පොලිස් මිනීමැරුම් ද?

February 13, 2005
Publication:
In recent weeks many underworld figures have been shot by police 'while trying to escape' or 'attacking officers'. The piece notes the distress of the politicians who hired such men, explains why suspects first run to their patrons, and argues that killing them in custody destroys both the rule of law and the chance to expose those behind them.

පසුගිය සති කිහිපය තුළ පාතාලයේ ප්‍රබලයෝ විශාල පිරිසක් “පොලිස් අත්අඩංගුවෙන් මිදි පළා යෑමට උත්සාහ කිරීමේදි, පොලීසියට ප්‍රහාර එල්ලකරන්නට තැත් කිරීමේදි හා පොලිස් අණ නොතකා පලායෑමේදි” පොලිස් වෙඩිපහරින් මිය ගියෝය. දැන් දැන් මෙලෙස “පාතාලය මර්දනය කරන” විශේෂ පොලිස් ඒකකය සමහර දේශපාලන බලවතුන්ගේ බලපෑමෙන් විසුරුවා හරින්නට සූදානම් වෙමින් තිබෙන බවට වූ ප්‍රවෘත්තිද මාධ්‍යවල නිරන්තරයෙන් දක්නට ලැබෙයි.

සිය පාදඩ වැඩ කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනමින් යොදාගත් මැරයන් පොලිස් ප්‍රහාරයෙන් මියයෑම ගැන ඔවුනට සම්බන්ධ දේශපාලකයන් හිත් අමාරුවට පත්වීම ගැන හොඳටෝම තේරුම්ගත හැකිය. ඒ නිසාම “පාතාල මර්දනය” කිරීමට රටේ වගකිවයුතු ආයතන ගන්නා උත්සාහය කිසිසේත් අතහැර දැමිය යුතු නැත. එපමණක් නොව, එවැනි බලපෑම් කරන දේශපාලකයන් හෝ වෙනත් බලවතුන් මාධ්‍ය මගින් හෙළිකොට ඔවුන් දේශපාලන වශයෙන් පරාජය ද කළ යුතුය. මෙවැනි පාදඩ දේශපාලකයන්ට රුස්සන්නේ නැති වුණාට පාතාලය මර්දනය අද අත්‍යවශ්‍ය සමාජ කොන්දේසියකි. එනිසා, මේ “මර්දන ක්‍රියාවලිය” ගැන සමාජයේ අතිවිශාල පිරිසක් මෙන්ම දිවයින, ලංකාදිප, ලංකා වැනි පුවත්පත්වල කර්තෘවරු මෙන්ම මාධ්‍යවේදිහු ද මහත් ආහ්ලාදයට පත්ව සිටිති. පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ හා ඔවුන් “පැනයෑමට ගොස් මියයෑමේ, ත්‍රාසජනක කතන්දර පත්තර පිටු පුරවන්නේත්, මුල් පිටුවේ සිරස්තල හැඩ ගන්වන්නේත් එහෙයිනි. එහෙත් ටිකක් නැවතී කල්පනා කරන විට මේ ඊනියා පාතාල මර්දන ක්‍රියාවලිය හරහා ගොඩනැගෙමින් තිබෙන අන්තරායයක් ගැන අවධානය යොමු නොකර සිටීම නම් කළ නොහැකිය. (කරුණාකර මෙය පාදඩ දේශපාලකයකු මේ සිදුවීම දෙස බලන ආකාරය සමග පටලවා නොගන්න.)

මා අවධාරණය කරන්නේ, නීතිය රැකීම කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ අපේ රටේ අනවරතව සිදුවූ නීතියේ ආධිපත්‍යයේ දරුණු බිඳ වැටීම මේ “පාතාල මර්දන ක්‍රියාවලිය” හරහා ද නැවත ප්‍රකාශමාන වන බවයි..

