සිංහල වර්ගයාගේ පරම්පරාව ආරම්භ වන්නේ විජයගෙනි. විජය ඇතුළු පිරිස මේ දිවයිනට පැමිණෙන අවස්ථාව වනවිටත් යක්ෂ, නාග වැනි ගෝත්රික සමාජ කණ්ඩායම් ගණනාවක් රටේ විසුවේය. විජයගේ පැමිණීමෙන් පසුවත්, එවැනි ජන කණ්ඩායම් රටට විටින් විට පැමිණියේය. මේ සියලුදෙනා ගෝත්රික කණ්ඩායම් ලෙස සැලකිය හැකි අතර, ඒ සියලු ගෝත්රික කණ්ඩායම් අතරින් විජය නියෝජනය කළ ගෝත්රය වඩා ප්රමුඛ තත්ත්වයක් හිමි කරගෙන සිටියා විය හැකිය. හැම ගෝත්රික කණ්ඩායමකටම තම තමන්ගේ නායකයන් සිටි අතර, තමන්ගේම වන ප්රදේශ ද තිබුණේය. ඔවුන්ගේ විශ්වාසයන් හා ඇදහිලි අතර වෙනස්කම් තිබුණා සේ ම, කතා කරන භාෂාවල ද වෙනස්කම් තිබුණා විය යුතුය. ගෝත්රික කණ්ඩායම්වල ජනගහනය වර්ධනයවත්ම ආධිපත්ය සඳහා එකිනෙක කණ්ඩායම් අතර යුද්ධ ඇති වූ බව පෙනේ. මහාවංශයේ එන පණ්ඩුකාභය කතා පුවතින් මූර්තිමත් වන්නේ ද එවැනි අරගලයකි.
මෙසේ විවිධ ගෝත්රවලට බෙදි සිටි ජනයා එක භාෂාවක් කතා කරන, එක ආගමක් අදහන ජනතාවක් ලෙස එකට ඒකාබද්ධ කරන මහා සාධකය ලෙස ක්රියාකරන්නේ බුද්ධාගමය. විජය සිංහල වර්ගයාගේ ආදිතමයා වුවත්, එම ගෝත්රය තුළ අනෙකුත් සියලු ගෝත්ර එකට ඒකරාශි කොට සිංහල වර්ගයා ගොඩනගන නිර්මාපකයා ලෙස ක්රියාකරන්නේ බුද්ධාගමය. ඒ අර්ථයෙන් සිංහල ගෝත්රය ප්රධාන ජනවර්ගයක් බවට පත්වීමේ ක්රියාවලිය බුද්ධාගම පැමිණීමේ සිට ආරම්භ වූ දෙයක් ලෙස සැලකිය හැකිය. බුද්ධාගමේ පරමාර්ථවලට පටහැනිව එය සිංහල වර්ගයාගේ ආගම ලෙස සලකන තත්ත්වයක් ඇතිවූවේ ද සිංහල වර්ගයා ගොඩනැගීමෙහිලා බුද්ධාගම ඉටු කරන ලද එම ඓතිහාසික කාර්ය භාරය නිසා විය යුතුය.
මුටසීවගේ දෙවැනි පුත් තිස්ස කුමරා රජවී නොබෝ කලකින් අශෝක අධිරාජ්යයා බැහැදැකීම පිණිස පුද පඬුරු සමග දූත පිරිසක් යවනු ලැබූ බව වංශ කතාවල සඳහන් වේ. අධිරාජ්යයා ඒ දූත පිරිස හරසරින් පිළිගෙන තිස්ස රජු අභිෂේක කිරීම සඳහා අවශ්ය මගුල් කඩුවක් ඇතුළු කළමනා සමග ඔවුන් අත තිස්ස කුමරු වෙත ධර්ම පණිවුඩයක් ද යැවීය. “මම බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්රය සරණ ගොස් සිටිමි. නරෝත්තමයාණෙනි, ශ්රද්ධාවෙන් හිත පහදාගෙන මේ උතුම් තෙරුවන් සරණ යනු මැනවි.” යන්න අධිරාජ්යයා එවන ලද ධර්ම පණිවුඩය විය.
