නිල බලයට හෝ රාජ්‍ය බලයට සත්‍යය සදා යටපත් කළ නොහැකිය

September 5, 2004
Publication:
Ivan welcomes the Human Rights Committee's ruling as historic: the first time a Sri Lankan Supreme Court judgment in a fundamental rights case has been answered by an international body. He recounts the criminal defamation indictments brought against him before and after 1994, the Attorney General Sarath N. Silva's role, the petition argued by Suranjith Hewamanne, his quarrel with Silva over the 1971 case, and other cases now before Geneva.

මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයකින් තීන්දුවක් ලබාගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් වනවා සේ ම, එය මේ රටේ ජනතාවට විශාල වියදමකින් තොරව යුක්තිය ඉටුකර ගැනීම පිණිස විවර වූ අලුත් මාර්ගයක් ලෙස ද සැලකිය හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව සාපරාධී අපහාස නීතිය, නීති පොත්වලින් ඉවත් කර ඇතත්, එම නීතිය ජනමාධ්‍යවේදින්ට එරෙහිව මේ රටේ ඉතාමත් සාහසික ආකාරයකින් ක්‍රියාත්මක වූ නීතියක් ලෙස සැලකිය හැකිය.

එම නීතියෙන් මේ රටේ විවිධ පුද්ගලයන් බැට කෑවේය. ඒ සියලු දෙනා අතරින් වඩාත්ම බැටකෑ පුද්ගලයා විය හැක්කේ මා ය. 1994ට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මට එරෙහිව මෙම නීතිය යටතේ අධි චෝදනා පහක් ද, ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව අධි චෝදනා 06ක් ද ඉදිරිපත් කළේය. අඩු වැඩි වශයෙන් ඒ හැම නඩුවකම අරමුණ වූයේ මා පීඩාවට ලක්කිරීමය.

ඒ තත්ත්වයට එරෙහිව මට කළ හැකි දෙය වූයේ එවැනි නඩුවලට මුහුණ දෙන අතර, එම නීතියට එරෙහිවත්, එම නීතිය යටතේ නඩු පවරන ප්‍රතිපත්තියට එරෙහිවත් අභියෝග කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ මගින් මා බලාපොරොත්තු වූයේ මා වෙත එල්ල කළ පීඩාව පෙරළා නෛතික වශයෙන් ආණ්ඩුව වෙත යොමු කිරීමය.

සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන බලධාරියා වශයෙන් එවකට නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා මහතා මට එරෙහිව නඩු පැවරිම සඳහා යොදාගත් ප්‍රතිපත්තියට එරෙහිව, ඔහු වගඋත්තරකරුවකු කරමින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්නට මට සිදුවූයේ පැවති එම ක්‍රමය අභියෝගයට ලක්කිරීමට තිබුණු බලවත්ම ආකාරය එය වූ නිසාය. රටේ නීතිපතිට එරෙහිව එවැනි නඩුවක් පැවරුණු ප්‍රථම අවස්ථාව ද එය විය.

මෙම ඓතිහාසික නඩුවේ නෛතික වශයෙන් සියලු කටයුතු කරන ලද පුද්ගලයා වූයේ නීතිඥ සුරංජිත් හේවමාන්න මහතාය. මූලික අයිතිවාසිකම් පෙත්සමේදි මා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේ නීතිඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර මහතාය.

නඩුව විභාගයට ගැනුණේ මාර්ක් ප්‍රනාන්දු, එස්.ඩබ්.බී. වඩුගොඩපිටිය හා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේය.

නියෝජ්‍ය නීතිපති කමලසබේසන් මහතා එහිදි ඉදිරිපත් කළ ප්‍රධානම තර්කය වූයේ රටේ නීතිපතිට එරෙහිව මෙවැනි නඩු පැවරිමක් කිරීමට ඉඩ දුනහොත් එය වැරදි පූර්වාදර්ශයක් ඇති කිරීමට හේතුවී නීතිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවය. විනිශ්චය මණ්ඩලය කමලසබේසන් මහතාගේ තර්කය පිළිගත්තේ නැත. නීතිපති යම් පුද්ගලයෙකු පීඩාවට පත් කිරීමේ අරමුණ ඇතිව තමන්ට තිබෙන අධි චෝදනා ඉදිරීපත් කිරීමේ බලය අයථා ලෙස යොදා ගනී නම්, පීඩාවට පත් පුද්ගලයාට නීතිපතිට එරෙහිව නඩු පැවරිමේ අයිතිය හිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. එහෙත් මට එරෙහිව පවරන ලද නඩු මා පීඩාවට පත්කිරීමේ අරමුණ ඇතිව පවරන ලද නඩු ලෙස පිළිගන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කැමති නොවීය. එය 50%ක් මාගේ වාසියටත් ඉතිරි 50% නීතිපතිගේ වාසියටත් දෙන ලද තීන්දුවක් විය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවට එරෙහිව, මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන ජාත්‍යන්තර අධිකරණය ලෙස සැලකිය හැකි ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත යෑමෙන් මා අපේක්ෂා කළ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණි. මේ රටේ ඉහළම අධිකරණයෙන් යුක්තිය අහිමි වූ පුද්ගලයෙකුට යෑමට තවත් තැනක් ඇති බව මහජනතාවට කියාදිම ඉන් එක් අරමුණක් විය. සාපරාධී අපහාස නීතිය ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙමින් පැවති නීති විරෝධී ස්වරූපය ජාත්‍යන්තර අවධානයට ලක්වන තත්ත්වයක් ඇති කිරීම එහි ඊළග අරමුණ විය.

පසුකලක සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව එම පත්කිරීමට එරෙහිව මා නඩු පවරනු ලැබූ අවස්ථාවේදි සමහර නීතිඥයන් කීවේ සරත් නන්ද සිල්වා මහතා අප්‍රේල් කැරැල්ල මහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නීතිඥයකු නිසා ඒ නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඇති කරගත් තරහක් නිසා මා සරත් නන්ද සිල්වා මහතාට පහර දෙන බවය.

එහි අංශු මාත්‍රයක තරම්වත් සත්‍යයක් නැති බව මෙම අවස්ථාවේදි කිව යුතුය.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ නීතිඥ මණ්ඩලයට වික්ටර් තෙන්නකෝන්, කොලින් තෝමේ, රංජිත් අබේසූරිය, තිලක් මාරපන හා සරත් නන්ද සිල්වා යන අය අයත් විය. එම නීතිඥ මණ්ඩලයේ කනිෂ්ඨම නීතිඥයා වූයේ සරත් නන්ද සිල්වා මහතාය. වික්ටර් තෙන්නකෝන් මහතාගෙන් පසුව කොලින් තෝමේ මහතා ද, ඒ මහතාගෙන් පසු රංජිත් අබේසූරිය මහතා ද පැමිණිල්ල මෙහෙය වීය. ඒ නඩුව නිසා මා තරහක් ඇති කරගන්නවා නම් තරහක් ඇති කරගත යුතුව තිබුණේ සරත් නන්ද සිල්වා මහතා සමග නො ව, එම නඩුව මෙහෙයවූ රංජිත් අබේසූරිය මහතා සමගය. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කිරිමෙන් පසුව එම පත්කිරීම අභියෝගයට ලක් කරමින් මා විසින් පවරන ලද නඩුවේදි මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ රංජිත් අබේසූරිය මහතාය.

