ජනාධිපතිවරණය, රාජ්‍ය නායකයා සහ සාමය

October 16, 2005
Publication:
Every head of state since independence was elected by the people, yet all ruled like feudal kings, above the law and interfering with the courts. The editorial says change will come only when voters stop following leaders like sheep, and asks at least that the next head of state abandon the tradition of standing above the law.

දැන් රට මුහුණ දී සිටින්නේ රටේ රාජ්‍ය නායකයා තෝරාගන්නා මැතිවරණයකට ය. නිදහසේ සිට මේ දක්වා ම රටේ රාජ්‍ය නායකයා තෝරා පත් කරගත්තේ මහජනයා ය. එහෙත් මේ දක්වා බලයට පැමිණි කිසිම රාජ්‍ය නායකයකු ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය නො හැකි ය. ඔවුන් අතර රටට විවිධ අංශවලින් හොඳ දේවල් කළ නායකයෝ සිටියහ. එහෙත් ඔවුන් අතරින් කිසිවකුත් රට අගාධය කරා යමින් තිබෙන ගමන් මගෙහි මූලික වෙනසක් ඇති කිරීමට සමත් නො වී ය.

ඔවුන් බලයට පත් කළේ මහජනයා වුවත් රට පාලනය කළේ වැඩවසම් රජවරුන් සේ ය. හැම ජනාධිපතිවරයෙකු ම නීතියට ඉහළින් සිටියේ ය. අඩු වැඩි වශයෙන් අධිකරණයට ඇඟිලි ගැසී ය. සිය දේශපාලන හිතවතුන්ට අඩු වැඩි වශයෙන් පොදු දේපළ කොල්ලකන්නට ඉඩ දුන්නේ ය. රටේ ජනතාව අතර වර්ගය, ආගම හා කුල අනුව පවත්නා බෙදිම් පටු දේශපාලන අරමුණු සඳහා ප්‍රයෝජනයට ගත්තේ ය. හැම විධායක ජනාධිපතිවරයෙකුගේ ම අත්වල අඩු වැඩි වශයෙන් ලේ හෝ කැත කුණු තැවරී ඇතැයි ද කිව හැකි ය. ඒ කිසිම රාජ්‍ය නායකයකු ජනතාවට ආදර්ශමත් වී යැයි කිව නො හැකි ය.

රටේ අසමත්භාවය මෙතෙක් බලයට පැමිණි රාජ්‍ය නායකයින්ගේ ද ඔවුන් තෝරා පත් කරන ලද සමාජයේ ද අසමත්භාවයේ ම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

රටට අවශ්‍ය වී තිබෙන්නේ මේ විෂම චක්‍රයේ වෙනසකි. රටේ ගමන් මග වෙනස් වනු ඇත්තේ ද එවැනි වෙනසක් ඇති කරගැනීමට රට සමත් වන්නේ නම් පමණ ය.

එවැනි වෙනසක් ඇති කරගත හැකිවනු ඇත්තේ රටේ ජනතාව කීකරු බැටලුවන් ලෙස සිය නායකයින් පසුපස යන ප්‍රතිපත්තිය අතහැර රටේ නායකයින් දෙස විවේචනාත්මකව කරුණු සලකා බලා ක්‍රියා කරන තැනකට යොමුවේ නම් පමණය. පක්ෂ මතවාදවලට යට නොවී හරි වරද සාධාරණව සලකා බලන තැනකට යන්නේ නම් පමණ ය. නරක නායකයින් වෙනස් වනු ඇත්තේ ද අනාගතයේ හෝ හොඳ නායකයන් බිහිවනු ඇත්තේ ද විචාරවත්ව ක්‍රියා කරන තැනකට යොමුවීමට සමාජය සමත් වේ නම් පමණ ය.

රටේ රාජ්‍ය නායකයා තීරණය කිරීමේ බලය ලැබී ඇත්තේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ය. එම ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නො පවතී. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති පක්ෂ සැලකිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදි නො වන ආඥාදායක පක්ෂයක් ලෙස ය. හැම පක්ෂයක ම හැම දෙයක් ම අවසාන විග්‍රහයේ දී තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකයා ය. තීන්දු ගැනීමේ බලය ඇති ආයතනවලට පත් කළ යුතු පුද්ගලයින් කව්ද යන්න අවසාන වශයෙන් තීන්දු කරන්නේ ද පක්ෂ නායකයා ය. කිසිම පක්ෂයක් ඔවුන්ගේ අය වැය ලේඛන සිය සාමාජිකයන් අතට පත් කරන්නේ නැත. පක්ෂ ව්‍යවස්ථාවෙන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික නො කරන පක්ෂවලට ශිෂ්ට සම්පන්න රටවල ලියාපදිංචි කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

රටේ පවතින පක්ෂ ක්‍රමය ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි නම්, එවැනි පක්ෂ ක්‍රමයක් විසින් බිහි කරන ඒකාධිපති නායකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම තරම් විහිළුවක් තවත් තිබිය නො හැකි ය. ප්‍රභාකරන් සිය ව්‍යාපාරයට ආඥාදායක නායකයෙකි. අනෙක් සියලු පක්ෂවල නායකයන් ද අඩු වැඩි වශයෙන් ආඥාදායක නායකයින් ලෙස සැලකිය හැකි ය. රටේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම් මෙම දේශපාලන සංස්කෘතිය ද මුළුමණින් වෙනස් විය යුතු ය.

පක්ෂ ක්‍රමය තුළ පවත්නා මෙම පසුගාමී බව වෙනත් හැම ආයතන ක්‍රමයකට ම පොදු ය. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය නාමයෝජනා සමග වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශ ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටී. මේ සම්ප්‍රදාය ඉන්දියාවේ නම් අකුරට ම ක්‍රියාත්මක වේ. වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව අපේක්ෂකයාගේ අධ්‍යාපනික පසුබිම පිළිබඳ විස්තර ද, අපරාධ නඩු ඇතොත් ඒ පිළිබඳ විස්තර ද ඇතුළත් දිවුරුම් ප්‍රකාශ, නාමයෝජනා සමග මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදිය යුතු අතර, ඒ සියලු තොරතුරුවල ඡායා පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයා සතු ය.

එවැනි තැනකට යන්නට අපට බැරි ඇයි? අඩු ම වශයෙන් රාජ්‍ය නායකයා නීතියට ඉහළින් සිටින වැරදි සම්ප්‍රදායවත් රාජ්‍ය නායකයා අත්හළ යුතු ය. නීතියේ පාලනයක් තිබිය හැක්කේ තරාතිරම නො සලකා සියලු දෙනා නීතිය ඉදිරියේ එක සමාන නම් පමණ ය. මේ ජනාධිපතිවරණයේ දී මහජනයා වෙනත් කරුණු සමග මේ කාරණා ද සැලකිල්ලට ගත යුතු ය.