තිස්ස කුමරු ඒ අනුව නැවත අභිෂේක කරනු ලැබුවා සේ ම, ධර්ම පණිවුඩය අනුව යමින් බුද්ධාගම ද වැළඳ ගත්තේය.
ඉතිහාසඥයන්ගේ මතය අනුව තිස්ස කුමාරයා ආධිපත්යයට පත්වන අවස්ථාව වනවිට ඔහුට තිබුණේ ගාමිණී යන පදවි නාමය පමණය. එයින් රජකු අදහස්වන්නේ නැත. අදහස් වූයේ ගෝත්රික නායකයකු පමණය. තවත් ගාමිණීවරුන් ලෙස සැලකිය හැකි ගෝත්රික නායකයින් රටේ සිටියේය. රටේ සිටි අනෙක් ගාමිණීවරුන්ට සිය ආධිපත්යය පිළිගැනීමට හේතුවන ලෙස රාජ්ය ගෞරවය ලබාගැනීම අශෝක අධිරාජ්යයා බැහැදැකීමට පුද පඬුරු සමග දූත පිරිසක් යැවීමේ අභිලාෂය වූවා විය යුතුය. අධිරාජ්යයාගේ ඉල්ලීම අනුව නැවත අභිෂේක උත්සවයක් පැවැත්වීමෙන් සංකේතවත් කෙරෙන්නේ ද ඉතා බලවත් අධිරාජ්යයකු වන අශෝක අධිරාජ්යයාගේ දේශීය නියෝජිතයා තමා බව තිස්ස කුමරුන් විසින් අනෙකුත් ගාමිණීවරුන්ට සේ ම රටේ ජනතාවට ද බලවත් ලෙස පෙන්නුම් කිරීමය. ඒ සමග බුද්ධාගම වැළඳ ගැනීමෙන් හා බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටින ප්රධානියා වීම මගින් අන් සියලු ගාමිණීවරුන් අභිබවා තිස්ස රජුට ප්රමුඛ තත්ත්වයක් හිමිකර ගැනීමට හැකිවූයේය.
මිහිඳු මාහිමියන් විසින් අභිනවයෙන් පිහිටුවනු ලැබූ සංඝ සමාජයට ඇතුළත් වූ වැඩි පිරිසක් රාජකීය පවුල්වලට සම්බන්ධ අය වූහ. සංඝ ශාසනයට ඇතුළත් වූ පළමු පුද්ගලයා වූයේ රජුගේ ප්රධාන ඇමති ලෙස ක්රියා කළ අරිට්ඨ කුමාරයාය. ඔහු රජුගේ බෑණනුවන් කෙනෙකු විය. ඒ සමග තවත් රාජවංශික කුමාරවරුන් පනස්පස් දෙනෙක් මහණ වූ බව සඳහන්ය. සගමිත් තෙරණිය පැමිණ භික්ෂුණී ශාසනය පිහිටුවීමෙන් පසුව ඊට ද ආරම්භයේ එකතු වූ අයගෙන් වැඩි පිරිසක් රාජකීය කුල කාන්තාවෝ වූහ.
