රට ගොඩනගන ආණ්ඩුවේ සැලසුම

January 16, 2005
Publication:
The National Planning Department's reconstruction plan puts the cost at US$1.5 billion (Rs 145.5 billion). The piece sets out the plan's figures by sector and district and argues that the challenge can be met only by a national programme that unites the country's strength and knowledge.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මේ වන විට රට ගොඩ නගන සැලැස්ම සකස් කර තිබෙන අතර, ඊට අනුව රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මුළු වියදම ඇමරිකන් ඩොලර් බිලියන 1.5කි. රුපියල් බිලියන 145.5කි.

සමස්ත වියදම අංශ අනුව බෙදියන්නේ මෙසේය.

අංශය ප්‍රමාණය

මාර්ග සංවර්ධන ඩොලර් මිලියන 150

දුම්රීය ප්‍රවාහනය ඩොලර් මිලියන 190

විදුලි සංදේශ ඩොලර් මිලියන 30

ජලසම්පාදනය හා සනීපාරක්ෂාව ඩොලර් මිලියන 150

වරාය සේවා සංවර්ධනය ඩොලර් මිලියන 50

විදුලිය ඩොලර් මිලියන 80

සමාජ සේවා ඩොලර් මිලියන 135

නාගරික සංවර්ධන හා නිවාස ඩොලර් මිලියන 400

ධීවර ඩොලර් මිලියන 200

කර්මාන්ත සංවර්ධනය ඩොලර් මිලියන 35

සංචාරක ඩොලර් මිලියන 20

වනජීවී ඩොලර් මිලියන 10

පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය ඩොලර් මිලියන 50

එකතුව ඩොලර් මිලියන 1500

උතුරේ මාර්ග කිලෝමීටර් 106ක් හා පාලමක්ද, නැගෙනහිර මාර්ග කිලෝමීටර් 146ක් හා පාලම් 17ක්ද, දකුණේ මාර්ග කිලෝමීටර් 133ක් හා පාලම් 07ක් ද, බස්නාහිර මාර්ග කිලෝමීටර් 45ක් හා පාලමක්ද හානිවී තිබේ. හානිවී තිබෙන මුළු මාර්ග කිලෝමීටර් ගණන 430ක් වන අතර, හානිවී ඇති පාලම් සංඛ්‍යාව 26කි. හානියට පත්ව තිබෙන මාර්ග හා පාලම් අලුත්වැඩියා කිරීම සඳහා වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 120 (රුපියල් මිලියන 11,640)කි. පළාත් සභා යටතේ ඇති මාර්ග පිළිසකර කිරීම සඳහා වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 30කි. (රුපියල් දශ ලක්ෂ 2910කි.)

දුම්රිය මාර්ග කිලෝමීටර් 163කට හානි සිදුවී තිබෙන අතර, සංඥා කිලෝමීටර් 176කට ද දුම්රිය ස්ථාන 38කටද දුම්රිය මාර්ගවල ඇති පාලම් 6කටද හානි සිදුවී තිබේ. ලොකෝමෝටීව් 04ක් ද, බලවේග කට්ටල 3ක් ද, ඩීසල් එන්ජින් 02ක් ද, මගී පෙට්ටි 10ක් ද, විනාශ වී තිබේ. හානියට පත්ව ඇති දුම්රිය මාර්ග පාලම් සංඥා හා දුම්රිය එන්ජින් සඳහා වෙන් කර තිබෙන මුදල ඩොලර් මිලියන 190 (රුපියල් මිලියන 18,430)කි.

විදුලි බලයට අදාළව අඩු ධාරිතා ශක්තියක් ඇති විදුලි මාර්ග කිලෝමීටර් 600කට, මධ්‍යම ධාරිතා විදුලි මාර්ග කිලෝමීටර් 50කටද හානි සිදුවී තිබේ. අහිමි වී තිබෙන විදුලි සේවා මාර්ග සංඛ්‍යාව 6500කි. විදුලි බලය අහිමි වී තිබෙන පාරිභෝගික සංඛ්‍යාව 200,000කි. විදුලිබල විෂය සඳහා දකුණු හා බස්නාහිර පළාත් දෙක සඳහා ඩොලර් මිලියන 15ක් (රුපියල් මිලියන 1455ක්) ද, උතුරු නැගෙනහිර පළාත් දෙක සඳහා ඩොලර් මිලියන 20ක් (රුපියල් මිලියන 1940ක්) ද, ඉගිනියාගල විදුලිබල උත්පාදනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 12ක් (රුපියල් මිලියන 1164ක්) ද, නැගෙනහිර පළාතේ විදුලි උත්පාදන ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ඩොලර් මිලියන 13ක් (රුපියල් මිලියන 1261ක්) ද, යාපනේ හා මුලතිව් සඳහා ඩොලර් මිලියන 20ක් (රුපියල් දශ ලක්ෂ 1940ක්) ද වෙන්කර තිබේ.

