අධිකරණයේ ගරා වැටීම

December 26, 2004
Publication:
A Daily Mirror front-page photograph of the Hyde Park rally held on the 21st for S.B. Dissanayake's release prompts reflection on where the crisis around the Chief Justice is heading. The Bar Association and every party looked away while the cancer spread, and their opportunism now threatens a complete collapse of the system of justice.

එස්.බී. දිසානායක මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් 21 වැනිදා හයිඩ්පාක් පිටියේ පවත්වන ලද විරෝධතා රැළියට අදාළව 22 වැනිදා “ඩේලි මිරර්” පුවත්පතේ මුල් පිටුවේ පළකර තිබූ ඡායාරූපය පාඨක අවධානය පිණිස මෙවර රාවයේ ද පළ කර තිබේ. එම ඡායාරූපයෙන් පෙනෙන්නේ මෙම විරෝධතා රැළියට බල්ලන් ද යොදාගෙන තිබුණු බව ය. ඡායාරූපයේ දැක්වෙන බල්ලාගේ පිට මත එල්ලා තිබෙන රෙද්දේ ලියා ඇත්තේ “අපි සරත් වගේ නොවෙයි” කියන පාඨයයි. ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා ආශ්‍රයෙන් අධිකරණයේ මතුවී තිබෙන අර්බුදය නොවිසඳී කුණු වෙන්නට ඉඩ හැරිම හේතු කොටගෙන දැන් එය ගමන් ගනිමින් තිබෙන දිසාව ගැන අපට කණගාටු වනවා මිස සතුටුවීමේ හැකියාවක් නැත. ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවිය යුතු ආයතනයක් ඇද වැටී තිබෙන තරම ඛේදජනක ය.

අධිකරණය මෙවැනි තත්ත්වයකට ඇද දැමීම ගැන අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පමණක් නො ව, තවත් බොහෝ දෙනෙකු ද වගකිව යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයක සිටි පුද්ගලයෙකු ඔහුගේ හා තමන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි ගරු කටයුතු තනතුරකට පත් කිරිමෙන් ජනාධිපතිනිය කර ඇත්තේ රටක පාලකයකු නො කළ යුතු බරපතළ වරදකි. ඒ වරද කරන්නට පෙර එසේ නො කරන ලෙස ජනාධිපතිනියට සමීප එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්. ගුණසේකර, ඊ.ඩී. වික්‍රමනායක වැනි ගරු කටයුතු නීතිඥ පිරිසක් ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටිය හ. එහෙත් ඇය ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත. ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්‍රධාන නිලධාරියා ද ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබෙන පරික්ෂණය අවසන් වන තෙක් ඔහු එම තනතුරට පත් නො කරන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියත්, ඈ ඒ ඉල්ලීමට ද ඇහුම්කන් නුදුන්නා ය.

ඉන්පසු සිදුවූයේ තනතුරට පත්වූ එම පුද්ගලයාගේ වියරු ක්‍රියාකලාපය ඉදිරියේ නීතිඥ සංගමයත්, සියලු දේශපාලන පක්ෂත් ඇස් වසාගෙන බලා සිටීම ය. පිළිකාව අධිකරණ ශරීරය පුරා පැතිරෙන්නට ප්‍රථම කපා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද, සියලු දේශපාලන පක්ෂ විවිධ හේතු මත පිළිකාව මුළු ශරිරය පුරා පැතිරෙන්නට ඉඩ හැර බලා සිටියේ ය.

අධිකරණ ස්වාධීනත්වය ගැන උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකා අධිකරණයේ ගමන් මග දෙස බලා සිටියේ මහත් සංවේගයෙන් යුතුව ය. ඔවුන් දිගින් දිගට අනතුරු ඇගවීම් කළත්, පාලක පක්ෂයට හෝ විපක්ෂයට ඔවුන්ගේ හඬ ඇසුණේ නැත. ජිනීවා නගරය මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ජූරී සංගමය වරක් තමන් දරන අගවිනිසුරු තනතුර අත්හැර යන ලෙස අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ ය. ඉන්පසු ජාත්‍යන්තර නීතිඥ සංගමය ශ්‍රී ලංකාවට ත්‍රිපුද්ගල දූත මණ්ඩලයක් එවා රටේ ඇති තතු පරික්ෂා කොට බලා ශ්‍රී ලංකාවේ අධිකරණය හා නීතියේ පාලනය බිඳ වැටීම පිළිබඳ දිර්ඝ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවත් අඩුම වශයෙන් ඒ වාර්තාව වත් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය හා ජාතික හෙළ උරුමය යන සියලු පක්ෂ මේ ප්‍රශ්නය සමග පන්දු ගැසුවේ ය. පිළිකාව මුළු අධිකරණ ශරිරය පුරා ම පැතිරෙන්නට ඉඩ හැර බලා සිටියේ ය.

අවසාන විග්‍රහයේ දී ඒ සියලු දෙනාගෙන් අවස්ථාවාදයන්ගේ අවසාන ඵලය වී ඇත්තේ යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමයේ පරිපූර්ණ බිඳ වැටීමක් ඇති වන තත්ත්වයක් ගොඩ නැගීමය. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යන්නට ඉඩදි බලා සිටියහොත් විශාල විනාශයක් ඇතිවනු නො වැළැක්විය හැකි ය. එවැනි තත්ත්වයක් ඇතිවන්නට පෙර වෙනසක් සඳහා මැදිහත්වීමේ වගකීමක් සියලු දේශපාලන පක්ෂවලට සේ ම සිවිල් සමාජයට ද ඇතැයි අපි සිතමු.