මෙවර ජනාධිපතිවරණයෙන් ජය ලබන පුද්ගලයා ඉදිරි වසර හය නොව, සමහරවිට ඉදිරි වසර දොළහේ රටේ ගමන් මග තීරණය කරන පුද්ගලයා වනවා විය හැකි ය. ඒ නිසා රටේ රාජ්ය පාලකයා කවුරුන් විය යුතු ද යන්න ඡන්දදායක මහජනයා ඥානාන්විතව තීරණය කළ යුතු ය.
නිදහස ලබා පනස් අට වසරකට ආසන්න කාලයක් ගෙවී ඇතත්, රටක් වශයෙන් අප සිටින්නේ සතුටු විය හැකි තැනක නො ව, කණගාටු විය යුතු තැනක ය. පටු භේද නිසා ලේ වැගිරිම්වලින් පිරුණු, කැබලි වූ රටක තත්ත්වයකට අපි පත්ව සිටිමු. වර්ග භේදවාදය හා ආගම් භේදවාදය රට අවුලෙන් අවුලට තල්ලු කරන ප්රධාන ම සාධකය බවට පත්වී තිබේ. පටු පක්ෂභේදවාදය රට අවුල් කිරීමට හේතුවී තිබෙන ඊළග ප්රමුුඛ සාධකය වී තිබේ. දූෂණය මුළු ජාතික දේහය ම වසා ගත් දරුණු පිළිකාවක් බවට පත්ව තිබෙන අතර, විනයක් නැතිකම හා අකාර්යක්ෂමතාව ජාතියේ ප්රමුඛ ලක්ෂණයක් බවට පත්ව තිබේ.
මේ සිටින අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩඒමට හැකිවනු ඇත්තේ පටු භේදවාදි හැගීම්වලින් අත්මිදි එක්සත් හා සමගි සම්පන්න ජාතියක් ගොඩනගා ගනිමින් ඵලදායී ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට රට සමත් වේ නම් පමණ ය.
සාමය හා ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නය රට ඉදිරියේ තිබෙන ලොකු ම ප්රශ්න දෙක ලෙස සැලකිය හැකි අතර, ඒ දෙක එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස එකට බැඳී පවතී.
අපි ජනවාර්ගික ප්රශ්නයට සාමකාමී විසර්මක් සොයා ගත යුතු ය. ජාතීන් තුළ පවත්නා අසමානතාව වාර්ගික ගැටලුව උග්ර කිරීමට හේතු වී තිබෙන බව ද අපි අමතක නොකළ යුතු ය. ජාතීන් අතර සමානතාව ගොඩ නගන අතර ජාතීන් තුළ ද සමානතාව ගොඩනැගිය යුතු ය. පවතින දේශපාලන ආකෘතිය වාර්ගික ප්රශ්නය විසඳ ගත හැකි ආකාරයටත්, ප්රජාතන්ත්රවාදි වටිනාකම් උද්දිපනය කෙරෙන ආකාරයටත් යළි සකස් කරගත යුතු ය.
බහු පක්ෂ ක්රමය තුළ පවත්නා වැඩවසම් ගති ලක්ෂණ ඉවත් කොට ඒවා ප්රජාතන්ත්රකරණයකට ලක් කළ යුතු ය. විධායකය, ව්යවස්ථාදායකය, අධිකරණය හා ජනමාධ්ය වෙත පැවරි තිබෙන යුතුකම් හා වගකීම් නැවත ඇගයීමකට ලක් කළ යුතු ය. මේ කවර අංශයකටවත් තමන් වෙත පැවරි තිබෙන සමාජ වගකීම පිළිබඳ අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. රාජ්ය පාලකයා රටේ අයිතිකාරයා නො වේ. සීමිත කාලසීමාවක් සඳහා වන භාරකාරයෙකු පමණ ය. පාර්ලිමේන්තු නියෝජිතයන් මහජනයාට පෙනෙන්නේ කප්පම්කාරයන් පිරිසක් ලෙස ය. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට දෙන ද්රව්යමය වරප්රසාද නැවත ඇගයීමකට ලක්විය යුතු ය. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කාර්ය භාරයය ද නැවත ඇගයීමකට ලක්විය යුතු ය.
අධිකරණය ඇද වැටී තිබෙන තත්ත්වය ඉතාමත් ඛේදජනක බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ තත්ත්වයෙහි ඉක්මන් මූලික වෙනසක් ඇති කිරීමට අසමත් වෙතොත්, රටේ යුක්තිය පසිඳලන ක්රියාවලියේ බිඳ වැටීමක් ඇතිවනු නො වැළැක්විය හැකි ය.
රටේ පවතින අවාසනාවන්ත තත්ත්වයට දේශපාලකයින්ටත් වඩා ජනමාධ්ය වගකිව යුතු ය. ජනමාධ්ය සිය යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු කරන්නට සමත් වී නම්, රටේ තත්ත්වය මීට වඩා යහපත් වන්නට ඉඩ තිබුණි.
මුළු රට ම තිබෙන්නේ අවුල් ජාලාවක ය. ඊළග ජනාධිපතිවරයා ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගය රට තිබෙන මෙම අවුල්සහගත තත්ත්වයෙන් රට ගොඩගන්නේ කෙසේ ද යන අභියෝගය යි. ඒ සඳහා අවශ්ය දැනුම, සංයමය හා අධිෂ්ඨානය ඊළග නායකයාට ලැබේවායි අපි ප්රාර්ථනා කරමු.