රටේ නාමධාරි තනතුරු දරන්නන් ගැන අසන්නට ලැබෙන කථා පුදුම සහගත ය.
ප්රධාන පෙළේ එක් කුඩු ජාවාරම්කරුවකුගේ නිවසකින් අත්අඩංගුවට ගන්නා ලද වීඩියෝ පටයකට අනුව එම ජාවාරම්කරුවාගේ උපන් දින සාදයට පොලතිවරයා ද සිය බිරිඳ සමග සහභාගී වී තිබේ. පොලිස්පති ඒ ගැන කියන්නේ තමා එම සාදයට සහභාගී වූ බව සත්යයක් වුවත් තමා එම ව්යාපාරිකයා ඇසුරු කළේ නැති බවත්, ඔහු මත්කුඩු ජාවාරම්කරුවකු බව ද දැන නොසිටි බවත්, තමාගේ වෙනත් හිතවතකුගෙන් ලැබුණු ආරාධනාවක් මත එම උපන් දින සාදයට සහභාගී වූ බවත් ය.
රටේ තිබෙන ලොකුම සමාගම් දෙක ලෙස සැලකිය හැකි ක්රිකට් පාලක මණ්ඩලයේ හා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයාට එරෙහිව බරපතළ අපරාධ චෝදනා ගණනාවක් ඉදිරිපත් වී තිබෙන අතර, ඔහු රටේ නමගිය කුලී මිනීමරුවකු ලෙස සැලකිය හැකි ධම්මික අමරසිංහ සමග සමීප ඇසුරක් පවත්වා තිබෙන බව සේ ම ව්යාජ ගමන් බලපත්රයක් යටතේ 1999 එංගලන්තයේ පැවති ක්රිකට් ලෝක ශූරතා තරගයට ධම්මික අමරසිංහ ක්රිකට් පාලක මණ්ඩලයේ අරමුදලින් එංගලන්තයට යවා තිබෙන බව ද සනාථ කෙරෙන කරුණු හෙළිදරව් වී තිබේ. ඔහු ඒ ගැන කියන්නේ ද තමා හොඳ සිංහල බෞද්ධයකු බවත් තමා විනාශ කිරිමේ අරමුණ ඇතිව බිහිසුණු කුමන්ත්රණයක් ක්රියාත්මක කෙරෙමින් තිබෙන බවත් ය.
මහා භාරකාර ධූරය හොබවන පුද්ගලයාට එරෙහිව ද, මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තිබෙන තැන්පත් ධනය ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂෂ 20කට ආසන්න පගාවක් ලබාගෙන ඇති බවට කරුණු හෙළිදරව් වී තිබේ.
ජනාධිපති හා අගමැති ධූරයට පසුව තිබෙන රටේ ලොකුම නිලය ලෙස සැලකිය හැකි අගවිනිසුරු ධූරයේ සිටින පුද්ගලයාට එරෙහිව ද බරපතළ චෝදනා පත්රයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එම චෝදනාවලියට ඇතුළත් එක් චෝදනාවක් වනුයේ අගවිනිසුරු අපරාධකාර පසුබිමක් ඇති පුද්ගලයකු සමග ඔහුගේ අපරාධ පසුබිම දැන දැන ම ඔහු සමග සමීප ඇසුරක් පවත්වා ඇති බව ය.
එහෙත් මේ කිසිම ප්රශ්නයක දි මේ කිසිම පුද්ගලයකුට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. එල්ල වී ඇති බරපතළ චෝදනා වලින් නිදහස් වීමකින් තොරව ඔවුන් ඒ තනතුරුවල රැඳී සිටින බව ද පෙනී යයි.
සාමාන්යයෙන් ඕනෑම ශිෂ්ට සම්පන්න රටක ප්රධාන තනතුරක් දරන පුද්ගලයකුට බරපතළ චෝදනා එල්ල වන අවස්ථාවල එම චෝදනාවලින් තමන් නිර්දෝෂී බව ඔප්පු වන තෙක් සිය තනතුරෙන් ඉවත් වන සම්ප්රදායක් ක්රියාත්මක වේ. එසේ නොවන අවස්ථාවල දි තනතුර දරන පුද්ගලයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමක් සිදු වේ.
