අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිගේ ලිපිය සහ කර්තෘ සටහන

September 28, 2003
Publication:
Replying to Ravaya's article of 7 September 2003, Chairman S. Ananda Coomaraswamy rejects the charge of partisanship, saying files on several senior ministers of the current government were also closed for lack of evidence, that the Mangala Samaraweera decision was unanimous and followed a lengthy inquiry, and that the Supreme Court can review it. The editor's note argues that ministers may not draw extra funds such as a Telecom credit card beyond legal allowances, and that review is meaningless without an independent Supreme Court.

අල්ලස්, දූෂණ, දේශපාලනය හා යුක්තිය පසිඳලීම යන ශීර්ෂය යටතේ 2003 සැප්තැම්බර් 07 ඉරිදා ඔබගේ පුවත්පතේ පළවූ ලිපිය පිළිබඳව මගේ අවධානය යොමුවී ඇත. එම ලිපියෙන් ගම්‍යවන්නේ මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් අතිගරු ජනාධිපතිනිය විසින් පත් කරන ලද නිසාම ඔවුන් ජනාධිපතිනිය සහ ඇයගේ හිතවතුන් ආරක්ෂා කරගන්නා පිළිවෙතක් අනුගමනය කරන බවයි. එහිදි ඔබ විසින් කොමිෂන් සභාවට විරුද්ධව දක්වා ඇති පක්ෂග්‍රාහී චෝදනා පදනම් වී ඇත්තේ එකම එක සිද්ධියක් පදනම් කොට ගෙනය. එනම්, මංගල සමරවීර මහතාට විරුද්ධව තිබූ විමර්ශන ගොනුව වසා දැමීමේ සිද්ධියයි.

නමුත්, මෙසේ වසා දමා ඇත්තේ මංගල සමරවීර මහතාගේ ගොනුව පමණක් නොවේ. වත්මන් රජයේ ජේ‍යෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකුට විරුද්ධව කෙරි ගෙන ගිය විමර්ශන ගොනු ද එලෙසම වසා දමා තිබේ. එය රහසක් නොව මාධ්‍ය තුළින් වරින්වර ප්‍රසිද්ධ වූ කරුණකි. මෙම ලිපිගොනු වසා දැමීමට හේතු වුණේ ඔවුන්ගේ තරාතිරම හෝ බලපුළුවන්කාරකම නිසා නොව ඒ පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය කරුණු හෝ නෛතික පදනමක් නොතිබුණ හේතුව නිසාම බව මෙහිදි සඳහන් කළ යුතුය. විමර්ශනය නවතා දැමීමට තීරණය කළේ එක් එක් කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා බැලීමෙන් පසුවය. එම තීරණය ඒකමතිකව එළඹුණක් බව ද මෙහිදි සඳහන් කළ යුතුය. මෙම තීරණ ගැනීමට හේතුභූත වූ කරුණු ඒ ඒ ගොනුවල වෙන වෙනම දක්වා ඇත. ඒවා කිනම්දැයි සවිස්තරව ඔබට ඉදිරිපත් කිරීමට පුළුවන්කමක් නැත්තේ රහස්‍යභාවය පිළිබඳ නීතිය ඊට හරස් වන නිසාය.

කෙසේ නමුත් කොමිෂන් සභාවේ තීරණ නැවත සලකා බැලීමේ නෛතික බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරි තිබේ. එම නිසා කොමිෂන් සභාවේ තීරණ සාවද්‍ය ද නැතහොත් පක්ෂග්‍රාහී ද යන්න තීරණය කිරිමේ නෛතික බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතය. ඔබ සඳහන් කර ඇති සාකච්ඡාවේදි මංගල සමරවීර මහතා පිළිබඳව නැගූ ප්‍රශ්නයේදි අප ගත් තීරණය පිළිබඳව යම් කිසිවකු සෑහීමකට පත් නොවේ නම්, එම අය හට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිය හැකි බවට මා පිළිතුරු දුන්නේ එම නිසාය.

මංගල සමරවීර මහතාට වාසියක් සලසාදිමට කොමිෂන් සභාවට අවශ්‍ය වූයේ නම්, එය කිරිමේ බලය විමර්ශනය ආරම්භ කිරීමට පළමුව යෙදිමට කිසිම අවහිරයක් තිබුණේ නැත. එම මුල් අවස්ථාවේදිම මෙය අවංක පැමිණිල්ලක් නොවන බව සඳහන් කරමින් විමර්ශනයක් නොමැතිවම ඔහුව නිදහස් කිරිමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පුළුවන්කම තිබුණි. නමුත් එම පැමිණිල්ලේ ඇති සංවේදිතාව පසෙක තබා විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග පැනවීමේ සෘජු ක්‍රියාවලියක් ගැනීමට කොමිෂන් සභාව කටයුතු කළේය. ඒ අවස්ථාවේදි මංගල සමරවීර මහතා පොදු පෙරමුණු රජයේ බලවත් ඇමතිවරයෙක්ව සිටියේය. කෙසේ නමුදු විමර්ශන ගොනු වසා දැමීමට තීරණය කළේ සම්පූර්ණ සහ දිර්ඝ විමර්ශනයකින් පසුවය. එම නිසා මංගල සමරවීර මහතා නිදහස් කිරිමේ වුවමනාකමක් කොමිෂන් සභාවට තිබුණා නම් මෙවැනි දිර්ඝ විමර්ශනයකින් පසු තීරණයක් ගෙන කටයුතු කිරීමට කිසිසේත් නොපෙළඹෙන බව මැදිහත් සිතින් යුත් කාහට වුවද ප්‍රත්‍යක්ෂ වනවා ඇත.

මේ හේතු කාරණා නිසාම කොමිෂන් සභාවට එරෙහිව දක්වා ඇති පක්ෂග්‍රාහී චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමු.

එස්. ආනන්ද කුමාරස්වාමි,

සභාපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව.

කර්තෘ සටහන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා මංගල සමරවීර මහතාට එරෙහිව තිබූ විමර්ශන ගොනුව වසා දැමීම පිළිබඳව අප පළකර තිබූ විග්‍රහයට පිළිතුරක් එවීම ගැන අපි සතුටුවෙමු.

එහෙත් එම පිළිතුර එම නිශ්චිත ප්‍රශ්නය පිළිබඳව ඇති කර තිබුණු බලවත් සැකය දුරුකිරීමට හේතුවී නැති බව ද කිවයුතුය.

අපට මෙම නිශ්චිත ප්‍රශ්නය වැදගත් වූයේ එය මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරිපත්වූ පැමිණල්ලක් වන නිසා නොව, සියලු ඇමතිවරුන්ගේ භාවිතයට අදාළ මූලික ප්‍රශ්නයක් වූ නිසාය.

අප දන්නා තරමින් කැබිනට් ඇමතිවරයෙකු කරන නිල විදේශ ගමන් බිමන්වලදි ඔහුට ඒ වෙනුවෙන් දරන්නට සිදුවන සියලු වියදම් (නවාතැන් ගාස්තු, ගුවන් ගමන් ගාස්තු, විවිධ ප්‍රවාහන ගාස්තු, රක්ෂණ හා වෙනත් වියදම්) දරනු ලබන්නේ ආණ්ඩුව විසිනි. මේ සියලු වියදම් දරනවාට අතිරේකව ගත කරන හැම දිනක් සඳහාම දිමනාවක් සහ ශීත ඇර්ම් දිමනා වැනි වෙනත් දිමනා ද ගෙවනු ලැබේ.

නීත්‍යනුකූලව එසේ ලැබෙන ගෙවීම්වලට අතිරේකව කැබිනට් ඇමතිවරයෙකුට තමන් යටතේ තිබෙන ආයතනවලින් ඒ සඳහා තමන් කැමති ආකාරයට තව තවත් මුදල් ලබාගැනීම නීතිවිරෝධීය.

මංගල සමරවීර මහතා ද ටෙලකොම් සමාගමෙන් කේ‍රඩිට් කාඩ්පතක් ලබාගෙන තිබුණේ ඇමතිවරයෙකු වශයෙන් විදේශ ගමන් බිමන් සඳහා තමන්ට නීත්‍යනුකූලව ලැබෙන සියලු ප්‍රතිපාදන ලබාගන්නවාට අමතරවය. මංගල සමරවීර මහතා තමන්ට ටෙලිකොම් සමාගමෙන් ලැබුණු එම කේ‍රඩිට් කාඩ්පත පාවිච්චි කරමින් විවිධ භාණ්ඩ මිලදි ගෙන ද තිබුණේය.

මෙය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට දිර්ඝ විමර්ශනයකට යායුතු සංකීර්ණ ප්‍රශ්නයක් වී ඇතත්, අපට එය පෙනෙනුයේ සරල ප්‍රතිපත්ති ප්‍රශ්නයක් ලෙසය. ඒ ගැන අප දරන මතය වනුයේ නීතියෙන් නියම කොට ඇති දිමනා හැර තමන් යටතේ තිබෙන රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලින් ඒ වෙනුවෙන් අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගත නොහැකි බවය. එසේ ලබාගැනීම දූෂණ ගණයෙහිලා සැලකෙන වරදක් වන බවය.