සරත් නන්ද සිල්වා මහතා සමග ආරාවුලක් ඇති කරගැනීමට බලපෑවේ 71 නඩුවේ ඔහුගේ ක්‍රියාකාරකම්වත්, ජාතිය, ආගම, කුලය යන සාධකවත් නොව, ස්ත්‍රී දූෂණ චෝදනාවකට බඳුන් වී සිටි මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ආරක්ෂා කිරීම සඳහා ඔහු අනුගමනය කළ පිළිවෙතයි. ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳවත්, ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ තමන්ගේ වංචනික අතීතය වසන් කරමින් බවත් පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබුණි. එම පරික්ෂණ වාර්තා තිබුණේ නීතිපති සරත් නන්ද සිල්වා මහතා ළගය. එවැනි අධම තත්ත්වයක සිටි පුද්ගලයෙකුට නීතිපති ආරක්ෂාව ලබාදෙන්නේ ඇයිද යන්න මට ඔහු සමග තිබුණු මූලික ප්‍රශ්නය විය. ඔහු ලෙනින් රත්නායකව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන්නේ ඔහු සමග තිබූ මිත්‍රත්වය හා ඥාති සම්බන්ධය නිසා බව තේරුම් ගත් විට නීතිපති කෙරෙහි මා තුළ ඇතිව තිබූ පිළිකුල දෙගුණ තෙගුණ වී යැයි කිව හැකිය. එහෙත් මා අතින් සරත් නන්ද සිල්වා මහතාට කිසිම අසාධාරණයක් සිදුවී නැත. ලෙනින් රත්නායක සිද්ධිය මත සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්නට පෙර මම සරත් නන්ද සිල්වා මහතා හමුවූයෙමි. ඒ පරික්ෂණයේදි ඔහු වරදක් කර නැත්නම් පරික්ෂණ වාර්තා මා ඉදිරියට ගෙනවිත් මා ඉදරියේ ඒ බව ඔප්පු කරන ලෙස මම එහිදි ඉල්ලා සිටියෙමි. එම සාකච්ඡාවේ හඬ පටිය අදත් මා ළග සුරැකිව තිබේ.

සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව මා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේ ඉන්පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණය මා ඉදිරිපත් කළ පෙත්සම මත පදනම් වී පරික්ෂණයක් ආරම්භ කළේ මා ඉදිරිපත් කළ පැමිණිල්ලේ බැලු බැල්මට පදනමක් තිබූ නිසාය. මා එවැනි පැමිණිල්ලක් කළේ සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීම වැළකීමේ අරමුණින් නොව, ලෙනින් රත්නායකට එරෙහිව අධිකරණ සේවා කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් කරන ලද පරික්ෂණයෙන් මා ලෙනින් රත්නායකට එරෙහිව නගන ලද සියලු චෝදනා සනාථ වී තිබූ තත්ත්වයක් ඉදිරියේ මා ඊළග පියවර සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ගත යුතුව තිබුණු නිසාය.

ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ඒ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් ආරම්භ කොට ඒ මහතාගෙන් නිදහසට කරුණු විමසා තිබූ අවස්ථාවකය. සරත් නන්ද සිල්වා මහතා ගරු කටයුතු පුද්ගලයෙකු වී නම්, එම පරික්ෂණය අවසන් වන තෙක් එම තනතුර භාරගැනීමෙන් වැළකී සිටිය යුතුව තිබුණි. එසේත් නැත්නම් තනතුරට පත්වීමෙන් පසුව එම පරික්ෂණයට තවදුරටත් සාධාරණ ලෙස ඉදරියට යන්නට ඉඩදිය යුතුව තිබුණි. එහෙත් ඉන් එකක්වත් සිදු නොවීය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරීපත් කරන්නට මට සිදුවූයේ ඒ තත්ත්වය ඉදිරියේය.

එම නඩුවේදි විනිශ්චය මණ්ඩලය පත් කෙරුණු ආකාරය අනුවත්, නඩුව විභාග කෙරුණු ආකාරය අනුවත් සාධාරණ තීන්දුවක් බලාපොරොත්තුවීමේ හැකියාවක් මට නොතිබුණි. මා එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ මාගේ දෙවැනි නඩුව පවරනු ලැබුවේ මට ඒ සඳහා ගත හැකි එකම නෛතික ප්‍රතිකර්මය එය වූ නිසාය.

