පක්ෂ තුනක ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය

February 29, 2004
Publication:
A country divided by party loyalty sees only good in its own side. Ivan examines the undemocratic record of the UNP, the SLFP and the JVP, from the 1982 referendum that extended Parliament's life, which Sirimavo Bandaranaike opposed, to their handling of the independent commissions under the 17th Amendment.

රටක් වශයෙන් අප ඉන්නේ අවුල් ජාලයකය. තිබෙන අවුල් ලිහාගන්නවා වෙනුවට තව තව අවුල් ඇති කරගනිමින් අවුලෙන් අවුලට යන රටක් බවට පත්ව තිබේ.

රටේ ජනතාව පක්ෂ අනුව බෙදි සිටී. ඔවුන්ට පාක්ෂික හදවත් මිස, එක්තරා ප්‍රමාණයකට හෝ සිවිල් හදවත් ඇත්තේම නැති තරම්ය. තම පක්ෂය කරන නරකම දෙයක් වුවත්, ඔවුන්ට පෙනෙන්නේ හොඳ දෙයක් ලෙසය. අනෙක් අතට විරුද්ධ පක්ෂය කරන හොඳම දෙයක් වුවත්, ඔවුන්ට පෙනෙන්නේ නරකම දෙයක් ලෙසය.

අමාත්‍යාංශ තුනක් පවරා ගැනීම, පාර්ලිමේන්තුව කල් තැබීම හා පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිම යන ජනාධිපතිනියගේ ක්‍රියාවලිය පොදු පෙරමුණු පාක්ෂිකයින් සේ ම, ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් ද දැක්කේ රටේ ආරක්ෂාව සඳහා අවශ්‍යයෙන්ම ගතයුතුව තිබුණු එඩිතර පියවර ලෙසය. එක්සත් ජාතික පාක්ෂිකයින් ඒ ක්‍රියාවලිය වරදක් ලෙස දැක්කේ ද ඉන් තමන්ගේ ආණ්ඩුවට සිදුවූ හානිය සලකා මිස, යුක්තිය අයුක්තිය සලකා නොවේ. එවැනි දඩබ්බර ක්‍රියාකාරකම් එජාපයේ ජනාධිපතිවරුන් අතින් සිදුවන අවස්ථාවලදි වර්තමානයේ ජනාධිපතිනියගේ දඩබ්බර ක්‍රියාකලාපය ගැන හඬා වැලපෙන එක්සත් ජාතික පාක්ෂිකයෝ එදා උජාරුවෙන් ප්‍රීතිඝෝෂා කළෝය. එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් රගපෑ භූමිකාව අද එක්සත් ජාතික පාක්ෂිකයන් රගපාන භූමිකාවට සමානය.

මේ අර්බුදය ඉදිරියේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හා පාක්ෂිකයින්ගේ හැසිරිමෙන් පෙන්නුම් කෙරෙන්නේ රටේ දේශපාලන සංස්කෘතිය ඇද වැටී තිබෙන හාස්‍යජනක තත්ත්වයේ තරමය.

ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති වශයෙන් ජනාධිපතිනියට අතිවිශාල බලයක් තිබෙන බව සැබෑය. එහෙත් බලය තිබූ පමණන් අභිමත බලය හිතුවක්කාරි ලෙස පරිහරණය කිරීම නීති විරෝධී වනවා සේ ම, සදාචාර විරෝධී ද වේ. අභිමත බලය නීතියට හා යුක්තියට අනුකූලව භාවිතා කළ යුතුය යන්න පිළිගත් සිද්ධාන්තයකි.

එක්සත් ජාතික පෙරමුණ දරන අදහස් මොනවා වුවත්, ඔවුන් බලයට ආවේ මහජන වරමක් ලබාගනිමිනි. ඊට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන තාක් සිය නිල කාලය අවසන් වන තෙක් ආණ්ඩුකිරීමේ අයිතියක් තිබුණි. එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපතිනිය විසින් ද පාර්ලිමේන්තුවට පැහැදිලි ලිඛිත පොරොන්දුවක් ද දී තිබුණි. එහෙත් තමන් විසින් දී තිබුණු ඒ පොරොන්දුවට පටහැනිව හා පිළිගත් සියලු ආචාර ධර්මවලට පටහැනිව එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදිම ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ජනාධිපතිනිය අනුගමනය කළ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හිතුවක්කාරි ක්‍රියා කලාපයේදි ඇය ගත් මග වැරදි යැයි කියන්නට අවංකකමක් නිර්භීතකමක් තිබූ එකම පුද්ගලයකුවත් පොදු පෙරමුණේ නාමධාරින් අතර නොසිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙම සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකට වෙනස්ව විකල්ප දේශපාලන සදාචාරයක් වෙනුවෙන් සිටින පක්ෂයකි. ඔවුන් කතා කරන්නේ දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදි හා ගුණගරුක දේශපාලනයක් ගැනය.

ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිපයේ දේශපාලකයන්ට වඩා වෙනස් යයි කියන බලවත් මතයක් ද රටේ පවතී. එහෙත් පුදුමයකට මෙන් මේ අර්බුදයේදි ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේ ද අත්තනෝමතිකවාදය වෙනුවෙන් මිස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවේ. ජනාධිපතිනියට වැඩි වැඩියෙන් ඒකාධිපති වන ලෙසට බල කරන ලද්දේ ඔවුන්ය. ඇය හිතුවක්කාරිව ක්‍රියාකරන තැනකට තල්ලු කළේ ද ඔවුන්ය. ඔවුන්ගේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය විසින් පෙන්නුම් කරන්නේ ඔවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වඩා ප්‍රමාණාත්මක වශයෙන් මිස, ගුණාත්මක වශයෙන් වෙනස් නොවන බවය.

එක්සත් ජාතික පක්ෂය ද ජනාධිපතිනියගේ එම හිතුවක්කාරි ක්‍රියාකලාපය ඉදිරියේ නියාලු ලෙස බලා සිටින පිළිවෙතක් අනුගමනය කළා විනා, බලවත් ලෙස නැගී සිටින පිළිවෙතක් අනුගමනය නොකළේය. එහිදි එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ රගපෑ භූමිකාව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ හිතුවක්කාරි ක්‍රියාකාරකම් ඉදිරියේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය රගපෑ නියාලු භූමිකාවට සමානය.

පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර හයකින් දිර්ඝ කිරීම සඳහා ඉදිරියට ගෙනා ජනමත විචාරණ පිළිවෙතට එරෙහිව සිරිමා බණ්ඩාරනායක මැතිනිය ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායිකාව වශයෙන් බලවත්ව නැගී නොසිටියාය. ඇය එම වැඩපිළිවෙළට එරෙහිව අභියෝග කරන්නට උසාවිය ඉදිරියට නොගියාය. ජනමතවිචාරණය පරාජය කරන්නට බලවත්ව ක්‍රියාකිරිමෙන් ද වැළකී සිටියාය. ජනමතවිචාරණය අන්ත දූෂිත ආකාරයකින් ජයගත් පසු ඒ ප්‍රතිඵලය අභියෝගයට ලක් නොකළේය. ඇගේ එම නියාලු ප්‍රතිපත්තිය ඇගේ දේශපාලන පක්ෂය කෙරෙහි පමණක් නොව, රටේ සමස්ත දේශපාලන චිත්‍රය කෙරෙහි ද විනාශකාරි ලෙස බලපෑවේය.

මේ අර්බුදයේදි රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාකළ ආකාරය ද, එදා සිරිමා බණ්ඩාරනායක මැතිනිය ක්‍රියාකළ ආකාරයට සමානය.

ජනාධිපතිනිය අමාත්‍යාංශ තුනක් තමන් යටතට පවරා ගන්නා ලද අවස්ථාවේදි ඊට එරෙහිව බලවත් ලෙස නැගී සිටීමේ යුතුකමක් අගමැතිවරයාට තිබුණේය. එවැනි හැකියාවක් නොතිබුණේ නම්, අඩුම වශයෙන් පවරා ගත් තුනෙන් දෙකහමාරක් ආපසු දෙන්නට ජනාධිපතිනිය කැමති වූ අවස්ථාවේදි ඒ දෙකහමාර තමන් අතට ගනිමින් ඉතිරි භාගය වෙනුවෙන් සටන් කිරීමේ යුතුකමක් තිබුණි. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තුනම දෙනවා නම් මිස, කිසිවක් තමා බාර නොගන්නා බවය. එසේ කී රනිල් වික්‍රමසිංහ මහතා අවසානයේදි කිසිවක්ම නොගෙන එකගත්වයක් ඇති කරගැනීමට ද උත්සාහ කළේය. අඩුම වශයෙන් පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් තොරව ජනාධිපතිනියට හිතුවක්කාරි ලෙස අමාත්‍යාංශ පවරා ගැනීමේ අයිතියක් නැති බව සනාථ කරනු පිණිස පවරා ගන්නා ලද අමාත්‍යාංශ තුනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්වත් නොගෙනාවේය. ඒ කිසිවක්ම කළ නොහැකි නම්, තමන්ගේ ආණ්ඩුවට වැඩ කරන්නට ජනාධිපතිනියට ඉඩ නොදෙන බව මහජනතාවට ප්‍රකාශ කරමින් සියලු තනතුරු අත්හරින ප්‍රතිපත්තියකටවත් යාහැකිව තිබුණි. එවැනි කවර ක්‍රියාමාර්ගයක් වුවද, ජනාධිපතිනියගේ ක්‍රියාකලාපයට එරෙහිව බලවත් ජනමතයක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම, ඒ නිසා ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද මීට වඩා බලවත් හා ජයග්‍රාහී ආකාරයකින් එම මැතිවරණයට මුහුණදිමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණේය.