මිහිඳු හිමියෝත්, සගමිත් තෙරණියත් දඹදිව පතළ කීර්තියක් ඇතිව සිටි මගධ අධිරාජ්යයාගේ දරුවෝ වූහ. ඒ දෙදෙනාට ලක්දිවෙන් එකතු වී සිටි වැඩි පිරිසක් ද රාජකීය අය වූහ. ඔවුන් සියලු දෙනා ජීවත් වූයේ ගල් ලෙන්වලය. ඒ සියලු දෙනාම මහජනතාව අතරට ගොස් පිඬු සිගා ගියෝය. රට පුරා යමින් ධර්ම දේශනා කළේය. ඒ සියලු දෙනාගේ දර්ශනය රටේ ජනතාව තුළ මහත් ගෞරවයක් ඇති කිරීමට හේතුවන්නට ඇතිවා සේ ම, ඒ සියලු දෙනාගේ පැවැත්ම නව ආගම කෙරෙහි මහත් ආකර්ෂණයක් ඇති කිරීමට ද හේතුවන්නට ඇත. නව ආගම එතෙක් පැවති ප්රාථමික ඇදහිලිවලට වඩා බුද්ධිගෝචර වූ ආගමක් වූ නිසාම ජනතාව අතර ඊට විශාල පිළිගැනීමක් ලැබෙන්නට ඇතිවා සේ ම, ජනතාව නව ආගම පිළිගැනීමේ ක්රියාවලිය තුළ තිස්ස රජුට නව පිළිගැනීමක් ලබාදෙන ක්රියාවලියක් ලෙස ද ක්රියා කළේ යැයි සිතිය හැකිය. මේ ධර්ම දූත වැඩපිළිවෙළ සිංහල ගෝත්රය සමග අන් සියලු ගෝත්ර එකට ඒකරාශී කොට සිංහල නමින් වන ජනවර්ගය බිහි කරන ක්රියාවලියක් ලෙස ක්රියා කළේය. මේ ගෝත්ර අතර භාෂාමය වශයෙන් තිබූ වෙනස්කම් තුනී කොට ඒ සියලු භාෂා ආශ්රයෙන් සිංහල නමින් වන පොදු භාෂාවක් ඇති කිරීමේ ක්රියාවලිය ද බුද්ධාගම විසින් පෝෂණය කළේය. මෙසේ බුද්ධාගම සිංහල වර්ගයාගේ ආගම බවට පත්වෙමින් එය ඔවුන්ගේ සංස්කෘතිය හා ජීවන ක්රමය ද හසුරුවන ආගම බවට පත්විය
බුද්ධාගම එන්නට ප්රථම මේ රටේ ජීවත් වූ ගෝත්රික ජනයා ඇදහූ ආගම් මොනවාද යන ප්රශ්නයට ඉතිහාසඥයන් දෙන පිළිතුර වනුයේ සිංහලයන් උතුරු ඉන්දියාවෙන් ලංකාවට පැමිණ පදිංචි වූයේ ක්රිස්තු වර්ෂය ආරම්භ වීමට අවුරුදු පන්සීයකට පමණ ඉහතදි නිසා එකල උතුරු ඉන්දියාවේ පැවති ආගමික විශ්වාසයන් ඔවුන් කෙරෙහි ද බලපාන්නට ඇති බවය. එකල උතුරු ඉන්දියාවේ උසස් සමාජයේ ආගම වී තිබුණේ රාමායණය හා මහා භාරතය යන වීර කාව්ය දෙක ආදිතම තත්ත්වයෙන් පැවතියදි පිළිබිඹු වූ ආගම්ය. ඔවුන්ගේ පරම දෙවියා ලෙස සැලකුණේ බ්රහ්මයාය. ඉන්ද්ර, යාම, වරුණ, කුවේර ලෝකය පාලනය කරන සතරවරම් දෙවිවරුන් ලෙස සැලකුණි. සිංහල වර්ගයා, ලෝකය පාලනය කරන්නවුන් වශයෙන් විශ්වාස කරනු ලබන සිව් දෙවිවරුන් අතුරෙන් සමන් හා උපුල්වන් යන දෙදෙනා වනාහී තරමක් දුරකට වෙනස් කරගනු ලැබූ යාම හා වරුණ වන බව ඉතිහාසඥයන්ගේ මතයයි. සමහර ජන කණ්ඩායම් යක්ෂයන් වන්දනාමාන කළේය. පණ්ඩුකාභය රජුගේ ගෞරවයට හේතුවූ චිත්තරාජ නම් යක්ෂයා ඊට නිදසුනකි. තවත් සමහර ජන කණ්ඩායම් නාග නමැති ජලාධිගෘහිත භූතයින් වන්දනාමාන කළේය. දේවතාවන්ගේ විමාන ලෙස සලකා සමහර ගස්වලට වන්දනා මාන කළේය. දඩයක්කාරයින්ගේ වන්දනාමානයට හේතුවූ වෘක්ෂය වී තිබුණේ තල්ගසය. පණ්ඩුකාභය රජු ජෛන ආගමේ නායකයකුට ආරාමයක් තනවා දිමෙන් පෙනී යන්නේ ජෛන ආගම අදහන්නන් ද රටේ සිටි බවය.
