දාර්ශනික මාක්ස් හා දේශපාලනික මාක්ස්

July 3, 2005
Publication:
A reply to Sumanasiri, who holds that Marx the philosopher is not dead. Ivan grants that the world Marx hoped for is more beautiful than liberal democracy, but separates the philosopher from the politician. Drawing on Dmitri Volkogonov's biographies of Lenin, Trotsky and Stalin, drawn from the opened Soviet archives, he argues that attempts to build Marx's world produced tyranny, likens Pol Pot, Wijeweera and Prabhakaran to those figures, and concludes that capitalism cannot be replaced and must be reformed through liberal democracy, his preferred model being Gandhi's India.

දාර්ශනික අර්ථයෙන් මාක්ස් මරණයට පත්වී ඇති බව සුමනසිරි පිළිගන්නේ නැත. වැරදිලාවත් එසේ වී ඇත්නම්, ඔහු මළවුන්ගෙන් නැගිටිනු ඇති බව සුමනසිරිගේ අපේක්ෂාව වී ඇති බව ද පෙනේ.

මාක්ස් අපේක්ෂා කළ ලෝකය නිසැක වශයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයට වඩා ලස්සන බව මම ද පිළිගනිමි. එය සූරාකෑමෙන් ද, විෂමතාවන්ගෙන් ද, අගතියෙන් හා දූෂණයෙන් ද තොරය. මාක්ස්ගේ එම කාල්පනික ලෝකයට වඩා මහ පොළොවේ තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකය අවලස්සනය. අපිරිසිදුය. එය සූරාකෑමෙන් ද, පන්ති විෂමතාවන්ගෙන් ද, අගතියෙන් හා දූෂණයෙන් ද යුතුය. මාක්ස්ගේ කාල්පනික ලෝකය කෙරෙහි විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන සිටි පුද්ගලයෙකුට පවතින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයෙන් තෘප්තිමත් වීම අමාරුය. සුමනසිරිට සිදුවී තිබෙන්නේ ද එයයි.

මාක්ස් දාර්ශනිකයෙකු වනවාට අතිරේකව දේශපාලකයෙක් ද වූයේය. ඔහු සන්සුන් මනසකින් යුතුව ලෝකය විග්‍රහ කරන දාර්ශනිකයකු වනවාට අතිරේකව තමාගේ වන දේශපාලන දහමක් වෙනුවෙන් උද්යෝගිමත් ලෙස හා හැගීම්බරව පෙනී සිටි දේශපාලකයක් ද වූයේය. ඔහු ධනේශ්වර ක්‍රමයේ චලනය හා ගති ලක්ෂණ විග්‍රහ කිරිමෙන් නොනැවතී ඒ තුළ පවත්නා පරස්පරතා තුළ තමා අපේක්ෂා කරන ලෝකය උපදින බව ද විශ්වාස කළේය. එහෙත් ධනේශ්වර ක්‍රමය පදනම් කොටගන්නා වූ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය පැවති වැඩවසම් නිෂ්පාදන ක්‍රමයේ තර්කානුකූල ඵලයක් වූවා මිස, ධනේශ්වර ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් පිරිසකගේ නිර්මාණයක් නොවීය. මාක්ස්ගේ සමාජවාදි හෝ කොමියුනිස්ට්වාදි නිෂ්පාදන ක්‍රමය ධනේශ්වර ක්‍රමයේ තර්කානුකූල ඵලයක් නොවීය. එය හැගීම්බර මිනිසුන් පිරිසක් විසින් මාක්ස්ගේ ඉගැන්වීම් මත පිහිටා කෘත්‍රිම හා බලහත්කාරි ආකාරයකින් ගොඩනගන්නට උත්සාහ දරන ලද නිෂ්පාදන ක්‍රමයක් විය. එසේ ගොඩනගන ලද නිෂ්පාදන ක්‍රමය බිඳ වැටෙන්නේ ද එහි උප්පත්තියට ආවේණික එම කෘත්‍රිම බවේම ප්‍රතිඵලයක් වශයෙනි.

මාක්ස්ගේ සමාජවාදි ලෝකය ඔහු ඒ ගැන ලියා තිබෙන දේවලට සීමාවී බලන තාක් කල් එය සොඳුරුය. විෂමතාවන්ගෙන් තොරය. එහෙත් එය මහ පොළොවේ කෘත්‍රිම ලෙස හෝ පිහිටුවන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන තාවකාලික සුන්දර ලෝකයක් ලෙස සැලකිය නොහැකිය. එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයට ආවේණික නරක හා නපුරු ගතිලක්ෂණවලටත් වඩා නරක හා නපුරු ගති ලක්ෂණවලින් යුතු අවලස්සන ලෝකයක් ලෙස සැලකිය හැකිය. ඒ ලෝකය තුළ ද ජෝර්ජ් බුෂ් වැනි කෘර හා අවලස්සන පාලකයෝ සිටියහ.