පොලිස් අත්අඩංගුවේ පසුවද්දි පාතාල සැකකරුවන් මිය යෑම ගැන පොලිසියම ගෙනහැර පාන කතන්දර “මනාලෙස ගොතන ලද” ඒවා බව ළදරුවකුටත් හොඳින්ම තේරුම් යනවා ඇත. මන්දයත්, මෙලෙස පොලිස් අත්අඩංගුවේදි මියයන පුද්ගලයන් ගැන ගොතන ලද පුරාණෝක්ති රාශියක් මුළු ඉතිහාසය පුරාම අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ පොත්වල ඇති බැවිනි. ඒ අනුව සමහර සැකකරුවෝ සිය දිවි නසා ගනිති. සමහරු පොලීසියට අත්බෝම්බ දමාගසා හෝ වෙඩිතබා ලද ප්‍රතිප්‍රහාරවලින් මියයති. තවත් සමහරු පොලිස් ජීප් රථයෙන් බැසීමට ගොස් බිම වැටී “හිස පොඩි වී” මිය යති. මෙලෙස මියගිය සැකකරුවන්ගේ මරණ ගැන පරික්ෂෂණ පවත්වන්නට යන සමහර අධිකරණ නිලධාරින්ගේ මුවගට සිනා නැගුණු අවස්ථා බොහෝ ගණනක් තිබෙන බව මම අසා ඇත්තෙමි. සමහරවිට ඒ, බෝම්බ හා පිස්තෝල තුවක්කු ආදිය මියගිය සැකකරුවන්ගේ අත්වල හෝ සිරුරු අසල “තබා ඇති” ආධුනික ස්වභාවය නිසාය. “ඔක්කොම හොඳයි” ඒත් අර බෝම්බෙ තියල තියෙන්නේ නම් මෝඩ විදියට” වැනි අවවාද අධිකරණ නිලධාරීන්ගේම මුවින් පිටවනු එවැනි “මර්දන මෙහෙයුම්”වලට සහභාගි වූ පොලිස් නිලධාරීන් ඕනෑ තරම් අසා තිබෙනවාට සැක නැත.

පසුගිය පාතාල – ඝාතන සම්බන්ධයෙන්ද ගොතන ලද කතා එම පුරාණෝක්තීන්ට කිසිදු වෙනසක් නැත. සමහර පාතාල සාමාජිකයන් මියගියේ පොලිස් අණ නොතකා පලායද්දිය. තව සමහරෙකු අත්අඩංගුවට ගෙන රාත්‍රියේ ගෙන, එමින් සිටියදි මුත්‍රා කරන්නට අවසර ඉල්ලා, අවසර ලැබ, ජීප්රථයෙන් බැස පැනයන්නට තැත්කරද්දිය. තවෙකෙකු මහ රෑ ආයුධ තිබෙන ස්ථාන පෙන්වන්නට ගොස් අත්බෝම්බයකින් පොලීසියට දමා ගසද්දිය. මේ සියල්ලම “රාජකාරිය ඉටු කිරීමට යෑමේදි සිදුවූ යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන” බවට නීති කෘත්‍යයන්වල ලියැවෙනවා ඇත. පාතාල සාමාජිකයන් එක එකා අඩුවෙද්දි සමාජයද සැනසුම් සුසුම් හෙළනවා ඇත.

පාතාල සාමාජිකයන් මර්දනය කිරීමේ මුවාවෙන් සිදුවන මේ “පොලිස් මිනීමැරුම්” යුක්ති සහගත කරන්නට හෝ ඒ ගැන නොතකා අහක බලා සිටින්නට හෝ නීතියේ ආධිපත්‍යය ගැන විශ්වාසය තබන කිසිවකුටත් නොහැකි බව මගේ යෝජනාවයි.

පොලිසිය මේ මිනිමැරුම්වලට යොමුවන්නේ ඇයි? හේතු කිහිපයක් තිබේ. පළමුව මේ පාතාලයන් පොලිසියේ සනීප ජීවිතයට කරදරයකි. ඔවුන් අපරාධයක් කළ පසු ඒ ගැන විමර්ශනය කරන්නට මහත් වෙහෙසක් දැරිය යුතුය. මරණ බිය නිසා මහජනයාගෙන් ද තොරතුරු හෝ සාක්ෂෂි ලබාගත නොහැකිය. එනිසා පරිවේෂණීය සාක්ෂෂි සොයාගත යුතුය. එය මහන්සි විය යුතු වැඩකි. අපේ පොලිසිය හොඳින්ම ප්‍රගුණකර ඇති “එකෙක් අල්ලා ඇට පොඩිකර තොරතුරු දැන ගැනීමේ සිද්ධාන්තය” ද මොවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ නොහැකිය. මේ පාතාලයන් බලපුළුවන්කාරයන් වීම හෝ බලපුළුවන්කාරයන්ගේ සමීපතමයන් වීම නිසාය. සමහරවිට ඔවුන්ට රැකවරණය ලැබෙන්නේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන්මය. අනෙක් අතට ඕනෑම අපරාධ විමර්ශනයක් අංගවිකල කර දැමීමට සමත් මහත් අභිමතයක් අපේ ඕනෑම පොලිස් නිලධාරියකුට තිබේ. අවශ්‍ය සාක්ෂෂි අතහැරීම හෝ අනවශ්‍ය සාක්ෂෂි එකතු කිරීම සඳහා ඕනෑ තරම් ක්‍රම සහ විධි ද තිබේ. සැකකාරයින් මරා නොදමා සංවිධානාත්මක අපරාධ පිළිබඳව සූක්ෂෂ්ම විමර්ශනයක් කිරීමේ පුහුණුවක් හෝ පළපුරුද්දක් ඇත්තේම නැති තරම්ය.