අලුත් ආගම හා පැරණි ආගම් අතර ගැටුම් ඇතිවූ බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට නව ආගම පැරණි ආගම් අවශෝෂණය කරගත් බව පෙනේ.
බුද්ධාගම රටේ ජනතාව අදහන ආගම බවට පත්වුවත් බ්රාහ්මණ ආගම අදහන පිරිසක් ද දිගටම රටේ සිටියේය. බ්රාහ්මණයෝ, පුරෝහිතයන්, ආචාර්යවරුන් හා වෛද්යවරුන් වශයෙන් රජවාසලවල සේවය කළහ. රජවරු, බුද්ධාගම අදහන අතර, බ්රාහ්මණයන් ලවා තමන් වෙනුවෙන් යාගහෝමාදිය ද කරවා ගත්හ.
ලංකාවට අලුතෙන් එන බොහෝ ජන කණ්ඩායම් බුද්ධාගම වැළඳ ගනිමින් සිංහල වර්ගයට එකතුවෙමින් සිටියත්, එසේ නොවී සිය ආගමික අනන්යතාව ආරක්ෂා කරගත් සමාජ කණ්ඩායම් දෙකක් ද වූයේය. ඒ දෙමළ හින්දූන් හා මුස්ලිම් යන වර්ග දෙකය.
උතුරු ඉන්දියාවෙන් ලංකාවට ආර්ය භාෂා කතා කරන ජන කණ්ඩායම් පැමිණියා සේ ම, දකුණු ඉන්දියාවෙන් දෙමළ භාෂාව කතා කරන ජන කණ්ඩායම් ද පැමිණියේය. දකුණු ඉන්දියාවේ සිට ඔවුන් ඈත අතීතයේ සිට මෙහි එන්නට පුරුදු වී සිටි බව ද පෙනේ.
විජය කුමාරු මධුරාජපුර පාණ්ඩ්ය කුමාරිකාවක් විවාහ කොට ගත් බවත් මේ කුමාරිකාව සමග කන්යාවන් සියයක් හා කුල දහ අටකට අයත් පවුල් දහසක් ලංකාවේ පදිංචි වූ බවත් වංශ කතාවල සඳහන් වේ. කිස්තු පූර්ව තුන්වැනි ශතවර්ෂයේ අපර භාගයේදි සේන හා ගුත්තික නමින් වන දමිළ නායකයින් දෙදෙනෙකු ද අවුරුදු 20ක් පමණ අනුරාධපුරේ රජ කළ බව ද සඳහන් වේ. ඊළග සියවසේදි එළාර රජු හතළිස් වසකට වැඩි කාලයක් අනුරාධපුරේ රජ කළේය. මේ කාලය වනවිට දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ භාෂාව කතා කරන හා හින්දු ආගම අදහන ජන කණ්ඩායමක් රටේ මුල් බැසගෙන සිටි බව පෙනේ.
