ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005දි ද, නැතිනම් 2006 දී ද යන ප්රශ්නයේදි තමා විශාල අර්බුදයකට තල්ලුවීම වළකා ගැනීමට අගවිනිසුරුවරයාට තිබෙන එකම එක මග ජනාධිපතිවරණය 2005 අවසානයේ පැවැත්විය යුතු බව තීන්දු කිරීමය. ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005 දී ද නැතිනම් 2006 දී ද යන ප්රශ්නය මුල් කරගත් අර්බුදයක් නිර්මාණය කළේ ද අගවිනිසුරුවරයාය. එහෙත් අවසානයේදි ජනාධිපතිනියගේ දේශපාලන පැවැත්ම සඳහා තමාගේ පැවැත්ම පරදුවට තබන්නේ ඇයිදැයි කල්පනා කරමින් අගවිනිසුරුවරයා තමාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා තමා විසින් ම නිර්මාණය කළ අර්බුදයට ජනාධිපතිනියගේ දේශපාලන පැවැත්ම බිලි දෙනු ඇත්තේ ය. අවසානයේ ජනාධිපතිනියට තමා හදා වඩාගත් සර්පයා අතින්ම දෂ්ට කිරීමකට ලක්වන්නට සිදුවනු ඇත්තේය.
තීන්දුව 2005 වෙතොත් ජනාධිපතිනියට 2006 තෙක් ධුරයේ රැඳී සිටීමේ සුන්දර සිහිනය අතහැරිමට සිදුවනු ඇත්තේය. ඒ අතරතුර තිබෙන කෙටි කාලය තුළ ජනාධිපතිනියට ද ඇඹරිය හැකි ගුලි ඇත්තේය. ඇයට අවශ්ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. අවශ්ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාට අතිරේකව ධුරයෙන් ඉවත් වී එම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන තත්ත්වයකට ද යා හැකිය. එය සාම්ප්රදායිනුකූලව විශ්රාම යන ජනාධිපතිවරයෙකු නොකළ යුතු දෙයක් වුවත්, එසේ කිරීමට නීතියෙන් බාධාවක් නැත. ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වැඩ බලන ජනාධිපති ධුරයට පත්විය හැකි වනු ඇති අතර, ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට ද වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන්ම තරග කිරීමේ හැකියාව ද ලැබෙනු ඇත්තේය.
ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක හෝ ළග ළග දින දෙකක පවත්වන තත්ත්වයක් ඇති වුවහොත් ජවිපෙට මහින්ද රාජපක්ෂ මහතා සමග සන්ධානයක් ඇති කරගැනීමේ හැකියාව ද අහිමිවනු ඇත්තේය. තමන්ට ලැබී තිබෙන තමන්ගේ තරමට වඩා විශාල පාර්ලිමේන්තු නියෝජනය ආරක්ෂා කරගන්නේ කෙසේද යන ප්රශ්නය ජවිපෙ ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය. පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ලබාගන්නා පොරොන්දුව මත මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරන පිළිවෙතක් මගින් ශ්රීලනිපය සමග අලුතෙන් සන්ධානයක් ඇති කරගනිමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම සන්ධානයේ කොටස්කරුවකු ලෙස තරග කිරිමෙන් තමන්ට ලැබී තිබෙන ආසන සංඛ්යාව එක්තරා විශාල ප්රමාණයකට ආරක්ෂා කරගැනීම ජවිපෙ උපාය මාර්ගය වී තිබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ජවිපෙට එම වැඩපිළිවෙළ ඊට ගැළපෙන ලෙස වෙනස් කරගැනීමට සිදුවනු ඇත්තේය. එවිට මැතිවරණයට තරග කරන්නට සිදුවනු ඇත්තේ තනිවමය. පාර්ලිමේන්තු මැතිවරණය සමග ජනාධිපතිවරණය ද පැවැත්වේ නම්, තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ වෙනම පාර්ලිමේන්තුවට තරග කරන අතර, පොදු අපේක්ෂක ලෙස සලකා මහින්දට ආධාර කරන ක්රමයක් සොයාගැනීමට ඔවුන්ට සිදුවනු ඇත්තේය.
ජනාධිපතිවරණයෙන් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් ශ්රීලනිපට වාසි සහගත වනු ඇත්තේ ජනාධිපතිවරණය ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වේ නම් පමණය. රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණයෙන් අවසන් වන ජනාධිපතිවරණයකින් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් වාසිදායක වනු ඇත්තේ ශ්රීලනිපයට නොව එජාපයටය. එහෙත් ජනාධිපතිවරණයකට පෙර හෝ ජනාධිපතිවරණයත් සමග එකට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් පරාජිත ජනාධිපතිවරණයකින් පසුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ශ්රීලනිපයට වාසිදායකය. සන්ධානය බිඳ වැටී තිබෙන තත්ත්වය තුළ එවැනි මැතිවරණයක් ජයගැනීම අමාරු වියහැකි වුවත්, දැන් ශ්රීලනිපයට තිබෙන ආසන සංඛ්යාවට වැඩි ආසන සංඛ්යාවක් ඇති පාර්ලිමේන්තුවක් දිනාගැනීමට ඔවුන් සමත් වනු ඇත්තේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට ජයග්රහණය ලබාදෙන පාර්ලිමේන්තු මැතිවරණයකට පසුව පවත්වන ජනාධිපතිවරණයක් කවර මට්ටමකින්වත් මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවන්නේ නැත.