ඔක්තෝබර් විප්ලවය සමාජවාදි ලෝකයක් අපේක්ෂා කළ ජනතාව අතර මහත් ආශ්වාදයක් ඇති කිරීමට හේතුවූ සංසිද්ධියක් වූ බව අපි දනිමු. එය ආශ්වාදයේ ගිනිදලු දශක ගණනාවක් යන තෙක්ම පැවැතියේය. ඇත්තටම එහි සිදුවූයේ කුමක්ද, සිදුවෙමින් තිබුණේ කුමක්ද යන්න තර්කානුකූලව තේරුම් ගත හැකි වටපිටාවක් ලෝකයේ නොතිබුණි. ඒ ගැන පොත් පත් රාශියක් ලියා පළවී තිබුණත්, ඒවා විශ්වසනීය තොරතුරු වලින් තොරවිය. විවේචනාත්මක විශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු යම් පමණකට හෝ ඇතුළත්ව තිබුණේ ට්‍රොට්ස්කි, ඊ.එච්. කාර් සහ අයිසැක් ඩොයිෂ්චර් වැනි විචාරකයින් කිහිප දෙනෙකු විසින් ලියන ලද පොත්පත්වල පමණය. ඔක්තෝබර් විප්ලවයේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට ලෝකයට අවස්ථාවක් ලැබුණේ මේ මෑතකදි (1994දි) ඔක්තෝබර් විප්ලවයේ එන ප්‍රධාන චරිත තුන අළලා Dimitiry Volkogonov විසින් ලියන ලද පොත් තුන පළවීමෙන් පසුවය.

වොල්ගනොව් වෘත්තීය සොල්දාදුවෙකි. ඔහු බේ‍රෂ්නෙව් ගේ පාලන යුගයේදි යුද්ධ හමුදා අධ්‍යාපන අංශයේ ප්‍රධානියා විය. ඉන්පසු මොස්කව්හි සෝවියට් හමුදා ඉතිහාසය පිළිබඳ ආයතනයේ ප්‍රධානියා විය. එහි සිටියදි ඔහු සෝවියට් හමුදාවේ ඉතිහාසය අළලා ලියන ලද කෘතියක් සෝවියට් හමුදා බලධාරීන්ගේ උදහසට හේතුවීම නිසා ඔහුට එම තනතුර අත්හැර යන්නට සිදුවිය. 1990 ඇතිවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ඔහු ජනාධිපති යෙල්ට්සින්ගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා බවට ද රුසියානු රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රධානියා බවට ද පත්විය.

වොල්ගනොව් ප්‍රකාශ කර තිබෙන ආකාරයට රුසියානු රාජ්‍ය ලේඛනාගාරය තුළ ආරක්ෂිතව තැන්පත් කොට තිබී ඇති කිසිවකුටත් පරික්ෂා කිරීමට අවසර නැති ඔක්තෝබර් විප්ලවය හා එය ඇති කළ පාලනයට අදාළ රහස්‍ය ලේඛන සංඛ්‍යාව අතිවිශාලය. ඒ අතර ඔක්තෝබර් විප්ලවයේ දැවැන්තම චරිත තුන ලෙස සැලකිය හැකි ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටැලින් යන තිදෙනාට අදාළ ලේඛන රාශියක් ද අයත්ය. එම එකතුව ඇතුළත් ලෙනින්ගේ නොපළ සටහන් සංඛ්‍යාව 3724කි. ඊට අතිරේකව ලෙනින් විසින් කරන ලද අත්සන් සහිත සටහන් 3000කට ආසන්න සංඛ්‍යාවක් ද එහි ඇත්තේය. මොස්කව්හි ඉතිහාසය පිළිබඳ හමුදා ඇකඩමියේ ප්‍රධානියා වශයෙන් ද ඉන්පසු රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රධානියා වශයෙන් ද ඔක්තෝබර් විප්ලවය හා එය ඇති කළ පාලනයට අදාළ රහස්‍ය ලේඛන අතිවිශාල සංඛ්‍යාවක් පරික්ෂා කිරීමේ දුලබ අවස්ථාව ඔහුට හිමිවී තිබුණේය.

ඔහු ඔක්තෝබර් විප්ලවයේ ප්‍රධාන චරිත තුන ලෙස සැලකිය හැකි ලෙනින්, ට්‍රොට්ස්කි හා ස්ටැලින් ගැන ලියන්නට අදහස් කොට ඔවුන් ඒ අතරින් පළමුවෙන්ම ලියන්නට තෝරාගත්තේ ස්ටැලින් ගැනය. පළමු කෘතිය සඳහා ස්ටැලින් තෝරාගත්තේ ඔහු ස්ටැලින් ගැන කුමක් ලියා පළ කළ ද පාලන අධිකාරිය ඒ ගැන කලබල නොවනු ඇතැයි යන විශ්වාසය මත පිහිටාය. ස්ටැලින් පිළිබඳව ඔහු විසින් ලියන ලද කෘතිය Stalin: Trumph and Tragedy නමින් 1990දි රුසියන් බසින් පළවූ අතර, එම පොතට ඔහු බලපාරොත්තු නොවූ තරම් විශාල අලෙවියක් හිමි කරගැනීමට සමත් විය. ඉන්පසු 1992දි ට්‍රොට්ස්කි පිළිබඳව Trotsky : The Eternal Revolutionary නමැති කෘතිය පළ කරන ලද අතර, එහි රුසියාව තුළ අලෙවි වී ඇති පිටපත් සංඛ්‍යාව දශ ලක්ෂයකි. රුසියන් විප්ලවයේ අපොස්තුලුවරයා ලෙස සැලකෙන ලෙනින් ගැන Lenin: Life and Leagacy යන කෘතිය පළකරන ලද්දේ 1993දිය. එය රුසියාව තුළ පසුගිය දශකය තුළ වඩාත්ම ආන්දෝලනයට හේතුවූ කෘතිය ලෙස සැලකේ.

