ජනතා විමුක්ති පෙරමුණට තවදුරටත් සන්ධානය තුළ රැඳී සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවුයේ තමන් විසින් ඇති කරගත් වැරදි තක්සේරුවක් මත කරන ලද ප්රසිද්ධ ප්රකාශයක් නිසාය.
ජවිපෙ එකවිට ශ්රීලනිප සමග ද හෙළ උරුමය සමග ද තරග කළේය. පොදු යාන්ත්රණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු පෙරමුණ අඛණ්ඩ උපවාසයක්” ප්රකාශ කිරිමෙන් පසුව ඒ අරමුණ වෙනුවෙන්ම හෙළ උරුමය ද දළදා මාලිගාවේ “මාරාන්තික උපවාසයක්” ආරම්භ කිරීම නිසා ඇතිවී වර්ධනය වෙමින් තිබුණු සංකීර්ණ තත්ත්වය නිවැරදි ලෙස තක්සේරු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් විය. මාරාන්තික උපවාසයේ යෙදි සිටි සෝභිත හිමිගේ සෞඛ්ය තත්ත්වය නරක අතට හැරිම, ත්රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිනියට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්නට යන බව ප්රකාශ වීම යන කාරණා ආශ්රයෙන් මතුවී තිබුණු උද්වේගකර තත්ත්වය හමුවේ ජනාධිපතිනිය අනිවාර්යයෙන් ඒකාබද්ධ යාන්ත්රණය හකුළවා ගනු ඇත යන්න ජනතා විමුක්ති පෙරමුණේ තක්සේරුව විය. එය එසේ වෙතොත්, එහි සම්පූර්ණ ගෞරවය හෙළ උරුමයට යන නිසා එම තත්ත්වය වැළක්වීම පිණිස ජවිපෙ කළේ ජනාධිපතිනිය ඒකාබද්ධ යාන්ත්රණය 15 වැනිදා මධ්යම රාත්රියට පෙර ඉල්ලා අස් නොකර ගතහොත් තම පක්ෂය 16 වැනිදා සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්රකාශ කිරීමය. සෝමවංශ අමරසිංහ පක්ෂය වෙනුවෙන් මෙම ප්රකාශය කළේ 10 වැනිදාය
මීට අතිරේකව මෙය ජනතා විමුක්ති පෙරමුණට සිදුවූ ලොකුම වැරදිමක් ලෙස සැලකිය හැකිය. එය එම පක්ෂයේ දේශපාලන අපරිනතභාවය පෙන්නුම් කරන හොඳම නිදර්ශනයක් ලෙස ද සැලකිය හැකිය. ඔවුන්ගේ තක්සේරුව වී තිබුණේ සෝභිත හිමිගේ සෞඛ්ය මට්ටම පිරිහී අභාවයට පත්වන්නට යන තත්ත්වයක් තුළ භික්ෂූන් වහන්සේලා අතර මතුවෙමින් තිබුණ නොසන්සුන්තාව ඉදිරියේ තත්ත්වය සමනය කිරීම පිණිස ජනාධිපතිනිය අනිවාර්යයෙන් ඒකාබද්ධ යාන්ත්රණය ඉවත් කරගනු ඇති බවය. ඒ ගෞරවය මුළුමනින් හෙළ උරුමය අතට පත්වීම වැළක්වීම සඳහා මෙවැනි ප්රකාශයක් කිරීම අත්යාවශ්ය වේ යැයි ඔවුන් විශ්වාස කළේය.
