මැතිවරණයෙන් කුමක් සිදුවේ ද?

February 22, 2004
Publication:
An analysis of the April 2004 general election. Taking peace, the cost of living and corruption as the issues voters care about, Ivan works through the 2001 results district by district, adding PA and JVP votes together, to estimate whether the new alliance can beat the UNP and what that would mean for the North-East.

රටේ පවතින අවුල් සහගත තත්ත්වය ජයගැනීමට මේ මැතිවරණය හේතුවේද? නැතිනම් රට වඩා අවුල් සහගත තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවේද?

මේ මැතිවරණයේදි ජනතාව වඩා වැදගත් කොට සලකනු ඇත්තේ කුමන කාරණාද? සාමය, ජීවන මිල, දූෂණය යන සාධක තුන මහජනතාව අතර වඩාත් ම කතාබහට ලක්වී තිබෙන මාතෘකා වී තිබේ. මේ සාධක තුන අතරින් මහජනතාව වඩා වැදගත් කොට සලකනු ඇත්තේ කුමන සාධකයක් ද? ඒ සාධක තුන සමාන වැදගත්කමක් ඇති සාධක ලෙස සලකයිද? නැතිනම් ප්‍රමුඛතාව අනුව අනුපිළිවෙළට වැදගත්කමක් ලබාදෙන ආකාරයකට කරුණු සලකා බලයිද? මේ මැතිවරණයේදි ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය, ආගම්වාදය වැනි සාධක කවර තරමකට බලපායිද?

මේ මැතිවරණය අන් සියලු දෙනාට වඩා රනිල් වික්‍රමසිංහ මහතාට හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද තීරණාත්මකය. ඒ දෙදෙනා අතරින්ද රනිල් වික්‍රමසිංහ මහතාට වඩා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එය තීරණාත්මකය.

ජනාධිපතිනියට පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායන් නොසලකා ප්‍රතිපක්ෂයට පාර්ලිමේන්තු බහුතරයක් තිබියදි ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන අභිමත බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනකට යන්නට සිදුවූයේ සිය දේශපාලන පැවැත්ම රැකගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් ඇති කරගැනීමේ අරමුණ ජයගැනීම සඳහාය. ඒ සඳහා ඇයට තිබුණේ සීමිත කාලයකි. එම කාලය පිළිබඳ සාධකය නිසාම සිය පැවැත්ම හා පක්ෂයේ පැවැත්ම පරදුවට තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකට තල්ලු වන්නට ඇයට සිදුවිය. එවැනි තැනකට ඇය තල්ලුවීම කෙරෙහි අගමැතිගේ ක්‍රියාකලාපය ද බලපෑවේය.

ජනාධිපතිනියට සිය දේශපාලන පැවැත්ම රැකගැනීමට අවශ්‍ය වෙනස්කම් ඇති කරගැනීමට ඉඩ නොතබා ඇය අවලංගු වන්නට ඉඩ හැර බලවත් අභියෝගයකින් තොරව ඒ තැන ගැනීම අගමැති රනිල් වික්‍රමසිංහගේ අභිලාෂය වී තිබුණි. සිය පැවැත්ම රැකගැනීමට අවශ්‍ය වෙනස්කම් ඇතිකර ගැනීමට අගමැතිවරයාගෙන් සහාය නොලැබෙන තත්ත්වයක් ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කර ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකට රට තල්ලු කිරීම මගින් ඒ අරමුණ ජයගැනීම ජනාධිපතිනියගේ අභිලාෂය වී තිබේ.

චන්ද්‍රිකා අවලංගු වී තමා බලයට පත්වන තෙක් ව්‍යවස්ථාව එක ඉස්පිල්ලක්වත් වෙනස් කරනවා දකින්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති නැත. ජනාධිපතිනියට ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඒ ක්‍රමය රටට ඇති කර තිබෙන හා ඇති කරමින් තිබෙන හානිය නිසා නොව ඒ ක්‍රමය වෙනස් නොකොට තමා දේශපාලන වශයෙන් අවලංගු වීම වළකා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ජනාධිපතිනියගේ සහායට පැමිණ ඇත්තේ ජනාධිපතිනිය කෙරෙහි ඇති කරගත් විශේෂ අනුකම්පාවක් නිසා නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිලගනිමින් එම පක්ෂය සිටින ප්‍රධාන තැන තමන්ට හිමිකර ගැනීමට නම් ඊට ළංවිය යුතු හොඳම මොහොත මෙය වන නිසාය. ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ ජනාධිපතිනිය දනී. එහෙත් මේ මොහොතේ සිය අරමුණ ජයගැනීම සඳහා කරන සූදූව ජයගැනීමට ඇයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතුවම බැරිය.

