නායකයන්ගේ වගකීමෙන් තොර බව

September 25, 2005
Publication:
The presidential election is being held with neither an Elections Commission nor a Constitutional Council, leaving the Elections Commissioner, the man the 17th Amendment has hurt most, 'caught like an areca nut in the cutter'. A second section, on the rule of law and the Chief Justice, counts the motion for a select committee on the Diyawanna Oya affair as a third impeachment charge against him.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසම නැතිවය. ව්‍යවස්ථා සභාව ද නැතිවය. මැතිවරණ කොමිසම නැතත්, එය සතු සියලු බලතල මැතිවරණ කොමිසම පත් කරන තෙක් මැතිවරණ කොමසාරිස්වරයා සතුය. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයාට තනතුරේ කටයුතු කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවනු ඇත්තේය. එම පුරප්පාඩුව ව්‍යවස්ථාවට අනුකූලව පිරවිය නොහැකි අතර, ව්‍යවස්ථා සභාවක් නොමැති බැවින් මැතිවරණ කොමිසමක් ද පත් කළ නොහැකිය. එහෙත් මෙම කේන්ද්‍රීය ප්‍රශ්නය ගැන විශ්‍රාම යන ජනාධිපතිනියටවත් ජනාධිපති තනතුරට තරග කරන අගමැති හෝ විපක්ෂ නායකයාටවත් විසඳ ගත යුතු මූලික වැදගත් ප්‍රශ්නයක් වී නැත.

ජනාධිපතිවරණයෙන් පසුව බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් ද ඉදිරියට ආ හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පාර්ලිමේන්තු බලය ඇත්තේ පොදු පෙරමුණට වන නිසාම තමන්ට බලය ඇති පාර්ලිමේන්තුවක් දිනා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට වැඩි ඉඩක් පවතී.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් ව්‍යවස්ථා සභාව පත් කරනු ඇතැයි සිතිය නොහැකිය. ව්‍යවස්ථා සභාවට ජනාධිපතිගේ නියෝජිතයෙකු පත් කෙරෙන බැවින් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ව්‍යවස්ථා සභාව පත් නොකිරීම තමාගේ වාසියට හේතුවනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ද කල්පනා කරනවා විය හැකිය. එහෙත් ව්‍යවස්ථා සභාව යටතේ පවතින සමහර කොමිෂන් සභාවල පැවැත්ම නොවැම්බර් වලදි අවසන් වේ. ඉන්පසු නැවත ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කරන තෙක් රාජ්‍ය සේවය ද පොලිස් සේවය ද අවුලෙන් අවුලට යන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිවන කිසිදු පුරප්පාඩුවක් පිරවිය නොහැකි වනු ඇත. පොලිස්පතිවරයෙකු මිස වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවෙතත්, නොවැම්බර් වලදි විශ්‍රාම යන පොලිස්පතිවරයා වෙනුවෙන් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාවක් නොපවතී. කොටින්ම එම නොමනා තත්ත්වය, නැති අවුල් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ඒ තත්ත්වයට විශ්‍රාම යන ජානිධිපතිනියත්, හිස්වන එම ධුරයට තරග කරන ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාත් සම ලෙස වගකිව යුතුය.

ගිරයට හසුවූ පුවක් ගෙඩියක් බවට පත්ව සිටින මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමසාරිස්වරයාට මෙම ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවී තිබෙන්නේ තමන් හොබවන නිලයේ ගෞරවයට හේතු නොවන අභූත චෝදනාවක් කරගසා ගෙනය. මෙම ජනාධිපතිවරණය හෙළ උරුමයේ නායක සෝභිත හිමියන් විසින් දිනා දෙන ලද්දක් ලෙස ප්‍රකාශ වී ඇතත්, ජනාධිපතිවරණය පැවැත්විය යුතු වසර පිළිබඳව මැතිවරණ කොමසාරීස්වරයා ව්‍යාකූලභාවයක සිටියේ නැත. එය 2005 වසරේ පැවැත්විය යුතු බවට ඔහු තීරණයක් ගෙන තිබුණු අතර, සෝභිත හිමියන් අධිකරණය ඉදිරියට යන්නට පෙර ද ඔහු ඒ බව ප්‍රකාශ කර තිබුණි. ජනාධිපතිනිය අර්ථ නිරූපණයක් ඉල්ලා ගෙන අධිකරණයට ගියේ මැතිවරණ කොමසාරිස්වරයා කරන ලද එම ප්‍රකාශයෙන් පසුවය. ජනාධිපතිනිය එම අර්ථ නිරූපණයෙන් අපේක්ෂා කළේ තම 2006 සිහිනය සැබෑ කරගැනීමය. එය වැළැක්වීමට අගවිනිසුරුවරයාට අවශ්‍ය වූයේ ඡන්දදායකයන්ගේ යහපත හා නිදහස සලකා නොව සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමේ මාර්ගයක් වශයෙනි. අගවිනිසුරුවරයා ජනාධිපතිනිය අතහැර ඒ වෙනුවට මහින්දගේ පැත්ත ගත්තේය. ජනාධිපතිනිය සමග එකතු වී 2006 වසරේ පවත්වන ජනාධිපතිවරණයක් සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටි අගවිනිසුරුවරයාට තමන් දියත් කර තිබුණු ඒ වැඩපිළිවෙළට වෙනස් මගක් ගැනීමට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එසේ කිරීම අවශ්‍ය යැයි සැලකූ නිසාය. ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005 ද නැතිනම් 2006 ද යන ප්‍රශ්නය මුල් කොටගෙන ඇතිව තිබූ අර්බුදය නිර්මාණය කර තිබුණේ ද අගවිනිසුරුවරයාය.