එහෙත් ශ්රී ලංකාවේ පමණක් එවැනි ක්රමයක් ඇත්තේම නැති තරම් ය. කොතරම් බරපතළ චෝදනා එල්ල වුවත් තනතුර දරන පුද්ගලයා සිය තනතුරේ රැඳී සිටී. ඒ සඳහා ඔහුට දේශපාලන අනුග්රහය ලැබෙන්නේ ය. අවසානයේ සිදුවන්නේ එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව කෙරෙන සාධාරණ පරික්ෂෂණයකින් තොරව එම තනතුරේ රැඳී සිටින තත්ත්වයක් යටතේ එම තනතුර ද තනතුර අයත් ආයතනය ද කුණු වන තත්ත්වයකට ඇද වැටීම ය.
මෙවැනි අධම ක්රමයක් පවතින්නට ඉඩ හැරිම ගැන ජනාධිපති, අගමැති ඇතුළු රටේ දේශපාලන නායකත්වය වගකිව යුතු ය. මෙයින් විය හැකි එකම දේ ක්රමයෙන් මුළු රට ම කුණු වන තත්ත්වයකට ඇද වැටීම ය.
තිලංග සහ ධම්මික
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ ද, ක්රිකට් පාලක මණ්ඩලයේ ද සභාපතිත්වය හොබවන තිලංග සුමතිපාල වෙත එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බිහිසුණුය.
ධම්මික අමරසිංහ යනු රටේ කුලී මිනීමරුවන් අතර සිටින ප්රධානතම පුද්ගලයාය. විවිධ හේතු මත ඔහු විසින් ඝාතනය කරන ලද පුද්ගලයන් සංඛ්යාව 50කටත් වැඩි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ.
ධම්මික අමරසිංහ ලවා “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගගේ නිවසට පහර දුන් බවට හා ඔහු ලවා බැද්දගානේ සංජීව ඝාතනය කරවා ඇති බවට තිලංගට එල්ල වූ චෝදනා සත්ය නොවන බව ප්රකාශ කරමින් තිලංග බැහැර කළේය.
එහෙත් ඉතාමත් වැදගත් ආයතන දෙකක ප්රධානියා ලෙස ක්රියාකරන මේ පුද්ගලයාට මේ කුලී මිනීමරුවා සමග සමීප සම්බන්ධයක් තිබී ඇති බව සනාථ කරන කරුණු රැසක් පසුව හෙළිදරව් විය.
1999දි එංගලන්තයේ පැවති ලෝක ක්රිකට් ශූරතා තරගයට තිලංග සුමතිපාලගේ අනුග්රහය ඇතිව මේ කුලී මිනීමරුවා ද සහභාගී වී තිබේ. ඒ සඳහා ධම්මික අමරසිංහ පාවිච්චි කර ඇත්තේ ව්යාජ ගමන් බලපත්රයකි. මෙම ව්යාජ ගමන් බලපත්රය සඳහා බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලයට වීසා නිර්දේශ කර ඇත්තේ ද තිලංග සුමතිපාලය. ඒ ගමන සඳහා ධම්මිකට අවශ්ය සියලු වියදම් දරා ඇත්තේ ද ක්රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශය මත ක්රිකට් පාලක මණ්ඩලය විසිනි.
ව්යාජ ගමන් බලපත්රයට යොදා ඇත්තේ ධම්මිකගේ ඡායාරූපය වුවත්, එය නිකුත් කොට ඇත්තේ බඩා මහින්දගේ සහෝදරයාගේ (බුද්ධික ප්රියශාන්ත ගොඩගේ) නමටය. මේ ගනුදෙනුවේදි තිලංග සුමතිපාල ලෝක ක්රිකට් ශූරතා තරගය නැරඹීමේ අවස්ථාව ධම්මික අමරසිංහට ලබාදිම සඳහා නීතියට පටහැනිව තමන්ට කළ හැකි හැමදෙයක්ම කර තිබෙන බව පැහැදිලිය. ධම්මික අමරසිංහ මේ ගමන යන්න යන්නේ ව්යාජ ගමන් බලපත්රයකින් බව දැන දැනම එම ගමන් බලපත්රයට වීසා නිර්දේශ කිරිමෙන් නොනැවතී සිය නිර්දේශය මත අවශ්ය සියලු වියදම් ක්රිකට් පාලක මණ්ඩලය මගින් දරා තිබෙන බව ද පෙනී යයි. ඒ වනවිටත් ධම්මික අමරසිංහ විවෘත වරෙන්තු 20කට නොඅඩු සංඛ්යාවක් ඇතිව පොලිසියට කට්ටි පනිමින් සිටි නමගිය අපරාධකාරයෙකි. එවැනි පුද්ගලයෙකුට ලෝක ක්රිකට් ශූරතා තරගය නැරඹීමට අවස්ථාව ලබාදිම සඳහා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා තමන්ට තිබෙන බලය උපරිම ලෙස පාවිච්චි කර ඇති බව ද පෙනී යයි.
