විපතේ විශාලත්වය හා පක්ෂවල පුංචිකම

February 6, 2005
Publication:
Nearly 50,000 dead and close to a million displaced in under an hour: Ivan argues that a disaster of this scale should make the parties see that none of them can solve it alone. Events are defying everyone's calculations and leave no room for heroes; only a joint national programme can overcome the disaster and prevent a 'political tsunami'.

සිදුවී තිබෙන විපතේ පරිමාව ඉතා දැවැන්ත වුවත් (එක දිනක පැයකට ආසන්න කාලයක් තුළ, පනස් දහසකට ආසන්න පිරිසක් මරණයට පත්වීම හා දස ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථභාවයට පත්වීම) එය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ චින්තන පරිමණ්ඩලයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවූයේ නැත. එහි ඊළග ප්‍රතිවිපාකය වෙමින් තිබෙන්නේ සියලු දේශපාලන පක්ෂ අතිවිශාල අර්බුදයකට තල්ලු කිරීමට හේතුවන දේශපාලන සුනාමි තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබීම ය.

සිදුවූ විපත දේශපාලන චින්තන පරිමණ්ඩලයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවී නම් සිදුවී තිබෙන විපතේ විශාලත්වය ඉදිරියේ දේශපාලන පක්ෂ වශයෙන් තම තමන්ට තනිව විසඳුම් දිමේ හැකියාවක් නැති බව තේරුම් ගනිමින් ඊට මුහුණදිම පිණිස ඔවුන් ජාතික වශයෙන් එකට එකතු වී ක්‍රියාකරන තැනට තල්ලු වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ඇතිවී තිබුණු විපතට ජාතික වශයෙන් මුහුණදිමේ හැකියාවක් ඇතිවන්නට ඉඩ තිබුණු අතර, විපතට පත් ජනයා තුළ ද බලාපොරොත්තු සහගත බවක් ඇතිවන්නට ඉඩ තිබුණි. ඇතිවී තිබෙන මෙම විශේෂ තත්ත්වයේ යථාර්ථය ග්‍රහණය කරගැනීමට දේශපාලන පක්ෂවලට හැකිවී නැතත්, තමන් අයත් දේශපාලන පක්ෂවලට, තමන් රවටනවා හෝ සුළු සුළු වශයෙන් ආධාර කරනවා හැර මුහුණ දී තිබෙන විපතට විසඳුම් දිමේ හැකියාවක් නැති බව විපතට පත් මහජනයා අවබෝධ කරගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දේශපාලන පක්ෂවලට තිබුණු බැඳීම් අත්හරිමින් තමන් මුහුණ දී තිබෙන ප්‍රශ්න තේරුම් ගැනීමට උත්සාහ කරන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. එය “දේශපාලන සුනාමි” තත්ත්වයක ආරම්භක ලක්ෂණ ලෙස සැලකිය හැකිය.

දේශපාලන සුනාමි තත්ත්වයක් මගින් ඇති කළ හැකි ප්‍රතිඵල නිශ්චිතව කීමේ හැකියාවක් නැතත්, එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. මහජනතාව කෙරෙහි රජයට හා දේශපාලන පක්ෂවලට තිබෙන ආධිපත්‍යය බිඳ වැටී අරාජික තත්ත්වයක් පවා ඇතිවීමේ අනතුරක් පවතී.

සිදුවූ විපතේ ඇති විශාලත්වය හා එය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වුවහොත්, ඒ නිසා ඇතිවිය හැකි විනාශකාරි ප්‍රතිඵල හරියාකාරව තේරුම් ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වී නැත. ඇතිවී තිබෙන විපත සියලු දේශපාලන පක්ෂ විශ්මයට පත්කිරීමට හේතුවී ඇතත්, ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආකල්පවල වෙනසක් ඇති කිරීමට හේතුවී නැත.

මෙම විපත සිය පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි ජනාධිපතිනියගේ තක්සේරුව වී තිබෙන බව පෙනේ. සියලු දේ තමා අතට ගෙන තමා අතින්ම ජනතාවට සහන සලසන ප්‍රතිපත්තියක් ජනතාවගේ ප්‍රසාදයට හේතුවී, තමාගේ අවලංගුවීම ඔවුන් විසින්ම අවලංගු කරනු ඇතැයි ජනාධිපතිනිය කල්පනා කරනවා විය හැකිය.

මේ විපත නිසා ජනාධිපතිනියගේ ව්‍යවස්ථාව වෙනස් කරන වැඩපිළිවෙළ අවලංගු වී ඊළග ජනාධිපති අපේක්ෂකයාවීමේ හැකියාව තමන්ට ලැබෙනු ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කරනවා විය හැකිය.

කැපවීමකින් වැඩ කරන තැනකට යොමු කළ තරුණ පිරිසක් සිටින්නේ තම පක්ෂයට පමණක් වන නිසා මේ විපතේදි කැපවී ජනතාවට ශ්‍රමදාන මගින් උදව් කරන වැඩපිළිවෙළක් මගින් සිය ශක්තිය දෙගුණ තෙගුණ කරගැනීමට හැකිවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා විය හැකිය.

ජනාධිපතිනිය සහන වැඩපිළිවෙළ අනාගන්නා තත්ත්වයක් යටතේ විපතට පත්ව සිටින ජනතාවට ඇය තිත්ත වී ඔවුන් තමා වටා බුරුතු පිටින් පෙළගැසෙනු ඇති බවත් තමාට ඉක්මනින් ජනාධිපතිවීමේ හැකියාව ලැබෙනු ඇති බවත් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා විය හැකිය.

