අපරාධය හා දඬුවම

September 18, 2005
Publication:
Three teachers of D.S. Senanayake College have been sentenced to two years in prison for beating a student. The editorial does not doubt their guilt but finds the punishment excessive, and notes that the courts, once respected, have become a subject of public controversy.

සීමාසහිතකම් තිබියදිත් අතීතයේ දී අධිකරණය සැලකුණේ ගෞරවනීය ස්ථානයක් ලෙස ය. එය විවේචනයට හෝ විවාදයට ලක්වූ මාතෘකාවක් නො වී ය. එහෙත් අද තත්ත්වය ඊට වෙනස් ය. දැන් එය විවාදයට ලක්වන ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී තිබේ. සමහරෙක් අධිකරණය කෙරෙහි ඇති බිය නිසා විවේචනයෙන් වැළකී සිටියත්, මහජනයා අතර අධිකරණය කෙරෙහි ගෞරවයක් හා විශ්වාසයක් නො පවතින බව ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳව කර තිබෙන සමීක්ෂණ වාර්තාවලින් ද සනාථ වී තිබේ.

පසුගිය සතියේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දුන් ඩී.ඇස්. සේනානායක විදුහලේ ගුරුවරුන් තිදෙනෙකුට මහාධිකරණය අවුරුදු දෙකක සිරදඬුවම් පැමිණ වී ය. මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ සිට රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන කාන්තාවන් තිස් එක් දෙනෙකු බන්ධනාගාර වාහනයට නැගීමෙන් පසු සාධුකාරදිමේ සිද්ධියකට එරෙහිව ඒ සියලු දෙනා උසාවියට කැඳවා දණ ගස්වා සමාව ලබාගැනීමේ සිද්ධියක් ඊට පෙර සතියේ පුවත්පත් වාර්තා කර තිබුණි.

මෙම සිද්ධියට ඈඳුණු කාන්තාවන් පිරිස කව්දැයි අපි නො දනිමු. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයට ආපසු රැගෙන යෑමට බන්ධනාගාර වාහනයට නැගීමෙන් පසු උසාවියට අවහිරයක් වන ලෙස සාධුකාර දුන්නේ නම්, උසාවියේ මහේස්ත්‍රාත්වරයා ඊට ගැළපෙන ක්‍රියාමාර්ගයක් ගැනීම නිවැරදි ය. එහෙත් සිදුවී තිබෙන්නේ මහේස්ත්‍රාත්වරිය ඔවුන් උසාවිය ඉදිරියට ගෙන්වා දණ ගසා සමාව ලබාගැනීම ය. දණගස්වා සමාව ලබාගැනීමේ ක්‍රමයක් නූතන ශිෂ්ටාචාරයට ගැළපෙන්නේ නැත. එය මනුෂ්‍යත්වය නිගාවකට ලක් කරන වරදක් ලෙස සැලකිය හැකි ය. එවැනි වැරදි නඩුකාරවරුන් අතින් සිදුවේ නම් එය නිවැරදි කිරීම අධිකරණ සේවා කොමිසම වැනි බලධාරී ආයතනවල වගකීමකි. මීට මාස කිහිපයකට පෙර උසාවිය තුළ බුලත් හපමින් සිටි පුද්ගලයෙකුට හය මසක සිරදඬුවම් පැමිණ වීමේ සිද්ධියක් ද පුවත්පත් වාර්තා කර තිබුණි. බුලත් හපන්නේ ගැමියන් ය. සමහර විට එම ගැමියා පළමුවරට උසාවියකට පැමිණි පුද්ගලයෙකු විය හැකි ය. එවැනි පුද්ගලයෙකුට අවවාද කොට උසාවියෙන් ඉවත්වීමට නියෝග කිරීම වැනි දඬුවමක් පැමිණ වීමේ අයිතියක් ඇතත්, එවැන්නකුට සිරදඬුවම් පැමිණ වීමේ බලයක් කිසිම අධිකරණයකට තිබිය නො හැකි ය. බලය තිබුණු පමණින් එම බලය අන්‍යයන් පීඩාවට පත් කිරීම සඳහා යොදා නො ගත යුතු ය. අධිකරණය සාධාරණ විය යුතු වා සේ ම සාධාරණ බව පෙනෙන්නට ද තිබිය යුතු ය.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරුන් තිදෙනාට අත්වූ ඉරණම ද ශෝචනීය ය. මෙම ගුරුවරුන් ශිෂ්‍යයාට පහරදිමෙන් වරදක් කර ඇති බවට සැකයක් තිබිය නො හැකි ය. එහෙත් එවැනි වරදක් සඳහා ගුරුවරුන් තිදෙනෙකුට අවුරුදු දෙකක සිරදඬුවම් පැමිණවීම සාධාරණ වේ යැයි කිව නො හැකි ය.

මෙය සමත මණ්ඩලයට යොමු කොට විසඳාගත නො හැකි නම් පමණක් අධිකරණය ඉදිරියට ගත යුතු ව තිබුණු ආරාවුලකි. එහෙත් මොන හේතුවක් නිසා හෝ නීතිපතිවරයා මෙම නඩුව සාමාන්‍ය ගමන් මගෙහි යන්නට ඉඩ නො හැර අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් මහාධිකරණයෙන් ආරම්භ කෙරෙන නඩුවක් බවට පත් කොටගෙන තිබෙන බව පෙනේ. ගුරුවරුන් පමණක් නො ව, දෙමාපියන්වත් දරුවන්ට ශාරීරික වශයෙන් දඬුවම් පැමිණවීම වැරදි ය. එහෙත් එවැනි වරදක් සඳහා දඬුවම් පැමිණ වීමේ දී එසේ පමුණුවන දඬුවම කළ වරදේ ප්‍රමාණයට අනුරූප විය යුතු ය. ගුරුවරුන් පමණක් නො ව දෙමාපියන් ද සිය දරුවන්ට බැණ වදින හා පහර දෙන අවස්ථා තිබිය හැකි ය. එහෙත් ඒ හැම අවස්ථාවක දී ම එසේ කරන්නේ සතුරු ආකල්පයකින් යැයි කිව නො හැකි ය. ශිෂ්‍යයන්ට දැඩි එහෙත් ශිෂ්‍යයන් ආදරයෙන් රැක බලාගන්නා ගුරුවරුන් වශයෙන් සිය වගකීම් අකුරට ම ඉටු කරන ගුරුවරු ද සිටිති.

ගුරුවරයෙකු සීමාව ඉක්මවා ක්‍රියාකරන අවස්ථාවක දී එවැනි අයට දඬුවම් පමුණුවන ක්‍රමයක් තිබිය යුතු වුවත්, සාමාන්‍ය වශයෙන් සිදුවිය හැකි එවැනි වැරදිවල දී එම ගුරුවරුන් බිහිසුණු අපරාධකරුවන් ලෙස සලකා දඬුවම් කරන ප්‍රතිපත්තියක් සාධාරණ වන්නේ නැත.