සංඝ ආඥාව – සුන්දර

June 19, 2005
Publication:
The Sunday Lakbima's front page announced that a Sangha decree would expel the President from Buddhism, and its editor-in-chief Sundara Nihathamani de Mel had to answer for it. Ivan compares Gandhi's model of satyagraha with the Sri Lankan version, and weighs a ruler's right to decide against the need to win public consent for agreements such as the ceasefire.

“ජනාධිපතිනිය බුද්ධාගමෙන් බැහැර කරන සංඝ ආඥාවක් නිකුක් කෙරෙයි” යන හිසින් “ලක්බිම” ඉරිදා සංග්‍රහයෙන් පළවූ පුවතක් හේතු කොටගෙන එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානී ද මැල් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

එම පුවතේ ඇති බිහිසුණු බව රැඳී තිබුණේ රටේ පැවති විශේෂ වටපිටාවත් සමගය. ඒ ගැන මහ නාහිමිවරුන්ට ද විශේෂ නිවේදන නිකුත් කරන්නට සිදුවූ අතර, ජනාධිපතිනියට ද ඒ ගැන ප්‍රසිද්ධියේ අදහස් පළකරන්නට සිදුවිය. එම පුවත පුවත්පතේ හිමිකරුවන් විසින් නිර්මාණය කොට පළ කරන ලද්දක් බව ජනාධිපතිනියගේ මතය විය. තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම අහිමි වූයේ ජනාධිපතිනියගේ මැදිහත්වීම නිසාය. ඒ නිසා තමා කෙරෙහි ඇති කරගත් වෛරයෙන් මෙසේ ක්‍රියාකරන්නට ඇතැයි ජනාධිපතිනිය කල්පනා කළා විය හැකිය.

ජනාධිපතිනිය ද බෞද්ධයෙකි. ඒකාබද්ධ යාන්ත්‍රණය ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට හේතුවී ඇතත්, එය බෞද්ධ ධර්මයට අදාළ ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකිය. එය දේශපාලන ප්‍රශ්නයකි. අනෙක් අතට වෙනත් ආගම් මෙන් පුද්ගලයින් බෞතිස්ම කරන සම්ප්‍රදායක් බුද්ධාගමේ නැත. ඒ නිසා බෞද්ධයකු බුද්ධාගමෙන් පළවා හරින ක්‍රමයක් ද බුද්ධාගමේ තිබිය නොහැකිය.

සෝභිත හිමියන්ගේ මාරාන්තික උපවාසයේදි ද පොදු යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ හොත් ජනාධිපතිනියට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන බවට නිවේදනයක් පළවිය. ඇත්තටම මහ නාහිමිවරුන් එවැනි නිවේදනයක් නිකුත් කළේ ද? නිකුත් කළේ නම් එය සිය කැමැත්තෙන් නිකුත් කළ නිවේදනයක් වී ද? නැතිනම් බලහත්කාරයෙන් නිකුත් කරවා ගන්නා ලද නිවේදනයක් වීද? එත් නැතිනම් එය නිර්මාණය කරන ලද නිවේදනයක් වීද?

පොදු යාන්ත්‍රණය ආගමට සම්බන්ධ කරුණක් නොවේ. එය දේශපාලන කරුණකි. බුද්ධාගමට කිසිම සම්බන්ධයක් නැති දේශපාලන කරුණක් පිළිබඳව සංඝ ආඥාවක් නිකුත් කිරීමේ හැකියාවක් මහ නාහිමිවරුන්ට තිබේද?

මේ ප්‍රශ්නයේ අගමුල ගිය තැන් කුමක් වුවත්, අවසානයේදි සුන්දරට සිය පදවිය අතහැර යෑමට සිදුවූයේය. මෙවැනි අර්බුදවලදි සිය පදවිය අතහැර යෑමට සිදුවූ පළමු කතුවරයා සුන්දර නොවන බව ද කිව යුතුය. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදි උපාලි පුවත්පත් සමාගමේ ආරක්ෂාව සඳහා දිවයින නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි දයාසේන ගුණසිංහ බිලිදිමට එම පුවත්පත් සමාගමට සිදුවූ අතර, විජය පුවත්පත් සමාගමේ ආරක්ෂාව සඳහා විජිත යාපා බිලිදිමට විජය පුවත්පත් සමාගමට සිදුවිය. සුන්දර එම බිලිදිමේ ක්‍රියාවලියේ තුන්වැනියා ලෙස සැලකිය හැකිය.