ලංකාව දකුණු ඉන්දියාව සමග කරන ගනුදෙනුවලදි ප්රධාන නැව් තොට ලෙස භාවිතා කළේ මහාතිත්තය. විජයගේ දෙවැනි බිසව හා පිරිවර පැමිණියේ එම නැව් තොටෙනි. දළදාව ගෙනා කළිගු කුමරු එම වරායෙන් ගොඩබටදා රාත්රියේ එහි තිබූ හින්දු කෝවිලක නවාතැන් ගත් බව සඳහන් වේ. සත්වැනි සියවසට පමණ අයත් යැයි සලකුනු ලබන “තේවාරම්” නමැති ශිවස්තෝත්රවල මාතොට හා ගෝකන්නයේ තිබුණු ශිව කෝවිල් දෙකක් ගැන වර්ණනා කෙරේ. සිහසුනට හිමිකම් කියන අයට විරුද්ධව සටන් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් දමිළ සේනා ගෙන්වාගෙන තබා ගැනීම පස්වැනි සියවසේ සිට අටවැනි සියවස දක්වා සිංහල රජවරුන් අනුගමනය කළ පිළිවෙතක්ව පැවතුණේය. අනුරාධපුර ඉතිහාසයේ අන්තිම කාලපරිච්ඳෙදයට අයත් කුඩා හින්දු සිද්ධස්ථාන කිහිපයක නටබුන් පැරණි නගරයේ උතුරු පැත්තේ ඇති බව පරණවිතාන ප්රකාශ කර තිබේ. පහළොස්වන සියවසේදි ජයවර්ධනපුරයට යාබදව තිබුණු ශිව කෝවිලේ පූජා පැවැත්වුණු අවස්ථාවන්හිදි ආගමික තූර්ය වාදන අනුව දෙමළ ස්තුති ගීතිකා ගායනා කරන ලද බව සැළලිහිණි සංදේශයේ සඳහන් වේ. හලාවත මුන්නේශ්වරන් කෝවිලට කෝට්ටේ 6 වැනි පරාක්රමබාහු රජු පිදූ දේපළ පිළිබඳව ලිපියක් ඒ කෝවිලේ ඇත්තේය. මඩකලපුව දිස්ත්රික්කයේ තිරුක්කෝවිල් හි පිහිටි ශිව කෝවිල පහළොස්වැනි සියවසේදි ඉතා දියුණු තත්ත්වයක පැවති බව ඒ අවටින් සොයාගෙන ඇති දෙමළ සෙල් ලිපියක සඳහන් වේ. යාපනේ නල්ලුර් හි කන්දසාමි කෝවිල, 4 වැනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද්දකි. හින්දු යෝගීහු දාහතර වැනි සියවසේදි අවුරුදු පතා ශ්රීපාද කන්ද වන්දනා මාන කිරීම සඳහා එහි ගිය බවද සඳහන් වේ. 8 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා කාලයට අයත් දෙමළ ශිලා ලිපි උතුරු මැද පළාතේ නොයෙක් තැන්වලින් සොයා ගෙන තිබේ. 1 විජයබාහු (ක්රි.ව. 1110) රජුගේ අභාවයත්, 1 වැනි රජුගේ (155) රාජ්යප්රාප්තියත් අතර රජකම් කළ සිංහල රජවරුන්ගේ ලේඛනවලින් වැඩි ගණනක් ලියැවී ඇත්තේ දෙමළ බසිනි.
මේ දෙමළ වර්ගයා හින්දු ආගම අදහන විට කතා කළ භාෂාව වූයේ දෙමළය. යාපනය සියවස් ගණනක් මුළුල්ලේම දෙමළ උගතුන්ගේ මධ්යස්ථානයක් වූ අතර, දහසයවැනි සියවසේදි ඉන්දියාවේ දෙමළ ශාස්ත්රීය පුනරුද ව්යාපාරයේ පෙරමුණ ගත් උසස් පඬිවරුන් කිහිපදෙනෙක්ම යාපනේ උපන්නෝ වූහ. සංගම් යුගයට අයත් ඇතැම් වචන දෙමළ භාෂාවේ මව්බිම වන දකුණු ඉන්දියාවේ පවා ව්යවහාර නොවන මුත් යාපනේ ජනයා දැනුදු ඒවා ව්යවහාර කරන බව ද කියනු ලැබේ.
