ගෙන ඊට ඇහුම්කන්දි තිබේ.
ඔහුට දුරකතනයෙන් කතා කර ඇත්තේ ඔහුගේ ඥාතියකු වන උසස් පොලිස් නිලධාරියෙකි. රජ ගෙදරින් එන විශේෂ කණ්ඩායමක් ඔහුගේ නිවසට ඒමට ගමන් ආරම්භ කර තිබෙන බැවින්, වහාම දරුවන් සමග නිවසින් පිටවී යන ලෙස ඔහු රූකාන්තට දැනුම් දී තිබේ. ඔහුගේ ඥාති පොලිස් නිලධාරියාට, රූකාන්තට මෙම තොරතුරු දැනුම් දෙන ලෙස කියා තිබෙන්නේ රූකාන්තව ද දන්නා රජගෙදර ආරක්ෂක බලකායකට අනුයුක්ත පුද්ගලයෙකි. එම දැනුම්දිම කර ඇත්තේ රජ ගෙදර වැසිකිළියක් තුළ සිටය.
දුරකතනයෙන් අසන්නට ලැබුණු තොරතුරෙන් ඔහුගේ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇතත්, ස්ථිර තීන්දුවක් ගත නොහැකිව ඔහු තවදුරටත් කල්පනා කරමින් පියානෝව වාදනය කරමින් සිටියා මිස, වහාම දරුවන් රැගෙන නිවසින් පලා යන තත්ත්වයට යොමුවී නැත.
මේ මොහොතේ ආයුධ සන්නද්ධ කිසියම් පිරිසක් නිවසට කඩා වැදුණහොත් කළ හැක්කේ කුමක්දැයි පියානෝව වාදනය කරමින් රූකාන්ත තමන් සමග සිටි ඥාති සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විමසා තිබෙන අතර, සහකාර පොලිස් අධිකාරිවරයා ඊට පිළිතුරු වශයෙන් කියා ඇත්තේ තමා ළග රාජකාරි පිස්තෝලය ඇති බැවින් එහි කඩා වදින ඕනෑම කෙනෙකුට වෙඩි තබා පලවා හැරිමට තමා සමත් බවය.
නැවත දුරකතනය නාදවන්නට වී රූකාන්ත රිසීවරය අතට ගත්විට අනෙක් පැත්තෙන් කතා කර ඇත්තේ මීට පෙර කතා කළ ඥාති පොලිස් නිලධාරියාය. ඔහු කතා කර ඇත්තේ ඒ වනවිටත් රූකාන්ත නිවසින් පිටවී ඇත්ද යන්න දැනගැනීම සඳහාය. වහාම පිටවී යන ලෙස දැනුම්දිම නිසා නිවසින් පලායාමේ අරමුණින් රිසීවරය තබා රූකාන්ත පියානෝවෙන් නැගිටින්නට උත්සාහ දරා ඇතත් ඊට පෙර රජගෙදරින් පැමිණි මාර සේනාව ඔවුන්ගේ නිවසට ඇතුළු වී තිබේ.
චන්ද්රලේඛාගෙන් අසන්නට ලැබුණු තොරතුරු අනුව වධක කණ්ඩායමේ නායකයාගේ මුහුණ වරක් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග වේදිකාවක සිටියදි ගන්නා ලදුව රාවය පුවත්පතේ රවුමක් සමග පළකර තිබූ ඡායාරූපයේ සිටි පුද්ගලයාගේ මුහුණට සමානය. රවුමක් සමග පළකර තිබුණේ බැද්දගාන සංජීවගේ මුහුණය.
මේ වධකයින් බියෙන් වෙව්ලන ඔවුන්ගේ දරුවන් ඉදිරියේ ගායක යුවළ පෙට්රල්වලින් නහවන ලද්දේ ඔවුන් ඔවුන්ගේ ශරිර අමු අමුවේ ගිනි තබන්නට යන්නේය යන හැගීම ඔවුන් තුළ ඇති කරනු පිණිසය. පෙට්රල් ඇගට වත් කළ විට ශරිරයේ ඇති රෝම කූප ඔස්සේ පෙට්රල් ගමන් ගනී. එය ඉතාමත් බිහිසුණු වේදනාකාරි අත්දැකීමකි.
මෙම අමානුෂික සිද්ධිය ප්රසිද්ධ වීමෙන් පසුව ආණ්ඩුව කීවේ චන්ද්රලේඛාගේ පළමු ස්වාමි පුරුෂයාට මේ දෙදෙනා සමග ගැටුමක් තිබුණු බවත්, මේ සිද්ධිය සමහරවිට එම ගැටුමේ ප්රතිඵලයක් විය හැකි බවත්, එසේ නැතුව ඊට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැති බවත්ය.
