ජපානයේ සිට පැමිණි ජනාධිපතිනිය බොහෝ දෙනකු අපේක්ෂා කළ පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග රණ්ඩු කරන තැනකට නොගියාය. ඒ වෙනුවට ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති වැඩපිළිවෙළක නිරතවන්නට ඉඩ දී බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළාය. මහින්ද රාජපක්ෂ මහතා සමග රණ්ඩු කරන තැනකට ගියේ නම් මහින්ද රාජපක්ෂ මහතා ද පෙරළා පහර දෙන තැනකට තල්ලු වනු නොඅනුමානය. දැන් බලය තිබෙන්නේ ජනාධිපතිනියට නොව මහින්දටය. ජනාධිපතිනියගේ අවලංගුවීම රාජ්ය නායකත්වය කෙරෙහි පමණක් නොව පක්ෂ නායකත්වය කෙරෙහි ද බලපායි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනියට අභියෝග කරන තැනකට තල්ලු කළේ නම් පක්ෂයේ අතිවිශාල බහුතර පිරිසක් ජනාධිපතිනිය ප්රතික්ෂේප කොට ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු නොවැළැක්විය හැකිය.
ජනාධිපතිනිය ගත් තීරණය නිවැරදි වන අතර, ඒ මගින් අවශ්ය වෙතොත් අනාගතයේ නැගී සිටීමකට අවශ්ය ඉඩ තමන් වෙත තබාගැනීමට ද ඇය සමත් වූවා ය. ඇය මහින්ද හා ජවිපෙ අතර ගොඩනැගෙමින් තිබෙන එකගතාව ගැන පවා අනුගමනය කළේ මටසිලුටු ප්රතිපත්තියකි. දැන් මහින්ද අපේක්ෂකයා නිසා ජවිපෙ සමග වුවත් එකට වැඩ කිරීමේ අයිතිය මහින්දට තිබිය යුතුයි කියන ආකල්පයක පිහිටාය. ගැටුමක් ඇති කිරීමට හේතුවිය හැකි ඊළග සංවේදි ස්ථානය එය විය.
එහෙත් ජනාධිපතිනිය මහින්දට ජවිපෙ සමග තමන් කැමති ආකාරයක ගනුදෙනුවක යෙදිමට ඉඩ හරින ප්රතිපත්තියක් මගින් වඩා උපක්රමශීලී ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයකට තල්ලු කර තිබෙන බව ද පෙනී යයි. ජවිපෙ සමග එකගතාවක් ඇති කරගත යුතු නැතැයි කියන දැඩි ප්රතිපත්තියක පිහිටා ජනාධිපතිනිය ක්රියා කළේ නම්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනිය සමග උද්වේගකර ගැටුමකට තල්ලු කිරීමට හේතුවී එම දෙපක්ෂය අවබෝධතා ගිවිසුමකින් තොරව එකට වැඩ කරන තත්ත්වයකට තල්ලු වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිනිය අනුගමනය කළ මටසිලුටු ප්රතිපත්තිය නිසා ජනාධිපතිනිය හා මහින්ද අතර ගැටුමක් ඇති නොවීය. ඒ නිසාම මහින්ද හා ජවිපෙ අතර උද්වේගකර එකතුවක් සඳහා වටාපිටාවක් ඇති නොවී ඒ දෙපක්ෂය අතර ප්රතිපත්තිමය එකගතාවක් ඇති කරගත යුතු වටාපිටාවක් ඇති කළේය.