දිස්ත්‍රික්ක 11ක ළිං 25,000ක් ඉදිකිරීම සඳහා වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 6 (රුපියල් මිලියන 582)කි. දිස්ත්‍රික් 11ක නළ ළිං 5000ක් සඳහා වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 1910)කි.

දිස්ත්‍රික්ක අනුව ජල නල සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයන් මෙසේය.

හම්බන්තොට – ඩොලර් මිලියන 12 (රුපියල් දශලක්ෂ 1164)

කොළඹ, ගම්පහ හා පුත්තලම

යන දිස්ත්‍රික්ක සඳහා – ඩොලර් මිලියන 6 (රුපියල් දශලක්ෂ 582)

අම්පාර – ඩොලර් මිලියන 15 (රුපියල් දශලක්ෂ 1455)

මාතර – ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 970)

ගාල්ල – ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 970)

මඩකලපුව – ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 970)

කළුතර – ඩොලර් මිලියන 06 (රුපියල් දශලක්ෂ 582)

යාපනය හා මුලතිව් -ඩොලර් මිලියන 15 (රුපියල් දශලක්ෂ 1455)

විදුලි සංදේශ සේවා සඳහා වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 30 (රුපියල් දශලක්ෂ 2910) කි.

මාර්ග සඳහා වෙන්කර තිබෙන මුදල් මෙසේය.

ගාල්ල – ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 970)

කන්කසන්තුරේ – ඩොලර් මිලියන 12 (රුපියල් දශලක්ෂ 1164)

පේදුරුතුඩුව – ඩොලර් මිලියන 10 (රුපියල් දශලක්ෂ 970)

ත්‍රිකුණාමලය – ඩොලර් මිලියන 05 (රුපියල් දශලක්ෂ 485)

ඔලුවිල් – ඩොලර් මිලියන 05 (රුපියල් දශලක්ෂ 485)

හම්බන්තොට – ඩොලර් මිලියන 05 (රුපියල් දශලක්ෂ 485)

කොළඹ – ඩොලර් මිලියන 03 (රුපියල් දශලක්ෂ 291)

හානිවී තිබෙන පාසල් සංඛ්‍යාව 312කි. ඉන් 242ක්ම අයත්වන්නේ උතුරු නැගෙනහිර පළාත්වලටය. ගුරු පුහුණු විද්‍යාල 17කටද, විශ්වවිද්‍යාල 09කට ද, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 16කටද හානි සිදුවී තිබේ. එම විෂය සඳහා වෙන්කර තිබෙන මුළු මුදල ඩොලර් මිලියන 80 (රුපියල් දශලක්ෂ 7760) කි.

රෝහල් 20කට හානි සිදුවී තිබෙන අතර, ඉන් 16ක්ම අයත්වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙකටය. එම විෂයයට වෙන්කර තිබෙන මුදල ඩොලර් මිලියන 53 (රුපියල් දශලක්ෂ 5141)කි.

විශාල ප්‍රමාණයේ නගර 12කටද, මධ්‍ය ප්‍රමාණයේ නගර 20කටද, කුඩා ප්‍රමාණයේ නගර 30කටද, හානි සිදුවී තිබේ. මුළුමනින් විනාශ වී තිබෙන නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාව 168,000කි. අර්ධ වශයෙන් විනාශ වී තිබෙන නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාව 24,800කි.

විනාශ වී තිබෙන නගර සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන මුදල ඩොලර් මිලියන 300 (රුපියල් දශලක්ෂ 29,100) කි. නිවාස සඳහා ඩොලර් මිලියන 100 (රුපියල් දශලක්ෂ 9700) කි.

ආණ්ඩුව යොමුවී සිටින්නේ සුනාමි හා යුද්ධය යන විනාශයන් දෙක එකට ගෙන එම විනාශයන්ගේ සුන්බුන් මැද රට නැවත ගොඩනගන ප්‍රතිපත්තියකට යනවා වෙනුවට යුද්ධයෙන් සිදුවූ විනාශය අමතක කොට සුනාමි විපතට පමණක් සීමාවූ තත්ත්වයකින් ක්‍රියාකරන්නටය.

