මැදමුලනින් පැමිණ හොරගොල්ල ජයගැනීම

November 27, 2005
Publication:
Mahinda Rajapaksa's win lacked minority support, but it decides the SLFP's future. S.W.R.D. Bandaranaike gave his family no special place; Sirimavo turned the party into a family property, and every leadership crisis since arose inside the family. The Bandaranaikes never believed Rajapaksa could win and planned to reclaim the party after his defeat.

සුළු ජාතීන්ගේ පිළිගැනීමට හේතු නොවීම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ආවේණික ලොකුම සීමාසහිතකම වේ යැයි කිව හැකිය. ඒ සීමිතකම තිබියදි ඒ මහතාගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ දේශපාලනය තීරණය කළ දම්වැල් දෙකක ප්‍රබල පුරුක් දෙකක් එක විට කඩා බිඳ දැමීමට හේතුවී තිබීම ඒ මහතාගේ ජයග්‍රහණය තුළ සැගවී තිබෙන ඓතිහාසික වැදගත්කමක් සහිත දේශපාලන සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය. ඒ මහතාගේ ජයග්‍රහණය නිසා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය අත්හරින්නට සිදුවනු ඇත්තේය. ඒ නිසා විජේවර්ධන, සේනානායක, ජයවර්ධන හා කොතලාවල යන පවුල් කණ්ඩායමට එජාප කෙරෙහි පැවති ආධිපත්‍යය ද අහෝසි වනු ඇත්තේය. රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නිසා, විශ්‍රාම ගිය ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද ශ්‍රීලනිපයේ නායකත්වය අත්හැරීමට සිදුවනු ඇත්තේය. ඒ සමග එම පක්ෂය කෙරෙහි බණ්ඩාරනායක රත්වත්ත පවුල් කණ්ඩායමට තිබුණු ආධිපත්‍යය ද අහෝසි වනු ඇත්තේය. මෙම පක්ෂ දෙක මෙම පවුල් කණ්ඩායම් දෙකේ පාලනයෙන් නිදහස් වන පළමු අවස්ථාව මෙය ලෙස ද සැලකිය හැකිය.

බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිප ගොඩනැගීමේදි පවුලේ සාමාජිකයන්ට හෝ ඥාතීන්ට වැදගත්කමක් ලබා නොදුන්න ද ඒ මහතාගේ ඇවෑමෙන් පසු පක්ෂ නායකත්වය අතට ගත් බණ්ඩාරනායක මැතිනිය එය සිය පවුලේ පක්ෂයක් බවට හරවා ගත්තාය. ඒ නිසා ශ්‍රීලනිප බණ්ඩාරනායක පවුලේ දේශපාලන නින්දගමක් බවට පත්වී යැයි කිව හැකිය.

පක්ෂයේ අයිතිකාරයන් හා පක්ෂයේ සෙස්සන් අතර තිබුණු සහසම්බන්ධය වැඩවසම් රදල අධිපතියා හා ප්‍රවේණිදාසයා අතර ඇති සහසම්බන්ධයට වෙනස් නොවීය. උගත්කම හෝ වෙනත් තරාතිරම් නොසලකා පක්ෂයේ සියලු දෙනා පක්ෂයේ අයිතිකරුවන් ඉදිරියේ හැසිරුණේ අඩු වැඩි වශයෙන් ප්‍රවේණිදාසයන් ලෙසය. මර්වින් සිල්වා මහතා ජනාධිපති චන්ද්‍රිකා ඉදිරියේ දිවුරුම් දිමෙන් පසු ඇය ඉදිරියේ බිම දිගාවී වැඳ නමස්කාර කළේය. එම දර්ශනය ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා විසින් මහජනයාට ද ප්‍රදර්ශනය කළේය. හැම කෙනෙකුම මර්වින් සිල්වා තරමටම වැඳ වැටුණේ නැතත්, නායකත්වය සමග තිබෙන සහසම්බන්ධය රදල ස්වාමියා හා ප්‍රවේණිදාස අතර තිබුණු සහසම්බන්ධයට වෙනස් නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බණ්ඩාරනායකවරුන් ඉදිරියේ ප්‍රවේණිදාස තත්ත්වයට නොවැටුණු මිනිසා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු පක්ෂය තුළ සිටි, හැමදාමත් බණ්ඩාරනායකවරුනට කොන්ද නොනැමූ එකම ආඩම්බරකාරයා වී යැයි කිව හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකවරුන්ගේ බූදලයක් නොව ඊට තමන්ට ද අයිතියක් ඇතැයි කියන හැගීමක් ඔහු තුළ දිර්ඝ කාලයක සිට පැවතියේය. ශ්‍රීලනිප එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ඒක පුද්ගල නිර්මාණයක් නොවන බවත් තමාගේ පියා වැනි තවත් අය ද එම පක්ෂය නිර්මාණය කරන්නට හරි හරියට දායක වූ බවත් ඔහු විශ්වාස කළේය.

ඔහු බණ්ඩාරනායකවරුන්ට හිස නොනැමීය. ඒ සමග බණ්ඩාරනායක පවුලෙන් එල්ල වන කැපිලි කෙටිලි හෝ කෙණහිලිකම් සලකා පක්ෂය අත්හරින තැනකට ද ගියේ නැත. ඔහු තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන සියලු කෙණහිලිකම් ඉවසා දරාගෙන සිටියේය.