ධම්මික අමරසිංහ නමගිය අපරාධකරුවකු මිස ක්රිකට් ක්රීඩකයකු නොවේ. එවැනි අපරාධකරුවකු කෙරෙහි එවැනි විශේෂ අනුග්රහයක් දැක්වීමට ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිට අවශ්ය වූයේ ඇයි? එක්කෝ ධම්මික අමරසිංහ සමග තිබුණු ළග සම්බන්ධය නිසා නීති විරෝධී බව නොසලකා ඔහු ලෝක ක්රිකට් ශූරතා තරගය නැරඹීමට එංගලන්තයට ගෙනයෑමට තිලංගට අවශ්ය වූ නිසා එසේ කළා විය යුතුය. එසේත් නැත්නම් ඒ ගමන යෑමට ධම්මිකට අවශ්ය වූ නිසා ඔහු ඒ වෙනුවෙන් කරන ලද ඉල්ලීමක් පැහැර හැරිය නොහැකි තත්ත්වයක තිලංග සුමතිපාල සිටියා විය යුතුය.
තමන් කරන්නේ නීති විරෝධී බිහිසුණු ක්රියාවක් බව දැන දැනම තිලංගට එසේ කරන්නට සිදුවීමෙන්ම මේ අපරාධකරුවා සමග සාමාන්ය නොවන සමීප සම්බන්ධයක් තිලංග සුමතිපාලට තිබී ඇති බව සනාථ වේ.
ධම්මික අමරසිංහ මේ ගමන සඳහා ව්යාජ ගමන් බලපත්රයක් නිර්මාණය කරගෙන තිබෙන ආකාරය දෙස බලන විට රට අතහැර පලා ගොස් සිටින අපරාධකරුවන් ඒ සඳහා ව්යාජ ගමන් බලපත්ර නිර්මාණය කරන්නේ කෙසේද යන ප්රශ්නයට පිළිතුරක් සොයාගත හැකිය.
ධම්මික අමරසිංහ සමග බැද්දගානේ සංජීවට වෙඩි තැබූ ගලා (උදය කුමාර) දැන් සිටින්නේ ද බ්රිතාන්යයේය. රෝහණ කුමාර ඝාතනයට චෝදනා එල්ල වී තිබෙන තාරා අජිත් සිටින්නේ ද බ්රිතාන්යයේය. රවි කරුණානායකගේ නිවසට මළමිනියක කොටස් ඇතුළත් හැම්පරයක් බාර දුන් පුද්ගලයා ලෙස සැලකෙන ජනාධිපති ආරක්ෂක අංශයේ සාජන් රත්නායක සිටින්නේ ද බ්රිතාන්යයේය.
ව්යාජ ගමන් බලපත්රයක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් ඇතත්, ඉතාමත් බලවත් පුද්ගලයකුගේ රෙකමදාරුව නැතිව සාමාන්ය පුද්ගලයෙකුට බ්රිතාන්ය වැනි රටකට වීසා ලබාගැනීමේ හැකියාවක් නැත. රට අතහැර යන අපරාධකාරයන්ට අපහසුවකින් තොරව විදේශ ගතවීමට හැකියාව ලැබී ඇත්තේ ද ඔවුන්ට ධම්මිකට මෙන් බලවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අනුග්රහය නිසා විය යුතුය.