විධායක ජනාධිපති බලය එක් පක්ෂයක් අත තිබියදි, පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයක් අතට ගියවිට ආණ්ඩු පාලනයේදි මේ බල දෙක අතර මතභේද හා ආරාවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. එවැනි අවස්ථාවලදි මේ බල දෙක අතර ඇතිවන ආරාවුල් බේරුම් කරගන්නා ලෙස ක්‍රියාකළ යුත්තේ අධිකරණයයි. විධායක බලය ප්‍රතිපක්ෂ නායිකාව අත තිබෙන තත්ත්වයක් යටතේ තමන්ට ආණ්ඩු පාලනයේදි දුෂ්කර ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව හා එම ගැටලු විසඳ ගැනීමට ස්වාධීන අධිකරණයක අවශ්‍යතාව තේරුම් ගනිමින් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමේ හා ක්‍රියාකිරීමේ යුතුකමක් හා වගකීමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ ද, ඔහු එසේ කල්පනා නොකළේය. අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයකට යමින් අධිකරණය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළකට යනවාට වඩා අගවිනිසුරුවරයා සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ හැකි වනු ඇතැයි විශ්වාස කරමින් අධිකරණයේ පැවති පක්ෂග්‍රාහී ස්වභාවය තහවුරු වන්නට ඉඩ හැර බලා සිටියේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ යුක්තිය ඉටුකර ගැනීමට තමන්ට යන්නට අධිකරණයක් නැති තත්ත්වයක් ඇතිවීමය.

මනා පාලනයක් සඳහා ස්වාධීන අධිකරණයක් අත්‍යාවශ්‍ය කොන්දේසියකි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ක්‍රියාකළේ නම්, ජනාධිපතිනිය හිතුවක්කාරි නොවන්නට ඉඩ තිබුණා සේ ම, හිතුවක්කාරි වන අවස්ථාවලදි පවා අධිකරණය ඉදිරියට ගොස් සාධාරණය ඉටුකරවා ගැනීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විෂය නොසලකා ක්‍රියාකිරිමෙන් රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් තමාට හා එජාප ආණ්ඩුවට විශාල හානියක් ඇතිකර ගැනීමෙන් නොනැවතී, ඒ නිසා රටට ද විශාල හානියක් ඇති කළේය. දැන් රටේ ජනතාව ද යුක්තිය ඉටුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවල යන්නට තැනක් ඉතුරු වී නැත.

ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගැන කතා කරන ජවි පෙරමුණ ද මෙම නිශ්චිත විෂයේදි පළ කළ අස්ථානය අවස්ථාවාදි විය. ඔවුන් විරුද්ධ පක්ෂයේ සිටියදි අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවේ ක්‍රියාකාරි කොටස්කරුවන් පිරිසක් ලෙස ක්‍රියා කළේය. ඊළග වටයේදි අගවිනිසුරුවරයාව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. තමන් ද අත්සන් තබන ලද දෝෂාභියෝග යෝජනාවෙන් අදහස් කළේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඒ වනවිට තනතුරේ තබා නොගත යුතු තරම් නරක හා දූෂිත පුද්ගලයෙකු බව නම් නැවත ඒ නරක හා දූෂිත පුද්ගලයා එම පක්ෂයට වීරයෙකු වූයේ කෙසේද?

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන ලද ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සම්බන්ධයෙන් මෙම පක්ෂ තුනේ අස්ථානය ද එක සමාන ප්‍රමාණයකට අවස්ථාවාදි වී යැයි කිව හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනයේ වින්නඹු අම්මා ලෙස ක්‍රියාකළේ ජනතා විමුක්ති පෙරමුණය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ඔවුන්ගේ අදහසක් හෝ නිර්මාණයක් නොවූව ද, එම ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිනියගේ අනුමැතිය ලබාගත්තේ ජනතා විමුක්ති පෙරමුණය. එය තමන්ට තිබෙන බලතල කප්පාදු කිරීමක් ලෙස සලකා ජනාධිපතිනිය එහි අවසාන කෙටුම්පත සිය කෙටුම්පත්කරුවන් ලවා විකෘති කිරීමෙන් නොනැවතී ඉන්පසු එහි ක්‍රියාකාරිත්වය වළකන ප්‍රතිපත්තියක් ද අනුගමනය කළාය. එහි ඇතිවී තිබෙන විකෘතීන් තමන් බලයට පත්වු පසු නිවැරදි කරන බවට එජාප පොරොන්දු වුවත්, එජාපය ද ඒ යුතුකම ඉටු කළේ නැත. තමන් බලාපොරොත්තු වන්නේ ද විධායක ජනාධිපතිකම නිසා එහි බලතල කප්පාදු කරන කිසිවකට ඉඩදිම අවශ්‍ය නොවේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කල්පනා කළා විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණට අවංක වුවමනාවක් තිබුණේ නම්, කොමිෂන් සභා ක්‍රමය පණගැන්වීම සඳහා පෙරමුණ ගැනීමේ හැකියාවක් තිබුණි. අවශ්‍ය නම්, ඒ සඳහා ජනාධිපතිනියට කොන්දේසි පැනවීමේ හැකියාවක් ද ඔවුන්ට තිබුණි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ද, ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයකට කැමති නොවීය. අවසානයේදි තමන් වින්නඹුකම් කොට බිහි කරනු ලැබූ දරුවාගේ ගෙල සිඳ මරා දැමීමේ මහා පාපී දේශපාලන කුමන්ත්‍රණයට ජනතා විමුක්ති පෙරමුණ ද හවුල් වූයේය. .