තමන් පොලිස් අත්අඩංගුවට පත්විය හැකැයි අනුමාන කරන බොහෝ පාතාල සමාජිකයෝ පළමුව තමන් දන්නා හඳුනන, තමන් සේවය කළ දේශපාලකයන්ගෙන්, ඉහළ පොලිස් නිලධාරීන්ගෙන්, බලවතුන්ගෙන් ආරක්ෂෂාව පතති. අත්අඩංගුවට ගැනීම වළක්වන්නට මැදිහත්වන ලෙස ඉල්ලති. එය නිසි පරිදි සිදුනොවුණ විට අත්අඩංගුවට පත්වන පාතාල සාමාජිකයන් බොහෝ විට කරන්නේ ඒ බලවතුන් තමන්ට කොන්ත්‍රාත් දුන් හැටි, ඒවා ඉටුකළ හැටි, ඔවුන් සමග පැවැත්වූ සම්බන්ධතා ආදිය හෙළි කිරීමය. නොඑසේ නම් හෙළි කරන බවට පූර්ව දැනුම් දිම් කිරීමය. එවිට අනාගතයේ වන්නට යන අපවාදයන්ගෙන් මිදිමට ඇති එකම ක්‍රමවේදය ලෙස මේ බලවතුන්ට පෙනෙන්නේ “පාතාලයා අයින් කිරීම”යි. හිටපු පොලිස්පතිවරුන්ගේ සිට පහළම පොලිස් නිලධාරියා දක්වාත්, ඉහළම මට්ටමේ සිට පහළම මට්ටමේ හිටපු සහ දැනටත් සිටින දේශපාලකයා දක්වාත් පාතාල ලෝකය සමග පැවැත්වූ සම්බන්ධකම් ගැන නිතර දෙවේලේ මාධ්‍යයන්ගෙන් අසන දකින මේ රටේ මිනිස්සුන්ට මේ තත්ත්වය පුදුම ගෙන දෙන්නක් නොවේ.

මේ අනුව වර්තමාන පාතාල මර්දන ක්‍රියාවලිය මේ රටේ නීතියේ පාලනය පිහිටුවීම සඳහා සද්භාවයෙන් කරන දෙයක් ලෙස වටහා ගන්නට ඉක්මන් නොවිය යුතුය. එසේම, මේ පාතාල පරම්පරාවම එක දිගට පෙළගස්වා වෙඩිතබා මරාදැමූවත් අනාගතයේ පාතාල සාමාජිකයන් බිහි නොවේයැයි හෝ බිහිවීමට ඇති සමාජ කොන්දේසි අවසන්වේයැයි ද නොසිතිය යුතුය. මොකක්දෝ අහේතුවකට තවමත් මේ ක්‍රියාවලියේ අන්තරාය ගැන සමාජයේ පුළුල් අවධානයක් යොමු වී නැත. පාතාල සාමාජිකයන් සමාජයේ සියල්ලන්ටම කරදරයක් වන නිසා සේම, අපරාධකරුවන්ට මානව අයිතිවාසිකම් නොතිබිය යුතුයැයි සමාජයේ මුල්බැසගෙන ඇති මතයද අඩුවැඩි වශයෙන් මේ නිශ්ශබ්දතාවට හේතුකාරක වන්නට ඇත. එහෙත් එම නිශ්ශබ්දතාව විසින්, පොලිස් මර්දන යාන්ත්‍රණයකටත් ඊට උඩගෙඩි දෙන මළමිනී ගණන් කිරීමට කැමැති අයගේ මාධ්‍ය භාවිතාවකටත් උත්කර්ෂවත් වීමට මග පාදා දී ඇති බව අප කල්පනා කළ යුතුය.

