ජනතා විමුක්ති පෙරමුණ හා ශ්රීලනිප අතර තිබෙන පරස්පර අදහස් විසඳගෙන එක මතයකට ඒමෙන් තොරව තවදුරටත් ඉදිරියට යා නොහැකි තැනකට සන්ධාන ආණ්ඩුව පැමිණ තිබෙන බව පෙනේ. එක්කෝ ජනතා විමුක්ති පෙරමුණ තමන් දරන දැඩි මත අතහැර ජනාධිපතිනියගේ දේශපාලන ගමන් මග පිළිගෙන ඇය සමග ඉදිරියට යන තැනකට ආ යුතුය. නැතිනම් ජනාධිපතිනිය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ දරන අදහස් පිළිගෙන ජනතා විමුක්ති පෙරමුණ සමග ඉදිරියට යන තැනකට ආ යුතුය. එසේත් නැතිනම් දෙපක්ෂය වෙන්වී තනි තනිව ක්රියාකරන තැනකට යා යුතුය.
සන්ධාන ආණ්ඩුවේ ජයග්රහණයේ සිට මේ දක්වා පැමිණි ගමනේ මුල් යුගයේ සන්ධාන ආණ්ඩුවේ බැබලෙන තරුව බවට පත්ව සිටියේ ජනතා විමුක්ති පෙරමුණය. ජනාධිපතිනිය සිටියේ දුර්වල තැනකය. ඒ යුගයේ ශ්රීලනිපයේ මන්ත්රීවරුන් පවා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට අවනතවීම අත්යවශ්ය වේ යැයි සිතන තැනකය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ඇඟිල්ලක් හෝ දිගු කිරීමේ හැකියාව ජනාධිපතිනියට පවා නොතිබුණේය. ඒ යුගයේදි ජනතා විමුක්ති පෙරමුණ හා ශ්රීලනිපය අතර අර්බුදයක් ඇතිවී නම් ශ්රීලනිපයේ මන්ත්රීවරුන් වැඩි පිරිසකගේ සහාය ලැබෙන්නට ඉඩ තිබුණේ ද ජනාධිපතිනියට නොව ජනතා විමුක්ති පෙරමුණටය.
එහෙත් මේ වන විට සන්ධාන ආණ්ඩුව තුළ ජනතා විමුක්ති පෙරමුණට තිබුණු පිළිගැනීම බිඳ වැටී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්රායෝගික නොවන අන්තවාදි ප්රතිපත්ති ආණ්ඩුවේ ඉදිරී ගමන අඩාල කිරීමට හේතුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නොවන ආණ්ඩුවේ බහුතරයක පිළිගැනීම වී තිබේ. ඒ තත්ත්වය ඉදිරියේ දැන් ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණ පෙනෙන්නේ “කරදරයක්” ලෙසය. එම තත්ත්වය ශ්රීලනිපයේ මන්ත්රීවරුන් අතර ජනාධිපතිනියගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන අතර, තම මන්ත්රී කණ්ඩායමෙන් එල්ල වන බාධාවකින් තොරව ජනතා විමුක්ති පෙරමුණට පහරගැසීමේ හැකියාව දැන් ඇයට ලැබී තිබෙන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමග හෙට්ටු කිරීමට යොදාගත් තීරණාත්මක ආයුධය වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතිව පැවතීමට ආණ්ඩුවට තිබුණු නොහැකියාවය. එය ජනතා විමුක්ති පෙරමුණ අල්ලා ගෙන සිටි ආණ්ඩුවේ සංවේදි නිලය වී යැයි කිව හැකිය. ආණ්ඩුවක් ලෙස නොවැටී බලයේ සිටියත්, ඒ ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි නම් එවැනි ආණ්ඩුවකින් ඇති පලේ කුමක්දැයි සිතන තැනකට දැන් ජනාධිපතිනිය ප්රමුඛ ශ්රීලනිපය තල්ලු වී සිටින බව පෙනේ.