සෝභිත හිමියන්ගේ පෙත්සමේ වගඋත්තරකරුවා කර තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයාය. ව්‍යවස්ථානුකූලව 2005 වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබියදි මැතිවරණ කොමසාරිස්වරයා 2006 වසරේ ජනාධිපතිවරණය පවත්වන්නට සූදානම් කොට ඇති බව මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව එල්ල කර තිබුණු චෝදනාව විය. එහිදි මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණය වෙත තම නිගමනය ප්‍රකාශ කළත්, අධිකරණය එම මූලික අයිතිවාසිකම් පෙත්සම එතැනින් අවසන් නොකොට ඉදිරියට ගෙනයමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තැනකට ගියේය. ඒ නිසා ඇතිවූ ඊළග ප්‍රතිඵලය වූයේ අනියම් ලෙස හෝ වරද මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැටවීමය.

මැතිවරණ විෂයට අදාළව අධිකරණයේ හැසිරිම ගැන මීට පෙර මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පතකට අදහස් පළකර තිබූ අතර, මැතිවරණ විෂයට අදාළ අධිකරණයේ වැරදි ක්‍රියාකාරකම් පැහැදිලි කරන ලෙස පුවත්පත වැඩිදුරට ප්‍රශ්න කළ විට ඔහු කියා තිබුණේ උසාවි අපහාසය යටතේ තමන්ට දඬුවම් කළ හැකි බැවින් තමන් ඒ කිසිවක් කතා කිරීමට සූදානම් නැති බවය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් මැතිවරණ කොමිසම ගැන මැතිවරණ කොමසාරිස්වරයාට විවේචනයක් ඇත්තේය. ඔහු ඒ ගැන කියා තිබුණේ ඉන්දියානු මැතිවරණ කොමිසම සමග ගත් විට මෙම මැතිවරණ කොමිසම පසුගාමී බවය. ඔහුගේ නිරික්ෂණය නිවැරදිය.

එම ව්‍යවස්ථා සංශෝධනයෙන් වැඩියෙන්ම පීඩාවට පත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ද මැතිවරණ කොමසාරිස්වරයාය. ව්‍යවස්ථා සංශෝධනයේ එන ප්‍රතිපාදන අනුව මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් ඔහුට විශ්‍රාම යා නොහැකිය. මෙම නොමනා තත්ත්වයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියත්, ඔහුට සාධාරණ විසඳුමක් ලබාදිමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් නොවීය. ඒ මොහොත වන විට අගවිනිසුරු සිටියේ මහින්ද සමග නොව ජනාධිපති සමගය. ඒ නිසා මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිනිය අනුගමනය කරමින් තිබෙන අත්තනෝමතික පිළිවෙත ආරක්ෂා කරනවා හැර ඊට එරෙහිව යෑමේ හැකියාවක් අගවිනිසුරුට නොතිබුණි.

සෝභිත හිමියන්ගේ තීන්දුවෙන් පසුව තීන්දුව නිවැරදි කරගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණය ඉදිරියට ගියේය. එහෙත් එහිදිද වරද නිවැරදි කිරීමක් සිදු නොවීය. දැන් නැවත වරක් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන අතර, අධිකරණය ඊට කෙබඳු පිළිතුරක් දෙන්නට යන්නේද යන්න පැහැදිලි නැත.

නීතියේ පාලනය හා අගවිනිසුරු

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ පාලනය තුළ අධිකරණය අවුල් විසඳන ආයතනයක් ලෙස ක්‍රියාකරනවා වෙනුවට නැති අවුල් ඇති කරන ආයතනයක් ලෙස ක්‍රියාකරමින් පවතී. එම තත්ත්වය රටේ පවතින අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට හේතුවී තිබේ.

