ජන නායකයකු වශයෙන් චන්ද්රිකා කුමාරතුංග මහත්මියට තිබුණු සියලු අඩුපාඩුකම් මැද ඇය නීර්භීතකමේදි සිටියේ අසමසම තැනකය. රාජ්ය බලය ඇති විට බියගුල්ලෙකුට වුවද නිර්භීත විය හැකිය. එහෙත් ජන නායකයකුගේ නිර්භීතභාවය පරික්ෂාවට ලක්විය යුත්තේ රාජ්ය බලයේ සිටියදි නොව ඉන් පිටස්තරව සිටියදිය. සූරියකන්දේ තිබූ සමූහ මිනීවළවල් ගොඩලෑමට ඇය ගනු ලැබූ තීරණය හා ඒ තීරණය ක්රියාවට නැංවීම ඇයගේ නිර්භීතභාවය පරික්ෂාවට ලක්වූ ලොකුම අවස්ථාව ලෙස සැලකිය හැකිය.
සූරියකන්දේ තිබුණු සමූහ මිනීවළවල් ගැන මට දැනගන්නට ලැබුණේ එම කලාපයේ මාර්ග ව්යාපෘතියක සේවය කළ තරුණ ඉංජිනේරුවකු මගිනි. තිබෙන සටහන් අනුව ඔහු රාවය කාර්යාලයට පළමුව පැමිණ තිබෙන්නේ 1993 දෙසැම්බර් 08 වැනිදාය. දෙවැනි ගමන පැමිණ තිබෙන්නේ දෙසැම්බර් 27 හෝ 28 වැනිදාය.
පළමු ගමනින් පසු සූරියකන්දේ තිබෙන්නේ යැයි කියන සමූහ මිනීවළවල් ගැන වාර්තාවක් පළකරන ලද (එම වාර්තාව පළවූයේ දෙසැම්බර් 12 වැනිදාය) අතර, එම වාර්තාව පළවීමෙන් පසු ඔහු නැවත පැමිණියේ සමූහ මිනීවළවල් ඇති ස්ථාන පිළිබඳව සකස් කරන ලද සිතියමක් ද සමගය.
ඔහු දෙවැනි ගමනේදි කරුණු විස්තර කළේ බියමුසු ආවේගයකින් යුතුවය. සැලැස්ම විස්තර කරන විට ඔහුගේ අතේ ඇඟිලි වෙව්ලන බව පෙනෙන්නට තිබුණි.
ඔහුගේ විස්තර අනුව රක්වාන දෙනියාය පාරේ සූරියකන්ද නගරයට කිලෝමීටර් දෙකහමාරකට මෙපිටින් 116 වැනි කිලෝමීටර් කණුවට ආසන්නයේ කඩමුදුණ ගම්මානය පිහිටා තිබේ. සූරියකන්දේ ටෙලිකොම් හා රූපවාහිනී කුළුණු වෙත යන මාර්ගය පිහිටා ඇත්තේ කඩමුදුණ හන්දියෙන් දකුණට ඇති ඇග්බර්ත් තේවත්තේ ඇබර් ෆොයිල් ඩිවිෂණය හරහාය.
එම මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට ඇඳි පාලමක් හමුවේ. එම ඇඳි පාලම යටින් ඔයක් ගලා යයි. ඇඳි පාලම මත සිටගෙන ඔය පාරේ බැස්ම දෙස බලන විට පාලමේ සිට මීටර් 10ක් පමණ ඉදිරියෙන් අලුත් පස් සහිත පස් කන්දක් හමුවේ. එය සමූහ මිනීවළකි.
ඉන්පසු එම ඇඳි පාලමේ සිට කිලෝ මීටර් දෙකක් පමණ කන්දේ ඉදිරියට ගිය විට සූරියකන්දේ ලංකා ටෙලිකොම් කුළුණ හා රූපවාහිනී කුළුණ හමුවේ. ඉන් ඔබ්බට ඇත්තේ සිංහරාජ වනාන්තරයයි. එම පාරේ අවසාන වංගුවේ රූපවාහිනී කුළුණට පහළින් මෑන්හෝල් (Manhole) එකක් තිබෙන අතර, ඒ මතට වී ඉදිරිය බලන විට මීටර් 30ක් පමණ දිග බුල්ඩෝසර් කැපුමක් දක්නට ලැබේ. එම බුල්ඩෝසර් කැපුමේ තිබුණ සමූහ මිනීවළවල් ගණන තුනකි. මෙහි එක් වළක කටු සහිත වල් වැවී තිබෙන අතර, සෙසු වළවල් හඳුනාගත යුත්තේ සරුවට වැටී තිබෙන තණ හා මාන පඳුරු වලිනි.
