ජනතා විමුක්ති පෙරමුණ ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් දේශපාලන සන්ධානය, ජනාධිපතිනිය අමාත්යාංශ තුනක් පවරා ගැනීමෙන් ඇතිව තිබූ දේශපාලන අර්බුදයට නව මානයක් ලබාදිමට හේතුවී තිබේ.
මෙම සන්ධානය බිහිකිරීමට වින්නඹුකම් කළ අය අපේක්ෂා කළ තරමේ ආස්වාදයක් ජනතාව තුළ ඇති කිරීමට මෙම සන්ධානය සමත් වූ බවක් පෙනෙන්නට නැත. මෙම පක්ෂ දෙක අතර ඇති කරගත් එකගතාව තුළ මනා ගැලපීමක් නොතිබීම හා එකිනෙකා කෙරෙහි ඇති කරගත් අවිශ්වාසයක් ඒ එකගතාව තුළ තිබීම ඊට හේතුවී තිබේ.
1964දි ශ්රීලනිප, ලංකා සමසමාජ පක්ෂය සමග ඇති කරගත් දේශපාලන සන්ධානය යූඑන්පී විරෝධී කඳවුර තුළ මීට වඩා විශාල දේශපාලන ආශ්වාදයක් ඇති කළේය. ශ්රී ලංකා සමසමාජ සභාග ආණ්ඩුව පරාජයවීමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂය ද එකතු කරගනිමින් එය වඩා විශාල එකතුවක් බවට පත්වූ අතර, එහි මනා ගැලපීමක් තිබුණා සේ ම ඇති කරගත් දේශපාලන සම්මුතියේ ද තර්කානුකූල බවක් ද තිබුණි.
එදා පැවති ලෝක රටාව තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂය ගමන් ගනිමින් සිටි මාවතේ ද සමාජ ප්රතිසංස්කරණ ව්යාපාරයක් වශයෙන් එම වමේ පක්ෂ දෙක ගමන් ගනිමින් සිටි මාවතේ ද, තර්කානුකූල ගැලපීමක් තිබුණි. එදා වාමාංශික ව්යාපාරය තුළ එකතු වී සිටි නායක පිරිස් තමන්ට තිබුණ සංඛ්යා බලයෙන් පමණක් නොව, දැන උගත්කමින් හා පළපුරුද්දෙන් ද කැපී පෙනෙන තත්ත්වයක් හිමිකර ගත් පිරිසක් වූහ. එවැනි පිරිසක් ඇතුළත් ව්යාපාරයක් ඊට වඩා කාර්යක්ෂම ශක්තිමත් ආණ්ඩුවක් ඇති කිරීමට හේතුවනු ඇතැයි කියන ප්රබල විශ්වාසයක් සමාජය තුළ ජනිත කිරීමට හේතු වූයේය. ජනතා විමුක්ති පෙරමුණ ශ්රීලනිප සමග සන්ධානයක් ඇති කරගත්තේ දිග්ගැසුණු අභ්යන්තර යුද්ධයකින් පසුව ඒ යුද්ධයට හේතුවී තිබුණු ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා බලවත් ප්රයත්නයක් රටේ ක්රියාත්මකවෙමින් තිබෙන පරිසරයක් තුළය. ජනවාර්ගික අර්බුදය දේශපාලනය අධිනිශ්චය කරන සාධකය බවට පත්ව තිබෙන අවස්ථාවකය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමග බරපතළ මතභේද ඇතත්, ජනවාර්ගික අර්බුදය පිළිබඳව එම පක්ෂ දෙකේම ප්රවේශය බොහෝ දුරට එක සමානය. දෙපක්ෂයම බලය බෙදාහරින ක්රියාමාර්ගයක් ඔස්සේ සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට පක්ෂපාතය. එහෙත් එම මූලික ප්රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්රවේශය ඊට මුළුමනින් වෙනස්ය. එය බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළකට මුළුමනින් විරුද්ධය. එය පක්ෂ වන්නේ ඒකීය රාමුවක් තුළ බලය විමධ්යගත කරන වැඩපිළිවෙළකට පමණය.
රටේ ආර්ථික ගමන් මග පිළිබඳව ද ප්රධාන පක්ෂ දෙකේම ප්රවේශය බොහෝ දුරට සමානය. එම පක්ෂ දෙකම පෞද්ගලික අංශයට බර තබන විවෘත ආර්ථික ක්රමයකට පක්ෂපාතය. එහෙත් එම මූලික කරුණේදි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්රවේශය මෙම පක්ෂ දෙකේ ප්රවේශයට වඩා වෙනස්ය. එය තාමත් කල්පනා කරන්නේ රාජ්ය අංශයට බර තබන සංවෘත ආර්ථිකයක් රටට වඩා ගැළපෙන බවය. කොටින්ම එය උත්සාහ කරන්නේ ශ්රීලනිප 1994 මැතිවරණ ප්රකාශනයෙන් ප්රතික්ෂේප කළ බතල, මඤ්ඤොක්කා කවන සංවර්ධනයකට රට තල්ලු කරන්නටය.