මෙම මූලික ප්‍රශ්න දෙක (සුනාමි හා යුද්ධය) එකට ගෙන රට ගොඩනගන ප්‍රතිපත්තියකට ගියේ නම් එවැනි වැඩපිළිවෙළක් ජාත්‍යන්තර ප්‍රජාවගේ සේම දේශීය ජනතාවගේ ද වඩා ආකර්ෂණයටත්, පිළිගැනීමටත් හේතුවන්නට ඉඩ තිබුණි.

යුද්ධය විසින් ඇති කර තිබෙන විනාශය නොසලකා සුනාමි විසින් ඇති කර තිබෙන විනාශය පමණක් සැලකිල්ලට ගෙන ක්‍රියාකරන වැඩපිළිවෙළක්, ඉරිතැලී තිබෙන රට එක්සත් කරනවා වෙනුවට කැබලි කිරීමට ද හේතුවිය හැකිය.

මේ විනාශයන් දෙක මගින් ඇති කර තිබෙන විනාශයන්ගේ ස්වභාවය හා තරම බොහෝදුරට සමානය. විසි වසරක් තිස්සේ පැවති යුද්ධය විශාල පිරිසකට නිවාස අහිමි කර තිබුණේය. සුනාමි විපත තවත් අලුත් පිරිසකට උන්හිටි තැන් අහිමි කරමින් එතෙක් උතුරු නැගෙනහිරට පමණක් සීමාවී තිබුණු අනාථභාවය පිළිබඳ ප්‍රශ්නය දකුණට ද පොදු ප්‍රශ්නයක් බවට පත් කළේය. යුද්ධය විසින් නගර ද, අධෝව්‍යුහමය පහසුකම් ද බිඳ දමා තිබුණි. සුනාමි එම තත්ත්වය තවදුරටත් වර්ධනය කොට නගර හා අධෝව්‍යුහමය පහසුකම් බිඳවැටීමේ ක්‍රියාදාමය දකුණට ද අදාළ පොදු ප්‍රශ්නයක් බවට පත් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගණන් හිලව් අනුව 2002 වසර වන විට යුද්ධය නිසා අභ්‍යන්තරික වශයෙන් අවතැන්වී සිටි අයගේ සංඛ්‍යාව 800,000කි. සුනාමි එම ගණයට තවත් දශලක්ෂයක් අලුතෙන් එකතු කරමින් රටේ අවතැන්වූවන්ගේ සංඛ්‍යාව 1,800,000ක් බවට වර්ධනය කළේය.

යුද්ධය නිසා මුළුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබූ නිවාස සංඛ්‍යාව 326,700කි. සුනාමි ඊට තවත් 250,000ක් (නිවාස හා ගොඩනැගිලි) එකතු කොට එම සංඛ්‍යාව 576,700ක් බවට පත්කර ඇත්තේය.

සුනාමි නිසා විනාශ වී තිබෙන පාසල් කාමර සංඛ්‍යාව කොතෙක්දැයි ගණන් බලා නැතත්, (දැනට කර තිබෙන තක්සේරුවට අනුව හානියට පත් පාසල් සංඛ්‍යාව 312කි.) උතුරු නැගෙනහිර ප්‍රදේශවල පමණක් යුද්ධය නිසා පන්ති කාමර 15,000ක් මුළුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ කොට තිබුණි.

සුනාමි විසින් කොළඹ-මාතර දුම්රිය මාර්ගය විශාල ප්‍රමාණයකට විනාශ කර තිබේ. යුද්ධය විසින් උතුරු නැගෙනහිර දුම්රිය මාර්ග ද විශාල ප්‍රමාණයකට විනාශ කර තිබුණු අතර, යාපනය-වව්නියාව දුම්රිය මාර්ගය ආරම්භ කිරීමට දුම්රිය මාර්ග කිලෝ මීටර් 160ක් ද, මැදවච්චි-තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය විවෘත කිරීමට දුම්රිය මාර්ග කිලෝ මීටර් 100ක් ද අලුතෙන් ඉදිකළ යුතුව තිබේ.

මේ විපත් දෙකේ ස්වභාවය බොහෝ දුරට එක සමානය. වෙනසකට ඇත්තේ වසර 20කටත් වැඩි කාලයක් තුළ යුද්ධය විසින් ඇති කරන ලද ජීවිත විනාශය හා දේපළ හානියට සමාන ජීවිත හානියක් හා දේපළ විනාශයන් විනාඩි 20ක් වැනි කාලයක් තුළ සිදුවීමය. එය අවුරුදු 20ක් තිස්සේ පැවති යුද්ධය විනාඩි 20ක් තුළ එකට කැටිකිරීමක් ලෙස ද සැලකිය හැකිය. ආණ්ඩුව ඉදිරියට ගෙනවිත් තිබෙන රට ගොඩනගන වැඩපිළිවෙළට ආවේණික ඊළග සීමාව වනුයේ ආණ්ඩුවේ ප්‍රවේශය, සිදුවී තිබෙන විනාශයට ගැළපෙන තරම් විශාල නොවීය. සුනාමි නිසා සිදුවී තිබෙන විනාශය ඉතා විශාල වන අතර, එය යුද්ධය විසින් ඇති කර තිබෙන විනාශය සමග එකට ගත්විට ඊටත් වඩා විශාලය.