99න් පසු කාලයේ ජවිපෙ උපාය මාර්ගය වී තිබුණේ ශ්‍රීලනිප තැන තමන් වෙත හිමිකර ගැනීමය. ඒ සඳහා එජාප ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකරන ප්‍රතිපත්තියක් ජවි පෙරමුණට හඳුන්වා දෙන ලද්දේ ද පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර විසින්මය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට සහාය පළ කළ එකම පක්ෂය වූයේ ද ජනතා විමුක්ති පෙරමුණය. “ගමනක අවසානය” යන තේමාව යටතේ ඒ කාලයේ විජේවීර රට පුරා යමින් ශ්‍රීලනිපයට එරෙහිව විශේෂ ප්‍රචාරක ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ගණන් බැලීම අනුව ශ්‍රීලනිප ප්‍රධාන චිත්‍රයෙන් ඉවත් කළ හැකි නම්, ඉන්පසු ඒ තැන හිමිවනුයේ තමන්ටය. ඉන්පසු එජාප සමග කරට කර තරග කරන පක්ෂය බවට පත්වීමේ හැකියාව ජවිපෙට ලැබෙන්නේය.

1988 ජනාධිපතිවරණයේදි ද ශ්‍රීලනිප සමග සන්ධානයක් ඇති කරගන්නට යන බව පෙන්වමින් ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වළකන තත්ත්වයක් ඇති කිරීමට ජවිපෙ බලවත් උත්සාහයක යෙදුණේය. ඒ අරමුණට බණ්ඩාරනායක මැතිනිය එකග කරවා ගත නොහැකි වූ කල ශ්‍රීලනිපයේ ක්‍රියාකාරින් මර්දනය කරන ප්‍රතිපත්තියකට තල්ලුවිය.

විජේවීරගේ සිහිනය සැබෑ කරවීමේ ගෞරවය ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින්ට හිමිවිය යුතුය. මේ මැතිවරණය එම සිහිනයෙන් අඩක් සම්පූර්ණ කරනු ඇති අතර, ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, ශ්‍රීලනිප දැන් සිටින තරමට වඩා කුඩා වී ජනතා විමුක්ති පෙරමුණ දැන් සිටින තරමට වඩා විශාල වීම නොවැළැක්විය හැකිය.

ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, ප්‍රතිඵලය තුළ ශ්‍රීලනිපයේ තරම හා ජනතා විමුක්ති පෙරමුණේ තරම අතර ඇති කරන වෙනස්කම ජනාධිපතිනිය තුළ පමණක් නොව, ශ්‍රීලනිප පාක්ෂිකයින් තුළ ද අතිවිශාල මානසික වික්ෂිප්තභාවයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. එහෙත් ඒ ඇතිවන තත්ත්වයෙන් ගැලවීමේ මගක් දැනට ශ්‍රීලනිපයට නැත.

සන්ධානයට පැහැදිලි බලයක් ලබාගැනීම පහසු නැතත්, එවැනි බලයක් ලබාගත්ත ද ආණ්ඩු බලය පවත්වාගෙන යාමේදි දරුණු අවුල් ඇතිවනු නොවැළැක්විය හැකිය.

