ශ්රීලනිප බණ්ඩාරනායක පවුලේ පක්ෂයයි. එම පක්ෂයේ හිමිකම ඇත්තේ බණ්ඩාරනායක පවුලටය. එය පවුලේ පක්ෂයක් බවට පත්වූයේ අගමැති බණ්ඩාරනායක යුගයේ නොව සිරිමා බණ්ඩාරනායක යුගයේදිය. එජාප හැරුණු විට නූතන අර්ථයෙන් රජුන් තැනීමේ බලය ඇති එකම පක්ෂය වන්නේ ද එයයි. පවුලෙන් පිටස්තරයකු සිය පක්ෂයෙන් තරග කොට රටේ රජවනවා දකින්නට එම පවුල කැමති නැත. එය එසේ වුවහොත් ඒ සමග තමන්ට තිබෙන රාජකීය ආධිපත්යය අහිමි වී පක්ෂයට තිබෙන අයිතිය ද අහිමි වන බව එම පවුල දන්නේ ය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ජනාධිපතිනිය එකග වූයේ මහින්ද රජ වනවා දකින්නට තිබෙන කැමැත්ත නිසා නොව ඒ මොහොතේ ඊට එකග වනවා හැර කරන්නට අන් දෙයක් ඇය ඉදිරියේ නොතිබුණු නිසාය. එය ඇය සිය කැමැත්තෙන් මහින්දට දෙන ලද දෙයකට වඩා මහින්ද සිය ශක්තියෙන් ලබාගන්නා ලද දෙයක් ලෙස සැලකිය හැකිය. මහින්ද වෙනුවට අනුර ඉදිරියට ගැනීමේ හැකියාවක් ද නොතිබුණු අතර, ඒ මොහොතේ ඉදිරියට ගැනීමට පවුලේ වෙනත් කෙනෙකු ද නොවීය. ඒ තත්ත්වය තුළ මහින්දට තරග කරන්නට ඉඩ හැර ඔහු පරාජය කොට තවදුරටත් පක්ෂයේ පවුලේ උරුමය ආරක්ෂා කර ගැනීම ජනාධිපතිනියගේ උපාය මාර්ගික අරමුණ විය. මහින්ද ජයග්රාහී වනු ඇතැයි පෙනෙන හැම මොහොතකම ජනාධිපතිනිය ද ඇගේ පවුලේ සෙසු සාමාජිකයෝ ද කලබලයට පත්වූහ. මහින්දගේ ඉදිරි ගමන අවුල් කිරීමට තමන්ට කළ හැකි හැම දෙයක්ම උපරිම ලෙස කළේය.
ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට හිමිකර ගන්නා තෙක් මහින්ද ශූර ලෙස ක්රියා කළේ යැයි කිව හැකිය. එහෙත් එතැන් සිට කෙරෙන ගනුදෙනුවලදි අවශ්ය තරම් ඥානාන්විතවීමට මහින්ද සමත් නොවීය.
මේ අරගලයේදි මහින්ද රාජපක්ෂ මහතා ගුරු කොට ගත යුතුව තිබුණේ ආර්. ප්රේමදාස මහතාය. ඔහු ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලැබීමෙන් පසුව පක්ෂය හැසිරවීමේ පූර්ණ බලය සියතට ගත්තේය. තමන්ට අවහිර කිරීමකින් වැළකී පැත්තකට වී සිටින ලෙස ජේ.ආර්.ජයවර්ධනගෙන් ඉල්ලා සිටියේය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය මාර්ගය වූයේ ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ සංතෝෂයට හේතුවන ලෙස තවදුරටත් පක්ෂ නායකත්වයේ ඇයට ඉන්නට දී පුළුවන් නම් ඇගේ ද සහාය ලබාගෙන ජනාධිපතිවරණය ජයගැනීමය. දැන් තමා ජනාධිපති අපේක්ෂකයා වන නිසා පක්ෂය මෙහෙයවීමේ බලය තමන්ට අවශ්ය බව කියා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී උපදේශිකාවක් ලෙස ක්රියාකරන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියේ නම් ජනාධිපතිනිය දරුණු අවුලකට තල්ල වනු නොඅනුමානය. පක්ෂ නායකත්වය නැතිව තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය වැඩක් නැතැයි කියා සිටියේ නම් ඊට පක්ෂයේ අනුකූලතාව ද දිනාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.