තිලංග සුමතිපාලට එල්ල වී තිබෙන චෝදනාවල බරපතළකම අනුව සාමාන්යයෙන් සිදුවිය යුත්තේ සාධාරණ පරික්ෂණයකට ඉඩදි ඔහු තමන් දරන ප්රධාන තනතුරු දෙකෙන් ඉවත්වීමය. ඔහු එම තනතුරුවලින් ඉවත් නොවේ නම්, ආණ්ඩුව ඔහු එම තනතුරුවලින් ඉවත් කළ යුතුය. එහෙත් රටේ මුල් බැස ඇති සම්ප්රදාය අනුව ඒ දෙකින් එකක්වත් සිදුවීමට ඉඩක් නැත.
කොතරම් බරපතළ චෝදනා එල්ල වුවද අගවිනිසුරු සිය තනතුර අත්හැරියේ නැත. මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තිබූ මුදල් ප්රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ වෙනුවෙන් ලක්ෂ 20කට ආසන්න අල්ලසක් ප්රමුඛ බැංකුවෙන් ලබාගෙන ඇති බව තහවුරු වී තිබියදිත් මහා භාරකාර ධුරය උසුලන පුද්ගලයා තවමත් ඒ තනතුරෙහි රැඳී සිටී. ආණ්ඩුව ද ඔහුට එම තනතුරෙන් ඉවත් වන ලෙසට බලකිරීමක් කර නැත. රටේ කටයුතු සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයට නම් තිලංග ද ස්ව කැමැත්තෙන් තමන් දරන තනතුරු අත් නොහරිනු ඇති අතර, ආණ්ඩුව ද ඔහුට එම තනතුරු අත්හරින ලෙසට බල කරනු ඇතැයි ද සිතිය නොහැකිය.
එයින් සිදුවිය හැකි එකම දේ අධිකරණය හා මහා භාරකාර දෙපාර්තමේන්තුව කුණුවෙමින් තිබෙන ආකාරයටම ටෙලිකොම් සමාගම හා ක්රිකට් පාලක මණ්ඩලය ද කුණුවෙන තත්ත්වයකට ඇද වැටීමය.
තිලංග සහ ජනමාධ්යය
තිලංග සුමතිපාලට එරෙහිව එල්ල වී තිබෙන බරපතළ චෝදනාවලදි ජනමාධ්ය අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තිය වී ඇත්තේ නිශ්ශබ්දව බලා සිටීමය. ලලිත් කොතලාවල ආරාවුලේදි ද ඔවුන් අනුගමනය කළ ප්රතිපත්තිය ඊට සමාන විය.
බලවත් පුද්ගලයෙකුට එරෙහිව මෙවැනි ආරාවුල් පැනනගිනවාට ජනමාධ්ය කැමතිය. එවැනි අර්බුදවලදි නිශ්ශබ්දව බලා සිටින පිළිවෙතක් හෝ චෝදනාලාභී පුද්ගලයාට ආධාර කරන පිළිවෙතක් මගින් විශාල ලෙස ආදායම් ඉපයිය හැකි බව ඔවුහු දකිති.
මේ අර්බුදය ඉදිරියේදි නිශ්ශබ්දතාව රැකීම වෙනුවෙන් ඔවුන්ට ලැබුණු කප්පම ද සුලුපටු නැත.
තිලංග සුමතිපාලට එරෙහිව පහරගැසීමේ වැඩපිළිවෙළ පිටුපස බෞද්ධ විරෝධී අරමුණක් ඇතැයි කියන මතයක් ශ්රීලනිපයේ නිල පුවත්පත ලෙස ක්රියාකරන “දිනකර” පුවත්පත විසින් මතුකර තිබුණි. දැන් නරක මිනිසුන් ආරක්ෂා කරන හොඳම පළිහ බවට පත්ව ඇත්තේ ද ආගමය. අගවිනිසුරුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අය සේ ම මහා භාරකාරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අය ද ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පළිහක් කොටගත්තේ ද ආගමය. ස්ත්රී දූෂක ලෙනින් රත්නායකගේ ආරක්ෂාව සඳහා ද ඒ ආයුධයම දිර්ඝ කලක් පාවිච්චි කළේය. දැන් තිලංග සුමතිපාලගේ ආරක්ෂාව වෙනුවෙන් ද ඒ පළිහ අමෝරමින් සිටිනවා පමණක් නොව, පුදුමයට මෙන් තිලංග වෙනුවෙන් ඒ පළිහ අමෝරන ප්රථමයා වී ඇත්තේ ශ්රීලනිපයේ නිල හඬ ලෙස සැලකිය හැකි “දිනකර”ය.