එහෙත් ජනාධිපතිනිය මෙම ප්රශ්නයට මුහුණ දුන්නේ ශූර රාජ්යතාන්තිකයෙකු ලෙසය. ඇය මහ නාහිමිවරුන් තමන් වෙත ගෙන්වා ගෙන සත්යග්රහය අවසන් කිරීමට සෝභිත හිමියන් එකග කරවා ගැනීමට උන්වහන්සේලා කැමති කරවා ගැනීමට සමත් වූවාය. යාන්ත්රණයට අත්සන් නොතබන බවට සහතිකයක් ජනාධිපතිනිය නාහිමිවරුන්ට දුන්නේ නැත. සෝභිත හිමි සත්යග්රහය අත් නොහරින්නේ නම්, ඒ හිමියන් පොලිසිය ලවා ඉවත් කිරීමට අවශ්ය උසාවි නියෝගයක් ද ලබාගෙන තිබුණි. සෝභිත හිමියන් සත්යග්රහය අත්හැරිමට එකගවීම නිසා උසාවි නියෝගයට අනුකූලව ක්රියාකිරීමේ අවශ්යතාවක් ඇති නොවීය.
මීට අතිරේකව ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සමස්ත වැඩපිළිවෙළ ගැන ඇති කරගෙන තිබූ තක්සේරුව අඳබාල බව කිව යුතුය. තමන්ගේ මන්ත්රීවරුන් 39 දෙනාට ලැබී තිබුණු තීරණාත්මක වැදගත්කම නිසා තමන්ට එරෙහිව දැඩි ප්රතිපත්තියක පිහිටා ක්රියාකිරීමට ශ්රීලනිප මන්ත්රීවරුන් ජනාධිපතිනියට ඉඩ නොදෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි. අනෙක් අතට ඒකාබද්ධ යාන්ත්රණයට එරෙහිව තමන් ගෙනයමින් තිබෙන වැඩපිළිවෙළට ෆේරීයල් අෂ්රෆ් ඇතුළු නැගෙනහිර මුස්ලිම් මන්ත්රීවරුන්ගේ ද සහාය ලැබෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය විය.
ජවිපෙන් එල්ල වන විරෝධය නොසලකා පොදු යාන්ත්රණයට අත්සන් තැබීමට ජනාධිපතිනියට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගත් විශේෂ තරහක් නිසා නොව, ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙනයෑමට අවශ්ය මුදල් ලබාගැනීම සඳහා එසේ කිරීම අත්යාවශ්ය වී තිබුණු නිසාය. එතෙක් රටේ දෛනික කටයුතු ගැටගසා ගනිමින් තිබුණේ දේශීය වශයෙන් ලබාගන්නා ණයවලිනි. මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් එම ආයතනවලට ඔරොත්තු නොදෙන තරම් විශාල ණය මුදලක් ආණ්ඩුව ලබාගෙන තිබුණේය.
ආණ්ඩුව පවත්වාගෙන යෑමට ආධාර අවශ්ය බවටත්, ආධාර ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත්තේ පොදු යාන්ත්රණයට අත්සන් තැබීමෙන් පමණක් බවත්, ජනාධිපතිනියගේ තර්කය වූ අතර, ජනාධිපතිනියගේ තර්කය අවලංගු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හා මංගල සමරවීර වැනි අය ශ්රීලනිප මන්ත්රීවරුන්ට ඉදිරිපත් කළ ප්රති තර්කය වූයේ විදේශ ආධාර ලබාගැනීමට පොදු යාන්ත්රණයට අත්සන් තැබීම අත්යාවශ්ය නොවන බවත්, එවැන්නක් නැතිව වුවත් එම ආධාර රටට ලැබෙන බවත්ය. මෙම තර්කය සනාථ කිරීම සඳහා ඔවුන් ප්රධාන සාක්ෂිකරුවා ලෙස යොදාගෙන තිබුණේ භාණ්ඩාගාරයේ ලේකම්වරයාය. රටේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට අවශ්ය මුදල් නැති තත්ත්වයක් තිබියදිත් භාණ්ඩාගාර ලේකම්වරයා ජවිපෙ හා මංගලගේ තර්කය සනාථ කරන බලවත් සාක්ෂිකරුවකු ලෙස ක්රියාකරමින් සිටියේය. එම තත්ත්වය ඉදිරියේ බොහෝ මන්ත්රීවරුන් මුදල් නැතැයි කියන ජනාධිපතිනියගේ තර්කය පිළිගත්තේ නැත.