එහෙත් ආණ්ඩුව රට නැවත ගොඩ නැගීමට යන වියදම ලෙස තක්සේරු කොට ඇත්තේ ඩොලර් බිලියන 1.4ක් හෝ රුපියල් බිලියන 105කි. ඩොලරයක් සඳහා රුපියල් හුවමාරු අනුපාතිකය රුපියල් 97ක් ලෙස ගතහොත් ඩොලර් බිලියන 1.4ක් රුපියල් බිලියන 135.8 හෙවත් රුපියල් කෝටි 13,500කට සමානය. රුපියල් බිලියන 105ක් රුපියල් කෝටි 10,185කට සමානය.

ඩොලරයක් සඳහා රුපියලේ හුවමාරු අනුපාතිකය රු. 16.00 සිට රුපියල් 27.16ක්ව (1977දි එය රුපියල් 16 ක් ද, 1980 දී 18.30ක් ද, 1987 දී 27.16ක් ද විය.) පැවති යුගයේ පවා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ වියදම රුපියල් බිලියන 53ක් හෙවත් රුපියල් කෝටි 5300ක් විය. වර්තමාන මිල ගණන් අනුව මහවැලියේ වියදම පවා රට ගොඩ නගන්නට ආණ්ඩුව තක්සේරු කර තිබෙන වියදමට වඩා වැඩිවිය හැකිය. එයින් පෙනෙන්නේ රට නැවත ගොඩනැගීම සඳහා ආණ්ඩුව ආරම්භ කොට ඇති වැඩපිළිවෙළ ජේ.ආර්.ගේ මහවැලි වැඩපිළිවෙළටත් වඩා කුඩා බවය.

ආසියානු සංවර්ධන බැංකුව හා ජපාන සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ වියදම ද රුපියල් බිලියන 29කි. (රුපියල් කෝටි 2900)කි. කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් කොළඹ නගරය සඳහා සැලසුම් කළ කිලෝමීටර් 28ක් දිග අධිවේගී මාර්ගය සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම පවා රුපියල් බිලියන 17කි. එහෙත් විනාශ වූ රටක් ගොඩනගන්නට ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් බිලියන 105කි.

සුනාමි විපතක් නොතිබියදිත් ටෝකියෝ ආධාර සමුළුව වසර තුනක් සඳහා රුපියල් කෝටි 45,000ක් ශ්‍රී ලංකාවට වෙන් කර තිබුණේය. එය එක් වසරක් සඳහා රුපියල් කෝටි 15,000කට සමානය. එහෙත් සුනාමි විපතින් පසුත් රට ගොඩ නගන්නට යන මුළු වියදම රුපියල් කෝටි 10,185කි.

නිවාස අහිමි වී සිටින අයට අලුතෙන් නිවාස ලබාදිම සඳහා වෙන්කර තිබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කි. එය රුපියල් කෝටි 970කට සමානය.

ජනාධිපතිනිය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතා (ජනවාරි 11 දිනමිණ පුවත්පත වාර්තා කර ඇති පරිදි) ප්‍රකාශ කර ඇත්තේ නිවාස අහිමිවූ සියලු දෙනාට මාස තුනක කාලයක් තුළ නිවාස ලබාදෙන බවය. විශාල තට්ටු නිවාස ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ එම තට්ටු නිවාස ඉදිකොට ජනතාව එහි පදිංචි කරවන බවත්, ඇය වැඩිදුරටත් එහිදි ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ආණ්ඩුව සකස් කර තිබෙන සැලැස්මෙන් එවැනි දැවැන්ත වැඩපිළිවෙළක් සඳහා නම් ප්‍රමාණවත් තරම් අරමුදල් වෙන් කොට නැත. නිවාස ඉදිකිරීම සඳහා වෙන් කොට ඇත්තේ රුපියල් කෝටි 970ක් පමණය. එම සැලැස්මට ඇතුළත් ආණ්ඩුවේම ඇස්තමේන්තු අනුව මුළුමනින් විපතට පත්ව තිබෙන නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාව 168,400කි. අර්ධ වශයෙන් විනාශ වී ඇති නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාව 24,800කි. මුළු ගණන 193,200කි. වෙන් කර තිබෙන මුදල විනාශ වී තිබෙන ගෙවල් සංඛ්‍යාවෙන් බෙදූවිට එක් නිවසක් සඳහා ලැබෙන මුදල රුපියල් 50,000කි. එවැනි මුදලකින් තට්ටු නිවාස සංකීර්ණ ඉදිකළ නොහැකිය. එවැනි මුදලකින් ඇති කළ හැක්කේ මුඩුක්කු හා පැල්පත් ක්‍රමයක් පමණය.