දැන් පැන නගින ජනප්‍රිය ප්‍රශ්නයක් තිබේ. “පාතාලයන් සමාජයෙන් ඉවත්කර තැබීමට වඩාම හොඳ ක්‍රමය මෙය නොවේද?” යන්නයි. බොහෝ දෙනා ප්‍රසිද්ධියේත්, සමහරුන් රහසේත් නගන ප්‍රශ්නය එයයි. යුක්තිගරුක පුරවැසියකු ලෙස එම ප්‍රශ්නයට දිමට මට ඇති එකම පිළිතුර “නැත” යන්න පමණි. එසේ නම් හොඳ ක්‍රමයක් යෝජනා කරනු යැයි කිසිවකු මට අභියෝග කළහොත් මට දිමට ඇති පිළිතුර මෙසේය. “එය මගේ කාර්යයක් නොවේ.” ඒ සඳහා ප්‍රමාණවත් දැනුම හා පුහුණුව ඇති විශේෂඥයෝ සිටිති. එහෙත් ඉතා සාමාන්‍ය පුරවැසියකු ලෙස හොඳ ක්‍රමයක් සඳහා පසුබිම යෝජනා කළ හැකිය. එනම් “පාතාලයේ වැදෑමහ කපා දමනු” යන්නයි. පාතාලය හුස්ම ගන්නේත්, ජීවත්වන්නේත් මේ වැදෑමහ හරහා ලැබෙන පෝෂණය නිසාය. ඒ පෝෂණය ලැබෙන්නේ, සිය මැතිවරණ වේදිකාවල ආරක්ෂෂාව හා වෙනත් පාදඩ වැඩ සඳහා පාතාල නායකයන් වටේට තබාගත් හා තබාගන්නා ඉහළම මට්ටමේ සිට පහළ මට්ටම දක්වා දේශපාලක – පාලිකාවන්ගෙනි. ජාවාරම් කාරයන්ගෙනි. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයාගේ සිට පහළම පොලිස් නිලධරයා දක්වා නීතිය රකින්නට ප්‍රතිඥා දී ඇත්තවුන්ගෙනි. ඉහළ සිට පහළ දක්වා සමහර අධිකරණ නිලධාරින්ගෙනි. වෙනත් රජයේ බලවතුන්ගෙනි. පාතාල ක්‍රියාකාරකම් රසකර විකුණා සල්ලි හොයන මාධ්‍යකරුවන්ගෙනි. අවසානයේ මේ සියල්ලන්ටම හිතූ සේ ජනතා පරමාධිපත්‍යය විකුණාගන්නට ඉඩ දී තමන්ගේ වැඩක් පමණක් බලාගෙන සිටිනා පුරවැසියන් වන අපෙනි.

ඒ අර්ථයෙන් ගත්විට පාතාලය මර්දනය කිරීමට පටන්ගත යුත්තේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරිමෙනි. අත්අඩංගුවේ සිටින්නවුන් රිසි සේ මරාදමන ක්‍රමයක් වෙනුවට, නිසි අපරාධ විමර්ශනයකුත්, සාධාරණ නඩු විභාගයකුත්, නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයකුත් නැවත ගොඩනැගීමෙනි. එහෙත් මේ කිසිවක් ඉබේ සිදු නොවේ. ඒවා ගොඩනැංවීමේ සමාජ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යය. අවාසනාවකට මෙතරම් ක්‍රියාවලියක් සිදුවෙද්දිත් එය පරික්ෂෂා කෙරෙන සිවිල් සමාජ හඬක් නැගෙන්නේ නැත. පොලිසියට මේ “මිනීමැරුම්” රිසි සේ කරන්නට ඉඩ ලැබෙන්නේ, රටේ ජනතාව ඒ පිළිබඳව දක්වන කැමැත්ත හා අඩු ගණනේ නිහඬතාව නිසා බවට සැකයක් නැත. එහෙත් මෙලෙස ගොඩනැගෙන මිනීමරු මානසිකත්වය හෙට අනිද්දා වන විට රටේ සාමාන්‍ය ජනතාව කෙරෙහි වෙනත් වටයකින් පැමිණීමේ අවදානමක් නැත්තේ යැයි කිව හැක්කේ කාටද?