රජගෙදර සුරතල් අපරාධකරුවා වී සිටි බැද්දගානේ සංජීව ඝාතනය කිරිමේ සිද්ධිය පිළිබඳව හෙළිදරව් වී තිබෙන කරුණු ඉදිරියේ ශ්රීලනිප නායකයන් සේ ම එම පක්ෂයේ පුවත්පත් දක්වන නිහඬතාව වෙනම සාකච්ඡාවට ලක්කළ යුතු මාතෘකාවකි. මෙයට ආගම් කෝණයක් ඈඳීමට දරන උත්සාහය මගින් “දිනකර” පුවත්පත රටට කියන්නට යන්නේ තිලංගගේ මව බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය වන නිසා තිලංග පිළිබඳව කියන මේ කතා විශ්වාස නොකළ යුතු බවද?
අපරාධකරුවන් රැකීමට ආගම පළිහක් කරගත් විට එයින් නැතිවන්නේ ආගමය. කිසිම ආගමක් අපරාධ අනුමත කරන්නේ නැත. ඕනෑම ආගමක් අදහන සමාජයක් තුළ අපරාධකරුවන් සිටින අතර, එය ආගමේ වදරක් නිසා සිදුවන්නක් නොව, වෙනත් හේතු නිසා සිදුවන්නකි. අපරාධයක් ඇතිවූ විට ඔහු අපරාධකරුවකු වුවත්, ඔහු අපේ ආගම අදහන කෙනෙකු නිසා අපි එකහෙළා ඔහු ආරක්ෂා කරගත යුතුයි කියන පිළිවෙතක් කිසිම ආගමක ගෞරවයට හේතුවන්නේ නැත. ලෙනින් රත්නායක බෞද්ධයකු වනවිට, ඔහු අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ද බෞද්ධයින් විය. ලෙනින් රත්නායකගේ ආරක්ෂාව සඳහා ආගම පළිහක් කරගත්තත්, අවසානයේදි ඔහු තමන් කරන පාදඩකම් වසා ගැනීමට ආගම පළිහක් ලෙස යොදාගත් ස්ත්රී දූෂකයකු බව මනා ලෙස ඔප්පු විය. මෙවැනි පුද්ගලයින්ට රැකවරණය ලබාදිමට ආගම පළිහක් කරගැනීමෙන්, ඔවුන් කරමින් සිටින්නේ ශ්රේෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකු වන බුදුන් වහන්සේටත් නිගා කිරීමය.
කුඩු රජාගේ උපන් දින සාදය හා පොලති
සුප්රසිද්ධ කුඩු ව්යාපාරිකයකු පිළිබඳව කෙරෙන පොලිස් පරික්ෂණවලදි ඔහුගේ නිවසකින් අත්අඩංගුවට ගන්නා ලද වීඩියෝ පටයකට අනුව මෙම කුඩු ව්යාපාරිකයා කොළඹ හිල්ටන් හෝටලයේ පවත්වන ලද උපන් දින සාදයකට පොලිස්පති ආනන්ද රාජා මහතා ද සහභාගී වී ඇති බව හෙළිදරව් වී තිබේ. වීඩියෝ පටයට අනුව මේ සාදයට සහභාගී වූ එකම පොලිස් නිලධාරියා පොලිස්පතිවරයා පමණක් නොවේ. තවත් නියෝජ්ය පොලිස්පතිවරයෙකු ඇතුළු විවිධ තරාතිරම්වලට අයත් පොලිස් නිලධාරින් විශාල පිරිසක් එම උත්සවයට සහභාගී වී තිබේ.