මෙම ස්ථානය මුහුදු මට්ටමෙන් අඩි 440ක් උසය. ඒ නිසාම අධික ශීතලකින් යුතුය. එම සීතල නිසාම සමූහ මිනීවළවල්වල තිබෙන සිරුරු සමහර විට නරක් නොවී ද තිබිය හැකිය.
මෙම ප්රදේශය ආරක්ෂිත තහනම් කලාපයකි. 1988-89 අවධියේදි මෙම කලාපයේ ආරක්ෂාව සඳහා කාලතුවක්කු හමුදාවේ සේනාංකයක් නතර කර තිබුණි. දැන් එහි විශේෂ පොලිස් ඒකකයක් නතර කර තිබේ. එම පොලිස් ඒකකය ක්රියාත්මක වන්නේ කොලොන්න පොලිස් ස්ථානය යටතේය. ඒකකය උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ද පොලිස් භටයන් 5 දෙනෙකුගෙන් ද සමන්විතය.
තොරතුරු ලබා දුන් තරුණ ඉංජිනේරුවරයා කියන ලද ආකාරයට සූරියකන්දට යාබදව ඇති සිංහරාජ අඩවියේ කඳු මුදුණක විදුලිබල මණ්ඩලයේ කුළුණක් ඉදිකිරීමේ කොන්ත්රාත්තුවට මරුබෙනි නමැති ජපන් සමාගම වෙත පවරා තිබේ. එම කඳු මුදුණට කුළුණේ කොටස් ගෙනයෑම සඳහා මාර්ගයක් ඉදිකිරීමේ කොන්ත්රාත්තුව කොළඹ කපිල ආර්. ඉංජිනියර්ස් නමැති සමාගමට ලබාදි තිබෙන අතර, එම පාර ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තේ එම සමූහ මිනීවළවල් සහිත ඩෝසර් කැපුම් හරහාය. ඉදිකරන්නට යන මාර්ගය සඳහා අඩි 15-20ත් අතර උසට පස් පිරවිය යුතු අතර, එම කාර්යය සම්පූර්ණ වුවහොත් මෙම සමූහ මිනීවළවල් සදහටම වැසී යනු ඇත.
තොරතුරු ලබා දුන් තරුණ ඉංජිනේරුවා ළග සූරියකන්දේ ඇති සමූහ මිනීවළවල් පිළිබඳ කතාවක් තිබුණ ද කුමක් කළ යුතුද යන්න ඔහු දැන සිටියේ නැත. සමූහ මිනීවළවල් වසාගෙන යන මෙම මාර්ගය ඉදිවන්නට ඉඩ නොදිය යුතුය යන්න ඔහු විසින් දරන ලද මතය විය.
මේ සම්බන්ධයෙන් කුමක් කළයුතු දැයි ඔහු සමග කතා කරන අතර මම කල්පනා කරන්නට වීමි. එය එක් අඳුරු යුගයක් පිළිබඳ ඇති මතක සටහනකි. ඒ යුගයේදි දකුණේ දහස් ගණන් මිනිස්සු ඝාතනයට ලක්වූහ. එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලදුව ආණ්ඩුව විසින් අවසන් කරන ක්රියාවලියක් තුළ සිදුවූ ඛේදවාචකයක් යැයි කිව හැකිය. එම ක්රියාවලියේදි මේ දෙපිරිස විසින් තරගයට මෙන් මිනිසුන් ඝාතනය කරන ලද අතර, උතුරේ 20 අවුරුද්දකට ආසන්න කාලයක් තුළ යුද්ධයෙන් සිදුවූ මරණ සංඛ්යාවට ආසන්න මරණ සංඛ්යාවක් දකුණේ මෙම කෙටි කාලය තුළ සිදුවිය. ඇග ලොමු දැහැගැන්වෙන එම බිහිසුණු ක්රියාවලිය දකුණේ සිංහල සමාජයේ හෘද සාක්ෂිය තුවාල කොට සංවේදි අංග මරා දැමූ අතර, ඒ නිසා අදත් දකුණේ සිංහල ජනතාවට ජීවත් වන්නට සිදුවී ඇත්තේ පණ ඇතත්, හෘද සාක්ෂියක් නැති සමාජයක් ලෙසය.