ආණ්ඩුව තුළ ජනතා විමුක්ති පෙරමුණට තිබෙන බලය තීරණාත්මක වුවත්, ජනතා විමුක්ති පෙරමුණට තනිව ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණදිමේ හැකියාවක් නැත. මේ මොහොතේ තනිව පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන තැනකට යන්නට සිදුවුවහොත් තමන් කුඩු වෙන බව ජනතා විමුක්ති පෙරමුණ දනී. ජනතා විමුක්ති පෙරමුණ බියගැන්විය හැකි, මට්ටු කළ හැකි එකම සංවේදි නිලය එය වන බව ජනාධිපතිනිය ද දන්නේය. දැන් ජනාධිපතිනිය ඔවුන්ට එලව එලවා පහරදෙමින් තිබෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ එම සංවේදි නිලය අල්ලාගෙනය. ජනාධිපතිනිය අල්ලාගෙන සිටින එම නිලයට ආවේණික අධි සංවේදිතාව නිසාම නියාලු ලෙස බලා සිටිනවා හැර පෙරළා පහරදිමේ හැකියාවක් ජවිපෙට නැත.
ජනාධිපතිනිය 16 වැනිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ඔස්සේ ජවිපෙට එල්ල කරන ලද ප්රහාරය සන්ධාන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එල්ල කරන ලද දැවැන්තම පහරදිම ලෙස සැලකිය හැකිය.
ඇය ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ ත්රස්තවාදි අතීතය මතක් කර දුන්නාය. එම අතීතය එල්ටීටීඊ අතීතයට වඩා වෙනස් නොවන බව ද තිර ලෙස කියා සිටියාය. ජවිපෙ තර්ජන නොසලකා තමන් පොදු යාන්ත්රණයට අත්සන් තබන බව ද කියා සිටියාය.
ඇය එම අදහස් ප්රකාශ කිරීමේදි ඉතාමත් සංවේදි විෂයයක් ලෙස සැලකිය හැකි සිය සැමියාගේ ඝාතනය ගැන කතා කරන්නට ද අමතක නොකළාය. විජය කුමාරතුංග ඝාතනය ජේවීපීය විසින් කරන ලද ඝාතනයක් බවට ඇයට කිසිදු සැකයක් තිබුණේ නැත. එහෙත් ජේවීපිය සමග ඇති කරගන්නා සන්ධානයට සදාචාරාත්මක වටිනාකමක් ලබාදිම පිණිස එම සංවේදි කරුණ නිෂේධ කිරීම සඳහා ඇය එම ඝාතන වගකීමෙන් ඔවුන් නිදහස් කොට එම ඝාතන වගකීම යූඑන්පිය මත පැටෙව්වාය. එය ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනියගෙන් ලබාගත් ලොකුම සහතිකය වී යැයි කිව හැකිය. ජනාධිපතිනිය එම සම්මුඛ සාකච්ඡාවේදි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ජවිපෙට දී තිබුණු එම සහතිකය ද අවලංගු කළාය. තම සැමියා ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසින් එකට එකතු වී ඝාතනය කරන ලද බව ඇය කියා සිටියාය.
නියාලු ලෙස ඉවසාගෙන සිටිනවා විනා ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ ජනාධිපතිනිය සමග එකට එක කරන තැනකට යා නොහැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකට ඇති බිය නිසා පමණක් නොව, ජනාධිපතිනියගේ සතුරකු වුවහොත් තමන්ට එරෙහිව වෙනත් තලවලින් ද පහර එල්ලවීමේ හැකියාවක් ජනාධිපතිනියට ඇති බව ඔවුහු දනිති. ජනතා විමුක්ති පෙරමුණ පාරිශුද්ධ ව්යාපාරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කළ ද ඔවුන්ගේ අල්මාරිවල ද සැගවුණු ඇටකටු ඇත්තේය. පෙරළා පහරදෙන තැනකට ගියහොත් ජනාධිපති විමර්ශන ඒකකයේ හෝ අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔවුහු දනිති.
ජනතා විමුක්ති පෙරමුණ හා ජනාධිපතිනිය අතර පවතින පරස්පර සම්බන්ධයේදි ජනතා විමුක්ති පෙරමුණ දැන් ඇද වැටී සිටින මෙම දුර්වල තත්ත්වය ඉදිරියේ ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණට සංතෝෂවිය නොහැකි බොහෝ තීන්දු ගැනීමට ඉඩ ඇතත්, ඒ කිසිවකට එරෙහිව ප්රබල ලෙස නැගී සිටීමේ හැකියාවක් එම පක්ෂයට තිබිය නොහැකිය. එම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිරූපය දුර්වල කිරීමටත් ජනාධිපතිනියගේ ප්රතිරූපය ශක්තිමත් කිරීමටත් හේතුවනු ඇත. දැන් ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී කියන තත්ත්වයකය.