ඒ ගැන පොලිස්පතිවරයා කියන්නේ තමා එම උපන්දින සාදයට සහභාගී වූ බව සත්යයක් වුවත්, තමා එම කුඩු ව්යාපාරිකයා නොහඳුනන බවය. තමන් ළගින් ඇසුරු කරන මිත්රයෙකුගේ ආරාධනාවක් අනුව එම උපන්දින සාදයට සහභාගී වූ බවය.
පොලිස්පති වැනි වැඩ රාජකාරි බහුල උසස් නිලයක් දරන පුද්ගලයෙකු තමන්ට ලැබෙන කිසිම ආරාධනයකින් තොරව කොහේවත් සිටින කෙනෙකෙුගෙන් ලැබෙන ආරාධනයක් මත මෙවැනි උත්සවයකට සිය බිරිඳ සමග සහභාගී වනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කෙසේද?
පොලිස්පතිවරයා මෙම ව්යාපාරිකයා කුඩු ව්යාපාරිකයකු බව දැන හෝ නොදැන ඔහු යම් පමණකට ඇසුරු කළා විය හැකිය. පොලිස්පති වැනි පුද්ගලයෙකු මෙවැනි උත්සවයකට සහභාගි කරවා ගැනීමෙන් පමණක් සිය ජාවාරම් කටයුතු සඳහා අනියම් ලෙස ලබාගන්නට ඇති රැකවරණය අතිවිශාලය. ශිෂ්ටසම්පන්න වෙනත් රටක නම් මෙවැනි හෙළිදරව්වක් ඉදිරියේ ප්රමුඛ තනතුරක් දරන පුද්ගලයෙකු කරන පළමු දේ වනු ඇත්තේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමය. එහෙත් අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ එවැනි සම්ප්රදායයක් අසාවත් නැති රටකය.
රටේ පවතින අපරාධ වර්ධනය කෙරෙහි අපරාධකරුවන් හා අපරාධ මර්දනය සඳහා තිබෙන ආයතන අතර තිබෙන ප්රබල සම්බන්ධය ද බලපා තිබේ. සමහර අපරාධකරුවන්ගෙන් යැපෙන හා ඔවුන්ට ආරක්ෂාව ලබාදෙන පොලිස් නිලධාරිහු පොලිස් සේවයේ සිටිති. සමහර පොලිස් නිලධාරින් සමහර අපරාධකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන පිළිවෙතක් අනුගමනය කරන විට ඒ සමග තවත් සමහර අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරයි. ජේ.ආර්. යුගයේදි ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ට ද, ප්රේමදාස යුගයේදි සොත්ති උපාලි වැනි අපරාධකරුවන්ට ද, චන්ද්රිකා යුගයේදි බැද්දගානේ සංජීව වැනි අපරාධකරුවන්ට ද සර් කියන්නට උසස් පොලිස් නිලධාරින්ට සිදුවූයේය. රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් වැනි ඝාතනවලදි දේශපාලන බලපෑම් නිසා ඒ අපරාධවලට වගකිවයුතු අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියාකරන්නට උසස් පොලිස් නිලධාරින්ට සිදුවුයේය. මේ අධම තත්ත්වය වෙනස් කරන දර්ශනයක් තබා දර්ශනයක ඡායාවක්වත් පෙනෙන තෙක් මානයකවත් නැත.
අනුර හා චන්ද්රිකා
අනුර බණ්ඩාරනායක ශ්රී ලංකා නිදහස් පක්ෂයට ඇති සිය උරුමය මත එහි නායකත්වය තමන්ට ලැබිය යුතු යැයි හැමදාමත් විශ්වාස කළ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකිය. මව විශ්රාම යන්නටත් පෙර දැන් තමා වැඩිහිටි තත්ත්වයකට පැමිණ තිබෙන බැවින් පක්ෂයේ නායකත්වය තමාට දි ඇය විශ්රාම යායුතු යැයි කල්පනා කොට ඒ අරමුණ දිනාගැනීම සඳහා කිසියම් ප්රමාණයක උත්සාහයක යෙදුණේය. එහෙත් මව තමන්ට ඔටුන්න භාරදි විශ්රාම යාමට සූදානම් නැති බව තේරුම් ගත්විට මව සමග රණ්ඩු කරමින් මවගෙන් පසුව හෝ ඒ අවස්ථාව ලබාගැනීමට බලා හිඳින ප්රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඉනුත් කලකට පසුව චන්ද්රිකා අක්කා කඩා වැදි තමන්ට ලැබෙන්නට තිබුණු ඔටුන්න උදුරා ගැනීම නිසා අපේක්ෂාභංගත්වයට පත්ව පක්ෂය අතහැර එජාපයට ගියේය. දැන් අක්කාගේ කාලය අවසන්වෙමින් තිබෙන තත්ත්වයක් ඉදිරියේ නැවත ඔටුන්න ගැන සිහින මවන තැනකට අනුර පැමිණ සිටින්නේය.