සුනාමි ඛේදවාචකය විසින් ජාතියට දී තිබෙන නිමිත්ත නැවත රට ගොඩ නැගීමට හා එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම සඳහා වන නිමිත්තක් බවට හරවාගැනීමට අවශ්‍ය නම්,

1. සුනාමිය විසින් ද, යුද්ධය විසින් ද ඇති කර තිබෙන විනාශය එකට ගෙන රට ගොඩ නගන වැඩපිළිවෙළක් ඇති කරගත යුතුය.

2. එවැනි වැඩපිළිවෙළක් සුනාමි හා යුද්ධය නිසා නිවාස අහිමි වී සිටින සියලු දෙනාට නිවාස ලබාදෙන හා විනාශ වී තිබෙන නගර හා අධෝව්‍යුහ පහසුකම් වඩා නවීන ආකාරයකින් ගොඩ නගන ව්‍යාපාරයක් විය යුතුය.

3. ආර්ථික තලය ගොඩගැනීමෙන් පමණක් රට ගොඩනැගිය නොහැකිය. විනාශ වී තිබෙන දේශපාලන මතු මහල ද ඒ සමග නැවත ගොඩනැගිය යුතුය. දැන් රටේ පවතින්නේ දූෂිත අකාර්යක්ෂම හා එක්තරා විශාල ප්‍රමාණයකට ආඥාදායක පන්නයේ රාජ්‍යයකි. නීතියේ පාලනයක් එය තුළ නොපවතී. එහි ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන, එයට අවනතවීම ප්‍රතික්ෂේප කරන විශාල ජන සමාජයක් රටේ සිටී. ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍යයෙන් පිටස්තර වී සිටින සියලු දෙනාට බලකිරීමකින් තොරව රාජ්‍යයට එකතු කරගත හැකි ආකාරයටත්, රාජ්‍යයෙන් වෙන්වී නැතත්, රාජ්‍යය කෙරෙහි අතෘප්තියකින් පසුවන සියලු දෙනාගේ තෘප්තියට හේතුවන ආකාරයටත් රාජ්‍ය නැවත ව්‍යුහගත කොට නව ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කළ යුතුය. එය රට ගොඩනගන වැඩපිළිවෙළේම ප්‍රධාන කොටසක් බවට පත්කර ගත යුතුය.

4. රට ගොඩ නගන වැඩපිළිවෙළ දේශපාලන කට්ටිවාදයකින් තොරව ඉදිරියට ගෙනයෑම සඳහා සීමිත කාලයක් සඳහා සර්වපාක්ෂික ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ද සර්වපාක්ෂික ආණ්ඩු ව්‍යුහයක් ද ඇති කරගත යුතුය. සර්වපාක්ෂික ජාතික මෙහෙයුම් මණ්ඩලයට උපදෙස් දිම පිණිස දේශීය හා විදේශීය නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික උපදේශක මණ්ඩලයක් ඇති කරගත යුතුය. රට ගොඩ නගන සැලැස්ම සකස් කිරීමේ වගකීම එම ජාතික උපදේශක මණ්ඩලයට භාරදිය යුතුය.

6. නිවාස තැනීම නව නගර තැනීම වැනි ක්‍රියාකාරකම් අරඹා ඒවා ඉදිරියට ගෙන යන අතර, රාජ්‍ය ව්‍යුහගත කොට නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය කරන මූලධර්ම හඳුනාගෙන (නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්) එම මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමෙන් පසුව (සර්වපාක්ෂික ආණ්ඩුවේ නිල කාලය සම්පූර්ණ වීමෙන් පසුව) මැතිවරණයකට යා යුතුය. තේරි පත්වන නව පාර්ලිමේන්තුව හඳුනාගත් මූලධර්ම මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට එය සම්මත කරගත යුතුය.

මතුවී තිබෙන අභියෝගය ජයගත හැකිවනු ඇත්තේ ජාතියේ ශක්තිය හා ඥානය එකට කැටි කොට මුදාහැරෙන එවැනි ජාතික වැඩපිළිවෙළකින් පමණය.