එස්.බී. හිරේ යැවීමට හේතුවූ නඩු තීන්දුවෙන් මතු කරන ලොකුම ප්රශ්නය ඒ තීන්දුව දිමේ ක්රියාවලියේදි ද අගවිනිසුරුවරයා වංචාවක් කර ඇත්තේ ද යන ප්රශ්නයයි.
දැනට හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව තමන්ට එරෙහිව එල්ල වී තිබුණු අධිකරණ අපහාස චෝදනාවට එරෙහිව නෛතික වශයෙන් අභියෝග කරන තැනකට යන්නට තීරණය කොට ඒ සඳහා සූදානම් වෙමින් සිටි එස්.බී. දිසානායක ඒ ස්ථාවරය අතහැර වරද පිළිගෙන සමාව ඉල්ලීමට තීරණය කර ඇත්තේ එසේ කරන්නේ නම් අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන බවට එස්.බී.ට ලබාදෙන ලද පොරොන්දුවක් යටතේය.
එස්.බී. එල්ල කරන එම චෝදනාව පිළිගත හැකි ශක්තිමත් පදනමක තිබෙන බව ද බැලු බැල්මට පෙනී යයි. එල්ල වී තිබෙන චෝදනාවට එරෙහිව නෛතික වශයෙන් බලවත් ලෙස අභියෝග කිරීමේ ඇත්ත හැකියාවක් එස්.බී.ට තිබුණි. අගවිනිසුරුවරයා අධිකරණය එක් පක්ෂයක දේශපාලන අතකොලුවක් බවට පත් කොට ගෙන තිබුණි. අනෙක් අතට අධිකරණය වෙනත් විවිධ අය වෙතින් බලවත් ලෙස විවේචනයට ලක්ව තිබූ ආයතනයක් විය. අගවිනිසුරුවරයාට එරෙහිව විශාල පොතක්ද, ජාත්යන්තර වාර්තා ගණනාවක්ද පළවී තිබුණි. දෝෂාභියෝග දෙකක් හා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් වී තිබුණි. එම දෝෂාභියෝග යෝජනාවලට හා තේරිම් කාරක සභා යෝජනාවට ඇතුළත් චෝදනා ද ඉතාමත් බරපතළ මට්ටමක පැවතුණි. අධිකරණය පක්ෂ දේශපාලනයක නිරත වන තත්ත්වයක් යටතේ ප්රතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් අධිකරණය බලවත් ලෙස විවේචනය කිරීම වරදක් නොවන බවට ශක්තිමත්ව තර්ක කිරීමේ හැකියාවක් එස්.බී.ට තිබුණි. අනෙක් අතට එවැනි නඩුවකදි අගවිනිසුරුවරයාට පහසුවෙන් මුහුණ දිය නොහැකි ආකාරයේ ලජ්ජාවට හේතුවන කාරණා ද ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔහුට තිබුණි.
ඔහු ඒ සඳහා හොඳින් සූදානම් වෙමින් සිටියේය. ඔහුගේ නීතිඥයන් සූදානම් වෙමින් සිටියේද එවැනි නෛතික සටනකටය.
අගවිනිසුරුවරයාට එරෙහිව දියවන්නා ඔය ගෑනු හුටපටය මත එල්ල වී තිබුණු චෝදනා ගැන පරික්ෂා කරන තැනකට එජාපය යෑම වළකා ගැනීමට අවශ්ය වී සිටි අගවිනිසුරුවරයා ඒ දේ එස්.බී. මගින් කරගැනීමට මේ නඩුව ආයුධයක් කරගත්තේය. “දියවන්නාඔය සිද්ධිය ඔයා බලාගන්න. මම ඔයාගේ නඩුව බලාගන්නම්” යන්න එහිදි ඇති කරගත් එකගත්වය වූ බව පෙනේ. එස්.බී. මෝඩයකු නොවූවත්, තමන් සමග ඇති කරගත් එකගත්වය අගවිනිසුරු අකුරටම ඉටු කරනු ඇතැයි ඔහු විශ්වාස කළ බව ද පෙනේ. එල්ල වී තිබුණු චෝදනාවට එරෙහිව කරන අරගලය අත්හැරිමට එස්.බී. ගනු ලැබූ තීන්දුව එස්.බී. වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය ද දැන සිටියේය.
මෙම ගනුදෙනුවේ ප්රධාන අතරමැදියා ලෙස ක්රියා කළේ ප්රභාත් නානායක්කාර නමැති පුද්ගලයාය. අගවිනිසුරු වෙනුවෙන් එස්.බී.ට ඔලිව් අත්ත දිගුකළේ ඔහුය.
