දේශපාලන බීරී අලින්ට වීණා ගැයීම

October 30, 2005
Publication:
The election is being held without an Elections Commission because the President has not approved the Constitutional Council's nominees, leaving the Commissioner to act alone. The editorial notes that the Police Commission has at least curbed political interference with the police, and regrets that neither the President nor the candidates see the issue as important.

රාජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණය පැවැත්වෙමින්තිබෙන්නේ මැතිවරණ කොමිසමකින් තොරවය. ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට නිර්දේශ කළ පුද්ගල ලැයිස්තුවට අනුමැතිය ලබාදිම ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කළා ය. ඒ නිසා විශ්‍රාම යා යුතු වයස ද ඉක්මවා සිටින මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාට විශ්‍රාම නොයා (17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් කරන තෙක් මැතිවරණ කොමසාරිස්වරයාට විශ්‍රාම යෑමේ හැකියාවක් නැත.) මැතිවරණකොමිසම තනිව තමකර මත තබාගෙන ක්‍රියාකිරීමට සිදුවිය. ඔහු තම දුක් ගැනවිල්ල රැගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය ද එම අර්බුදය විසඳාදිමට ශ්‍රේෂ්ඨාධිකරණය පවා මැදිහත් වූයේ නැත.

දැන් මැතිවරණ කොමසාරිස්වරයාට තනි ශක්තියෙන් ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවී තිබෙන අතර, ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහකයා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව ද විසුරුවා හරිනු ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් පසුව තනිව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ද ඔහුට සිදුවනු ඇත. ජනාධිපතිවරණය අතරතුර කාලයේ හෝ පාර්ලිමේන්තු මැතිවරණය අතර තුර කාලයේ දී මැතිවරණ කොමසාරිස්වරයාට යමක් සිදුවුවහොත් ඔහු වෙනුවෙන් වෙනත් කෙනෙකු පත්කිරීමේ හැකියාවක් නැත. එවිට ශ්‍රී ලංකාව පරිපූර්ණ ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු වීමේ අවදානමක් පවතී.

ව්‍යවස්ථා සභාවේ නිල කාලය අවසන් වූයේ 2005 මාර්තු 04 වැනිදා ය. එහෙත් අද දක්වා ඊට නව සාමාජිකයන් පත්කර නැති බැවින් දැන් ව්‍යවස්ථා සභාව තිබෙන්නේ බලරහිත අකර්මණ්‍ය තත්ත්වයක ය. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් නිර්දේශ කළ යුත්තේ ව්‍යවස්ථා සභාවයි.

පොලිස් කොමිසමේ නිල කාලය නොවැම්බර් 24 වැනිදායින් අවසන් වේ. ඉන්පසු රාජ්‍ය සේවා කොමිසමේ නිල කාලය දෙසැම්බර් 2 වැනිදායින් අවසන් වන්නේ ය.

පොලිස් කොමිසමක් තිබෙන නිසා ජනාධිපතිවරණයේ දී පොලිසියට ඇඟිලි ගැසීමට දේශපාලකයන්ට තිබුණු බලය නැති වී තිබේ. ඒ නිසා පොලිසිය මෙම ජනාධිපතිවරණයේ දී අපක්ෂපාතී ලෙස ක්‍රියා කරන බවක් ද පෙනී යයි. එහෙත් පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වීමෙන් පසු නැවත පොලිස් සේවයද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසු ව රාජ්‍ය සේවයද අවුල් ජාලාවකට තල්ලු වී යනු නො වැළැක්විය හැකි ය.

මේ විෂය ක්ෂේත්‍රයෙහි රටේ පවතින අශෝභන තත්ත්වයට, විශ්‍රාම යන්නට නියමිත ජනාධිපතිනියත්, ජනාධිපති ධුරයට තරග කරන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාත් හරි හරියට වගකිව යුතු ය.

මේ තිදෙනාට අවශ්‍ය නම් එකට එකතු වී මේ මොහොතේත් මේ අවුල් සහගත තත්ත්වය ලිහා දිය හැකි ය. මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් කිරීම මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ තත්ත්වය ශක්තිමත් කළ හැකි ය. ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම මගින් පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම අක්‍රීය තත්ත්වයකට පත්වීම වැළැක්විය හැකි ය.

විශ්‍රාම යන ජනාධිපතිනියට සේ ම බලයට පත්වීමට තරග කරන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට ද මෙම ප්‍රශ්නය ජාතික වැදගත්කමක් ඇති ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස පෙනෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් මේ සියලු දෙනා වැඩියෙන් කතා කරන්නේ ද රට ගැන ය. රටේ අනාගතය ගැන ය. එහෙත් රටේ ආයතන ක්‍රමයේ ඇති වී තිබෙන පරිහානිය හා ගරා වැටීම ගැන ඔවුන් කිසිවෙකුගේ සංවේදි බවක් පෙනෙන්නට නැත.