මෙම මහා අර්බුදයට භාණ්ඩාගාර ලේකම්වරයා ද ගැට ගැසී ඇති බව ජනාධිපතිනිය දැනගත්තේ පසුගිය සතිය අවසානයේදි මුස්ලිම් මන්ත්රීවරුන් කැඳවා කරන ලද සාකච්ඡාවේදිය. පොදු යාන්ත්රණයට අත්සන් තැබීමෙන් තොරව ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්ය ආධාර ලබාගැනීමේ හැකියාවක් නැති බව ජනාධිපතිනිය පෙන්වා දුන් විට එය එසේ නොවන බවට හුසේන් බයිලා මහතා තර්ක කළේය. අවසානයේදි භාණ්ඩාගාර ලේකම්වරයා තමන් සමග පළකළ මතය ප්රකාශ කිරීමට ඒ මහතාට සිදුවිය.
ආණ්ඩුව ග්රහණයට ගැනීමේ ජවිපෙ වැඩපිළිවෙළ තමන් හිතනවාටත් වඩා දුරදිග ගොස් ඇති බව හා ඒ ප්රවණතාව භාණ්ඩාගාරය ද යම් පමණකට ආක්රමණය කර තිබෙන බව ජනාධිපතිනිය දැනගත්තේ එදාය. භාණ්ඩාගාරයේ තිබෙන ඇත්ත තත්ත්වය ජනාධිපතිනිය දැන සිටි නිසා එම තත්ත්වය මුස්ලිම් මන්ත්රීවරුන්ට පැහැදිලි කර දී ඔවුන් සියලු දෙනා තමාට සහාය දෙන තැනකට ගැනීමට ජනාධිපතිනිය සමත් විය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව ද ජනතා විමුක්ති පෙරමුණ ඇති කරගෙන තිබුණු තක්සේරුව වැරදිය. මේ අර්බුදයේදි මහින්ද රාජපක්ෂ මහතා අතරමැදි බේරුම්කරුවකු ලෙස යොදාගනිමින් ජනාධිපතිනිය හා අගමැති අතර තමන්ට වාසිදායක ගැටුමක් නිර්මාණය කරගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් බේරුම්කරුවකු ලෙස ක්රියාකරන ලෙසට අගමැති වෙත කරන ලද ඉල්ලීම අගමැතිවරයා ප්රතික්ෂේප කළේය. විධායක බලතල ඇති ජනාධිපතිනිය සමග ගැටුම් ඇති කරගන්නා තත්ත්වයකට යෑමේ හැකියාවක් තමන්ට නැති බව අගමැතිවරයා ඔවුන්ට ප්රකාශ කළේය.
දැන් ශ්රීලනිප මුළුමනින් පාලනය කරන තත්ත්වයක් දිනාගැනීමට ජනාධිපතිනිය සමත් වී සිටී. ජනාධිපතිනිය පක්ෂ නායකත්වය අත් නොහරින බව ශ්රීලනිප මන්ත්රීවරුන් සියලු දෙනා දනිති. ඒ නිසා ඔවුන් කිසිවෙක් ජනතා විමුක්ති පෙරමුණේ ආරක්ෂාව සඳහා පෙරට එන්නේ නැත. අනුර බණ්ඩාරනායක මහතා පවා ජවිපෙ සමග පවත්වාගෙන ගිය ප්රේමය අතහැර ඔවුන්ට පහර දෙන තත්ත්වයකට තල්ලු වී සිටී. තවමත් දුෂ්කර තත්ත්වයක සිටින්නේ මංගල සමරවීර පමණය.
දැන් ජවිපෙට තවදුරටත් ශ්රීලනිපය හොරෙන් හොරෙන් ගිලගැනීමේ හැකියාවක් නැත. අනෙක් අතට ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා ඔවුන් වැටෙනු ඇත්තේ පැදුරෙන් බිමට නොව අහසින් බිමටය.
වහාම නොවෙතත් ඉක්මනින් සිදුවිය හැකි දේ රට පාර්ලිමේන්තු මැතිවරණයකට තල්ලුවීමය. ජනාධිපතිනිය තනතුරෙන් ඉවත් වී පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය.