එජා. පක්ෂයේ ජාතික සංවිධායක එස්.බී. දිසානායක මහතාට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ දෙන ලද නඩු තීන්දුව විවාදයට හේතුවී තිබෙන නඩු තීන්දුවක් වී තිබේ.
එස්.බී. වරක් පොදු පෙරමුණ වෙනුවෙන් අධිකරණයට ප්රසිද්ධියේ තර්ජනය කළේ ය. තමන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථාව ඉදිරියට ගෙනයෑමට ඉඩ නොදේ නම්, එක්තරා කාලයකට අධිකරණය වසා දමා හෝ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔහු කියා සිටියේ ය. එම ප්රකාශයට එරෙහිව අගවිනිසුරු හැර ශ්රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරු බලවත් ලෙස නැගී සිටිය හ. එස්.බී. ට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ ක්රියාකරන ලෙස ඔවුහු අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලා සිටිය හ.
එස්.බී. ඒ මොහොතේ පෙනී සිටියේ පොදු පෙරමුණ වෙනුවෙන් වීම හේතු කොටගෙන අගවිනිසුරු ඔහු ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේ ය.
ඉන්පසු එස්.බී. එක්සත් ජාතික පෙරමුණට එක්වීමෙන් පසුව තමන් වෙත පැවරි තිබෙන බලතල පිළිබඳව ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණයෙන් කරන ලද කරුණු විමසීම ගැන දෙන්නට නියමිතව තිබුණු තීන්දුව පිළිබඳව දැඩි විවේචනාත්මක ස්වරයකින් කතා කළේ ය. එහිදි ඔහු කියා ඇත්තේ ඒ ගැන ශ්රේෂ්ඨාධිකරණය දෙන බලු තීන්දු පිළිනොගන්නා බව ය. එස්.බී. දිසානායක වප් මගුලේදි කරන ලද එම කතාව ආණ්ඩුවේ රූපවාහිනී ආයතන විසින් එක දිගින් දිගටම ප්රචාරය කළේ ය. එස්.බී. තමන් කළ ප්රකාශයට සමාව ලබාගැනීමෙන් පසුත් ආණ්ඩුවේ රූපවාහිනී ආයතන එම කතාව අවස්ථා කිහිපයක් ම ප්රචාරය කළේ ය.
එස්.බී. ගේ ප්රකාශයෙන් ශ්රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී නම්, එම අපහාසාත්මක ප්රකාශය රස කර කර දිගින් දිගට ප්රචාරය කළ ආයතන විසින් ද ශ්රේෂ්ඨාධිකරණයට වඩා බරපතළ ලෙස අපහාස කිරීමක් කර ඇති බවට සැකයක් නැත. එහෙත් ශ්රේෂ්ඨාධිකරණයට එස්.බී. මිස , එස්.බී. ගේ අපහාසාත්මක ප්රකාශය පුන පුනා ප්රචාරය කළ ජනමාධ්ය ආයතන වැදගත් වූයේ නැත.
උසාවි අපහාස නීතිය අර්ථකථනය කෙරෙන්නේ ද භාවිතා කෙරෙන්නේ ද ඈත අතීතයේ අර්ථකථන කෙරුණු ආකාරයට හෝ භාවිතා කෙරුණු ආකාරයට නොවේ. අදහස් පළකිරීමේ නිදහසට බාධාවක් නොවන ආකාරයට ය.
අගවිනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්රකාශ කර ඇත්තේ උසාවි අපහාස වරදකට අවුරුදු හය දක්වා වන සිරදඬුවමක් පැමිණවිය හැකි බව ය. එයින් හා එම තීන්දුවේ අන්තර්ගත කරුණු වලින් පෙනෙන්නේ ශ්රී ලංකාවේ ද උසාවි අපහාස නීතිය අර්ථකථනය කෙරෙන්නේ ද භාවිතා කෙරෙන්නේ ද කෝපි කාලේ ඒ නීතිය ක්රියාත්මක කළ ආකාරයට ම බව ය.