එහෙත් ජනාධිපතිනිය ඉතාමත් සටකපට ලෙස පක්ෂ සම්මේලනයේ දී අවුලක් ඇතිවන්නට ඉඩ නොදි සිය පක්ෂ නායකත්වය ආරක්ෂා කරගත්තාය. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගී සිටින්නට වූයේ ඉන් පසුවය. දැන් පක්ෂ නායකත්වය සියතට ගැනීමේ හැකියාවක් මහින්ද රාජපක්ෂ මහතාට නැත. ජනාධිපතිනියගෙන් එල්ල වන අවහිර විඳ දරාගන්නවා හැර ආපසු හැරි අභියෝග කිරීමේ හැකියාවක් ද නැත.
පක්ෂයේ තෝන් ලණුව ඇත්තේ ජනාධිපතිනියගේ අතේය. මහින්ද වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීමට සමහර මන්ත්රීවරුන් කැමති නැත්තේ ඔවුන් නාමයෝජනා ලබාගත යුත්තේ ජනාධිපතිනියගෙන් වන නිසාය. ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවන බව ඔවුහු දනිති. එහිදි ඔවුන්ට නාමයෝජනා දෙනවා ද නැද්ද යන්න තීරණය කරනවා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොව ජනාධිපතිනියයි.
මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ තරග කරන්නේ ද ශ්රීලනිපයෙන් හෝ පොදු පෙරමුණෙන් නොවේ. සන්ධානයෙනි. දැන් සන්ධානයක් නැතත් අවසානයේදි මහින්ද රාජපක්ෂ මහතා ජීවතුන් අතර නැති සන්ධානයකින් තරග කරන්නට තීරණය කළේ ද ශ්රීලනිපයෙන් හෝ පොදු පෙරමුණෙන් තරග කරන්නට ගියහොත් නාමයෝජනා දෙන අවසාන මොහොතේ ජනාධිපතිනිය තමන්ට නාමයෝජනා දිමෙන් වැළකී සිටිනු ඇතැයි යන බිය නිසාය. මහින්ද රාජපක්ෂ මහතා ජයගන්නවා දැකීමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. එසේ වුවහොත් එය තම පවුලේ දේශපාලන පැවැත්මේ අවසානය වන බව ඇය දනී. එසේම තම පවුලේ වටිනාම බූදලය ලෙස පවත්නා ශ්රීලනිපය සිය පවුලට අහිමි වන බව ද ඇය දනී. මේ නිසා කුමන මිලක් ගෙවා හෝ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා උපරිම ලෙස සිය ශක්තිය යොදන තැනකට ජනාධිපතිනිය තල්ලු වී යෑම නොවැළැක්විය හැකිය.