ජනතා විමුක්ති පෙරමුණ කිසියම් සංඛ්යා බලයකින් යුතු ව්යාපාරයක් වුව ද, එම ව්යාපාරය වටා ගොනුවී සිටින නායක පිරිස වාමාංශික බලවේගය තුළ ගොනුවී සිටි නායක පිරිස මෙන් පැසුණු මනා දැන උගත්කමක් හා පළපුරුද්දක් ඇති පිරිසක් නොවීම ද ජනතා ආකර්ශනය දුර්වල කරන සාධකයක් ලෙස ක්රියාකරයි. සන්දර්ශනාත්මක වැදගත්කමක් ඇති දේවල් අන් සියලුදෙනාට වඩා හොඳින් කිරීමේ හැකියාවක් ඇතත්, ඔවුන්ට ඉන් එහා ගිය ගැඹුරක් තිබේද යන ප්රශ්නයක් රටේ ජනතාව අතර පවතී.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තමන් සිගරැට් නොබොන, මත්පැන් නොබොන මන්ත්රී පිරිසක් බිහිකිරීමට සමත් වූ බවය. ඒ හොඳ ගුණය කොටි සංවිධානයට ද ඇත්තේය. ඒ හොඳ ගුණය තිබියදිත් මේ සංවිධාන දෙකම මනුෂ්යයන්ගේ ජීවිත සමගත්, දේපළ සමගත් සාහසික ලෙස සෙල්ලම් කළේය.
සමාජ විනය යන්නෙන් අදහස්වන්නේ හමුදා සරඹ පෙළපාලියකදි දකින්නට ලැබෙන විනය නොවේ. සමාජ විනය යන්නෙන් අදහස් කරන්නේ මිනිස් අයිතිවාසිකම් කෙරෙහි දක්වන ගරුත්වයයි. වෙනස් මතවලට ඉවසීමට තිබෙන හැකියාවයි.
මේ කාරණාවලදි ජනතා විමුක්ති පෙරමුණ තවමත් දේශපාලන වශයෙන් පැසුණු ව්යාපාරයක් බව ඔප්පු කිරීමට සමත් වී නැත.
දේශපාලන තීන්දු ගැනීමේදි ද ඉවසිලිවන්ත ලෙස කරුණු විමසා බලා හැමවිටම සමාජ යහපතට හේතුවන තීන්දු ගැනීමට තමන් සමත් වී ඇති බව ඔප්පු කිරීමට ද සමත් වී නැත.
ඉන්දු-ලංකා ගිවිසුම සම්බන්ධයෙන් එම පක්ෂය විසින් ගනු ලැබූ තීන්දුව රටේ මහා විනාශයක් ඇති කළේය. ඉන්පසු පළාත් සභා ක්රමය රට බෙදන ක්රමයක් ලෙස සලකා ඊට සම්බන්ධ වන පිරිසක් ඝාතනය කරන තැනකට පවා ගිය ද ඉන්පසු කිසිදු ස්වයං විවේචනයකින් තොරවම පළාත් සභාවලට තරග කරන තැනකට තල්ලු විය. ඉන්දියාව සම්බන්ධයෙන් ද පිළිගත් නිල මතය වී තිබුණේ ලංකාව ගිලගැනීමට බලා සිටින ආක්රමණිකයෙකු ලෙස ය. එහෙත් අද කියන්නේ ඉන්දියාව සමග ළග සම්බන්ධකම් පැවැත්විය යුතු බවය. ඉන්පසු අලි-පුටු හොරු ගැන කතා කළේය. දැන් ඉන් එක හොරු කණ්ඩායමක් සමග එකතුවෙමින් ඒ එකතුව රටට කිරි උතුරන සන්ධානයක් බව කියන තැනකට පැමිණ සිටී. අඩුම වශයෙන් ලෝකයේ වෙනත් කිසිම රටක නැති මහජන නියෝජිතයින්ට මහජන වියදමින් සුඛෝපභෝගී වාහන ලබාදෙන කප්පම් ක්රමයටවත් විරුද්ධවීමේ ශක්තියක් තමන් සතු බව ඔප්පු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්වූයේ නැත.
දිනන්න අවශ්ය නම්, ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවිය යුතුයි කියන හැගීමක් ශ්රීලනිපය තුළ පොදුවේ දක්නට ඇතත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් සමග රටක් ආණ්ඩු කළ හැකියි කියන සැකයක් ශ්රීලනිප තුළ පවතී. එහෙත් වාමාංශික පක්ෂ සමග සන්ධානයක් ඇති කරගත් අවස්ථාවේ අප ඔවුන් වැනි පිරිසක් සමග ආණ්ඩු කරන්නේ කෙසේද යන ප්රශ්නයක් ශ්රීලනිප තුළ ඇතිවූයේ නැත. ඒ නිසා ඇතිවූයේ ඔවුන් නිසා වඩා කාර්යක්ෂම ආණ්ඩු පාලනයක් පවත්වාගෙන යාමට තමන්ට හැකිවනු ඇතැයි කියන විශ්වාසයකිනි.
පක්ෂ දෙකේ මූලික ප්රවේශයන් අතර පවත්නා නොගැලපීම සන්ධානයේ ශක්තිය දුර්වල කිරීමට හේතුවී තිබෙනවා සේ ම, සන්ධානය කෙරෙහි බලවත් මහජන විශ්වාසයක් ජනිත කිරීමට තිබෙන හැකියාව ද සීමා කර තිබේ.
සන්ධානය ඇති කරගත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගියේ නම්, ප්රධාන සතුරකුට එරෙහිව එකට එකතු වී සටන් කරන්නට සිදුවන තත්ත්වයක් තුළ අඩුම වශයෙන් මැතිවරණ ප්රතිඵල ලැබෙන තෙක් වත් කිසියම් ප්රමාණයක හෝ ආශ්වාදයකින් එකට ක්රියා කරන තැනකට මේ පක්ෂ දෙක යොමුවන්නට ඉඩ තිබුණ. එහෙත් එවැන්නක් ද සිදුවන බවක් පෙනෙන්නට නැත. .