පසුගිය මැතිවරණ දෙකකදි බලයේ සිටි පාලක පක්ෂය රාජ්‍ය සම්පත් අයථා ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගනිමින් සිටි පිළිවෙතට එරෙහිව එම තත්ත්වය වළකන නියෝගයක් ලබාගැනීම සඳහා කරු ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඒ හැම මූලික අයිතිවාසිකම් පෙත්සමකදිම අගවිනිසුරු අනුගමනය කළේ වැරදි කරන අයට උඩ ගෙඩි දෙන ප්‍රතිපත්තියකි. අගවිනිසුරුගේ පැවැත්ම රැඳී තිබුණේ ආණ්ඩුවේ පැවැත්ම මත නිසා ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව කරන සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

එක් අතකට අගවිනිසුරු ජනාධිපතිනිය මත ද අනෙක් අතට, ජනාධිපතිනිය අගවිනිසුරු මත ද රඳ පවත්නා තත්ත්වයක් ගොඩනගා ගෙන තිබුණි.

ජනාධිපතිනිය විසින් නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබුණු දූෂණ චෝදනා පරික්ෂාවට ලක්කෙරෙමින් තිබෙන අවස්ථාවකදිය. ශ්‍රේෂ්ඨාධිකරණය ගමන් ගනිමින් තිබුණු මාවත වෙනස් කොට ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට පක්ෂපාතව ක්‍රියාකරන තැනකට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි පුද්ගලයෙකු එම ගරු කටයුතු තනතුරට පත්කිරිමෙන් ජනාධිපතිනිය අපේක්ෂා කළ ප්‍රධාන පරමාර්ථය විය. “සෝභිත හිමි නඩු තීන්දුව” තෙක්ම අගවිනිසුරුවරයා ඒ අරමුණ අකුරටම ඉටු කළේය. ඔහු ඒ අරමුණ වෙනුවෙන් රටට කරන ලද විනාශය අතිමහත්ය. තමන්ට අවනත වීමට සූදානම් නැති විනිසුරුවරුන් තොග ගණනින් අධිකරණයෙන් පලවා හැරියේය. අගවිනිසුරුගේ බිහිසුණු රංගනය බලා සිටිය නොහැකි තවත් සමහර විනිසුරුවරු අධිකරණ සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්ව ගියහ. අවසානයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි දක්ෂම විනිසුරුවරයා ලෙස සැලකිය හැකි මාක් ප්‍රනාන්දු මහතා ද සිය විශ්‍රාම වයසට පෙර විශ්‍රාම ගියේය.

දියවන්නාඔය සිද්ධිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් ඉල්ලා ඉදිරිපත් කර තිබෙන යෝජනාව සමග ගත් විට අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන දෝෂාභියෝග ගණන තුනක් ලෙස සැලකිය හැකිය. එම දෝෂාභියෝග යෝජනාවලට ඇතුළත් චෝදනා අද දක්වා පරික්ෂාවට ලක්කිරීමක් කර නැත. හැම අමාරු අවස්ථාවකදිම අගවිනිසුරුවරයා ජනාධිපතිනිය ආරක්ෂා කළා සේ ම ජනාධිපතිනිය ද හැම අමාරු අවස්ථාවකදිම අගවිනිසුරුවරයා ආරක්ෂා කරන දැඩි පිළිවෙතක් අනුගමනය කළාය. අගවිනිසුරුවරයා තමන්ට ජුදාස් කෙනෙකු ලෙස ක්‍රියාකරනු ඇතැයි කොයි මොහොතකවත් ජනාධිපතිනිය කල්පනා කරන්නට නැතත්, අවසානයේදි අගවිනිසුරුවරයා සිය පැවැත්ම සඳහා සිය දේශපාලන ස්වාමි දුව ද පාවා දුන්නේය. ජනාධිපතිනිය ආරක්ෂා කිරීම තවදුරටත් ප්‍රයෝජනවත් නොවන බව තේරුම් ගත් අගවිනිසුරුවරයා තමන් විසින්ම ජනාධිපතිනියට නිර්මාණය කර දෙන ලද 2006 සුන්දර සිහිනය චප්ප කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ කරපිටට පැන ගත්තේය. දැන් ජනාධිපතිනිය අගවිනිසුරු දෙස බලන්නේ වෛරය මුසු පිළිකුලකිනි. දැන් අගවිනිසුරුගේ අනාගත පැවැත්ම රැඳී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය මතය.