මෙවැනි බිහිසුණු මනුෂ්ය ඝාතන සිදුවී ඇති වෙනත් රටවල ඒ නිසා සමාජ හෘද සාක්ෂියේ සිදුවී තිබෙන තුවාල සුව කිරීම සඳහා යොදා ගත් ප්රතිකර්මය වූයේ සත්ය කොමිෂන් සභා ක්රමයකට යොමුවීමය. ඒ මගින් සිදුවූ සියලු මනුෂ්ය ඝාතනවල සුලමුල සොයා බැලුවේය. එවැනි කොමිෂන් සභා ක්රමයක් චිලී, දකුණු අප්රිකාව සහ ආජන්ටිනාව වැනි රටවල් ගණනාවක ක්රියාත්මක වූ අතර, අතුරුදහන් වූවන් පිළිබඳව ආජන්ටිනාව පත් කළ ජාතික කොමිෂන් සභාව Nunca Mas (Never Again) නමින් පළ කළ වාර්තාව මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවූ වාර්තාවක් විය. ශ්රී ලංකාවේ අපට ද කවදා හෝ එවැනි තැනකට යන්නට සිදුවනු ඇති බව මගේ විශ්වාසය වී තිබුණු අතර, සූරියකන්ද එවැනි ක්රියාවලියක් ආරම්භ කිරීමට ශක්තිමත් පදනමක් ලබාදෙනු ඇතැයි මම විශ්වාස කළෙමි.
ආරක්ෂිත කලාපයක් ලෙස පවත්නා සූරියකන්ද අතික්රමණය කොට එහි ඇති සමූහ මිනීවළවල් හෑරිය යුතුය යන්න මගේ නිගමනය විය. එම සුවිශේෂ මෙහෙයුමේ සේනාධි නායකයා වශයෙන් ක්රියාකළ යුත්තේ චන්ද්රිකාය.
තරුණ ඉංජිනේරුවා කාර්යාලයෙන් ගිය පසු මම චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජීවත් වූ රොස්මිඩ් පෙදෙසේ නිවසට දුරකතනයෙන් කතා කළෙමි. එය නත්තල් සමය විය. ඇය නිවාඩුවක් ගත කිරීම පිණිස සිය මව හා දරුවන් සමග බේරුවල හෝටලයට ගිය බව අසන්නට ලැබුණි. ඉන්පසු මම එස්.බී.ට දුරකතනයෙන් කතා කොට ඉතාමත් හදිසි වුවමනාවක් සඳහා චන්ද්රිකා හමුවීමට මා සමග බේරුවලට යාමට එන ලෙස ඉල්ලා සිටියෙමි.
අප එහි එන බව හෝටලයේ සිටින චන්ද්රිකා කුමාරතුංග මහත්මියට දැනුම් දී තිබුණු අතර, අප එන තෙක් ඇය උනන්දුවෙන් බලා සිටි බව ද පෙනෙන්නට තිබුණි.
මෙය බැරෑරුම් විෂයක් ගැන කෙරෙන සාකච්ඡාවක් බව ඇය ඉවෙන් මෙන් දැනගෙන සිටි නිසාදෝ අප එහි ගිය පසු ඇගේ මව ද එම ස්ථානයට කැඳවා ගෙන එන ලෙස ඇය මෙහෙකාරියට දැනුම් දුන්නාය. බණ්ඩාරනායක මැතිනිය ඒ මොහොතේ සිටියේ රෙදි හැට්ට ඇඳගෙනය. ඇය ද අපි අසුන් ගෙන සිටි මේසයේ අසුනක අසුන් ගත්තාය.
තරුණ ඉංජිනේරුවාගෙන් අසන්නට ලැබුණු කරුණු මම ඔවුන්ට විස්තර කළෙමි. බණ්ඩාරනායක මැතිනියගේ එක් කණක් නොඇසෙන තත්ත්වයක තිබුණු බැවින් ඇයට නෑසෙන දේවල් වඩා විශාල හඬකින් ඇයට කියන්නට සිදුවූයේ එස්.බී.ටය. සම්පූර්ණ කතාව අසා දැනගැනීමෙන් පසු කුමක් කළ යුතුද යන තීරණාත්මක ප්රශ්නය මතු කළේ චන්ද්රිකාය.
දේශීය හා විදේශීය ජනමාධ්යවේදින් හා පක්ෂයේ මහජන නියෝජිතයන් විශාල පිරිසක් සමග සූරියකන්දට ගොස් සමූහ මිනීවළවල් හෑරිය යුතු බව මම කියා සිටියෙමි.