කොමිසන් සභාවේ සභාපතිවරයා කියන්නේ මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරිපත්වූ පැමිණල්ලේ දි මංගල සමරවීර මහතාට වාසියක් ලබාදිමට කොමිසන් සභාවට අවශ්‍යතාවක් වී නම් එය කිරිමේ බලය ආරම්භක අවස්ථාවේදිම කොමිසන් සභාවට තිබුණු බවය. කොමිසන් සභාව එසේ නොකොට ඒ ගැන දිර්ඝ විමර්ශනයක යෙදුණු බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

අපට පෙනෙන අන්දමට කොමිසන් සභාවට පැමිණල්ල බාරගැනීමට සිදුවූයේ එම පැමිණල්ලට ලැබුණු අතිවිශාල ප්‍රසිද්ධිය නිසාය. කොමිසන් සභාව ඒ ගැන දිර්ඝ විමර්ශනයක යෙදුණු බව ප්‍රකාශ කර ඇතත්, අපට නම් බැලු බැල්මට පෙනෙන්නේ කොමිසන් සභාව දේශපාලන වශයෙන් අපක්ෂපාත බව පෙන්වීමට පැමිණල්ල බාරගත් බවත්, එහෙත් ඒ ගැන අවංක විමර්ශනයක නොයෙදි මැතිවරණයට පෙර මංගල සමරවීර මහතා එම චෝදනාවෙන් නිදහස් කරමින් විමර්ශනය වැසූ බවත්ය. එය දේශපාලන අරමුණක් අනුව සිදුවූවක් බව අපේ මතයයි.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සිදුවී ඇතැයි කියන දේවල් ගැන ද අප දරන මතය ඊට වෙනස් නැත.

මෙය කොමිසන් සභාවේ අවංකභාවය උරගා බැලීමකට ලක් කළ එකම සිද්ධිය නොවන බව ද කිවයුතුය.

පසුගිය මැතිවරණයේදි රාජ්‍ය සම්පත් අයුතු ලෙස පරීහරණය කිරීම පිළිබඳව මානව හිමිකම් ආයතනය විසින් පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන යටතේ ඉදිරිපත් කළ පැමිණල්ල සම්බන්ධයෙන් කොමිසන් සභාව අනුගමනය කළ පිළිවෙත ද නීතියට පටහැනි බව අපේ මතයයි. ඊට එරෙහිව මානව හිමිකම් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියවිට පමණක් කොමිසම සිය අර්ථකථනය වැරදි බව පිළිගත්තේය. එහෙත් අවාසනාවකට එහිදි සිදුවූයේ ද නැවත ඒ පැමිණල්ල පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ක්‍රියාමාර්ගයක් නිර්දේශ කරනවා වෙනුවට එම පැමිණල්ල යටපත් කරන ක්‍රමයකට යොමුවීමය. ඒ කරුණ තර්කානුකූල අවසානයකට ගෙන නොයාමේ වරද භාරගත යුතුව ඇත්තේ මානව හිමිකම් ආයතනයයි.

කොමිසන් සභාවේ තීරණ නැවත සලකා බැලීමේ නෛතික බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරි තිබෙන බව සත්‍යයකි. එහෙත් කොමිසන් සභාව ගනු ලබන තීරණයක් පිළිබඳව සෑහීමට පත් නොවන අයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් යුක්තිය ඉටුකර ගත හැකිවනු ඇත්තේ ස්වාධීනව ක්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණයක් රටේ ඇත්නම් පමණය. එහෙත් රටේ අවාසනාවකට රටට ඇත්තේ ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක් නොව ස්වාධීනත්වය අහිමි කරගත් ශ්‍රේෂ්ඨාධිකරණයකි.

පසුගිය මැතිවරණ කාලයේදි හා ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයේදි සිදුවූ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය පැමිණලිවලට සිදුවූයේ කුමක්ද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

රටේ නීතියේ පාලනය මේ තරමට බිඳ වැටී තිබෙන්නේ ද ස්වාධීන අධිකරණයක් රටට නැති නිසාය. කොමිසන් සභාවල පමණක් නොව, දේශපාලන තලයේ සිදුවෙමින් පවතින බරපතළ වැරදි නිවැරදි කරගැනීමට රටට හැකිවනු ඇත්තේ ද ස්වාධීන අධිකරණයක් දිනාගැනීමට හැකිවූ දිනක ය.