මෙම කෘති තුනම Harold Shukman විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලන්ඩනයේ Harper Collins සමාගම විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. වොල්ගනොව් මෙම කෘති තුන ආශ්‍රයෙන් ඔක්තෝබර් විප්ලවය හා එම විප්ලවය විසින් ඇති කළ සෝවියට් පාලනය ගැන අලුත්ම චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කර ඇත්තේය. එම චිත්‍රය සඳහා ඔහු මූලාශ්‍ර වශයෙන් උපයෝගී කොටගෙන ඇත්තේ රාජ්‍ය ලේඛනාගාරයේ ඇති රහස්‍ය ලිපි ලේඛනය. සාර් රජු ලෙස සැලකුණු 11 වැනි නිකලස් රජු හා කුඩා දරුවන් ඇතුළු එම රජ පවුලේ සියලු දෙනා මරා දමන ලද ආකාරය පිළිබඳ සිත් කම්පා කරවන විස්තරයක් ද ඊට ඇතුළත්ය. වොල්ගනොව්ට අනුව එම සාහසික මනුෂ්‍ය ඝාතනයට අණ දී තිබෙන්නේ ලෙනින්ය.

මෙම කෘති තුන කියවූ විට මා තුළ ඇතිවූ හැගීම වනුයේ පොල්පොට්, විජේවීර හා ප්‍රභාකරන් වැනි චරත ලෙනින්, ට්‍රොට්ස්කි හා ස්ටාලින් යන චරිතවලට වෙනස් වනුයේ ප්‍රමාණයෙන් මිස, ගුණයෙන් නොවන බවය. දාර්ශනික ගැඹුරක් නැති, ලොකු උගත්කමක් නැති නායකයින් සිය අරමුණු ජයගැනීම සඳහා ප්‍රසිද්ධියේ මිනීමරන විට දාර්ශනික ගැඹුරක් ඇති උගත් නායකයින් ඒ දේම තිර රෙදිවලට මුවාවී වඩා සංස්කෘතික ආකාරයකින් සිදුකර තිබෙන බව පෙනේ.

සමාජ, දේශපාලන ක්‍රමයක පදනම ලෙස ක්‍රියාකරන්නේ නිෂ්පාදන ක්‍රමය නම්, සමාජ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා නිෂ්පාදන ක්‍රමය වෙනස් කිරීම අත්‍යාවශ්‍ය වේ. නිෂ්පාදන ක්‍රමයක් යනු පරමාදර්ශ අරමුණු ඇති හැගීම්බර මිනිසුන් පිරිසකට එකට එකතු වී වෙනස් කළ හැකි දෙයක් නම් තිබෙන නිෂ්පාදන ක්‍රමය අහෝසි කොට වඩා හොඳ නිෂ්පාදන ක්‍රමයක් ඇති කරගැනීම සඳහා වෙර දැරිම සාධාරණය. එහෙත් නිෂ්පාදන ක්‍රමයක් යනු එවැනි මිනිසුන් පිරිසකට වෙනස් කළ නොහැකි දෙයක් නම් වෙනස් කළ නොහැකි නිෂ්පාදන ක්‍රමයක් වෙනස් කිරීමට දරන උත්සාහයන් ඇති කරන ප්‍රතිඵලය විනාශකාරි වීම නොවැළැක්විය හැකිය.

මගේ මතය අනුව පවතින ධනේශ්වර ක්‍රමය අවලස්සන අංගවලින් යුතු වුවත් එම නිෂ්පාදන ක්‍රමය මුළුමනින් වෙනස් කිරීමේ හැකියාවක් මනුෂ්‍යයාට නැත. ඒ නිසා අප තෝරාගත යුතුව තිබෙන්නේ එම ක්‍රමය තුළ තිබෙන යහපත් ලක්ෂණවලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නා අතර, අයහපත් ලක්ෂණවලින් ඇතිවන හානිය අවම කරන ප්‍රතිසංස්කරණ නිෂ්ඨාවකි. එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලකිය හැකිය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ආදර්ශ මාදිලියක් තෝරා ගැනීමේදි ඇමරිකාව, බ්‍රිතාන්‍යය හෝ ඕස්ට්‍රේලියාව ඒ සඳහා ඇති හොඳම ආදර්ශ මාදිලි ලෙස සැලකිය නොහැකිය. මා වඩාත්ම කැමති ආදර්ශ මාදිලිය වනුයේ ගාන්ධිගේ ඉන්දියාවය. ඒ ගැන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.