ප්‍රභාකරන්ට දෙන්නට උත්තරයක් තිබේ ද?

December 5, 2004
Publication:
The LTTE leader's Heroes' Day speech is read as a sharp analysis of southern politics: his differences with the Wickremesinghe government, his view of the President and the alliance, and his warning that Tamils will neither live bound within a Sinhala state nor wish to separate if given freedom. The editorial concludes that the President can neither tame the JVP and talk to him nor break with the JVP and join the UNP.

එල්ටීටීඊ නායකයා වීර දිනයේ කර තිබෙන කතාව දකුණේ දේශපාලනය පිළිබඳව කර තිබෙන තියුණු විග්‍රහයක් ලෙස සැලකිය හැකිය.

එහිදි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග ඔවුන්ට තිබුණු මතභේද ද පැහැදිලිව දක්වා තිබේ. ඉන්පසු ජනාධිපතිනියගේ ක්‍රියාකාරකම් හා සන්ධාන ආණ්ඩුව ගැන කරන විග්‍රහයක් ද ඊට ඇතුළත්ය.

ප්‍රභාකරන් විග්‍රහ කර තිබෙන ආකාරයට උතුරේ අවතැන්වූවන් නැවත පදිංචි කරවීමට හා පුනරුත්ථාපනය කිරීමටත්, යුද්ධයෙන් විනාශයට ලක්වූ ඉදිකිරිම් ප්‍රතිසංස්කරණය කිරීම පිණිසත් පිහිටුවන ලද කමිටු ප්‍රයෝජනවත් කාර්ය භාරයක් ඉටුකිරීමට අසමත් විය. එසේ තිබියදි ආණ්ඩුව තමන්ගේ සහභාගීත්වයෙන් තොරව වොෂින්ටනයේ පැවති ආධාර සමුළුවට සහභාගිවීම මගින් සම කොටස්කරුවන් වශයෙන් තමන්ට තිබෙන පිළිගැනීම අහිමි කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාකච්ඡා අත්හිටුවන්නට සිදුවූ අතර, අන්තර්වාර පාලනයක් සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලද්දේ ඉන්පසුවය. ඒ සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පත් තුනම පිළිගත හැකි තත්ත්වයක නොවීම නිසා ඒ සඳහා වන යෝජනාවලියක් තමන්ට ඉදිරිපත් කරන්නට සිදුවූ බවත් ප්‍රභාකරන් කියයි.

එම යෝජනා මුල් කොටගෙන සාකච්ඡා ආරම්භ කරන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කැමැත්ත ප්‍රකාශ කර තිබුණු අවස්ථාවක ජනාධිපතිනිය එම ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක බලය තමන් අතට ගනිමින් එම ආණ්ඩුව අර්බුදයකට ඇද දමා පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන ලද මැතිවරණයේදි අන්ත ජාතිවාදි බලවේග සමග එකතු වී ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවාය. ප්‍රභාකරන් සන්ධාන ආණ්ඩුව හර්න්වා ඇත්තේ පරස්පර විරෝධී මත දරන දේශපාලන පක්ෂවල එකතුවකින් යුතු නොහොබිනා සන්ධානයක් වශයෙනි.

සන්ධාන ආණ්ඩුවට ජනවාර්ගික අර්බුදය පිළිබඳව ස්ථිර එක ප්‍රතිපත්තියක් නැති බවට ප්‍රභාකරන් චෝදනා කරයි. ඔහු ජනතා විමුක්ති පෙරමුණ විග්‍රහ කර ඇත්තේ “සාකච්ඡා මාර්ගයෙන් ද්‍රවිඩ ජනතාවට දේශපාලන උරුමයක් හා පාලන බලතල ලබාදිමට බලවත් ලෙස විරුද්ධ” අන්ත ජාතිවාදි පක්ෂයක් ලෙසය. සන්ධාන ආණ්ඩුවට සාම සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කරන අතරම සාකච්ඡා ආරම්භ කිරීම අවශ්‍ය නම් තමන් ඉදිරිපත් කර තිබෙන අන්තර් පාලන යෝජනා මත සාකච්ඡා ආරම්භ කළ යුතු බව ද ප්‍රකාශ කරයි. එම යෝජනා තුළ එකග විය නොහැකි කරුණු ඇත්නම් ඒවාද සාකච්ඡා කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි. අන්තර් වාර පාලන යෝජනා සමග අවසාන විසඳුමත් එකට ගැට ගැසීමට දරන උත්සාහය ගැන ඔහු කියන්නේ එසේ කිරීමට ජනාධිපතිනියට අවශ්‍ය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීමේ අදහසින් විය හැකි බවය. නැතිනම් ජාත්‍යන්තර ප්‍රජාව මුළා කිරීම සඳහා විය හැකි බවය. ඒත් නැත්නම් සාකච්ඡා අවසානයකින් තොරව දිග්ගැස්සීමේ අරමුණින් විය හැකි බවය.

අන්තර්වාර පාලන යෝජනා හා අවසාන විසඳුම එකට ගැට ගසනවාට ප්‍රභාකරන් විරුද්ධය. ඔහු කියන්නේ අන්තර්වාර පාලන ව්‍යුහය පිහිටුවා එය යහපත් අයුරින් ක්‍රියාත්මකවීම ආරම්භ වීමෙන් පසුව අවසාන විසඳුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ හැකි බවය.

ඔහු සිය කතාව අවසානයේදි දකුණේ දේශපාලන පක්ෂවලට තියුණු අභියෝගයක් ද ඉදිරිපත් කර තිබේ. හැකිනම් ජනවාර්ගික අර්බුදය පිළිබඳ එනම් දමිළයන්ගේ මූලික ඉල්ලීම් මත මව්බිම, ජාතිකත්වය හා ස්වයං නිර්ණ අයිතිය පිළිබඳව තම තමන්ගේ ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ඔහු දකුණේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. දෙමළ දේශපාලන අභිලාෂයන් පිළිබඳව පැහැදිලි දෘෂ්ටියක් දකුණේ දේශපාලන පක්ෂවලට නැතිනම් විසර්මක් ගැන ඔවුන් සමග කතාකිරීමේ තේරුමක් නැති බව ද කියයි.

ඔහු අවසාන වශයෙන් කියන්නේ සිංහල දේශය තුළ දමිළ ජාතිය බැඳ තබන ජීවිතයකට දෙමළ ජනතාව කැමති නැති බවය. එසේම වෙන්ව ගොස් තනිව ජීවත්වීමට ද ඔවුන් කැමති නැති බවය. විමුක්තියක් නැතිව දෙකටම නැති තත්ත්වයක ජීවත්වීමට ද ඔවුන් කැමති නැති බවය. දිගින් දිගට දේශපාලන අඳුර තුළ ජීවත් විය නොහැකි බව කියන ඔහු දෙමළ ජනතාවගේ ඉවසීමට හා බලාපොරොත්තුවල සීමාවන් ඇති බව ද ප්‍රකාශ කරමින් තමන් ඉදිරිපත් කර තිබෙන යෝජනා මත වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. තමන්ගේ එම ඉල්ලීම භාරගැනීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ නම් නැවත නිදහස් සටන පෙරට ගන්නවා හැර තමන් ඉදිරියේ වෙනත් විකල්පයන් නැති බව ද ප්‍රකාශ කරයි.

ප්‍රභාකරන් මෙම කතාවෙන් තමන් දරන අදහස් අවංක ලෙසත්, පැහැදිලි ලෙසත් ප්‍රකාශ කිරීමට උත්සාහ දරා තිබෙන බව පෙනේ. එසේම දකුණේ දේශපාලනයේ පවත්නා පටු ආත්මාර්ථකාමී ස්වභාවය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව අදහස් පළකර තිබෙන බව ද පෙනේ.

දැන් බෝලය ඇත්තේ දෙමළ පිලේ නොව, සිංහල පිලේය. ආණ්ඩුව ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද?

ප්‍රභාකරන්ගේ මේ ස්ථාවරයට ජනතා විමුක්ති පෙරමුණ එකග කරගැනීමට ජනාධිපතිනියට හැකිද? නැතිනම් සාම සාකච්ඡා අතහැර යුද්ධ කරන තැනකට යනවාද?

වාර්ගික ප්‍රශ්නය මුළු ශක්තිය යොදා හැකි ඉක්මනින් අවසන් කරගත යුතු ප්‍රශ්නයක් ලෙස දකුණේ සිංහල නායකයන් සලකන්නේ නැත. හැම නායකයකුම උත්සාහ කරන්නේ එය තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් කරගන්නටය.

රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙන් වඩා දියුණු ප්‍රවේශයක් ප්‍රකාශ වුවත්, ඒ වැඩපිළිවෙළ තුළ පවා තමා මුල් කරගත් ආත්මාර්ථකාමී ප්‍රවේශයක් ද තිබුණි. තමා ජනාධිපති වන තෙක් සාකච්ඡා අල්ලාගෙන යමින් ජනාධිපති සටනට දෙමළ ජනයාගේ සහාය ලබාගැනීම ඔහුගේ අභිලාෂය වී තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. දැන් ජනාධිපතිනියට පවා වාර්ගික ප්‍රශ්නයට වඩා තමාගේ අවලංගුවීම වළකා ගැනීම පිළිබඳ ප්‍රශ්නය වැදගත් වී තිබේ. වාර්ගික ප්‍රශ්නය හැකියාවක් ඇතොත්, තමා අවලංගුවීම පිළිබඳ ප්‍රශ්නයේම කොටසක් බවට පත්කර ගැනීම ඇගේ අභිලාෂය වී තිබෙන බව ද පෙනේ.

ජනාධිපතිනියට ජනතා විමුක්ති පෙරමුණ හීලෑ කරගෙන ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන තැනකට යෑමේ හැකියාවක් නැත. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ අතහැර එක්සත් ජාතික පක්ෂය සමග එකතුවී ඉදිරියට යෑමේ හැකියාවක් ද නැත. අවසානයේදි සිදුවනු ඇත්තේ උතුරේ ප්‍රශ්නය මුළුමනින් අමතක කොට ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී තමාගේ අවලංගුවීම වළකාගැනීම සඳහා වන සෙල්ලම පමණක් ඉදිරියට ගෙනයන්නටය. එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත්තේ ද අන් සියලු දේ අමතක කොට තමන්ගේ ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලුවීමය. ඒ සියලුදෙනාගේ ආත්මාර්ථකාමී සෙල්ලම් වෙනුවෙන් අවසානයේ වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ රටටය. සිංහල ජනයාට සිය නායකයන් තිත්ත වී ප්‍රභාකරන් අපටත් හොඳයි කියන තැනකට පවා රට තල්ලු විය හැකිය.