ඉන් ටික කලකට පසුව ජනාධිපතිනිය සිය ආධාරකරුවන්ට අරලියගහ මන්දිරයේ රාත්රී භෝජන සංග්රහයක් පවත්වන ලද අතර, ඊට චන්ද්රලේඛාගේ පැරණි ස්වාමිපුරුෂයා හා දුව ද ගෙන්වා ගත්තේය. දුව එම සාදයේදි සිංදු කියා එහි සිටියවුන් කුල්මත් කරන ලද බව ද ජනමාධ්ය වාර්තා කොට තිබුණි.
රෝහණ කුමාර ඝාතනයෙන් පසුව ආණ්ඩුව ඒ සිද්ධියට දෙන ලද අර්ථකථනය ද ඊට සමානය. රෝහණ කුමාරගේ බිරීඳ එම පුවත්පතේ වැඩ කළ වෙනත් පුද්ගලයෙකු සමග හාදවී සිටි බවත්, රෝහණ කුමාරගේ ඝාතනය එහි ප්රතිඵලයක් වශයෙන් සිදුවූවා විය හැකි බවත් ආණ්ඩුව කියා සිටියේය.
රෝහණ කුමාර ඝාතන පරික්ෂණයේදි එම ඝාතනය පිටුපස සිටි ප්රධාන පුද්ගලයා බැද්දගාන සංජීව බව හඳුනාගෙන තිබූ අවස්ථාවක ජනාධිපතිනිය මැදිහත් වී එම පරික්ෂණ ක්රියාවලිය යටපත් කළාය.
රෝහණ කුමාර ඝාතනය, කුමාර් පොන්නම්බලම් ඝාතනය හා රූකාන්ත චන්ද්රලේඛා ගායක යුවළ කෘර වධ හිංසාවලට ලක් කිරීම, රවි කරුණානායක මන්ත්රීවරයාගේ නිවසට හා බිරිඳගේ නිවසට මළමිනී කැබලි සහිත හැම්පර් පාර්සල් යැවීම යන සාහසික සිද්ධීන් පිළිබඳව ඇත්තටම ජනාධිපතිනියට කියන්නට තිබෙන්නේ කුමක්ද? ඒ සිද්ධීන් ඇය දැන සිටියේද?
රෝහණ කුමාර ඝාතනයට හා කුමාර් පොන්නම්බලම් ඝාතනයට වගකිවයුත්තන් හඳුනා ගැනීමෙන් පසු ඒ ගැන ජනාධිපතිනිය වෙත රහස්ය වාර්තාවක් ලබාදෙන ලද බව ෂෝ වික්රමසිංහ ප්රකාශ කර තිබේ. ඒ ගැන ජනාධිපතිනියට කියන්නට තිබෙන්නේ කුමක්ද? එම සාහසික සිද්ධීන්ට රජගෙදර සුරතලාගේ සම්බන්ධයක් තිබුණු බව ඇය නොදැන සිටියේද? ඇය මහජන මුදලින් මිලදි ගත්, කෙනෙකුට නොපෙනෙන ලෙස බෑගයක් තුළ සගවාගෙන සිද්ධීන් වීඩියෝ ගත කළ හැකි වීඩියෝ කැමරා දෙක විශ්රාම යන විට ආපසු මහා භාණ්ඩාගාරයට බාර දුන්නේ ද? නැත්නම් ඒවා ඇය තමන්ගේ වෙනත් බඩු මුට්ටු සමග ගෙදර ගෙන ගියේද? එම කැමරා දෙකෙන් වීඩියෝ ගත කළ සිද්ධීන් මොනවාද? ඒ ගැන ඇයට රටට කියන්නට තිබෙන්නේ කුමක්ද?
තමාගේ ඇමති මණ්ඩල සාමාජිකයෙකු පුවත්පත් කතුවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට ගිය සැලැස්මක් තමා මැදිහත් වී ව්යර්ථ කළ බව 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදි ජනාධිපතිනිය ප්රකාශ කළාය. ඉන් දින කිහිපයකට පසු පැවති පුවත්පත් සාකච්ඡාවකදි ඝාතනය කරන්නට නියමිතව සිටි පුවත්පත් කතුවරුන් දෙදෙනා කවුරුන්දැයි එම පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ රාවයේ ජනමාධ්යවේදියෙකු ජනාධිපතිනියගෙන් ප්රශ්න කළේය. ඊට ඇය දෙන ලද පිළිතුර මෙසේය.
“ඔයාගේ කර්තෘ මාව පතුරු ගහනවා. මරන්න හිටපු එක්කෙනෙක් එයා. එයා අද ජීවත්වන්නේ මං නිසා.” ඇයට අනුව අප දෙදෙනා (අනෙක් පුද්ගලයා “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගය.) ඝාතනය කරන්නට සැලසුම් කළ ඇමතිවරයා එස්.බී. දිසානායකය. ඒ ගැන එස්.බී. කියන කතාවට වඩා වැදගත් කතාවක් මට වෙනත් පුද්ගලයකුගෙන් අසන්නට ලැබුණි.
