ඉදිරි ජනාධිපතිවරණයේදි ජය ලැබෙනු ඇත්තේ කාටද යන ප්රශ්නය උණුසුම් කතාබහට හේතුවී තිබේ.
2004 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජවිපෙ ඉදිරිපත් කළ ප්රධාන තර්කයක් වූයේ ශ්රීලනිප 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි ජවිපෙ සමග එක්ව සන්ධානයක් ලෙස තරග කළේ නම්, එජාපය නොව, එම සන්ධානය ජයගන්නා බවය. ඔවුන් එහිදි ඉදිරිපත් කර තිබුණු ගණන් බැලීම නිවැරදිය.
එම මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය තරග කළේ මුස්ලිම් කොංග්රසය හා වතු කම්කරු කොංග්රසය සමග ඇති කරගත් සන්ධානයක් ලෙසය. එම සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්යාව 4,086,026කි. මුස්ලිම් කොංග්රසය එජාපය සමග එක්ව තරග කරන අතර, සමහර ප්රදේශ සඳහා වෙන්ව ද තරග කළේය. වෙන්ව තරග කිරිමෙන් ලබා ගත් ඡන්ද සංඛ්යාව 105,346කි. එවිට එක්සත් ජාතික පක්ෂ සන්ධානය එම මැතිවරණයේදි ලබා ගත් මුළු ඡන්ද සංඛ්යාව 4,191,372කි.
එහෙත් එම මැතිවරණයේදි වෙන් වෙන් ව තරග කළ ශ්රීලනිප ඡන්ද 3,330,815ක් ද, ජවිපෙ ඡන්ද 815,353ක් ද, ඊපීඩීපී පක්ෂය ඡන්ද 72,783ක් ද ලබාගැනීමට සමත් විය. එම පක්ෂ තුන ලබාගත් මුළු ඡන්ද සංඛ්යාව 4,218,951කි. ඒ අනුව එම පක්ෂ තුනේ ඡන්ද එක්ව ගත් විට එක්සත් ජාතික පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්යාවට වඩා ඡන්ද 27,579ක් ලබාගැනීමට එම පක්ෂ තුන සමත්ව තිබුණි.
එම තර්කය මත පිහිටා එම පක්ෂ තුන 2004 පාර්ලිමේන්තු මැතිවරණයට තනි සන්ධානයක් ලෙස තරග කළේය. ලබා ගත් මුළු ඡන්ද සංඛ්යාව 4,223,970කි. එක්සත් ජාතික පක්ෂය පරාජය කොට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්යාවක් ලබාගැනීමට සමත් වුවත්, පාර්ලිමේන්තුවේ තනි බහුතර බලයක් ලබාගැනීමට සමත් වූයේ නැත. ලැබූ ආසන සංඛ්යාව 105කි.
2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි මෙම පක්ෂ තුන වෙන් වෙන් ව තරග කොට ලබාගත් මුළු ඡන්ද සංඛ්යාවට වඩා 2004 දී එක්ව එක සන්ධානයක් ලෙස තරග කොට ලබා ගැනීමට සමත් වූයේ ඡන්ද (4,223,970-4,218,915) 5,019ක් පමණ ය.
එහෙත් එම මැතිවරණයේ දී සන්ධානය ඡන්ද 4,223,970ක් ලබාගන්නා විට විරුද්ධ පක්ෂය මුළු මනත් වශයෙන් ගත් විට (එජාප, දෙමළ සන්ධානය හෙළ උරුමය හා මුස්ලිම් කොංග්රසය) ලබා ගත් ඡන්ද සංඛ්යාව 4,927,182කි. සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්යාවට වඩා වැඩි ඡන්ද ලක්ෂ 07ක් ලබාගැනීමට විරුද්ධ පක්ෂය සමත්ව තිබුණේය. සන්ධාන ගත ආණ්ඩු පක්ෂය ඡන්ද 46.04%ක් ලබාගන්නා විට පොදුවේ විරුද්ධ පක්ෂය ලබාගෙන තිබුණු අනුපාතිකය 53.96%කි.
ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයකට සමාන නැත. පාර්ලිමේන්තු මැතිවරණයකට දේශපාලන පක්ෂ ගණනාවක් තරග කරන අතර, දිස්ත්රික්කයක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සැලකේ. එහෙත් ජනාධිපතිවරණයක් හැමවිටම ප්රධාන තරගකරුවන් දෙදෙනෙකු අතර කෙරෙන තරගයක් වනවාට අතිරේකව ඡන්ද කොට්ඨාස ලෙස සැලකෙන්නේ මුළු රටමය. ජයග්රාහකයා, පාවිච්චි කෙරෙන මුළු වලංගු ඡන්ද සංඛ්යාවෙන් 50%කට වැඩියෙන් ලබාගත යුතුය. පාවිච්චි කෙරෙන මුළු වලංගු ඡන්ද සංඛ්යාව (පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි පාවිච්චි කෙරුණු මුළු වලංගු ඡන්ද සංඛ්යාව 9,151,152ක් ලෙස උපකල්පනය කළහොත් ජයග්රාහකයා ලබාගත යුතු අවම ඡන්ද සංඛ්යාව 4,575,576කි. සන්ධානය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ලබා ගත් ඡන්ද සංඛ්යාවට වඩා ඡන්ද 351,606ක් ලබා ගත යුතුය.