සිදුවිය යුතුව තිබුණේ ජනාධිපතිනිය ජනාධිපති ධුරයෙන් පමණක් නොව, පක්ෂ නායකත්වයෙන් ද විශ්රාම ගනිමින් ශ්රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට භාර කිරීමය. එය එසේ වූයේ නම් ජනාධිපතිවරණය ජයගතහොත් රටේ ජනාධිපති වීමට ද එසේ නොවෙතොත්, විපක්ෂ නායකත්වය හිමිවීමට ද ඉඩ තිබුණේය. එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්රාම ගැනීමෙන් පසුත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට අර අඳිමින් සිටින තත්ත්වයක් තුළ එම පක්ෂය තුළ නැති අවුල් ඇතිවී අවසානයේ එය නැවත කැබලි වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉදිරියේදි සිය හිතට එකගව මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකිය. මහින්ද ජනාධිපති කොට පක්ෂ නායකත්වය තමා අතේ තබාගැනීමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සහතික කිරීමට හේතුවන ලෙස ක්රියාකිරීමට ඇයට බල කෙරෙනු ඇත්තේය.
මෙම මැතිවරණයේදි බිහිසුණුම උරගා බැලීමට ලක් කෙරෙනු ඇත්තේ ජවිපෙයයි. එම පක්ෂය ශ්රීලනිපය සමග සන්ධාන ගතවීම නිසා තමන්ට තිබුණු ආසන 16 ආසන 39 දක්වා වර්ධනය කරගැනීමට හැකිවූ අතර, බලය ලබාගැනීමක් දක්වා ඉදිරියට යන විකල්ප ව්යාපාරයක් ලෙස පෙනී සිටීමේ හැකියාව ලබාගත්තේය. එහෙත් තනිව තරග කරන තත්ත්වයක් තුළ ආසන 39 තබා ඊට පෙර සිටි ආසන 16ක තත්ත්වයවත් රැකගැනීමට හැකිවේද යන්න සැකසහිතය. ඔවුන්ගේ නියෝජනයේ ශීඝ්ර බිඳ වැටීමක් ඇතිවුවහොත් එම තත්ත්වය පෙරළා ඔවුන්ගේ අනාගතය කෙරෙහි බලපානු නොවැළැක්විය හැකිය. සම්ප්රදායික වාමාංශික පක්ෂ ද සිය දේශපාලන ජීවිතයේ එක්තරා අවස්ථාවකදි රාජ්ය බලය දිනාගැනීම දක්වා ඉදිරියට යෑමේ හැකියාවක් ඇති බලවේගයන් ලෙසින් පෙනෙන්නට තිබුණේය. එහෙත් පසුකලක එම තත්ත්වය ගිලිහී එක්තරා ප්රමාණයක පාර්ලිමේන්තු නියෝජනයකින් ඔබ්බට යා නොහැකි බලවේගයක් දක්වා පිරිහිණි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගමන් ගනිමින් තිබෙන බව පෙනෙන්නේ ද එම දිසාවටය.
ශ්රි ලංකාව දේශපාලන ප්රචණ්ඩත්වයේ විෂම චක්රයට හසුවී පිරිහී සිටින රටක් බවට පත්ව තිබේ. දේශපාලන ප්රචණ්ඩත්වය නිසා මෙතෙක් ගලා ගොස් තිබෙන ලේ කන්දරාව අතිවිශාල ය. විසි අවුරුද්දකට තරමක් වැඩි කාලයක් තුළ ඒ නිසා මරණයට පත්ව ඇති සංඛ්යාව ලක්ෂයකටත් වැඩිවිය හැකි ය. ඒ නමුත් දේශපාලන ප්රචණ්ඩත්වය නිසා සිදුවන ලේ ගැලීම නතර කරගැනීමට ශ්රී ලංකාව සමත් වී නැත.
