පොලිස්පති ආනන්ද රාජා මහතා විශ්රාම යෑමෙන් ඒ මහතා පිළිබඳව පසුගිය දිනවල හටගත් උණුසුම් ආන්දෝලනය සිසිල්ව නිමාවිය. ඒ මහතාට බලාපොරොත්තු වූ සේවා දිගුව නොලැබී යෑමෙන් මෙසේ විශ්රාම යෑමට සිදුවිය. පොලිස්පතිවරයා ඉවත් විය යුතු බවට මාධ්ය මගින් හා ඇතැම් පුද්ගල කණ්ඩායම් මගින් උද්ඝෝෂණය කෙරුණු අතර, ඊට ප්රතිචාරයක් වශයෙන් පොලිස්පතිවරයාට ඉවත්වීමට සිදුවිය. දැවැන්ත කුඩු ව්යාපාරිකයකුගේ දියණියගේ උපන් දින සාදයට සහභාගිවීම පොලිස්පතිට නැගුණු ප්රධාන චෝදනාව විය.
නැගුණු විරෝධය නිසාවෙන් හෝ පොලිසිය බාර ඇමතිවරයා හා ආණ්ඩුවට සියුම් කණේ පහරක් ගැසීමේ අරමුණින් හෝ පොලිස්පතිවරයාගේ නිල කාලය දිර්ඝ නොකිරීමට ජනපතිනිය විසින් ගන්නා ලද තීන්දුව පිළිබඳව සතුටු විය යුතු ය.
එහෙත් විධායකය ඇතුළු රටේ පාලකයන් යහපත් රාජ්ය පාලනය පිළිබඳව දක්වන්නා වූ උදාසීන හා අගතිගාමී පිළිවෙත සුළු වශයෙන් හෝ වෙනස් ව ඇතැයි සිතීමට මෙය ඉවහල්වන්නේ නැත. අභ්යන්තර ආරක්ෂක ඇමති ජෝන් අමරතුංග මහතා දිවිහිමියෙන් පොලිස්පති නො රකින්නට ජනපතිනිය මෙවැනි තීන්දුවකට එළඹෙතැයි සිතීම උගහට ය. මෙවැනි අශුභවාදි අනුමාන කිරිම්වලට ඒම සාධාරණ නැතැයි තර්ක කළ හැකි මුත් ශ්රී ලංකාවේ පවත්නා පිරිහුණු දේශපාලන සංස්කෘතිය අනුව ඊට වෙනස් ව සිතිය නො හැක. එමෙන් ම පොලිස්පතිවරයා සම්බන්ධ සිද්ධිය රටේ යහපත් රාජ්ය පාලනයට වැදුණු එකම කළු පැල්ලම ලෙසින් සැලකීම ද ඉතාමත් අසාධාරණ ය.
අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් වසර ගණනාවක සිට පැවත එන අභියෝගාත්මක හා ආන්දෝලානාත්මක විරෝධය ඊට නිදසුනකි. ජනපතිනිය එය නෑසූකන්ව නොසිට අගවිනිසුරුවරයා කොන්දේසි විරහිතව රැකීමට ද ඉදිරිපත්ව සිටින බව නො රහසකි. එමෙන් ම ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ට එරෙහිව පසුගිය කාලයේ එල්ල වුණු බරපතළ චෝදනාවලින් ඔවුන් රැකගැනීමට ද පසුගිය කාලයේ ඈ කටයුතු කළා ය. පසුගිය ආණ්ඩු සමයේ චෝදනාවලට ලක්වූ ඇමතිවරුන් කෙරේ ද ඇය දැක්වූයේ අනුකම්පා සහගත පිළිවෙතකි.
අවාසනාවකට මෙන් එම ක්රියාපිළිවෙත දැඩි ලෙස විවේචනය කර බලය ලබාගත් මෙම ආණ්ඩුව ද අනුගමනය කරනුයේ ඊට නො දෙවැනි ක්රියාපිළිවෙතකි. පොලිස්පති රැකගැනීමට ජනමාධ්ය ඔස්සේ, ප්රසිද්ධ ප්රකාශ නිකුත් කිරීමට තරම් අභ්යන්තර ආරක්ෂක ඇමතිවරයා බාල මට්ටමකට වැටීම ඇත්ත වශයෙන් ම කණගාටුදායක ය. මහා භාරකාරයා සහ ටෙලිකොම් සභාපතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ගැඹුරු නිහැඬියාව ද පුදුම සහගත ය.
රාජ්යතන්ත්රයේ නරක් වූ තැන් ඉවත් කරනවා මිස, ඒවා කුණුවී වැටෙන තුරු බලා සිටීම කිසිසේත් ම යහපත් ආණ්ඩුකරණයේ ලක්ෂණයක් නො වේ.