කිසියම් දිනක මා මරන්නට සැලසුම් කොට ඒ කාර්යය සඳහා යොදාගන්නා පුද්ගලයින් ද කැඳවාගෙන සිටි අවස්ථාවක මෙම පුද්ගලයා එහි සිටි පවිත්රා වන්නිආරච්චි මහත්මිය සමග සිදුවන්නට යන මනුෂ්ය ඝාතනය වැළැක්වීම සඳහා එස්.බී. ගේ මනස සකස් කිරීමට දුෂ්කර උත්සාහයක යෙදි තිබේ. මේ දේ සිදුකළහොත් ආණ්ඩුවට විශාල ප්රශ්නයක් ඇති විය හැකි බව කියමින් මෙම ක්රියාවෙන් වැළකී සිටින ලෙස ඔවුන් දිගින් දිගට එස්.බී. ගෙන් ඉල්ලා ඇතත්, එස්.බී. ඔවුන්ට කෝපයෙන් බැණ වැදි ඇතිවා මිස අදහස වෙනස් කරන්නට කැමති වී නැත. අවසානයේ පවිත්රා වන්නිආරච්චි මහත්මිය ඒ ස්ථානයෙන් යන්නට ගොස් ඇති අතර, ඉන්පසු ඉහත කී පුද්ගලයා නැවත කතා කරන්නට වූ විට එස්.බී. කර තිබෙන ප්රකාශයක් මෙසේය.
“තමුසෙ හිතනවා ද ඌ මරන්න ඕනවෙලා තියෙන්නේ මටයි කියලා.”
“නෑ.. මිනිහෝ අර හු….. යි මට කියන්නේ ඌ මරන්නයි කියලා.”
ඇගේ පාලනය තුළ දේවල් සිදුවී තිබෙන ආකාරය අපූරුය. ජනාධිපති ජෙි.ආර්. ජයවර්ධන යුගයේ සිටම මම බලයට පත්වන ආණ්ඩු හා පාලකයන් විවේචනය කර ඇත්තෙමි. එහෙත් ඇය හැර ඒ කිසිවෙක් අමානුෂික ලෙස මා නොමරා මරන ප්රතිපත්තියක් අනුගමනය කර නැත. මා දන්නා තරමින් ඇගේ මාර හමුදාව මා ඝාතනය කරන්නට උත්සාහ කළ අවස්ථා ගණන තුනකි.
මුක්තියේ රැකවරණය තිබෙන තෙක් කුමාරතුංග මහත්මියට අවතාරවලින් ද ආරක්ෂාව තිබුණේය. එහෙත් දැන් ඇයට මුක්තියේ රැකවරණය නැත. රෝහණ කුමාරගේ හා කුමාර් පොන්නම්බලම්ගේ අවතාර දැන් ඈ පසුපස හඹා ආ හැකිය. දැන් රෝහණ කුමාරගේ බිරිඳ ජීවත් වන්නේ ඉතාලියේය. ඒ නිසා මොනම හේතුවක් නිසා හෝ ඇය යුරෝපයට ගමන් ගැනීමෙන් වැළකී සිටිනවා නම් ඇගට ගුණය. බැරිවෙලාවත් ඇය තමාගේ ස්වාමි පුරුෂයා ඝාතනයට ලක් කරවීමේ චෝදනාව මත චන්ද්රිකා කුමාරතුංග මහත්මිය යුරෝපයේ සිටින අවස්ථාවක යුරෝපා රටක අධිකරණයක් වෙත පැමිණිලි කරන තත්ත්වයකට ගියහොත් චිලියේ පිනෝෂේට මුහුණ දෙන්නට සිදුවූ අප්රසන්න අත්දැකීම වැනි අප්රසන්න අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය හැකිය.
ඇයට විශ්රාම ජීවිතය ගත කිරීමට ශ්රී ලංකාව සුදුසු රටක් ලෙස සැලකිය නොහැකිය. යුරෝපය ද අවදානම් සහගතය. විශ්රාම ජීවිතය සඳහා තෝරාගත හැකි හොඳම රටවල් ලෙස සැලකිය හැක්කේ අන්තර්ජාතික නීති බලනොපාන බුරුමය, චීනය වැනි රටවල්ය. අධික වියදම් සහිත වුවත් ඊජිප්තුව ද නරක නැත.
ඇය එකළොස් වසරක් රටේ රජකම් කරමින් රජ සැප වින්දාය. ඒ යුගයේ කරන ලද බලුකම් වෙනුවෙන් සිරගතවී අපා දුක් විඳින්නට හේතු වාසනා නොවේවා කියා ප්රාර්ථනා කරමි.