සටන් විරාම ගිවිසුම නිසා යුද්ධ නො කරන තත්ත්වයක් දිනාගැනීමට හැකිවී ඇතත්, එල්ටීටීඊ හා එල්ටීටීඊ විරෝධී සන්නද්ධ කණ්ඩායම් අතර කෙරෙන සීතල යුද්ධය අවසන් වී නැත. දින දෙක තුනකට වරක් වත් මේ සීතල යුද්ධය නිසා පුද්ගලයින් කිහිපදෙනෙක් ඝාතනයට ලක්වෙති. 31 වැනිදා වාලච්චේනයට අයත් ප්රදේශයක දී එල්ල වූ පහරදිම් නිසා හමුදා සෙබළුන් සිව් දෙනෙක් ද පොලිස් කොස්තාපල්වරයෙක් ද තුවාල ලැබූහ. 29 වැනිදා කොළඹ සුදරෝලි පුවත්පත් කාර්යාලයට එල්ල වූ ප්රහාරය නිසා එක් පුද්ගලයෙක් මිය ගියේ ය. ඊට දින දෙකකට පෙර එල්ටීටීඊ පාලන ප්රදේශ ලෙස සැලකිය හැකි පලෙයිවලදි එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති අතර, 18 වැනිදා නැගෙනහිර ප්රදේශයේ දී එල්ල වූ ප්රහාරයකින් එල්ටීටීඊ සාමාජිකයන් 5 දෙනෙකු මරණයට පත්වූ බව වාර්තා විය. 13 වැනිදා ජනමාධ්යවේදිනී රෙයලංගි සෙල්වරාජා මහත්මිය හා ඇගේ ස්වාමි පුරුෂයා කොළඹ දී වෙඩි තබා මරා දමන ලද අතර, එදින රාත්රී විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඝාතනයට ලක්විය.
සහජීවන පදනමේ තත්ත්ව වාර්තාවක එන තොරතුරු අනුව 2005 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පමණක් නැගෙනහිර පළාතේ දේශපාලන හේතු මත සිදුවී ඇති මනුෂ්ය ඝාතන සංඛ්යාව 138 කි. එයින් ඝාතන 102 ක් ම සිදුවී ඇත්තේ මඩකලපුව දිස්ත්රික්කයේ ය. අම්පාර දිස්ත්රික්කයේ 22 ක් ද, ත්රිකුණාමල දිස්ත්රික්කයේ 14 ක් ද වේ.
ඝාතනයට ලක්වූවන්ගෙන් 29 ක් එල්ටීටීඊ සාමාජිකයන් ලෙස ද, 17 ක් යුද හමුදා සාමාජිකයන් ලෙස ද, 13 ක් කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් ලෙස ද, 56 ක් සිවිල් වැසියන් ලෙස ද, දෙදෙනෙක් ඔත්තුකරුවන් ලෙස ද, 17 ක් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් ලෙස ද හඳුනා ගෙන තිබේ.
මෙය නොකඩවා වර්ධනය වෙමින් පවතින බිහිසුණු ප්රවණතාවක් ලෙස පෙනෙන්නට ඇතත්, මේ තත්ත්වය වැළකීම කෙරෙහි බලධාරින්ගේ අවධානය නිසි ලෙස යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒවා එදිනෙදා සිදුවන සාමාන්ය සිදුවීම් ලෙස සලකා ක්රියාකරන බවක් පෙනෙන්නට තිබේ.
රාජ්යයට අතිරේකව රාජ්ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් පවතින රටක මෙවැනි සිදුවීම් ඇතිවීම නො වැළැක්විය හැකි වුවත්, මේ තත්ත්වය ජයගැනීම සඳහා අවබෝධයකින් හා උනන්දුවකින් ක්රියාකිරීම පාලකයින් වෙත පැවරෙන වගකීමකි.
එල්ටීටීඊය සිය දේශපාලන සතුරන්ගේ ජීවිත රහසේ බිලිගනිමින් තිබෙනවා සේ ම එල්ටීටීඊ විරෝධී සන්නද්ධ කණ්ඩායම් ද එල්ටීටීඊ වාදින්ගේ ජීවිත රහසේ බිලිගනිමින් පවතී. එල්ටීටීඊ විරෝධී සන්නද්ධ කණ්ඩායම්වල ක්රියාකාරකම්වලට ආණ්ඩුවේ හමුදා ආධාර කරන බවට එල්ටීටීඊය චෝදනා කරන තත්ත්වයක් ද පවතී.
රටේ සිදුවන මනුෂ්ය ඝාතන නො සලකා ජනාධිපතිවරණය කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නො හැකි ය. ජනාධිපතිවරණය පවත්වන අතර රටේ සිදුවන මනුෂ්ය ඝාතන පාලනය කිරීමේ අවශ්යතාව කෙරෙහි ද අවධානය යොමුවිය යුතු ය. මේ තත්ත්වය මුළුමණින් නො සලකා ක්රියාකරන තත්ත්වයක් ජනාධිපතිවරණය කෙරෙහි පවා විනාශකාරි ප්රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි අතර, විය යුතුව තිබෙන හොඳ ම දේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා එකට එකතු වී සාමකාමී තත්ත්වයක් සහතික කිරීම සඳහා පොදු එකගතාවකින් මැදිහත්වීම ය. එවැනි ක්රියාමාර්ගයක් වෙත යොමුවිය හැකි නම්, ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා එකට එකතු වී ආරම්භ කරන වැඩසටහන ජයග්රාහී ජනාධිපතිවරයාට පරාජිතයාගේ ආශිර්වාදය ඇතිව අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි වන අතර, දකුණේ ප්රධාන දේශපාලන බලවේග දෙක අතර කෙරෙන ජනාධිපති සටන වෛරයෙන් තොර ව ඉදිරියට ගෙන යෑමේ හැකියාව ද ලැබෙනු ඇත්තේ ය.