ශ්‍රීලනිප හා සම්ප්‍රදායික වමේ පක්ෂ අතර අතීතයේ ඇති කරගත් සන්ධානයේදි මේ බලවේගයන් දෙක දේවල් දකින ආකාරය පිළිබඳව මනා ගැලපීමක් තිබුණි. ඒ වනවිට වමේ පක්ෂ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දෘඪ ලෙස පෙනී සිටින ප්‍රතිපත්තිය අතහැර තිබුණු අතර, ශ්‍රීලනිප වමේ පක්ෂ දේවල් දකින ආකාරයේ මනා ගැලපීමක් තිබුණි. එහෙත් ජවිපෙ හා ශ්‍රීලනිප තුළ එවැනි ගැලපීමක් නොපවතී. රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය බවට පත්ව තිබෙන ජනවාර්ගික අර්බුදය පිළිබඳව පක්ෂ දෙක දරන මත එකිනෙකට පටහැනිය. ශ්‍රීලනිප බලය බෙදාහැරිමේ පිළිවෙතකට පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ බලය බෙදාහැරිමේ පිළිවෙතකට සපුරා විරුද්ධය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එල්ටීටීඊය සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට සේ ම නෝර්වේ රාජ්‍යය රගපාමින් තිබෙන භූමිකාවට ද පක්ෂය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊය සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට එකග නැතිවා සේ ම, නෝර්වේ රාජ්‍යය රගපාන භූමිකාවට ද තරයේ විරුද්ධය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවක් ගොඩ නැගුවත්, මේ විෂයේදි මහා අවුල් ඇතිවන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. මීට අතිරේකව ආර්ථික විෂයට අදාළ කාරණාවලදි ද බරපතළ අවුල් ඇතිවනු නොවැළැක්විය හැකිය.

ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත්, රනිල් වික්‍රමසිංහ බැහැර කොට එක්සත් ජාතික පක්ෂයට බර තබන ආණ්ඩුවක් ඇති කිරීම මගින් ක්‍රමය වෙනස් කරවා ගැනීම ජනාධිපතිනියගේ අභිලාෂය වී තිබෙන බව පෙනේ. එක පක්ෂයකට හෝ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ජනාධිපතිනියට පස්සා දොරෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇතිවන්නේය. පාර්ලිමේන්තුව කැඳවන දිනය අප්‍රේල් 22 දක්වා කල් දමා තිබීමෙන් අපේක්ෂා කරන බව පෙනෙන්නේ ද පස්සා දොරෙන් කරන ගනුදෙනු වලට ඉඩ ලබාගැනීම විය හැකිය.

එක්සත් ජාතික පක්ෂය යහපත් ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට සමත් වෙතොත්, රනිල් වික්‍රමසිංහගේ තත්ත්වය ශක්තිමත් වනු ඇතත්, යහපත් ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත්, පක්ෂ නායකයාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් එම පක්ෂය තුළ ඇතිවිය හැකිය. එක්සත් ජාතික පක්ෂය ජයගතහොත් ජනාධිපතිනිය විශාල අර්බුදයකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් සියලු දේ රනිල් වික්‍රමසිංහට දී ධුර කාලය අවසන් වීමෙන් පසුව විශ්‍රාම යාමට හිත හදා ගැනීමට ජනාධිපතිනියට සිදුවනු ඇත්තේය.

එහෙත් වැඩියෙන්ම විය හැකි දේ උතුරු නැගෙනහිරින් තේරි පත්වන දෙමළ නියෝජිතයන්ගේ සහාය නැතිව කිසිම ප්‍රධාන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇතිවීමය. එහිදි මෙම පක්ෂ දෙකෙන් කවර පක්ෂයකට හෝ ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දිමෙන් වැළකී සිටින ලෙස ප්‍රභාකරන් තම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියහොත් ඒ තත්ත්වය ජයගැනීම සඳහා නැවත මෙම පක්ෂ දෙකට සහයෝගයෙන් ක්‍රියාකළ යුතු තත්ත්වයක් ඇතිකර ගැනීමට සිදුවන්නේය. එසේ නොවුවහොත් රට නැවත අවුල් ජාලයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රීලනිප ජවිපෙ වෙන් වෙන්ව තරග නොකොට එකට එක්වූ සන්ධානයක් ලෙස තරග කළේ නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ හැකියාව සන්ධානයට තිබූ බව ජවිපෙ සේ ම ශ්‍රීලනිපයේ ද පිළිගත් මතය වී තිබේ.

ඇත්තටම ඔවුන් එදා සන්ධාන ගතවී තරග කළේ නම් ලැබෙන්නට තිබුණු ප්‍රතිඵලය කුමක්ද?

ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ හා ඊපීඩීපීය තනි සන්ධානයක් ලෙස තරග කළේ නම්, ඊට ලැබෙන ඡන්ද ප්‍රමාණය හා එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රීලමු කොංග්‍රස් සන්ධානය ලබාගන්නා ඡන්ද ප්‍රමාණයත්, ද්‍රවිඩ සන්ධානය හා ප්ලොට් සංවිධානය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවත් මෙසේය.

PA+JVP+EPDP = 4,218,961

UNP+SLMC = 4,191,372

TULF+DPLF = 364,833

මේ බලවේගයන් තුන වෙන් වෙන් වශයෙන් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණයන් දෙස බලන විට ජවිපෙ ශ්‍රීලනිප හා ඊපීඩීපී සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, වතු කම්කරු කොංග්‍රසය හා මුස්ලිම් කොංග්‍රසය එක්ව ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 27,589ක් වැඩිය. එහෙත් එහිදි අවසාන විග්‍රහයේදි ජයග්‍රාහකයා තීන්දු කරන ඡන්ද ගොඩ ඇත්තේ දෙමළ සන්ධානය අතේය. ශ්‍රීලනිපයේ සන්ධානයට දෙමළ සන්ධානය එකතු වේ නම්, ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය 4,583,794ක් බවට පත්වන්නේය. එවිට එජාප සන්ධානයට වඩා ඊට ලැබෙන ඡන්ද ප්‍රමාණය 392,422කි. අනෙක් අතට එජාප සන්ධානයට දෙමළ සන්ධානය එකතු වුවහොත් ඒ දෙපිරිසට ලැබෙන ඡන්ද ප්‍රමාණය 4,556,385ක් බවට පත්වන්නේය. එවිට එම සන්ධානය ලබාගන්නා ඡන්ද ප්‍රමාණය ශ්‍රීලනිපයේ සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 337,244කින් ඉහළ යන්නේය.

දෙමළ සන්ධානය ඉවත් කළවිට මෙම ප්‍රධාන සන්ධාන දෙකේ තරම ඒ වනවිට බොහෝ දුරට එක සමාන බව ඉන් අදහස් වේ.

පැවති තත්ත්වය තවදුරටත් මෙසේ විග්‍රහ කළ හැකිය.

ශ්‍රීලනිප-ජවි පෙරමුණ සමග සන්ධානයකින් තරග කළ ද උතුරු හා නැගෙනහිර චිත්‍රයේ වෙනසක් ඇති නොවේ. යාපනය, වන්නිය හා මඩකලපු යන දිස්ත්‍රික්ක තුනේ ජයග්‍රහණය හා ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රසාද ආසන තුන හිමිවන්නේ දෙමළ සන්ධානයටයි. දිගාමඩුල්ලේ ජයග්‍රහණය හිමිවන්නේ මුස්ලිම් කොංග්‍රසයටයි. ත්‍රිකුණාමලය ජයග්‍රහණය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

දෙපක්ෂය සන්ධාන ගතවී තරග කළේ නම්, චිත්‍රයේ වෙනසක් ඇති කරන්නේ උතුරු නැගෙනහිර නොවන දිස්ත්‍රික්කවලය.

පසුගිය මැතිවරණයේදි ජවිපෙ හා ශ්‍රීලනිප වෙන්ව තරග කිරීම නිසා මොණරාගල දිස්ත්‍රික්කය හැර උතුරු නැගෙනහිර පළාත්වලින් පිටස්තරව තිබෙන අනෙක් දිස්ත්‍රික්ක 16ම ජයගැනීමට එජා පෙරමුණ සමත් විය. එවිට ත්‍රිකුණාමලය සමග ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක ගණන 17කි.

එහෙත් ශ්‍රීලනිප හා ජවිපෙ එක්ව තරග කළේ නම්, ගම්පහ, කළුතර, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල හා රත්නපුරය යන දිස්ත්‍රික්ක 11 ජයගැනීමට ශ්‍රීලනිපයේ සන්ධානයට හැකිවන්නේය. එවිට එජාපයේ සන්ධානයට ජයගත හැකිවන්නේ කොළඹ, මහනුවර, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, කෑගල්ල, ත්‍රිකුණාමලය හා දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 8 පමණය.

එවිට, මේ සන්ධාන තුනට ලැබෙන ආසන සංඛ්‍යාව මෙසේය.

