ඔහු කියන්නේ තමන් ඉදිරිපත් කර තිබෙන අන්තර් පාලන යෝජනා පදනම් කොටගෙන සාකච්ඡා ආරම්භ කළ යුතු බව ය. තමන්ගේ යෝජනාවන්ට ඇතුළත් කරුණු අතර, මතභේදයට හේතුවන කාරණා වේ නම් ඒවා ගැන ද සාකච්ඡා කළ හැකි බව ඔහු කියයි.
අන්තර් පාලන යෝජනා හා අවසාන විසඳුමක් ඇති කරගැනීම පිළිබඳ ප්රශ්නය එකට ගෙන කතා කරන්නට ප්රභාකරන් සූදානම් නැත. ඔහු කියන්නේ අන්තර් පාලන ව්යුහයක් ඇති කරගැනීමෙන් පසුව අවසන් විසඳුම ගැන සාකච්ඡා කරන්නට තමන් සූදානම් බව ය.
ඔහුගේ කතාව විවාදයට හේතුවිය හැකි වුවත්, තමන් අදහස් කරන්නේ මොනවා ද යන්න හා ඒවායේ සීමා නිර්ණයන් ඔහු පැහැදිලිව ප්රකාශ කර තිබේ.
ඔවුන් ඉදිරිපත් කර තිබෙන අන්තර් පාලන යෝජනා මත සාකච්ඡා ආරම්භ කරන්නට ජනාධිපතිනිය කැමති නම්, වහාම සාකච්ඡා ආරම්භ කළ හැකි තත්ත්වයක් පවතී. ප්රභාකරන් යොජනා කර තිබෙන ව්යුහයට මුළුමනින් එකග නොවේ නම්, ශ්රී ලංකා ආණ්ඩුවට පිළිගත හැකි ව්යුහයක් බවට පරිවර්තනය කිරීම දක්වා සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි ය.
එහෙත් ඒ සඳහා ඒකමතික ව තීන්දු ගත හැකි තත්ත්වයක් ආණ්ඩුව තුළ තිබේ ද යන ප්රශ්නයක් පවතී. ප්රභාකරන් ඉදිරිපත් කර තිබෙන යෝජනා මත සාකච්ඡා ආරම්භා කරනවාට ජනතා විමුක්ති පෙරමුණ තරයේ විරුද්ධ ය. ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා එකග කරගැනිමේ හැකියාවක් තිබෙන බවක් ද පෙනෙන්නට නැත. ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතිව ආණ්ඩුවට සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාවක් ද නැත. ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ අතහැර එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරීයට යෑමේ හැකියාවක් ද නැත.
ආණ්ඩුව පහසුවෙන් ජයගත නො හැකි අවුලක පැටලී සිටින බව පෙනේ.
ස්ථිරසාර සාමයක් සඳහා සාකච්ඡා අත්යවශ්ය කොන්දේසියක් වන අතර, ශ්රී ලංකාවට ආධාර කණ්ඩායම වෙන් කොට ඇති ණය හා ආධාර ලබාගත හැකිවන්නේ ද සාකච්ඡා ආරම්භ කරන්නේ නම් පමණ ය.
එහෙත් ජනවාර්ගික අර්බුදය, තිබෙන ප්රශ්න අතර ඇති ප්රමුඛත ම ප්රශ්නය ලෙස ක්රියාකළ හැකි තත්ත්වයක ආණ්ඩුව සිටින බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවේ න්යාය පත්රයේ ප්රමුඛ අංශය බවට පත්ව තිබෙනුයේ ජනවාර්ගික ප්රශ්නය නො ව, ජනාධිපතිනියගේ අවලංගුවීම වළකා ගැනීම පිණිස ක්රියාවට නංවන්නට සැලසුම් කර ඇති උපාය මාර්ගික වැඩපිළිවෙළ යි. ඒ වැඩපිළිවෙළ වෙනුවෙන් සාම කතා අමතක කොට ක්රියාකරන තත්ත්වයකට ආණ්ඩුව තල්ලු වෙමින් සිටින බව පැහැදිලිව පෙනේ.
ඒ නිසා අවසානයේ දී සිදුවනු ඇත්තේ සාම කතා නො සලකා ක්රමය වෙනස් කිරීමේ වැඩසටහන ප්රධාන තත්වයකට ඒම ය. ඒ සඳහා ජනමත විචාරණයකට යා යුතු ය. ඊට පෙර කතානාක වෙනස් කරගත යුතු ය. විරුද්ධ පක්ෂයෙන් මන්ත්රීවරුන් පිරිසක් කුමන මිලක් ගෙවා හෝ තම පැත්තට ගත යුතු ය. එම වැඩසටහන ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර, කටුක ගැටුම් ඇති කරන තත්ත්වයක් ඇති කරනු නො වැළැක්විය හැකි ය.
ඒ සියල්ල නිසා අවසානයේ සිදුවනු ඇත්තේ ජාත්යන්තර ප්රජාවගේ අනුකම්පාව දිනාගැනීමට එල්ටීටීඊය සමත් වීම ය. ඔවුන්ට එක්තරා ප්රමාණයකට හිතුවක්කාරි ලෙස ක්රියාකිරීමට අවශ්ය වාසිදායක පසුබිමක් ලබාදිම ය.
අවසානයේ ඒ සියල්ල වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ රටට ය. ඒ නිසා රට තව තව කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නො වැළැක්විය හැකි ය.