ඇය ඊට එකගවෙමින් එය ආරක්ෂිත කලාපයක් නිසා පොලිසිය බාධා කරන තැනකට ගියහොත් කුමක් කළ යුතුදැයි ප්රශ්න කළාය. එහි යන මන්ත්රීවරුන් හා පළාත් සභිකයින් සමග ඔවුන්ට ලබාදි තිබෙන පොලිස් නිලධාරින් ද රැගෙන යා යුතු බවත් එවිට එහි සිටින පොලිස් නිලධාරින් 05 දෙනා වෙනුවට වඩා විශාල පොලිස් හමුදාවක් එහි යන අය සමග සිටිනු ඇති බවත්, පොලිසිය විරුද්ධ වුවත් අතිරේක බලඇණි ගෙන්වා ගැනීමට පැයකට වැඩි කාලයක් ගත වන නිසා අවශ්ය අරමුණ සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් මා කියා සිටි විට ඇය එක පයින් එම වැඩපිළිවෙළ ක්රියාවට නැංවීමට එකග වූවාය.
මෙහෙයුම දියත් කළයුතු දිනය වශයෙන් තෝරා ගැනුණේ 1994 ජනවාරි 3 වැනිදාය. ජනවාරි 2 වැනි දින රාත්රියේ බස්නාහිර පළාත් සභාවේ පිරිතක් යොදාගෙන තිබුණු බැවින් ඇය අප ඉදිරියේ පළාත් සභාවේ ලේකම්ට කතා කොට 2 වැනිදාට යොදාගෙන ඇති පිරිත් පිංකම කල් දමා ඒ සඳහා වෙනත් සුදුසු දිනයක් යොදාගන්නා ලෙස දැනුම් දුන්නාය.
ඇය එහිදි තීරණ ගනු ලැබුවේ යන්ත්රයක් ලෙසය. මෙහෙයුමට යන ජනමාධ්යවේදින් 3 වැනිදා හිමිදිරි උදේ 4ට විපක්ෂ නායක නිල නිවසට කැඳවිය යුතු බව කී විට උදේ හතර වැනි වේලාවකට ඔවුන් ඒවිදැයි ඇය ප්රශ්න කළාය. උදේ හතර වැනි වේලාවක් ඔවුන් සියලු දෙනාගේ කුතුහලයට හේතුවී ඒ නිසාම ඔවුන් පැමිණෙනු ඇති බව කී විට ඇය එය පිළිගත්තාය. විපක්ෂ නායක නිල නිවසින් ජනමාධ්යවේදින් වාහනවලට නංවාගෙන පැල්මඩුල්ලේ පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ නිවසට ගොස් එහිදි උදේ ආහාර ගැනීමටත් යන්නේ කොහේද, කුමක් සඳහා ද යන්න ජනමාධ්යවේදින් ඇතුළු එහි යන සියලු දෙනාට දැනුම් දිය යුත්තේ පැල්මඩුල්ලේදි උදේ ආහාර ගන්නා අවස්ථාවේදි පමණක් බවත්, එතෙක් කරන්නට යන දේ රහසක් ලෙස තබා ගැනීමටත් තීරණය විය. තොරතුරු දුන් තරුණ ඉංජිනේරුවා විශ්වාස කළ හැකිද? ඔහු විසින් දෙන ලද සිතියම්වලට ඇතුළත් තොරතුරු සත්ය නොවුව හොත් කුමක්වේද යන ප්රශ්න ඇය මතු නොකළාය. කොටින්ම සමහර නායකයන් මෙන් වැඩේ නොකෙරෙන තැනකට ගන්නට තර්ක නොකළාය. ඒ වෙනුවට ලැබුණු තොරතුරු මත පූර්ණ විශ්වාසය තබා එය අවදානම් සහගත මෙහෙයුමට නායකත්වය දිමට හිත හදා ගත්තාය.
එම මෙහෙයුම දේශීය වශයෙන් පමණක් නොව, ජාත්යන්තර වශයෙන් ද ඇයට අතිවිශාල කීර්තියක් ලබාදිමට හේතුවිය. එය ඇය කෙරෙහි ගොඩනැගෙමින් තිබුණු මහජන විශ්වාසය ශක්තිමත් කොට ඊළග ජයග්රහණය සඳහා අවශ්ය ශක්තිමත් දේශපාලන ප්රතිරූපයක් ලබාදිමට හේතුවිය.