PA+JVP+EPDP සන්ධානයට

දිස්ත්‍රික්ක පදනමින් ආසන 91

ජාතික ලැයිස්තුවෙන් 14

මුළු ගණන 105

UNP+ CWC+MC සන්ධානයට

දිස්ත්‍රික්ක පදනමින් 90

ජාතික ලැයිස්තුවෙන් 14

මුළු ගණන 104

TNA+DPLF සන්ධානයට

දිස්ත්‍රික් පදනමින් 15

ජාතික ලැයිස්තුවෙන් 01

මුළු ගණන 16

ඒ අනුව ශ්‍රීලනිපයේ සන්ධානයට ආසන 105ක් ලැබෙන විට එජාප සන්ධානයට ලැබෙන ආසන ගණන 104කි. මේ දෙපිරිසටම තනිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකිය. ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව ලැබෙන්නේ දෙමළ සන්ධානයේ අනුකූලතාව ලැබෙන පක්ෂයටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයට දෙමළ සන්ධානයේ සහයෝගය ලැබේ නම්, ආසන 121ක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇති අතර, ඔවුන්ගේ සහය ලැබෙන්නේ එජාප සන්ධානයට නම් ආසන 120ක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එම සන්ධානයට ලැබෙනු ඇත්තේය.

ශ්‍රීලනිප ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කරන ක්‍රියාමාර්ගයක් මගින් එම සන්ධානයට දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිපුර ආසන 12ක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේය. වෙන වෙනම තරග කළවිට ශ්‍රීලනිපයට දිස්ත්‍රික් මට්ටමින් ලැබුණු ආසන ගණන 66කි. ජවිපෙට දිස්ත්‍රික්ක මට්ටමින් ලැබුණු ආසන ගණන 13කි. එකතුව 79කි.

එහෙත් සන්ධානගත වී තරග කළේ නම් දිස්ත්‍රික් මට්ටමෙන් ලැබෙන මුළු ගණන 91 දක්වා ආසන 12කින් ඉහළ යන්නේය. එහෙත් මේ අලුතෙන් ලැබෙන කිසිම ආසනයක් තමන් වෙත හිමිකර ගැනීමට ශ්‍රීලනිපයට ඉඩ ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ අලුතෙන් ලැබෙන ආසන 12ට අතිරේකව තමන්ට තිබුණු තවත් එක ආසනයක් ද ජවිපෙට හිමිවීමය.

ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යා අනුව එයට කොළඹ, ගම්පහ, ගාල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආසන 3 බැගින් ද, කළුතර, මහනුවර, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, රත්නපුරය හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් ආසන 02 බැගින් ද ආසන 26ක් දිනාගත හැකිවන්නේය.

එවිට ශ්‍රීලනිපයට දිස්ත්‍රික්ක පදනමින් ලැබෙන ආසන සංඛ්‍යාව 66 සිට 65 දක්වා 1.53%කින් අඩුවී ජනතා විමුක්ති පෙරමුණට දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන ආසන සංඛ්‍යාව 13 සිට 26 දක්වා දෙගුණයකින් ඉහළ යනු ඇත්තේය.

එහෙත් සමස්ත චිත්‍රය විග්‍රහ කිරීමේදි තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවක් ද ජවිපෙ ලබාගත් ඡන්ද සංඛ්‍යාව තුළ පවතී.

2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඡන්ද 815,353කි. එහෙත් ඉන්පසු 2002 මාර්තුවලදි පැවති පළාත් පාලන මැතිවරණයේදි ජවි පෙරමුණ ලබාගත්තේ ඡන්ද 424,760ක් පමණය. අඩුවීමේ ප්‍රමාණය ඡන්ද 393,593කි. අඩුවීමේ ප්‍රතිශතය 48.27%කි.

වැඩියෙන්ම අඩුවී තිබුණේ කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්කවලිනි. එය 64%කි. ඉන්පසු කළුතර දිස්ත්‍රික්කයෙහි එය 59%කි. ගම්පහ 52%කි. මාතර 50%කි. අනුරාධපුර 49%කි. ගාල්ල 48%කි. කෑගල්ල 40%කි. මහනුවර 38%කි. කුරුණෑගල 36%කි. බදුල්ල 34%කි. පොළොන්නරුව 29%කි. හම්බන්තොට 18%කි.