එහෙත් අම්මා මෙන් අක්කා ද මල්ලාට ඔටුන්න භාර දි විශ්රාම යෑමට සූදානම් නැත. ඊළග ජනාධිපතිවරණයට පෙර ව්යවස්ථා සංශෝධනයක් ඇති කොට ජනාධිපතිවරණයට තරග කිරීම හෝ ජනාධිපති ක්රමය අහෝසි කොට විධායක අගමැති වීම අක්කාගේ අභිලාෂය වී තිබේ. ඒ අරමුණ සපුරාගත නොහැකි නම් සම්ප්රදාය නොසලකා පාර්ලිමේන්තුවට තරග කොට පක්ෂ නායකත්වයේ රැඳී සිටීම අක්කාගේ ඊළග අභිලාෂය වී තිබේ.
මේ තත්ත්වය ඉදිරියේ අක්කා අවලංගු කරන අරගලයකට යොමුවී හෝ සිය අරමුණ මුදුන් පමුණුවා ගන්නා තැනකට මල්ලා යොමුවීම නොවැළැක්විය හැකිය. අක්කා අවලංගු කාසියක් බවට පත්වෙමින් තිබෙන බව දැන් මහජනයාට කියා දෙන්නේ මල්ලාය. ජවිපෙ සහාය ලබාගත හැකි නම්, ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගත හැකිවනු ඇතැයි කල්පනා කරන මල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලන ඕනෑම දෙයක් ලබාදි රට බේරාගැනීම සඳහා සන්ධානය ඇති කරගන්නා ලෙස බල කරන්නේ ඒ නිසාය. අම්මාට එරෙහිව නැගී සිටි ආකාරයට ම මල්ලා ක්රමයෙන් තමන්ට එරෙහිව මිනිසුන් උසිගන්වන තැනකට යමින් සිටින බව අක්කා දන්නේය. දෙවරක් රජ කළ අක්කා පලවා හැර ඔටුන්නට තිබෙන හිමිකම තමන් සතු කරගැනීම මල්ලාගේ අරමුණ වී තිබෙන බව ද අක්කා දන්නේය. ඒ සමග ගෙවී යන හැම දිනක් දිනක් පාසා තමන් අවලංගුවෙමින් සිටින බව හා ව්යවස්ථා සංශෝධන අරමුණ ජයගත නොහැකි වෙතොත්, තමන්ගේ අවලංගුභාවය තේරුම් ගනිමින් පක්ෂයේ සෙසු නායකයන් නව නායකයන් පසුපස යන තත්ත්වයකට පත්වන බව ද ඇය දනී.
තාමත් කැරලි ගසන තත්ත්වයක් ඇතිවී නැතත්, නායකත්වයේ නියෝග නොසලකා ක්රියාකරන තැනකට සමහර අය යොමුවෙමින් සිටී.
ව්යවස්ථාව වෙනස් කරගැනීමට නොහැකි වී ජනාධිපති අපේක්ෂකත්වය මල්ලාට දුනහොත් ඒ සමග ඔහු පක්ෂ නායකත්වය ද තමන් වෙත හිමිකර ගනු ඇති බව ද අක්කා දනී. ඇගේ අභිලාෂය වී ඇත්තේ තමන්ට රජකම නොලැබෙන්නේ නම්, තම පක්ෂයෙන් වෙනත් කිසිවකුට රජවන්නට ඉඩ නොදෙන ප්රතිපත්තියක් තුළ රජකමේ උල්පත ලෙස සැලකිය හැකි පක්ෂ නායකත්වය තම අත තබාගැනීමය.