රට යන්නේ කොයිබට ද?

October 9, 2005
Publication:
Fifty-seven years after independence the country lurches from one crisis to the next, and hardly a single field gives cause for satisfaction. No ruler has turned it round, and the editorial points to a head of state placed above the law by presidential immunity as one root of failure.

නිදහස ලැබී අවුරුදු 57 කට වැඩි කාලයක් ගෙවී ඇතත් රටක් වශයෙන් අප සිටින්නේ ක්‍රමවත් තැනක නොව අවුලෙන් අවුලට ගිය තත්ත්වයක ය. අපි ජනවාර්ගික විෂය ගැන වැඩියෙන් කතා කරමු. එය රටේ තිබෙන අවුල් අතර ප්‍රධාන අවුල වන බවට ද සැකයක් තිබිය නො හැකි ය. වර්ග අනුව බෙදි සිටින ජනතාව අතර අන්‍යොන්‍ය විශ්වාසයක් ඇත්තේ ම නැති තරම් ය. ආගම් අනුව බෙදි සිටින ජනතාව අතර ද අන්‍යොන්‍ය විශ්වාසයක් නො පවතී. රටේ පවතින අවුල්සහගත බව ජනවාර්ගික විෂයට පමණක් සීමා වී නැත. අන් හැම තැනක්ම තිබෙන්නේ ද අවුලෙන් අවුලට ගිය තැනක ය.

තෘප්තිමත් විය හැකි යහපත් තත්ත්වයක් ඇති එකම විෂයක්වත් නැති තරම් ය.

මාර්ග පද්ධතිය මෙන්ම පොදු මගී ප්‍රවාහනය ද අවුල් ජාලාවකි. පාසල් අධ්‍යාපනය, පාසල් ක්‍රමය, උසස් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල පද්ධතිය තිබෙන්නේ ද අවුලෙන් අවුලට ගිය තත්ත්වයක ය. මහජන සෞඛ්‍ය, බලශක්තිය වැනි අංශ තිබෙන්නේ ද ඒ හා සමාන තත්ත්වයක ය.

පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය හා ජනමාධ්‍ය වැනි ආයතන තිබෙන්නේ ද අවුලෙන් අවුලට ගිය තත්ත්වයක ය. විධායක ජනාධිපති ක්‍රමයක් සමග පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යෑමට අපි රටක් වශයෙන් විශාල වියදමක් දරමු. එහෙත් රටේ හැම වැදගත් අංශයක්ම වසාගෙන ඇති අවුල්සහගත තත්ත්වයෙන් පෙනී යන්නේ මනා පාලනයක් හෝ කළමනාකරණයක් සහතික කිරීමට පාර්ලිමේන්තු ක්‍රමය හා විධායක ජනාධිපති ක්‍රමය සමත් වී නැති බව ය. යුක්තිය පසිඳලීමේ ක්‍රමයක් පවත්වාගෙන යෑම සඳහා ද විශාල වියදමක් දරයි. එහෙත් අධිකරණය කෙරෙහි මහජනයා තුළ විශ්වාසයක් හෝ ගෞරවයක් නො පවතී. රටේ හැම වැදගත් අංශයක් ම දූෂණය විසින් වෙළා ගෙන ඇති බව ද පැහැදිලිව දැකිය හැකි ය.

නිදහසින් පසු මෙතෙක් බලයට පැමිණි මොන ම රාජ්‍ය පාලකයකුට වත් රටේ ගමන් මග යහපත් අතට යොමු කිරීමට හැකි වී නැත. දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක් මුව විට ය. මේ රටේ අසාර්ථකභාවයට හේතු මොනවා ද යන්න ජනාධිපති අපේක්ෂකයන් රටට පැහැදිලි කළ යුතු ය. පූර්වගාමීන්ගේ අසාර්ථකභාවයට හේතු පැහැදිලි කොට තමන් ඔවුන්ගෙන් වෙනස් වන ආකාරයත් මේ රට මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වයෙන් ගොඩගැනීමට තමන්ට තිබෙන දැක්ම කුමක් ද යන්නත් රටට කිව යුතු ය.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම ඉතා වැදගත් ය. එහෙත් රටේ තිබෙන එක ම ප්‍රශ්නය එය පමණක් නො වන බව ද අමතක නො කළ යුතු ය.

සමස්ත ආයතන ක්‍රමය ම තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයක ය. ඒ තත්ත්වය ජයගැනීමට තමන්ට තිබෙන දැක්ම ඔවුන් රටට පැහැදිලි කළ යුතු ය. අධ්‍යාපන විෂයෙහි, මාර්ග හා පොදු ප්‍රවාහන විෂයෙහි, බලශක්ති විෂයෙහි හා අන් ක්ෂේත්‍රවල පවත්නා අවුල්සහගත බව, අකාර්යක්ෂමතාව හා දූෂණය ජයගන්නේ කෙසේ ද යන්න රටට පැහැදිලි කළ යුතු ය.

පාර්ලිමේන්තුව රටේ තිබෙන උත්තරිතර ම දේශපාලන ආයතනය ලෙස සැලකෙතත්, ඊට ගැළපෙන ගෞරවනීය තත්ත්වයක් හිමිකර ගැනීමට පාර්ලිමේන්තුව සමත් වී නැත. ඒ තුළ ද අකාර්යක්ෂමතාව හා දූෂණය රජ කරයි. මෙම අයහපත් තත්ත්වයන්ගේ යහපත් වෙනසක් ඇති කරන්නේ කෙසේ ද යන්න ජනාධිපති අපේක්ෂකයන් රටට විස්තරාත්මකව පැහැදිලි කළ යුතු ය.

විධායක ජනාධිපති යන්නෙන් අදහස් කරන්නේ රටේ රාජ්‍ය නායකයා ය. එහෙත් අපේ රටේ රාජ්‍ය නායකයා ඉන්නේ නීතියට ඉහළිනි. රාජ්‍ය නායකයාට ලැබී තිබෙන මුක්තිය ඔහුට වැරදි කිරීමට අවශ්‍ය වටපිටාවක් ඇති කිරීමට හේතු වී තිබේ. රාජ්‍ය නායකයා මහජනයාට ආදර්ශමත් විය යුතු ය. රටේ රජ කරන දූෂණයට හා ආකර්යක්ෂමතාවට එරෙහිව රාජ්‍ය නායකයාට නැගී සිටිය හැකි වනු ඇත්තේ ඔහු කාර්යක්ෂම හා අදූෂිත පුද්ගලයකු වේ නම් පමණ ය. එම ආදර්ශය මෙතෙක් බලයට පැමිණිලි කිසිම විධායක ජනාධිපතිවරයෙකු කෙරෙන් ප්‍රකාශ වී නැති බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.