වංශ කතාවලට ඇතුළත් විස්තර අනුව ක්රිස්තු වර්ෂ දෙවැනි සියවසේදි පමණ සේන, ගුත්තික හා එළාර යනුවෙන් දෙමළ රජවරුන් තිදෙනෙක් රජ කළ බව සඳහන් වෙතත්, ඔවුන් ඉන්දියාවෙන් පැමිණි ආක්රමණිකයන් තිදෙනෙකු ද නැතිනම් මෙහි පිහිටුවා ගෙන සිටි දෙමළ වෙළෙඳ සංස්ථාවකට සම්බන්ධ අය ද යන්න පැහැදිලි නැත. එසේම ඔවුන්ට බලය අත්පත් කරගැනීමට හැකිවූයේ කෙසේද යන්න හා අවුරුදු ගණනාවක් රටේ සිහසුන දරා සිටීමට හැකිවූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ප්රයෝජනවත් විස්තර වංශ කතාවලට ඇතුළත් වන්නේ නැත. ඉන්පසු ක්රිස්තු වර්ෂයෙන් දෙවැනි සියවසේදි පමණ කරිකාල නමැති දෙමළ නරපතියෙක් ලංකාව ආක්රමණය කොට සිංහලයින් විශාල පිරිසක් සිරකරුවන් ලෙස රැගෙන ගිය බව හා පළමුවැනි ගජබා රජු එකට එක කරමින් චෝලය ආක්රමණය කොට මෙසේ රැගෙන ගිය පිරිස මෙන් දෙගුණයක් තරම් වන පිරිසක් සිරකරුවන් ලෙස මෙරටට ගෙනා බව වංශ කතාවල සඳහන් වෙතත්, එය සත්ය පදනමක් ඇති කතාවක් ලෙස ඉතිහාසඥයන් සලකන්නේ නැත.
ක්රිස්තු පූර්ව පළමුවැනි සියවසේ වට්ට ගාමිණී අභය රජු සමයේදි හා ක්රිස්තු වර්ෂ පස්වැනි සියවසේ මිත්තසේන රජ සමයේදි දකුණු ඉන්දියානු ආක්රමණ දෙකකට රට ගොදුරු වූ බවට සාක්ෂි ඇතත්, ඒ ආක්රමණිකයින් කව්රුන් ද යන්න පැහැදිලි නැත.
මෙම ආක්රමණවලට එරෙහිව මුහුණ දුන් යුද්ධ ව්යාපාරවලදි දෙපාර්ශ්වය අතින්ම පූජනීය වැදගත්කමක් ඇති සිද්ධස්ථානවලට පහරදිම් සේ ම අලාභ හානි කිරිම් සිදුවී ඇති බව පෙනේ. එහෙත් මේ දෙවර්ගයා අතර ආගමික අර්ථයෙන් ආරාවුල් ඇතිවූ බවක් පෙනෙන්නට නැත. මේ ආගම් දෙකම ඉන්දියාවෙන් පැමිණ ආගම් දෙකක් වීම එහිදි එකිනෙක ආගම් එකිනෙකාගෙන් පෝෂණය වී තිබීම යන කාරණා ඊට බලපෑවා විය හැකිය.
මුලදි මේ ආගම් දෙක අතර කිසියම් දුරස්ථ බවක් තිබුණා වුවත්, ක්රමයෙන් සමීපව ක්රියා කරන තත්ත්වයක් ඇතිවූ බව පෙනෙන්නට තිබේ. චෝල නිර්මාණ ශෛලිය අනුව පොළොන්නරුවේ තනා ඇති අංක 2 දරන ශිව දේවාල ද බෞද්ධ ප්රතිමා ගෘහවලින් ඈත් කොට තනා ඇතත්, 13 වැනි සියවසේදි ඒ නගරය තුළම ඉදිකර ඇති අංක 1 දරන ශිව දේවාලය දළදා මැදුරේ බුදු මැදුරු අතරම ඉදිකර ඇති බව පෙනේ.