ශ්‍රීලනිප බණ්ඩාරනායක පවුලේ පක්ෂයක් වීම නිසාම නායකත්වය සඳහා වන හැම අර්බුදයක්ම පැන නැගුණේ ද පවුලේ අභ්‍යන්තරයෙනි. විටෙක පුතාට එරෙහිව බෑණාවරු සටන් කළහ. තවත් විටෙක පුතා මවට එරෙහිව ද, මව පුතාට එරෙහිව ද තවත් විටෙක දුව මවට හා පුතාට එරෙහිව ද යනාදි වශයෙන් වන අරගල ඇතිවූ අතර, ඒ හැම අරගලයක්ම පැන නැගුණේ බැහැරින් නොව අභ්‍යන්තරයෙනි. ශ්‍රීලනිපයේ නායකත්වය ගැන පිටස්තරින් එන කිසිවෙක් සිහින නොදුටහ. එසේ සිහින දැකීමේ හැකියාවක් ද නොවීය. ශ්‍රීලනිපයේ නායකත්වය ගැන සිහින දුටු එකම මිනිසා ලෙස සැලකිය හැක්කේ ද මහින්ද පමණය.

ඔහු පවුලේ අභ්‍යන්තර ආරාවුල්වලදි ශක්තිමත් පුද්ගලයින්ට නොව, දුර්වල පුද්ගලයින්ට ආධාර කළේය. මව හා පුතු අතර ඇතිවූ ගැටුමේදි පුතාට ආධාර කළේය. චන්ද්‍රිකාට එරෙහිව අනුරට ආධාර කළේය. ඒ ගැටුම් නිසා පවුලේ සමහර සාමාජිකයන් විටින් විට පක්ෂය අතහැර ගිය ද, මහින්ද පක්ෂය අතනොහැර එහි එල්ලීගෙන සිටියේය.

මහින්ද අනුගමනය කළ බණ්ඩාරනායකවරුන්ට දණ නොනමන ප්‍රතිපත්තිය වෙනුවෙන් බණ්ඩාරනායකවරු ද ඔහුගෙන් පළිගත්හ. චන්ද්‍රිකාගේ පාලනය තුළ මහින්දට වඩා කනිෂ්ඨ පුද්ගලයින්ට ලොකු ලොකු ඇමතිකම් දෙන විට මහින්දට ලැබුණේ සොච්චම් ඇමතිකම්ය. චන්ද්‍රිකාගේ පාලනයේ එක් යුගයක් තුළ සනත් ගුණතිලක දැවැන්තයෙකුගේ භූමිකාව රගපාන අවස්ථාවේදි ආණ්ඩුව තුළ සිටි දැවැන්තයන් පවා ඔහු ඉදිරියේ යටහත් පහත් තත්ත්වයකට ඇද වැටුණ ද මහින්ද පමණක් සනත්ව තුට්ටුවකටවත් මායිම් නොකළේය. ඒ යුගයේදි සනත් බිය වූයේ ද මහින්දට පමණය.

මේ ආඩම්බරකාරයා කොයිකවරදාවත් තමන් අභිබවා පක්ෂ පාලනය පමණක් නොව, රාජ්‍ය පාලනය ද තමන් අතට ගනු ඇතැයි බණ්ඩාරනායකවරුන් සිහිනෙන්වත් නොසිතුවේය. අගමැතිකම චන්ද්‍රිකා මහින්දට කැමැත්තෙන් දෙන ලද දෙයකට වඩා බලෙන් ලබාගත් දෙයක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු ද මහින්ද ජනාධිපතිවරණයෙන් ජයගනු ඇතැයි බණ්ඩාරනායකවරුන් විශ්වාස කළේ නැත. ඔහු පරාජය කිරීමට හැමදෙයක්ම කරන ලද අතර, මහින්දගේ පරාජයෙන් පසු නැවත පක්ෂය සිය බූදලයක් ලෙස පවත්වාගෙන යන ආකාරය ගැන ඒ සියලු දෙනා සිහින දුටුවෝය. ශ්‍රීලනිපයට තිබුණු එකම චින්තනය ද බණ්ඩාරනායක චින්තනයක් පමණක් වී තිබියදි මහින්ද සිය ජනාධිපතිවරණයේදි මහින්ද චින්තනයක් වෙනුවෙන් පෙනී සිටියේය. එය බණ්ඩාරනායකවරුන්ගේ ආධිපත්‍යයට එල්ල කරන ලද දරුණු අතුල් පහරක් වී යැයි කිව හැකිය. අවසානයේදි බණ්ඩාරනායකවරුන් දකිමින් සිටි සියලු සිහින බොඳ කරමින් මහින්ද රටේ රාජ්‍ය නායකයා වීමෙන් නොනැවතී පක්ෂ නායකත්වය ද ජයගත්තේය. අවසානයේ බණ්ඩාරනායකවරුන්ට දැන් සිය පැවැත්ම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වැඳ වැටෙන තත්ත්වයකට පත්වන්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය.