තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ නිර්භීත ප්‍රවේශය

September 5, 2004
Publication:
In a country without leaders who love it, understand its problems or want to lift it up, the Mahanayake of Malwatte has spoken fearlessly: ready for talks with the LTTE, urging both the LTTE and the JVP to avoid extremes, and taking a moderate line on conversions. The editorial sees in him a rare hope, while warning that his road will not be easy.

රටක සාර්ථකත්වය සඳහා රට කෙරෙහි ආදරයක් ඇති, රටේ ප්‍රශ්න ගැන ගැඹුරු අවබෝධයක් ඇති, රටේ උන්නතිය වෙනුවෙන් කැපවීමකින් ක්‍රියාකරන නායකයන් පිරීසක් සිටිය යුතු ය. එසේ නොවේ නම්, බලගතු නායකයන්ගෙන් තොර ව ඉදිරීයට යෑමට තරම් දියුණු ප්‍රජාවක් ඒ රටේ සිටිය යුතු ය. අපේ රට වැනසෙන රටක් බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාව ඉන් එක සාධකයක් වත් නැති හිස් රටක් බවට පත්ව තිබෙන නිසා ය.

දේශපාලන නායකයන් ඇතත්, බල ලෝභය හැර රට ගැන ආදරයක්වත්, රටේ ප්‍රශ්න ගැන ගැඹුරු අවබෝධයක්වත් රට නගා සිටුවීමේ අභිලාෂයක්වත් ඔවුන්ට ඇති බවක් පෙනෙන්නට නැත. ජනතාව සිටින්නේ ද ගැලවීම සොයා විවිධ නායකයන් පසුපස හඹා යන මංමුළා වූ තත්ත්වයක ය. රට මුහුණ දී තිබෙන සංකීර්ණ ප්‍රශ්න තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට ඇති බවක් පෙනෙන්නට නැත. ආගමික නායකයන් සිටින්නේ ද රට එක්සත් කරන තැනක නො ව, රට කෑලිකෑලිවලට බෙදා වෙන් කරන තැනක ය.

මෙසේ දේශපාලන කාන්තාරයක් බවට පත්ව ඇති රටට තමන් දරන අදහස් නිර්භීතව කියන්නට සූදානම් එක් ආගමික නායකයෙකු හෝ පහළ වී සිටින බව පෙනෙන්නට තිබීම යම් පමණක හෝ බලාපාරොත්තු ඇති කරවන සුළු සාධකයක් බව කිව යුතු ය.

රටට අලුත් බලාපොරොත්තු ඇති කිරීමට හේතුවී ඇති එම ආගමික නායකයා අන් කවරෙකුවත් නො ව මල්වතු පාර්ශ්වයේ මහා නායක ධුරයට අභිනවයෙන් තේරි පත් වූ තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ය. උන්වහන්සේ මේ රටේ මූලික ප්‍රශ්න දකින ආකාරයේ පැහැදිලි වෙනසක් සේ ම ඉදිරිගාමී බවක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

උන්වහන්සේ එල්ටීටීඊය සමග සාකච්ඡා කරන්නට සූදානම් ය. අන්තගාමී නොවන ලෙස උන්වහන්සේ එල්ටීටීඊයෙන් ද ජවිපෙන් ද එක විට ඉල්ලා සිටිය හ. ආගම් වලට හරවා ගැනීමේ ප්‍රශ්නය උන්වහන්සේ දකින ආකාරයෙහි මූලික වෙනසක් ඇති බව පෙනේ. ආගම්වලට හරවා ගැනීම වළකන නීති ඇති කිරීම ඒ ප්‍රශ්නයට විසඳුමක් නො වන බව උන්වහන්සේ ප්‍රකාශ කළ හ.

නායක හිමියන් දරන මත ජනප්‍රිය සමාජ මතවාදයන්ට වඩා වෙනස් ය. එහිමියන් අනුගාමිකයන් සමග ගග පහළට පිහිනන්ට අපේක්ෂා කරන නායකයකුට වඩා ගග ඉහළට පීනන්නට අපේක්ෂා කරන නියම නායකයකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීමට සමත් වී තිබේ.

එවැනි ගමනක් පහසු ගමනක් විය නො හැකි ය. රට එක්සත් කරන්නට දරන උත්සාහයන් බෙදි වෙන් වී සිටින බොහෝ දෙනෙකුගේ විරෝධයට හේතු වනු නො වැළැක්විය හැකි ය. සාම්ප්‍රදායික සංඝ සමාජය ද එවැනි ගමනකට සතුටු වනු ඇතැයි අපේක්ෂා කළ නො හැක.

එහෙත් බුද්ධාගම නගා සිටුවමින් ඊට සුදුසු ගෞරවය හා පිළිගැනීම ලබාදිය හැකිවනු ඇත්තේ මේ අවුල තුළ පිනුම් ගැසීමෙන් නො ව, තිබෙන අවුල නිරාකරණය කොට රට සමගි කිරීමට හා එක්සේසත් කිරීමට දරන අවංක උත්සාහයක් තුළිනි. එම නිර්භීත ගමනේ යෙදිමට අවශ්‍ය සියලු ශක්තිය ද, ආශිර්වාදය ද නව නාහිමියන්ට ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.