උසාවියට අපහාස කිරීමේ වරදක් යන්නෙහි නියම අර්ථය උසාවි නියෝගයක් පැහැර හැරිම, ක්රියාත්මක කිරීමට බාධා කිරීම හෝ යුක්තිය පසිඳලන ක්රියාවලිය පවත්වාගෙන යෑමට කරන බාධාවන් ය. අධිකරණයේ හෝ අධිකරණ නිලධාරින්ගේ වැරදි භාවිතයන්ට අදාළව කරන විවේචන හෝ නඩු තීන්දු ගැන කරන විරෝධතා උසාවි අපහාස ලෙස සැලකෙන්නේ නැත.
අධිකරණය මුළුමනින් පක්ෂ දේශපාලනයෙන් පිටස්තරව ස්වාධීනව සිටිය යුතු ය. අධිකරණය තෝරාගත් පක්ෂයක් වෙනුවෙන් ක්රියා කරන තත්ත්වයකට යයි නම්, අනෙක් පක්ෂ අධිකරණය ද ඉලක්ක කොට පහර දෙන තත්ත්වයකට තල්ලුවීම නො වැළැක්විය හැකි ය. අවාසනාවකට අද අපේ අධිකරණය තිබෙන්නේ පක්ෂ දේශපාලනයක නිරත වන තත්ත්වයක ය. දේශපාලකයන් අධිකරණයට පහර දෙන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ එහි ප්රතිඵලයක් වශයෙනි. පන්සලක්, පල්ලියක් වැනි පූජනීය ස්ථානයක් පක්ෂ දේශපාලනයක යෙදේ නම්, එම පූජනීය ස්ථානය පාක්ෂිකයන්ගේ, සියලු ආගමිකයන්ගේ ගෞරවයට හේතුවන ස්ථානයක් වන්නේ නැත. දැන් අපේ අධිකරණයට සිදුවී තිබෙන්නේ ද එය ම ය.
අධිකරණයක් පක්ෂ දේශපාලනයක යෙදේ නම්, ඒ අධිකරණය තමන්ට එල්ල වන පහරදිම් ඉවසිය යුතු ය. දේශපාලන වශයෙන් එල්ල වන පහරදිම්වලදි දඬුවම් කිරීමේ බලයක් අධිකරණයට හිමිවන්නේ ඒ අධිකරණය පක්ෂ දේශපාලනයක නිරත නො වන, ස්වාධීන අධිකරණයක් වන්නේ නම් පමණ ය. ඒ අර්ථයෙන් එස්.බී. ගෙන් එල්ල වූ ප්රහාරය කර්කශ වුවත්, අධිකරණය එය නො සලකා හැරීය යුතුව තිබුණි.
අධිකරණය දේශපාලනයක නො යෙදෙන ස්වාධීන අධිකරණයක තත්ත්වයක තිබියදි වුවත්, මෙවැනි අපහාස වරදකට බරපතළ වැඩ ඇතිව අවුරුදු දෙකක් තරම් දඬුවමක් දිම සාධාරණ වන්නේ නැත. මේ නීතිය නූතන ලෝකයේ ක්රියාත්මක වන ආකාරය අනුව එවැනි වරදකට සතියක තරම් දඬුවමක් වුවත් බරපතළ වැඩි ය. අරුන්දතී රෝයිට දෙන ලද එක් දින සිරදඬුවම පවා විග්රහ වී ඇත්තේ ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය සිය මහන්තත්ත්වය ප්රදර්ශනය කළ අවස්ථාවක් ලෙස ය. එස්.බී. විසින් පළ කරන ලද වචන ඉතාමත් කර්කශ විය හැකි වුවත්, දේශපාලනඥයකු විසින් දේශපාලනයක යෙදෙන අධිකරණයක් සම්බන්ධයෙන් පළ කරන එවැනි විවේචන සඳහා අවුරුදු දෙකක සිරදඬුවමක් පැමිණවීම ශ්රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හේතුවන්නේ නැත. එහෙත් අවාසනාවකට අපි ජීවත්වන්නේ අධිකරණ ශාලාවක බුලත්විට කන මිනිසුන්ට පවා සිරදඬුවම් පමුණුවන රටක ය.