දැනටමත් පොලිස් ස්ථාන තුළදි හා පොලිස් අත්අඩංගුවේදි මියගිය පාතාල සාමාජිකයන් නොවන සාමාන්‍ය සුළු අපරාධ සැකකරුවන් කී දෙනෙකුගේ ලැයිස්තුවක් අපට තනාගත හැකිද? ඒ අතර, වත්තල ජෙරාඩ් මර්වින් ප්‍රනාන්දු වැනි කුරිරු පොලිස් වධහිංසනයට ලක්ව, ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑම නිසාම ඝාතනය වූ නිසැකයෙන්ම අහිංසකයන් ද සිටින බව අමතක නොකළ යුතුය. එනිසා නීතියේ ආධිපත්‍යය ගරුකරන සිවිල් ජනතාව මේ වෙනුවෙන් හඬ නැගිය යුතු අවස්ථාව එළඹ ඇතැයි සිතමි.

මේ මිනිමැරුම් ක්‍රියාවලිය හුදෙක් පොලිස්පතිවරයාගේවත්, පොලිස් දෙපාර්තමේන්තුවේවත් තනි තීරණයක් නොවන බව පැහැදිලිය. රජයේ ඉහළ තීරකයන්ගේ අනුමැතිය හා අනුදැනුම නැතිව එවැන්නක් ක්‍රියාත්මක නොකෙරෙන බැවිනි. ඒ අනුව, මේ නීතියේ පාලනය බිඳවැටීමේ ක්‍රියාවලිය රජයේ සෘජු ප්‍රතිපත්ති තීරණයක් බවට යෝජනා කළ හැකිය. එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් නම් රජයේ ප්‍රධාන හවුල්කරුවා වන ජනතා විමුකිති පෙරමුණ එම ප්‍රතිපත්තිමය තීරණයට එකගදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකළ යුතුය. මා සිතන ආකාරයට නම් එවැනි “අත්අඩංගුවේ සිටියදි මරා දැමීමෙ” පිළිවෙතකට එකගවන්නට වඩාත්ම අමාරු දකුණේ දේශපාලන පක්ෂෂය ජවිපෙයි. මක්නිසාද යත්, 89 – 90 කාලයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, එච්. බී. හේරත්, ඩී.එම්. ආනන්ද වැනි සුපිරි නායකයන් සියල්ලන්ම මියගියේ සන්නද්ධ හමුදා හෝ පොලිස් අත්අඩංගුවේ සිටියදි නිසාය. ඒ හැම ඝාතනයක් සම්බන්ධයෙන්ම රජයේ නිල හේතූ දැක්වීම වූයේ “අත්අඩංගුවෙන් මිදි පැනගියා, හමුදාවට බෝම්බයකින් ගැහුවා, හමුදාවට වෙඩිතිබ්බා.” වැනි අදත් නැවත වටයකින් පාවිච්චි කෙරෙන වචනමය. ඒ මොහොතේ අත්අඩංගුවේ සිටි සිය සදාදරණීය නායකයන් ඝාතනයට එරෙහිව ජවිපෙ දේශීය මෙන්ම විදේශීය තලයේදිද මහත් හඬක් නැගූ බව අපට අමතක නැත. දැන් උත්ප්‍රාසවත් ලෙස නැවත කැරකී පැමිණ ඇත්තේ ද එවැනි අවස්ථාවකි. හානියට පත්වූ පත්වන තැනැත්තන් වෙනස් බව සැබෑය. ඒ මොහොතේ දේශපාලන කැරලිකරුවන්ය. විශේෂයෙන් මේ මොහොතේ පාතාල නායකයන් හා (සාමාන්‍යයෙන්) පොලිස් අත්අඩංගුවට පත්වන ඕනෑම කෙනෙකුය. පුද්ගලයන් වෙනස් වූවාට අභියෝගයට ලක්වී ඇත්තේ එකම සංකල්පයකි. එනම් “නීතියේ ආධිපත්‍යයයි.” ජවිපෙ මේ සැගවුණු ප්‍රතිපත්තිමය තීරණයට අත ඉස්සුවේද? නැත්නම් ඊට ප්‍රතිපත්තිමය ලෙස විරුද්ධද? කුඩා අනුකුඩා, හැම කරුණකටම ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන ජවිපෙට මෙතරම් බැරෑරැම් කරුණක් ගැන සිය ස්ථාවරය පැහැදිලි කිරීම නොවැදගත් නොවේයැයි සිතමි.