දැන් ඒ නඩුව ද ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ විභාග වෙමින් පවතී. මා ගොනු කරන ලද එම නඩුවට අතිරේකව තවත් පුද්ගලයින් තිදෙනෙකු විසින් එනම් ටෝනි, හිටපු අධිකරණ විනිසුරුවරයෙකු හා බැංකු කළමනාකරුවෙකු සරත් නන්ද සිල්වා මහතා පදනම් කොට ගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව පවරන ලද නඩු තුනක් එහි ඇසෙමින් පවතී. ඒ සියලු නඩු අතරින් මා වඩාත්ම සිත් ගත් නඩුව වන්නේ බැංකු කළමනාකරුගේ නඩුවයි.

ඔහුට මුහුණ දෙන්නට සිදුවූ අසාධාරණයකට එරෙහිව ඔහු අවුරුදු 25ක් තරම් දිර්ඝ කාලයක් පහළ උසාවිවල නඩු කීවේය. අවසානයේ උසාවිය විසින් ඔහුගේ වාසියට නියම කරන ලද තීන්දුවකට එරෙහිව බැංකුව එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින ශ්‍රේෂ්ඨාධිකරණය එහිදි ඔහු පීඩාවට පත් කළේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මහලු වියට පත්වය. මැරෙන්න ඔන්න මෙන්න කියන තත්ත්වයක සිටින මිනිසකුට මෙතරම් විශාල වන්දියක් දිම අවශ්‍ය නැති බවට සරත් නන්ද සිල්වා මහතා විවෘත අධිකරණයේ කරන ලද ප්‍රකාශයක් මේ නඩුවේ ප්‍රධාන නිමිත්ත ලෙස සැලකිය හැකිය. එම සිද්ධිය සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට ද ඇතුළත් ප්‍රධාන චෝදනාවක් ලෙස ඇතුළත් විය.

මේ බැංකු කළමනාකරු සිය දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළේ නීතිඥ සහායකින් තොරවය. ආණ්ඩුව විසින් දෙන ලද පිළිතුරට පිළිතුරු දුන්නේ ද ඔහු විසින්මය. ඔහු මේ රටේ පුරවැසියන්ට වැදගත් ආදර්ශයක් සපයයි. එම නඩුවෙන් ඔහුට යුක්තිය ඉටුවනු ඇති බව මගේ විශ්වාසයයි.

යුක්තිය නිල බලයෙන් හෝ රාජ්‍ය බලයෙන් හැමදා යටපත් කළ නොහැකිය. අනෙක් අතට නූතන ලෝක සන්දර්භය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් අධිකරණය වන්නේ ද නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ රාමුව තුළ සරත් නන්ද සිල්වා මහතා ඉතා බලවත් වුවත්, ඉන් ඔබ්බට ගිය කල ඔහු ද අසරණ විත්තිකරුවකුගේ තත්ත්වයට පත්වන්නේය. ශ්‍රී ලංකාවේ අගවිනිසුරු කේන්ද්‍ර කොටගෙන ජීනිවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ ඇසෙන නඩු හතර සරත් නන්ද සිල්වා මහතාට පමණක් නොව, ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමයට ද තීරණාත්මකය. ඉන් සරත් නන්ද සිල්වා මහතාගේ පැවැත්ම වාෂ්ප කරනු නොඅනුමානය.

මා ජයගත් පළමු නඩුවෙන් මේ රටේ ජනතාවට ඉගෙන ගත හැකි හොඳම පාඩම වනුයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණත්වය ඉටු නොවන අවස්ථාවල එවැනි අයට යන්නට තවත් තැනක් තිබෙන බවය. එවැනි අය විශාල පිරීසක් රටේ සිටින බව මම දනිමි. අවශ්‍ය නම් ඒ සියලු දෙනාට ඒ මග තෝරාගත හැකිය. ඊට කාල රාමුව බාධාවක් වන්නේ නැත.