අගවිනිසුරු ලවා එම පොරොන්දුව සිය නීතිඥ මණ්ඩලයේ ප්රධානියාට කියවා ගැනීමට එස්.බී.ට අවශ්ය වූ අතර, ඒ වෙනුවෙන්ම ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අගවිනිසුරු හමුවූයේය. වරද පිළිගන්නේ නම් අත්හිටවූ සිරදඬුවමක් දෙන කතාව අගවිනිසුරු එහිදි සහතික කළේය. ඉන්පසු රොමේෂ් ද සිල්වා මහතා ඒ බව සිය නීතිඥ මණ්ඩලයේ සිටි එස්.බී.ට සමීප නීතිඥයා ලෙස සැලකිය හැකි නීතිඥ චන්දන පෙරේරා සමග ද ප්රකාශ කළ අතර, ඔහු ඒ බව ඒ මොහොතේදිම එස්.බී.ට සිය ජංගම දුරකතනෙයන් දැනුම් දුන්නේය. රොමේෂ් ද සිල්වා මහතා ඒ බව ජනාධිපති නීතිඥ ඩෙස්මන් ප්රනාන්දු මහතාට ද දැනුම් දුන්නේය.
අගවිනිසුරුගේ පොරොන්දුව පිළිබඳව එස්.බී.ට අල්පමාත්රයක සැකයක්වත් තිබුණු බවක් පෙනෙන්නට නැත. එස්.බී.ට අවශ්ය නම් එදා උසාවි නොගොස් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමේ හැකියාව තිබුණි. එහෙත් උසාවි ගියේ තමන්ට නිදහස ලැබෙන බවට පූර්ණ විශ්වාසයක් තිබූ නිසාය. එස්.බී. උසාවි යන විට සමීප පුද්ගලයෝ මල්මාලා ද රැගෙන ගියහ.
තමා උගුලකට අසුවී ඇති බව එස්.බී. දැනගත්තේ තීන්දුව ප්රකාශ කිරිමෙන් පසුවය. එය පහසුවෙන් ඉවසිය නොහැකි තත්ත්වයක් වුවත්, ඔහු එම තත්ත්වයට ධෛර්යවන්තව මුහුණ දුන්නේය.
8 වැනි බදාදා ප්රභාත් නානායක්කාර එස්.බී. බලන්නට හිරගෙදරට ගියේය. එස්.බී.ගේ බිරිඳට පවා එස්.බී. බලන්න බැරි තත්ත්වයක් තිබියදි ප්රභාත් නානායක්කාරට එස්.බී. බලන්නට විශේෂ අවසරයක් ලැබුණේ කෙසේද යන ප්රශ්නයක් එස්.බී.ගේ පවුලේ අයට තිබුණේය.
ප්රභාත් එහිදි එස්.බී.ට කියා ඇත්තේ අමුතුම කතාවකි. සිරදඬුවම් දෙන තීන්දුවකට යන්නට වූයේ ජනාධිපතිනියගෙන් එල්ල වූ දැඩි බලපෑම නිසා බව සී.ජේ කී බවත්, සති කිහිපයක් තුළ ඔහු නිදහස් කිරීමට ක්රියාකරන බවට සී.ජේ. පොරොන්දු වූ බවත් ඔහු කියා තිබේ. ප්රභාත් කියන දේට සන්සුන්ව ඇහුම්කන් දී ඇති එස්.බී. අවසානයේදි සී.ජේ.ට සැර පණිවුඩයක් දී ඇතත්, ඔහු කියා ඇති දේ මෙහි ලිවිය නොහැකිය.
ප්රභාත් නානායක්කාර අගවිනිසුරුගේ සමීප හිතවතකු බව සැක රහිතව තහවුරු කළ හැකිය. සී.ජේ. ප්රභාත් නානායක්කාරටත්, ප්රභාත් නානායක්කාර සී.ජේ.ටත් නිරන්තරයෙන් කතා කරන බව ඔවුන්ගේ දුරකතන බිල්පත්වලින් සනාථ කළ හැකිය.
අනෙක් අතට මේ ප්රභාත් නානායක්කාර වෙනත් ආරාවුල් ගණනාවකදිද අගවිනිසුරුගේ අතරමැදියකු ලෙස ක්රියාකර තිබේ. “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත්වූ අවස්ථාවේදිද එකගත්වයක් ඇතිකර ගැනීම සඳහා අගවිනිසුරු අතරමැදියකු ලෙස යොදාගෙන ඇත්තේ ද ප්රභාත්ය.
ප්රශ්නය අගවිනිසුරු මේ නඩුවේදි වංචාවක් කර ඇත්නම් එය විසඳගත් යුතුව තිබෙන්නේ කෙසේද? අගවිනිසුරුගේ මෙම නොමනා ගනුදෙනුව සෙසු විනිසුරුවරුන් නොදැන සිටියා විය හැකිය. එහෙත් අගවිනිසුරු එම විනිශ්චය මණ්ඩලයේ ප්රධානියා ලෙස ක්රියා කළේය.