එහෙත් සූරියකන්දෙන් ආරම්භ කරන ලද ක්රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙනයාමට ඇය සමත් නොවූ බව ද කිව යුතුය. ඇය සමූහ මිනීවළවල් ගොඩ දමන ව්යාපාරයකට නිර්භීතව නායකත්වය දිමට සමත් වුවත් එම පරික්ෂණ ක්රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට උනන්දු නොවුවාය. අතුරුදහන්වූවන් සොයා බැලීමට සත්ය කොමිෂන් සභා ක්රමයට සමාන කොමිෂන් සභාවක් ඇති කළත්, එය අපක්ෂපාතව අතුරුදහන්වූවන් පිළිබඳව කරුණු සොයා බලන කොමිෂන් සභාවක් නොවීය. එය පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඉදිරියට ගෙන ගිය ව්යාපාරයක් විය. ඒ නිසාම එම කොමිෂන් සභා වැඩපිළිවෙළ ආජන්ටිනාවේ හෝ දකුණු අප්රිකාවේ මෙන් සියලු පැතිවලින් කෙරෙන මනුෂ්ය ඝාතනවලට එරෙහිව ශක්තිමත් මහජන මතයක් ඇති කිරීමට හේතුවූයේ නැත. එම ඝාතන සංස්කෘතිය විසින් සමාජයේ හෘද සාක්ෂියේ ඇති කර තිබුණු තුවාල සුව කරන ක්රියාවලියක් වූයේ ද නැත.
1994 මැතිවරණයේ එක් ප්රධාන තේමාවක් වූයේ රටේ සිදුවී තිබූ මනුෂ්ය ඝාතනයන්ය. එම මැතිවරණයේ මුද්රිත මාධ්ය ප්රචාරක කටයුතු භාරවී තිබුණේ මටය. එම මැතිවරණයේදි ඝාතන සංස්කෘතිය අළලා චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ පණිවුඩයක විලසින් පළවූ දැන්වීමක් මේ මොහොතේ උපුටා දැක්වීම සුදුසු යැයි සිතමි. එම දැන්වීමට ඇතුළත් අදහස් මගේය. එහි මුල් කොටස කවි බසට නගන ලද්දේ ගුණසිංහ හෙට්ටිආරච්චිය. දැන්වීම සඳහා යොදාගත් කඳුළු සලන තරුණ මවගේ ප්රබල ඡායාරූපය ඩෙක්ස්ටර් කෘස්ගේය.
අම්මාවරුනේ
සොහොයුරියනේ
පිය සෙනෙහස වෙනුවෙන්
මාද ඔබ වැනිම දියණියක්
හිමි සඳ නසාලු සොවින්
තැවෙන මාද ඔබ වැනිම බිරිඳක්
දූ පුතුන් ගැන හිතන
මා ද ඔබ වැනිම අම්මා කෙනෙක්
ගෙවී ගිය යුගය පුරාම
මම ද ඔබ මෙන් හැඬුවෙමි
වැළපුණෙමි
අප හැමදමාත්
හඬමින්, වැළපෙමින්, සසල සිතින්
ජීවත්විය යුත්තේ ඇයි?
ඒ යුගය අවසන් කරමු
එසේ කළයුත්තේ, අපේ දූ පුතුන්
අවි අතට ගැනීම වළකනු පිණිසය
අපේ දූ පුතුන් ආණ්ඩුවේත්
ආණ්ඩු විරෝධී කණ්ඩායම්වලත්
ගොදුරු බවට පත්වීම වළකනු පිණිසය
අපි මේ විඳිමින් සිටින දුක
තවත් අම්මාවරුන්ට අත් නොවන
නව සමාජයක් ගොඩ නගමු
දූ දරුවන් අතුරුදහන ්වීමට
ඉඩක් නැති නව රටක් ගොඩනගමු
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග
සූරියකන්ද මෙහෙයුමේ සමස්ත දර්ශනය එම වෙළෙඳ දැන්වීම තුළ ගැබ්වී ඇතැයි කිව හැකිය. එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මියට සරියකන්ද වැදගත් වූයේ ප්රයෝජ්යතාවාදි අර්ථයෙන් මිස, දාර්ශනික අර්ථයෙන් නොවේ. එහෙත් එම ප්රයෝජ්යතාවදය තුළ පවා ඇය කෙරෙන් පළවූ නිර්භීතභාවය අසමසම වේ යැයි කිව හැකිය.