සුනාමි හානි පුනරුත්ථාපනය

October 2, 2005
Publication:
The Auditor General's report on tsunami recovery up to 30 June 2005 is now public. Of 48,974 houses destroyed, only 1,055, about 2 per cent of the need, had been completed by 4 August, and the report lists irregularities in the Rs 5,000 allowance payments. Under the subhead 'Do we need more talk about the country's failure?', the editorial says the figures speak for the country's level of civilisation.

සුනාමි ආපදාවෙන් සිදුවූ විපත් හා හානි පුනරුත්ථාපනයට අදාළ 2005 ජූනි 30 දක්වා කටයුතු සිදුවී තිබෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරණයේ විගණන වාර්තාව දැන් ප්‍රසිද්ධ කර තිබේ. වාර්තාවේ නිරික්ෂණ කියවන විට පෙනෙන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස විග්‍රහ කිරීම ඉතාමත් සාධාරණ බව ය.

සුනාමිය එක දිනක් තුළ රටට ඇති කළ විනාශය අතිවිශාල ය. එක් පැය කිහිපයක් තුළ විනාශ වූ ජීවිත සංඛ්‍යාව 40,000 ක් වන අතර, උන් හිටිතැන් අහිමිවූවන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂයකි.

මෙම විපතට ආවේණික ශෝචනීය බව නිසාම අතිවිශාල විදේශ ආධාර ප්‍රමාණයක් රටට ගලා ආවත්, එම විදේශ ආධාර කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීමට රටක් වශයෙන් අප සමත් වී නැත.

ධීවර, ජලය හා සනීපාරක්ෂාව, නිවාස හා නාගරික සංවර්ධනය, ජීවනාධාර, සෞඛ්‍ය, අධ්‍යාපනය යන අංශ 06 සඳහා විදේශ රටවල් ලබාදිමට එකග වී තිබෙන ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 1168 කි. එය රුපියල් දශ ලක්ෂ 11,680 කට සමාන ය. එහෙත් මේ දක්වා අප විසින් වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 158.34 ක් හෙවත් මුළු ආධාර ප්‍රමාණයෙන් 13.5% ක් පමණ ය.

ධීවර කටයුතු සඳහා වැය කර තිබෙන ප්‍රමාණය ලැබී තිබෙන ප්‍රමාණයෙන් 8.2% කි. ජලය හා සනීපාරක්ෂාව සඳහා 12.3% කි. නිවාස හා නාගරික සංවර්ධනය සඳහා 11.2% කි. ජීවනාධාර සඳහා 24.5% කි. සෞඛ්‍ය සඳහා 13.7% කි. අධ්‍යාපනය සඳහා 12.8% කි.

රටේ අසමත්භාවය ගැන තවත් කතා අවශ්‍ය ද?

පාලකයින් විපත සිදුවූ අවස්ථාවේ රටට කීවේ කුමක් ද? මාස 06 ක කාලයක් තුළ නිවාස අහිමි වූ සියලු දෙනාට ඔවුන්ට තිබුණු ගෙවල් වලටත් වඩා හොඳ ගෙවල් දෙන බව ය.

විගණකාධිපතිවරයාගේ මතය අනුව සුනාමි නිවාස ප්‍රතිසංස්කරණ ඒකකයේ වාර්තා අනුව විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 48,974 ක් වුව ද, 2005 අගෝස්තු 04 වැනි දින වන විට ඉදිකිරිම් නිමකර තිබුණේ මුළු අවශ්‍යතාවන්ගෙන් 2% ක් හෙවත් නිවාස 1,055 ක් පමණ ය. අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කොට තිබෙන්නේ මුළු අවශ්‍යතාවන්ගෙන් 71% ක් පමණ ය.

රුපියල් 5,000 දිමනාව ගෙවීමේ දී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ කිහිපයක් මෙසේ ය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඍජුව ම විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 599 ක් ලෙස හඳුනා ගෙන තිබිය දී පවුල් 15,843 ක් සඳහා එම දිමනාව ගෙවා තිබේ. අයථා ලෙස ගෙවා තිබෙන මුදල් ප්‍රමාණය රු. 733,951,000 කි.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ (මුස්ලිම්) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම කොට්ඨාස තුළ පදිංචි නැති සහනාධාර ලැබීමට හිමිකම් නොමැති පුද්ගලයන් වෙනුවෙන් ගෙවා තිබෙන සහනාධාර ප්‍රමාණය 1,140,000 කි. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ (දෙමළ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ එම කොට්ඨාසයේ වියදම් නොවූ ගෙවීම් ලැබීමට සුදුසුකම් නොමැති පුද්ගලයන් වෙත ගෙවා තිබෙන ප්‍රමාණය රුපියල් 410,000 කි. හික්කඩුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ද ගෙවීම් ලබාගැනීමට සුදුසුකම් නැති පුද්ගලයින් 490 කට රුපියල් 4,795,000 ක මුදලක් ගෙවා තිබේ.

විපතට පත්වූවන් සඳහා ලැබී තිබෙන අරමුදල් වලින් ඉතා සුළු කොටසක් පමණක් ඒ වෙනුවෙන් යොදා ගනිමින් වඩා විශාල මුදලක් ගිණුම්වල රඳවා ගෙන සිටින බව ද එම වාර්තාවේ සඳහන් වේ. ආයතන දෙකක් (එම ආයතන මොනවාදැයි වාර්තාවේ සඳහන් කර නැත.) තමන්ට ලැබී තිබෙන මිලියන 49 ක මුදලින් මිලියන 37 ක් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තබා ගෙන සිටින බව නියැදි සමීක්ෂණ වලින් අනාවරණය වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

රටක් වශයෙන් අපේ ශිෂ්ටසම්පන්නභාවයේ තරම ඉන් මනා ලෙස කියාපායි.