සත්‍යග්‍රහයේ ගාන්ධි ආකෘතිය හා ශ්‍රී ලාංකික ආකෘතිය

සත්‍යග්‍රහය, දේශපාලනයේදි අරගල මාදිලියක් බවට පත්කර ගත් ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ මහත්මා ගාන්ධිය. එසේ කළේ සත්‍යග්‍රහයක තිබිය යුතු සියලුම ආධ්‍යාත්මික යහගුණ ආරක්ෂා කරගන්නා ආකාරයටය. ඔහුගේ සත්‍යග්‍රහ ව්‍යාපාර වෛරය, ආවේගය හෝ ද්වේශය කුළුගන්වන්නක් නොවීය. ඒවා සාමය, මෛත්‍රිය හා අවිහිංසාව ඔප් නංවන ව්‍යාපාර වූයේය. ඔහු සිය අවසාන ඓතිහාසික සත්‍යග්‍රහය කළේ හින්දුන්ගේ පහර කෑමට ලක්වී සිටි මුස්ලිම් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. ඔවුන්ට එරෙහිව කරන සැහැසිකම් නවතා, කරන ලද සැහැසිකම් වෙනුවෙන් මුස්ලිම්වරුන්ගෙන් සමාව ලබා ගනිමින් ඔවුන් අතින් විනාශ වී තිබෙන මුස්ලිම් දේපළවලට වන්දි ගෙවන ලෙස ඔහු හින්දුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ අවසාන සත්‍යග්‍රහ ව්‍යාපාරය ඉන්දියාවේ ඇවිලී තිබූ වර්ගවාදි හා ආගම්වාදි ගිනි නිවීමට හේතුවී, ඔහුගේ මරණය ඉන්දියාවට අවශ්‍යව තිබූ ජාතික සමගියේ සිසිලස ලබාදිමට හේතුවිය.

එහෙත් අපේ රටේ සිදුකෙරෙන සත්‍යග්‍රහ ව්‍යාපාර තුළ ගාන්ධිගේ සත්‍යග්‍රහ ව්‍යාපාරවල දක්නට තිබුණ ආධ්‍යාත්මික වටිනාකම් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒවා ද්වේශය හා වෛරය කුළු ගැන්වීමට හේතුවී තිබෙන අතර, බැලු බැල්මට එවැනි ව්‍යාපාරයක තිබිය යුතු තැන්පත් බව හා අවිහිංසාව තිබෙන බවක් ද පෙනෙන්නට නැත. අනුන් මරණ ක්‍රමයට වඩා තමන් මැරෙන ක්‍රමයක් යහපත් වියහැකි වුවත්, ආත්ම පරිත්‍යාගය මුල් කොටගත් ව්‍යාපාරයක් තුළ තිබිය යුතු මුදු බව හා තැන්පත් බව නැති විට එවැනි උතුම් සටන් ක්‍රම පවා ජනතාවට තිත්ත වන තත්ත්වයක් ඇතිවිය හැකිය.

රාජ්‍ය පාලකයාට තිබෙන තීරණ ගැනීමේ අයිතිය හා මහජන කැමැත්ත

ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ විස්තර ජනතාවට රහසක් ලෙස තබාගැනීමෙන් ජනාධිපතිනිය වරදක් කර ඇත්තේය යන මතයක් රටේ පවතී. එක්සත් ජාතික පක්ෂය ද මෙම අර්බුදයේදි පටු වාසි ලබාගැනීමේ අරමුණින් පොදු යාන්ත්‍රණය පිළිබඳ කිසිවක් අපිදු දන්නේ නැති බැවින් ඒ ගැන කිසිවක් කීමේ හැකියාවක් අපට නැතැයි කියන මතයක් පළ කරමින් සිටින බව පෙනේ.

මහජනයා බලයට පත් කරන ලද ආණ්ඩුවක් කරන්නට යන හැම දෙයක්මත් මහජනයාට දැනගන්නට සලස්වන්නේ නම් ඉතා හොඳය. එහෙත් රටක තිබිය හැකි විශේෂ සමාජ වාතාවරණය තුළ සමහර සංවේදි කාරණාවලදි ගනු ලබන තීරණ කල්තියා රටට ප්‍රකාශ කරන පිළිවෙතක්, ගනු ලබන හරි තීරණ පවා ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා පාලන බලයේ සිටියදි එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුම ඇති කරගැනීමට පෙර ඊට ඇතුළත් විස්තරාත්මක කාරණා කල්තියා රටට හෙළිදරව් කළේ නැත. ඒ වෙනුවට කළේ ඊට අත්සන් තැබීමෙන් පසු ගිවිසුම හෙළිදරව් වන තත්ත්වයකට ඉඩ හැරීමය.

ගිවිසුමට ඇතුළත් සංවේදි කාරණා කල්තියා ප්‍රසිද්ධියට පත් කොට මහජනතාවගෙන් කැමැත්ත ඉල්ලා සිටියේ නම්, එය ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් ලෙස සැලකිය හැකි වුවත්, සටන් විරාම ගිවිසුමක් ඇති කරගැනීමට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. ගිවිසුම ඇති කරගැනීමෙන් පසු ඊට ඇතුළත් සමහර කාරණා මහජනයාගේ සංතෝෂයට හේතු නොවූවත්, එම ගිවිසුම නිසා යුද්ධ නොකරන තත්ත්වයක් ස්ථාපිත වීමෙන් පසුව අකමැති අංග තිබියදිත් මහජනයා එම ගිවිසුම අනුමත කළේය. වර්ගයට හෝ ආගමට අදාළ ප්‍රශ්නවලදි ආවේගයෙන් තොරව සංසුන්ව කරුණු සලකා බලන සමාජ වටපිටාවක් ශ්‍රී ලංකාවේ නොපවතී. ඒ නිසා එවැනි සංවේදි කාරණාවලදි (මුදල් ගනුදෙනුවලදි නොවේ) තීන්දු ගැනීමේ අයිතිය යම් පමණකට පාලකයින්ට තිබිය යුතුය.