විධායක ජනාධිපති ක්රමයට සුළු ජාතිකයන් කැමැත්තක් දක්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදි මෙන් නො ව, රාජ්ය නායකයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තීරණාත්මක ලෙස මැදිහත්වීමේ බලයක් ඔවුන්ට ලැබෙන නිසාය. ජනාධිපතිවරණයකදි අපේක්ෂකයකු පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්යාවෙන් 50%කට වැඩි ප්රමාණයක් ලබාගත යුතුය. එහිදි ප්රධාන දේශපාලන පක්ෂ දෙක අතර සිංහල ඡන්ද බෙදි යන අවස්ථාවකදි ඒ දෙදෙනා අතරින් තමන්ගේ ප්රශ්න ගැන සංවේදිභාවයක් ඇති පුද්ගලයෙකු රාජ්ය නායකයා ලෙස තෝරාගැනීමේ බලය ඔවුන්ට ලැබෙන්නේය.
සිංහල වර්ගයා රටේ විශාල බහුතරය වන නිසා සිංහල ඡන්ද මත පමණක් පදනම් වී ජනාධිපතිවරණයක් ජයගැනීමේ හැකියාව තිබේද යන්න සොයා බැලීම ද වැදගත්ය.
සිංහල ජන අනුපාතිකය 74%කි. දෙමළ ජන අනුපාතිකය 18%කට තරමක් වැඩිය. මුස්ලිම් ජන අනුපාතිකය 07%කි. පාවිච්චි කරන වලංගු ඡන්ද සංඛ්යාව 9,151,152ක් (එය 2004 සංඛ්යාවයි) ලෙස සලකතොත් ඉන් සිංහල සංඛ්යාව 6,771,852ක් ද, දෙමළ හා මුස්ලිම් සංඛ්යාව 2,196,276ක් ලෙස ද සැලකිය හැකිය.
සිංහල ජාතිය අතර ද සුළු ජාතීහු සිටිති. ඔවුන් කුල වශයෙන් ද, ආගම් වශයෙන් ද බෙදි සිටිති. ආගම අනුව වර්ග කළහොත් සිංහලයින් අතර සිටින බෞද්ධ නොවන ප්රතිශතය 10%කි. එවිට සිංහල බෞද්ධ ඡන්ද සංඛ්යාව 6,094,667ක් බවට පත්වන්නේය.
සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්රහණය කිරීමට නම් එම අපේක්ෂකයා ලබාගත යුතු සිංහල බෞද්ධ ඡන්ද අනුපාතිකය 75%කි. එය ඡන්ද 4,575,577කට සමානය. එනම් සිංහල බෞද්ධ ඡන්ද මත පමණක් පදනම් වී ජනාධිපතිවරණයක් ජයගැනීමට එම අපේක්ෂකයා හැම සිංහල බෞද්ධ ඡන්දදායකයන් 100ක් අතුරින් 75 දෙනෙකුගේ ඡන්ද ලබාගත යුතුය.
එය සරල හෝ පහසු ඉලක්කයක් ලෙස සැලකිය නොහැකිය.
2000, 2001 සහ 2004 පාර්ලිමේන්තු මැතිවරණ තුනේ දී පක්ෂ අනුව ලබා ගත් ඡන්ද සංඛ්යාව
2000
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්යාව %
පොදු පෙරමුණ 3,900,901 45.10%
එජාප 3,477,770 40.21%
ජවිපෙ 518,774 5.99%
දමිළ සන්ධානය 106,033 1.47%
ජාතික සමගි පෙරමුණ 197,983 2.28%
ඊපීඩීපී 50,890 0.58%
ටෙලෝ 26,112 0.03%
සිහළ උරුමය 127,863 1.47%
සමස්ත ලංකා ද්රවිඩ සංගමය 27,323 0.03%
ස්වාධීන 2 (දිගාමඬුල්ල) 19,812 0.22%
2001
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්යාව %
එජාප 4,086,026 45.62%
පොදු පෙරමුණ 3,330,815 37.19%
ජවිපෙ 815,353 9.01%
දමිළ සන්ධානය 348,164 3.88%
මුස්ලිම් කොංග්රසය 105,346 1.18%
ප්ලොට් 16,669 0.19%
සිහළ උරුමය 50,665 0.57%
2004
පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්යාව %
සන්ධානය 4,223,970 45.60%
ජාතික හෙළ උරුමය 552,724 5.97%
එජාප 3,504,200 37.87%
දමිළ සන්ධානය 633,654 6.84%
මුස්ලිම් කොංග්රසය 186,876 2.02%
කඳුරට ජනතා පෙරමුණ 49,728 0.54%