අත්දැකීම් ඇති පුද්ගලයෙකු වශයෙන් තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන විට පක්ෂයේ අයිතිකරුවන්ගෙන් එල්ල විය හැකිව තිබූ අභියෝග කල් තියා තේරුම් ගනිමින් එම අභියෝග ජයගත හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඔහු සකසා ගත යුතුව තිබුණේය. සී.පී. ද සිල්වා මහතාට සේ ම හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ද මුහුණ දෙන්නට සිදු වූ අභාවවාචක අත්දැකීම් ඔහු තේරුම් ගත යුතුව තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා තමාට පහර දෙන්නට ජනාධිපතිනියට අත්යවශ්ය තුරුම්පු දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ දැඩි කොන්දේසි පිළිනොගෙන වුවත්, උපක්රමශීලී වී නම් එම පක්ෂවල සහාය ලබාගැනීමේ හැකියාවක් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණේය. ඔබලාට අවශ්ය මා ජයග්රහණය කරනවා දකින්නට නම්, අනවශ්ය කොන්දේසි පැනවීමෙන් තොරව මට සහාය දෙන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නම්, එම පක්ෂ දෙක දේශපාලන වශයෙන් ඇද වැටී තිබුණු අසරණ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරනවා හැර එරෙහිවීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධ පිටහමක් තිබුණේ ය. ඒ සඳහා කාගෙන්වත් පළඳනා ණයට ගැනීමක් අවශ්ය නොවීය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනියගෙන් එල්ල වන්නට නියමිත ප්රහාර දැක ජේ.වී.පී. ඔඩොක්කුවට තල්ලු වෙමින් පහරදිම සඳහා ජනාධිපතිනියට ශක්තිමත් පදනමක් ලබා දුන්නේය. ඇගේ අරගලය සිය බූදලයේ අයිතිය ආරක්ෂා කරගැනීමේ සීමාවෙන් ඔබ්බට ගිය ප්රතිපත්තිමය අරගලයක් නොවූවත් මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ වැරදි පිළිවෙත සහ ඊට ප්රතිපත්තිමය පෙනුමක් ලබාදිමේ හැකියාව ජනාධිපතිනියට ලැබුණේ ය.
මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජනාධිපතිනියත් ඇගේ සොහොයුරාත් අනුගමනය කරමින් තිබෙන පිළිවෙත නින්දාසහගතය. ඇගේ නිල කාලය අවසන් වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ ඇය කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය සමග පක්ෂ නායකත්වය බාරදි බාධාවකින් තොරව සිය ජනාධිපති තරගය ඉදිරියට ගෙනයෑමට ඉඩ හැරිමය. මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ හා හෙළ උරුමය සමග හෝ වෙනත් ආකාරවලින් කරන ගනුදෙනුවල ප්රතිපත්ති විරෝධීභාවයක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා තනිව කැඳවා ඔහුට ඒ ගැන කරුණු පැහැදිලි කිරීමය.
එහෙත් ජනාධිපතිනිය දැන් ක්රියාකරමින් සිටින්නේ සිය පක්ෂ අපේක්ෂයාගේ ජයග්රහණය වෙනුවෙන් නොව ප්රතිපක්ෂ අපේක්ෂකයා වන රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙනි. රනිල් වික්රමසිංහ මහතා ලබන ජයග්රහණය තම පවුලට පක්ෂයට තිබෙන අයිතිය තහවුරු කරන බව ඇය දනී. රාජ්ය නායකත්වය රනිල් වික්රමසිංහ මහතා අතට ගියත්, තවත් අවුරුදු දහයකින් හෝ දොළහකින් එම තත්ත්වය තම පවුලේ කෙනෙකු අතට පත්වනු දැකීම ඇගේ අපේක්ෂෂාවයි. ඇයට රාජ්ය නායකත්වය අහිමි වුවත්, ඊට පමණක් දෙවැනි වන විපක්ෂ නායකත්වය තමන්ට ලැබෙන බව ඇය දනී. මහින්ද පරාජය වුවහොත් නැවත පක්ෂයේ සියලු දෙනා අනේ මැඩම් අපිව බේරාගන්නට ඉදිරිපත් වන්නැයි ඇයට ඇවිටිලි කරනු ඇති බව ද ඇය දනී. මේ තත්ත්වය පරාජය කිරීම පහසු නැතත්, වැඩවසම් නින්දගමක තත්ත්වයක තිබෙන ශ්රීලනිප පක්ෂයක් බවට පත්වනු ඇත්තේ ද බණ්ඩාරනායකවරුන්ගේ වැඩවසම් ආධිපත්යය පරාජය කළ දාටය.