එහෙත් දැනට දේවල් සිදුවෙමින් තිබෙන්නේ ඒ කිසිවකු ගණන් බලා තිබෙන ආකාරයට නොව, ඒ සියලු දෙනාගේ ගණන් බැලීම්වලට පටහැනි ආකාරයකටය. ඒ කිසිවකුට වීරයෙකු ලෙස මතුවීමට ඉඩක් නැති අතර, දැනට කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව විය හැක්කේ නිවැරදි ලෙස ක්‍රියාකිරීමට අසමත් වතොත්, ඒ සියලු දෙනා පොදුවේ වාෂ්ප වන තත්ත්වයකට පත්වීමය.

මේ විපතේ ඇති විශේෂම ලක්ෂණය ඊට ආවේණික අතිවිශාලත්වයයි. ඒ විශාලත්වය ඉදිරියේ එතෙක් විශාල ලෙස පෙනුණු දේශපාලන පක්ෂ අගුටුමිටු පක්ෂ බවට පත්ව තිබේ. ඇතිවූ විපත විශාල නොවී නම්, දේශපාලන වාද භේද මැද වුවත්, ඔවුන් රැකබලා ගැනීමේ හැකියාව දේශපාලන පක්ෂවලට ලැබීම මගින් වඩා හොඳ වැඩ කොටසක් කිරීමට සමත්වූ අයට සිය දේශපාලන රැස් වළල්ල පළල් කරගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ඇතිවී තිබෙන විපතට ආවේණික අතිවිශාලත්වය නිසාම දේශපාලන පක්ෂවලට කඳවුරු වටා යමින් බොරු කරනවා හැරෙන්නට විපතට පත්වූවන්ගේ ඇගට දැනෙන කිසිවක් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විපතේ විශාලත්වය හා දේශපාලන පක්ෂවලට තිබෙන හැකියාව අතර මෙන්ම ගරා හැලෙන තත්ත්වයකට පත්ව ඇති රාජ්‍යයට තිබෙන හැකියාව හා විපතට පත් ජනතාවගේ අපේක්ෂා අතරද විශාල පරතරයක් පවතී. විපතට පත්වූවන් තමන්ගේ විස්තර ඇතුළත් පෝරම දුසිම් ගණනක් පුරවා ඇතත්, දින 40කට ආසන්න කාලයක් ගෙවී ඇතත්, අඩුම වශයෙන් විපතට පත්වූවන්ගේ තොරතුරු ඇතුළත් හරි ලේඛනයක්වත් හදාගැනීමට රාජ්‍යය සමත්ව නැත. එය, පීඩාවට පත් ජනයා නැවත නැවතත් පීඩාවට පත් කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. මරණයට පත්වූවන්ගේ පවුල් වැඩි පිරිසකට තාමත් වන්දි ලබාගැනීමට හැකිවී නැති අතර, අවතැන්වූ පවුල්වලින් වැඩි පිරිසකට ද රුපියල් 5000/- සහන දිමනාවවත් ලබාගැනීමට හැකිවී නැත.

දේශපාලන පක්ෂවලට දේශපාලන සුනාමියට හසු නොවී සිය පැවැත්ම රැකගත හැකිවනු ඇත්තේ දැන්වත් මෙම දැවැන්ත සිද්ධිය ඉදිරියේ තමන්ගේ ඇති පුංචිකම තේරුම් ගනිමින්, නැවත සාමාන්‍ය දේශපාලන වටාපිටාවකට යා හැකි ආකාරයට මෙම අර්බුදයට විසඳුමක් ලබාදිමෙන් පමණකි. ඒ ඉලක්කය සපුරා ගත හැකිවනු ඇත්තේ, පොදු ජාතික එකගතාවක් සඳහා අවශ්‍ය දේශපාලන ඒකාග්‍රතාවක් ඇතිකර ගැනීමෙනි.

දේශපාලන එකගතාවක් යනු මූනිච්චාවට ඇති කරගන්නා එකගතාවක් නොවේ. පොදුවේ එකට එකතු වී තීන්දු ගතහැකි හා එම තීන්දුව පොදුවේ ක්‍රියාවට නැගිය හැකි, බලතල සාධාරණව බෙදියන ආයතන ක්‍රමයක් සඳහා ඇති කරගන්නා එකගතාවකි.

සුනාමිය විසින් ද, යුද්ධය විසින් ද අවතැන් කොට සිටින සියලු දෙනාට නිවාස ලබාදෙමින් එම විපත් දෙක විසින්ම විනාශ කර තිබෙන යටිතල පහසුකම් නැවත ගොඩනැගීම එවැනි වැඩපිළිවෙළක එක් ප්‍රධාන ඉලක්කයක් විය යුතුය.

අකාර්යක්ෂම බවෙන් ද, දූෂිතබවෙන් ද පිරුණු රාජ්‍යය, එහි සුජාතකභාවය පිළිනොගන්නා සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවන ලෙස නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම එවැනි වැඩපිළිවෙළක තවත් ප්‍රධාන ඉලක්කයක් විය යුතුය.

කොටින්ම කායික වශයෙන් ද, ආධ්‍යාත්මික වශයෙන් ද අවතැන් වී සිටින සියලු පුරවැසියන්ගේ පිළිගැනීමට හේතු වන ලෙස වර්ග භේදයෙන්, ආගම් භේදයෙන් හා කුල භේදයෙන් තොර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි රටක් ගොඩනැගීම එහි අරමුණ විය යුතුය.

ඇතිවී තිබෙන මහා විපත ජයගත හැකිවනු ඇත්තේත්, දේශපාලන සුනාමි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේතේ එවැනි වැඩපිළිවෙළකට යොමුවීමට රටට හැකිවේ නම් පමණය.