විශ්රාම යන ජනාධිපතිනියගේ සේවය ලබාගන්නා ක්රමයක් කෙරෙහි සිය අවධානය යොමුවී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතා සිය මන්ත්රීවරුන්ට ප්රකාශ කර තිබේ.
මෙයින් රනිල් වික්රමසිංහ මහතා අදහස් කරන්නේ රටේ දැවෙන ප්රශ්න විසඳ ගැනීම පිණිස ප්රධාන පක්ෂ දෙක පොදු එකගතාවකින් ක්රියාකිරීමේ අවශ්යතාව ගැන නම් එවැනි වැඩපිළිවෙළක් රටට අවශ්ය බවට වාදයක් තිබිය නො හැකි ය. එහෙත් එයින් අදහස් කරන්නේ කවුරු දිනුවත් මේ පක්ෂ දෙක එකට එකතු වී එක ම ආණ්ඩුවක කොටස්කරුවන් ලෙස ක්රියාකිරීම නම් එය පිළිගත් ප්රජාතන්ත්රවාදි සම්ප්රදායයන්ට පටහැනිය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ආණ්ඩු පක්ෂයක් තිබිය යුතු වා සේ ම විරුද්ධ පක්ෂයක් ද තිබිය යුතු ය. එම ප්රතිපක්ෂ දෙක රටේ මූලික ප්රශ්නවල දී අන්යොන්ය අවබෝධයකින් ක්රියා කළ යුතු බවට ද සැකයක් නැත. රටට පොදුවේ පිළිගත් ජාතික ප්රතිපත්තියක් තිබිය යුතු අතර, කුමන පක්ෂයක් බලයට ආව ද ඉදිරියට ගෙන යායුතු වන්නේ එම ජාතික ප්රතිපත්තියයි. අලුත් ප්රතිසංවිධානයක් සඳහා පොදු එකගතාවක් අවශ්ය නම් නිශ්චිත න්යාය පත්රයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගැනීම වරදක් නැතත්, එය තාවකාලික දෙයක් විය යුතු ය. ප්රධාන විරුද්ධ පක්ෂයට තනතුරු පිරිනමා එම පක්ෂය ආණ්ඩුවේ තනතුරු දරන කොටස්කාර පක්ෂයක් බවට පත් කරගත් විට, ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ තිබිය යුතු සංවරණය හා තුලනය බිඳ වැටෙන්නේය.
විශ්රාම යන ජනාධිපතිවරුන්ට ඇමරිකාව ලබා දෙන විශේෂ ප්රතිපාදන ක්රමයක් ගැන ද එහිදි රනිල් වික්රමසිංහ මහතා කතා කර තිබුණි. ඇමරිකාවේ විශ්රාම යන ජනාධිපතිවරයෙකුට තෝරාගත් මහජන සේවාවක යෙදිමට අවශ්ය ආයතන ක්රමයක් ඇති කරගැනීම සඳහා ඩොලර් මිලියනයක ප්රදානයක් ලබාගත හැකි ය. එය ශ්රී ලංකාවේ මිනුම් දඬු අනුව විශාල මුදලක් වුවත්, ඇමරිකානු මිනුම් දඬු අනුව විශාල මුදලක් නොවේ. අනෙක් අතට ඒ හැරුණ විට ධනවත් ඇමරිකාව පවා විශ්රාම යන ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කරන්නේ නැත. එහෙත් දුප්පත් ශ්රී ලංකාව විශ්රාම යන ජනාධිපතිවරුන් නඩත්තු කෙරෙන්නේ මහජන මුදලිනි. විශ්රාම යන ජනාධිපතිවරුන්ට මහජන මුදලින් නිල නිවසක්, යාන වාහන හා කාර්ය මණ්ඩලයක් ලබාදෙන ක්රමයක් ශ්රී ලංකාවේ ක්රියාත්මක වේ. ඒ සඳහා එක් පුද්ගලයෙකුට වැය කෙරෙන වාර්ෂික වියදම රුපියල් මිලියන 19කි. ඒ සියල්ලට අතිරේකව විශ්රාම යන ජනාධිපතිවරුන්ට මහජන වියදමින් තව තව දේවල් දිමට රනිල් වික්රමසිංහ මහතාට අවශ්ය නම් එය යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය නො හැකි ය. ශ්රී ලංකාවේ රාජ්යය දේශපාලකයන් ගැන ඉතාමත් සංවේ දී ය. එහෙත් මහජනයා ගැන සංවේදි නැත.
අනෙක් අතට 1977න් පසු රාජ්ය නායකත්වයට පත් සියලු ජනාධිපතිවරුන් රාජ්ය නායකත්වයේ සිටියදි සැප සම්පත්වලින් ආඪ්ය විශ්රාම ජීවිතයක් සඳහා අවශ්ය ධනය උපයා ගත්තේ යැයි කිව හැකි ය. මෙතෙක් බලයට පත් කිසිම ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරයෙකු වීම නිසා දුප්පත් වී නැත. ජනාධිපතිකම නිසා පොහොසත් වූ ජනාධිපතිවරුන් තවදුරටත් මහජන මුදලින් නඩත්තු කරන ක්රමයක් සාධාරණ විය නො හැකි ය. ජනාධිපතිකම නිසා දුප්පත් වු ජනාධිපතිවරුන් සිටී නම් එවැනි අය නඩත්තු කරන ක්රමයක් ඇති කළ හැකි ය. එය සාධාරණ ය. එසේ නැතිව ජනාධිපතිකම නිසා පොහොසත් වූ ජනාධිපතිවරුන් විශ්රාම ගිය පසු මහජන මුදලින් නඩත්තු කරන ක්රමයට මහජනයාට පක්ෂවීමේ හැකියාවක් නැත.
අනෙක් අතට විශ්රාම යන ජනාධිපතිවරුන් පරික්ෂාවට ලක් කෙරෙන ක්රමයක් ද රටට තිබිය යුතු ය. ජනාධිපතිවරුන්ට තිබෙන මුක්තිය නිසා ඔවුන් රාජ්ය බලයේ සිටියදි පරික්ෂාවට ලක්වීමක් සිදු නොවේ. එහෙත් ධුර කාලය අවසන්වීමත් සමග ඔවුන්ට ලැබී තිබුණු මුක්තිය ද අවසන් වේ. ඒ මොහොතේ සිටවත් ඔවුන් පරික්ෂාවට ලක්විය යුතු ය. එහෙත් දැන් රටේ පවතින්නේ බලයට පත්වන ජනාධිපතිවරුන් විශ්රාම යන ජනාධිපතිවරුනට ආරක්ෂාව ලබා දෙන ක්රමයකි. ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාට කුමාරතුංග ජනාධිපතිනිය රැකවරණය ලබා දුන්නා ය. ඒ සමාන ආකාරයකින් රනිල් වික්රමසිංහ මහතා ද කුමාරතුංග ජනාධිපතිනියට රැකවරණය ලබාදිමට උනන්දුවක් දක්වන බව පෙනේ. දූෂණයෙන් කුණු වී තිබෙන දේශපාලන ක්රමයේ යහපත් වෙනසකට මුල පිරිමට හැකිවනු ඇත්තේ වැරදි කරන දේශපාලකයින්ට එරෙහිව නීතිය අකුරට ම ක්රියාත්මක කිරිමෙන් මිස, ඔවුන් ආරක්ෂා කිරිමෙන් නො වේ.