පළාත් පාලන මැතිවරණයක් වැනි මැතිවරණයකදි ප්‍රධාන පක්ෂවල අනුගාමිකයන් අතර ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකයේ පහත වැටීමක් ඇතිවිය හැකි වුවත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට ඡන්දය දෙන අය අතර, එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ නැත. මහ මැතිවරණයේදි ජවිපෙට පාවිච්චි කළ ඡන්දවලින් 48%ක් ම ඊළගට පැවති පළාත් පාලන මැතිවරණයේදි ජවිපෙට නොලැබුණේ ඇයිද යන්න ප්‍රශ්නයකි. එහි සැබෑ තේරුම ජනතා විමුක්ති පෙරමුණට එම මැතිවරණයේදි ඡන්දය පාවිචිච් කළ සියලු දෙනා නැත්නම් ලක්ෂ හතරක පමණ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථිර ඡන්දදායකයන් නොවන නිසා විය හැකිය. ඔවුන් විරෝධය පළකිරීමේ මාර්ගයක් වශයෙන් හෝ වෙනත් විවිධ හේතු නිසා ජවිපෙට ඡන්දය පාවිච්චි කළේ නම් ඒ පිරිස ජවි පෙරමුණේ ස්ථිර ඡන්දදායකයන් පිරිසක් ලෙස සැලකිය නොහැකිය. ඒ පිරිස මීළගට ඡන්දය දෙන්න යන්නේ කාටද? එම තත්ත්වය ජවිපෙ කෙරෙහි පමණක් නොව, සමස්ත දේශපාලන චිත්‍රය කෙරෙහි ද බලපානු ඇත.

2001 පාර්ලිමේන්තු මැතිවරණය

ප්‍රධාන පක්ෂ තුනේ ප්‍රතිඵල (උතුරු නැගෙනහිර හැර)

දිස්ත්‍රික්කය PA JVP PA+JVP ලැබෙන UNP ලැබෙන

ආසන ආසන

කොළඹ 353,401 117,407 470,805 09 546,417 12

ගම්පහ 428,780 113,990 542,770 10 437,269 07

කළුතර 226,468 60,451 286,919 06 254,339 04

මහනුවර 233,637 37,146 270,783 05 314,297 07

මාතලේ 88,999 16,063 105,062 02 109,991 03

නුවරඑළිය 77,733 11,080 88,813 02 215,157 05

ගාල්ල 232,931 61,806 294,737 06 238,989 04

මාතර 171,141 54,476 225,617 05 171,661 03

හම්බන්තොට 105,175 59,693 164,868 05 112,520 02

කුරුණෑගල 332,775 63,652 396,427 06 382,768 07

පුත්තලම 120,981 18,095 139,076 03 146,873 04

අනුරාධපුරය 149,393 40,005 189,398 05 165,055 03

පොළොන්නරුව 73,679 18,956 92,636 03 86,786 02

බදුල්ල 138,443 26,820 165,263 03 201,173 05

මොණරාගල 87,805 21,987 103,792 03 80,547 02

රත්නපුරය 212,794 40,377 253,172 06 227,202 04

කෑගල්ල 170,901 36,711 207,612 04 208,104 05

එකතුව 3,206,845 798,715 4,005,560 3,929,170

උතුරු-නැගෙනහිර 123,970 16,648 140,618 – 156,856 –

3,330,815 815,353 4,146,178 – 4,086,026

EPDP 72,783 SLMC 105346

4,218,961 4191372

2001 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රතිඵල උතුරු-නැගෙනහිර

උතුර

දිස්ත්‍රික්කය TULF ආසන EPDP ආසන UNP ආසන DPLF ආසන

යාපනය 102,324 06 57,208 02 16,245 01 – –

වන්නි 41,950 03 – – 26,575 02 9,614 01

144,274 09 57,208 02 42,820 03 9,614 01

නැගෙනහිර

දිස්ත්‍රික්කය TULF ආසන SLMC ආසන UNP ආසන PA ආසන

මඩකලපුව 86,284 03 26,725 01 22,638 – 25,705 01

දිගාමඩුල්ල 48,789 01 75,257 03 58,468 01 65,268 02

ත්‍රිකුණාමලය 56,121 01 – 62,930 01 32,997 01

191,194 05 101,982 04 144,036 02 123,970 04