සිංහල රජවරුන් ඇදහූ ආගම බුද්ධාගම වුවත්, ඔවුන් ද කෝවිල් තැනවූවේය. අලුත්වැඩියා කරවූයේය. ඒවාට ගම්වර ප්රදානය කළේය. සිංහල බෞද්ධයන් ද තෙරුවන් නමදින අතර, හින්දු දෙවිවරුන්ගේ ද ආශිර්වාදය පැතුවේය. ලංකාතිලක විහාරයේ බුදු මැදුරට අතිරේකව එහි ඇති දේවාලයේ උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ යන සතරවරම් දෙවිවරුන්ගේ ප්රතිමා සේ ම, ශිව හා විශ්ණු යන දෙවිවරුන්ගේ ප්රතිමා ද දැකිය හැකිය.
බුද්ධාගම හා හින්දු ආගම අතර මෙසේ මනා සහජීවනයක් ගොඩනැගෙමින් තිබුණ ද ඉන්දියාවේ මෙන් බුද්ධාගම හින්දු ආගම තුළ ගිලී යන තත්ත්වයක් ඇතිවුයේ නැත. සිංහල වර්ගයා මෙලෝ ජීවිතය සැපවත් කරගැනීම සඳහා හින්දු දෙවිවරුන් වන්දනාමාන කළේය. ඒ සමග බුද්ධාගම අදහන ලද්දේ නිර්වාණ සුවයෙන් පරලෝ සැපත ළගා කරගැනීම සඳහාය.
දිවයිනේ චෝල ආධිපත්යයක් පැවති යුගයේදි රටේ වෙළෙඳ ආධිපත්යය පැවතියේ චෝලයන් අතේය. කලක් පර්සියානුවන් අත පැවති ඉන්දියානු සාගරයේ මුහුදු වෙළෙඳ ආධිපත්යය 8 වැනි ශතවර්ෂයේදි අරාබින් අතට පත්වූ අතර, ඉන්පසු 16 වැනි ශත වර්ෂයේදි එම ආධිපත්යය පෘතුග්රීසින් අතට පත්වන තෙක්ම එය පැවතියේ අරාබින් අතේය. ලංකාවේ වෙළෙඳමට ඉන්දියාවේ හා කේරළ මුස්ලිම් ප්රජාව සම්බන්ධ වන්නේ ද මේ වකවානුවේදිය.
8 වැනි ශත වර්ෂයේ පමණ සිට දිවයිනේ මුහුදු තොටවල් අවට පුංචි මුස්ලිම් ජනාවාස ගොඩනැගෙන්නට වූ අතර, සිංහල රජවරුන් ද මුස්ලිම් වෙළෙඳුන් කෙරෙහි සහනශීලී ආකල්පයකින් ක්රියාකළ බවක් ද පෙනී යයි. ආදම්ගේ පා සලකුණ සමනල කන්දේ පිහිටා තිබේය යන විශ්වාසය 9 වැනි සියවස වනවිට මුස්ලිම්වරුන් අතර නොඩනැගී තිබුණු අතර, එය මුස්ලිම් වන්දනාකරුවන්ගේ මහත් ගෞරවයට හේතුවූ පූජනීය ස්ථානයක් බවට පත්වී තිබුණි. වෙළෙඳම සඳහා අරාබි වෙළෙඳුන් සේ ම දෙමළ සම්භවයක් ඇති කේරළ හා දකුණු ඉන්දියානු මුස්ලිම් වෙළෙඳුන් ද ලංකාවට පැමිණි බව හා එයින් සමහරෙක් ලංකාවේ පදිංචි වූ බව ද පෙනේ. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවස්ථා වනවිට කොළඹ නගරය බොහෝ දුරට මුස්ලිම්වරුන්ගේ ජනවාසවලට සීමාවූ නගරයක් වූ අතර, වැලිගම බේරුවල මන්නාරම ත්රිකුණාමල වැනි තොටමුණු අවට ද මුස්ලිම් ජනාවාස ගොඩනැගී තිබුණි.