දැන් නැවත මහින්ද ඉන්නේ අවුලකය. ජවිපෙ ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලට එක එල්ලේ “ඔව්” කීවොත් මහින්ද වටා පෙළගැසෙමින් සිටින බලවේගයන්ගෙන් කිසියම් පිරිසක් මහින්දට අහිමි වනවා පමණක් නොවේ එම තත්ත්වය මහින්දගේ ප්රතිරූපයේ ද අලුත් වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇත්තේය. ඒ සමග මහින්ද රාජපක්ෂ මහතා රටට පෙනෙනු ඇත්තේ අන්ත වර්ගවාදි හා ඉතාමත් පසුගාමී ආකල්ප සහිත පුද්ගලයෙකු ලෙසය. ජවිපෙ කොන්දේසිවලට මහින්ද “බැහැ” කීවොත් ජවි පෙරමුණේ සහය ලබාගැනීම පිළිබඳ අර්බුදයකට යන්නට මහින්දට සිදුවන්නේය.
ජනාධිපතිවරණයේදි මහින්ද ජයග්රාහී කරවීම ජවිපෙ ඒකායන අරමුණ වී නම් ජවිපෙ මහින්දට මෙතරම්ම රළු කොන්දේසි ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. කවදත් ජවිපෙට මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොතිබුණි. මහින්ද අවුල් සහගත තත්ත්වයකට තල්ලු කිරීමේ අරමුණින් මේ කොන්දේසි ඉදිරිපත් කළා ද විය හැකිය. මේ සියලු කොන්දේසි තමන් නොපිළිගන්නා බව මහින්ද ප්රකාශ කළහොත් එය අවස්ථාවක් කරගනිමින් මහින්දට පහර දෙන තැනකට පවා ජවිපෙ තල්ලු විය හැකිය.
එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වූයේ මහින්ද හා ජවිපෙ අතර ගැටුමක් නො ව මහින්ද හා ජනාධිපතිනිය අතර ගැටුමකි. එහෙත් මහින්ද හා ජනාධිපතිනිය අතර භේදයක් තිබිය හැකි වුවත්, ගැටුමක් ඇති නොවීය. එහෙත් මහින්ද හා ජවිපෙ අතර ගැටුමක් ඇතිවීමේ ඉඩක් පවතී. ජවිපෙන් ලබාගත හැකි ඡන්ද බලාගෙන ජවිපෙ කොන්දේසි පිළිගන්නා තැනකට මහින්ද ගියහොත් එය මහින්දගේ අවාසියට මිස, වාසියට හේතුවිය නොහැකිය. ඒ ප්රතිපත්ති අදට තබා අසූ ගණන්වලටවත් නොගැළපෙන්නේය. එම යල් පැනගිය ප්රතිපත්ති මහින්ද පිළිගන්නේ නම් සාධාරණව කල්පනා කරන ජනතාව මහින්දට සාපේක්ෂව රනිල් පෙනෙනු ඇත්තේ ප්රතිගාමී නායකයකු ලෙස නොව ඉදිරිගාමී නායකයකු වශයෙනි. මහින්ද කළ යුතුව තිබුණේ ජවිපෙට තමන්ට කෙන්දේසි අටවන්නට ඉඩ නොදි මෙම තීරණාත්මක මොහොතේ තමන්ට ආධාර කරන ලෙස ජවිපෙන් ඉල්ලා සිටීමය. එම ඉල්ලීමට ජවිපෙ කන්නොදෙන තත්ත්වයකින් ක්රියා කළේ නම් ජවිපෙ අනුගාමිකයන්ගෙන් වැඩි කොටසක් මහින්දට ඡන්දය දෙන තත්ත්වයක් ගොඩනගා ගත හැකිවන්නට ඉඩ තිබුණි.
දැන් ජනාධිපතිනිය ඉන්නේ උපාය මාර්ගිකව අඩිය පස්සට ගෙන බලා සිටින තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ මහතා ජයගතහොත් ජනාධිපතිනිය තම උරුමය ලෙස සැලකිය හැකි පක්ෂය මහින්දට භාරදි රට අතහැර යනු ඇති අතර, මහින්ද පරාජය වුවහොත් අලුත් වටිනාකමක් ලැබී තවදුරටත් ශ්රීලනිපයේ සුක්කානම හසුරුවන නායිකාව ලෙස වැජඹීමේ අවස්ථාව ජනාධිපතිනියට ලැබෙනු ඇත්තේය.