අධිකරණයේ විනිසුරුවරුන්ට ආචාර ධර්ම පද්ධතියක්

November 5, 2005
Publication:
The Bar Association has appointed a former Chief Justice and two retired Supreme Court judges to draft a code of ethics for judges. The editorial welcomes it, but says the judiciary's indecency flows from the Chief Justice himself, and that the law must be enforced against him if the trend is to be reversed.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයේ විනිශ්චයකරුවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම පිණිස හිටපු අගවිනිසුරුවරයෙකුගෙන් හා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. මෙය අධිකරණ විෂයෙහිලා ගෙන තිබෙන ඉතාමත් වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැකි ය.

වෙනත් ආයතන සමග සසඳන විට ශුද්ධ තත්ත්වයක තිබිය යුතු අධිකරණය තිබෙන්නේ අසීලාචාර තත්ත්වයක ය. රටේ අගවිනිසුරුවරයාගේ අසීලාචාර පැවැත්ම මුළු අධිකරණය ම ගඳ ගස්සවන්නට හේතුවී තිබෙනවා සේ ම, සමහර විනිශ්චයකාරවරුන් සිය නායකයාගේ ජීවිතය පූර්වාදර්ශයක් බවට හරවාගෙන තිබෙන බව ද පෙනේ.

විනිශ්චයකාරවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව අළලා නීතිඥ සංගමය තුළ සිදුවී ඇති සංවාදයේ දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අසීලාචාර පැවැත්ම ද සාකච්ඡාවට ලක්වී තිබේ. ඔහු ද විනිසුරුවරයෙකු වන අතර, ඊළග පත්වීම ලැබීමට නියමිතව ඇත්තේ මහාධිකරණයට ය.

ලේකම්වරයාගේ අසීලාචාර පැවැත්ම සලකා ඔහු එම තනතුරෙන් පහකරන ලෙස අගවිනිසුරුවරයාට සමීප නීතිඥයන් තිදෙනෙකු අගවිනිසුරුවරයා හමුවී ඉල්ලීමක් කර ඇති අතර, අසීලාචාර පැවැත්මක් ඇති අගවිනිසුරුවරයෙකු වෙත ගොස් තවත් එවැනිම වනචර පැවැත්මක් ඇති විනිසුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් තිබිය නො හැකි බව ද කිව යුතු ය. මෙම සංවාදයේ දී මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ගැන ද සාකච්ඡා වී තිබේ. උපාලි අබේරත්න මහතා දැන් අගවිනිසුරුකම හොබවන සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව පවරන ලද දික්කසාද නඩුව විභාග කළ විනිසුරුවරයා ය. ඔහුගේ එම කැකිල්ලේ නඩු ඇසිල්ල රටේ සංවාදයට හේතුවී අවසානයේ ඔහුගේ ක්‍රියාකලාපය සොයා බැලීම පිණිස එවකට හිටපු අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ ය. පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ය. එම කමිටුව සියලු චෝදනාවලට ඔහු වැරදිකරු කොට අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට නිර්දේශ කළේ ය. අධිකරණ සේවා කොමිසම ඔහු විශ්‍රාම යැවීමට තීරණය කොට ඔහුට ඒ බව ලිඛිතව දැනුම් දුන්නේ ය. ඉන්පසු එම තීරණය වෙනස් කොට ඔහුගේ උසස්වීම් වසර දෙකක කාලයක් සඳහා නවතා ඔහුට මොණරාගලට දඬුවම් මාරුවක් ලබා දුන්නේ ය. පුදුමයකට මෙන් සරත් නන්ද, සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව තමාට එරෙහිව පවරන ලද නඩුවේදි තමාගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකළ එම විනිසුරුවරයාට නියම කරන ලද දඬුවම් කාලසීමාව ඉක්මවන්නට පෙර මහාධිකරණයට උසස්වීමක් ලබා දුන්නේ ය.

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මුළු අධිකරණ සේවය ම ගඳ ගැස්වූ තවත් ප්‍රකට චරිතයක් ලෙස සැලකිය හැකිය. ඔහු තමන් ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරියක් සිය නිල කාමරයට ගෙන්වා ගෙන දූෂණය කළේ ය. ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කිරීමට අධිකරණ සේවා කොමිසම පත් කළ ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටුව ඔහුට එරෙහිව එල්ල වී තිබුණු සියලු චෝදනාවලට ඔහු වරදකරු කළේය. එහෙත් මෙම අසීලාචාර විනිසුරුවරයා ද අගවිනිසුරුගේ සමීප ඥාතියෙකු හා මිත්‍රයකු වීම හේතු කොටගෙන ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ නො කොට අනිවාර්ය නිවාඩු යවා ගෙදර සිටින ඔහුට දිර්ඝ කාලයක් පඩි ගෙව්වේය.

අධිකරණයේ පවත්නා මෙම අසීලාචාර නැඹුරුව පරාජය කිරීමට නම් එම මහා ප්‍රවණතාවයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඔහු කිසිදු බියකින් තොරව තමාගේ නඩු තමා ඉදිරියේ ම විභාගයට ගනී. සිය සමීප මිත්‍රයන්ගේ නඩු විභාගයට ගනී. මෙම පුද්ගලයා අධිකරණ සේවයෙන් පලවා හැරිම පමණක් ප්‍රමාණවත් නැත. එහි ඇති කිලිටි රෙදි අපුල්ලන ක්‍රමයක් ද තිබිය යුතු ය.