ශ්රීලනිප සමග සන්ධානයක් ඇති කර ගැනීමේ ස්ථිර අදහසක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණත් ශ්රීලනිප යේ නායිකාව ඒ ප්රශ්නය මුල සිටම දැක්කේ ජනතා විමුක්ති පෙරමුණ දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකටය. ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයක් ඇති කර ගන්නට යන බව පෙන්වමින් ඒ සඳහා වන සාකච්ඡාමය ක්රියාවලියක නිරත වෙමින් ඒවයින් තම ශක්තිය රටට පෙන්නුම් කරන අතර අවශ්යම වෙතොත් පමණක් ජවිපෙ සමග සන්ධානයකට යාම ජනාධිපතිනියගේ උපාය මාර්ගය වූ බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි
තමන් අපේක්ෂෂා කළ සන්ධානය දිනා ගැනීම සඳහා ගෙවිය හැකි ඕනෑම මිලක් ගෙවන තැනකට ජනතා විමුක්ති පෙරමුණ තල්ලු වූයේ ය. ශ්රීලනිප සමග සන්ධානයක් ඇති කර ගැනීම මගින් එජා පෙරමුණ ආණ්ඩුව හැකි ඉක්මනින් පෙරලා දමා තමන්ගේ අතට තෝන් ලනුව ලැබෙන ආණ්ඩුවක් ඇති කර ගැනීම මගින් ශ්රීලනිප හිරකොට ශ්රීලනිප ය හිමිකරගෙන සිටින තැන තමන් වෙත හිමිකරගැනීම ජ.වි.පෙ. උපාය මාර්ගික අරමුණ වී තිබුණි. එහෙත් ජනාධිපතිනිය ඒ ප්රශ්නය දෙස බැලූ ආකාරය ඊට වෙනස් ය. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයකට යාමට සූදානම් බව පෙන්වා ඒ සඳහා වන සාකච්ඡාමට වැඩ පිළිවෙළක නිරත වීම මගින් ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්යාපාරයක් වෙතින් සිය පක්ෂෂයටත් තමන්ටත් එල්ල විය හැකි විවේචන වළකා ගනිමින් තමන්ට හා තම පක්ෂෂයට ලැබෙන වැදගත්කම හා වටිනාකම වැඩි කර ගනිමින් තමන්ට වාසි දායක විරුද්ධ පක්ෂෂ ක්රියාකාරිත්වයක් ද රට තුළ පවත්වාගෙන යමින් අවශ්ය වෙතොත් එජාප අභ්යන්තර කණ්ඩායමක් තමන් වෙත දිනා ගනිමින් අණ්ඩුවක් පිහිටුවා ගැනීම හෝ එජා පෙරමුණ ආණ්ඩුව සමග එහකගතාවක් ඇති කර ගැනීම ඇගේ අරමුණ වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන ව්යපාරයක් ලෙස ක්රියා කරන තත්ත්වයකට ගියේ නම් ඔවුන්ට එජා පෙරමුණු ආණ්ඩුව විවේචනය කරනවාට අතිරේකව ශ්රීලනිප සේම එම පක්ෂෂයේ නායිකාව ද විවේචනය කරන තත්ත්වයකට යන්නට සිදුවන්නේ ය. එවැනි පිළිවෙතක් සේම එවැනි පිළිවෙතක් සමග සිදුවන දේශපාලන ක්රියාකාරිත්වයක් ශ්රීලනිප නායකයින්ට තිබෙන පිළිගැනීම දුර්වල කිරීමට හේතුවනවා සේම එක්තරා ප්රමාණයකට හෝ ශ්රීලනිපය ද දුර්වල කිරීමට හේතුවන්නේ ය. එහෙත් සන්ධාන වැඩ පිළිවෙල නිසා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් හොරගොල්ල වලව්වේ රෙදි හෝදන තත්ත්වයකට තල්ලු වන්නට සිදුවූවා සේම ජනාධිපතිනිය මේ රටට සිටින හොඳම නායිකාව ලෙස සලකා ජාතිය ගලවා ගැනීම සඳහා ඇයට දිගින් දිගටම ආයාචනය කරන තැනකට යන්නට සිදුවූයේ ය. ඒ ක්රියාවලිය තුළ සිදුවූ තවත් දෙයක් වනුයේ විධායක ජනාධිපති ක්රමයට එරෙහිව එතෙක් පවත්වාගෙන ගිය විවේචන අත්හැර විධායක ජනාධිපති ක්රමය පිළිගනිමින් ඒ ඉදිරියේ දණන් වැටී ඊට පූජෝපහාර දක්වන තැනකට ජ.වි.පෙ. තල්ලුවීමය.
ජනාධිපතිනිය තම පක්ෂෂය ගොනාට අන්දවමින් සිටින බව තේරුම් ගන්නට ජවිපෙ නායකත්වයට ගත වූ කාලය ඉතා දිර්ඝය. ඒ වෙනුවෙන් ගෙවන ලද හා තවදුරටත් ගෙවන්නට සිදුවනු ඇති වන්දිය ද ඉතා විශාලය. ඉන් පෙන්නුම් කරන්නේ මේ සමාජ බලවේගයට නායකත්වය දෙන පුද්ගලයන්ගේ දාර්ශනික දුගී භාවයේ තරමය.
තමන් සාම්ප්රදායික වාමාංශික නායකත්වයන්ට වඩා විප්ලවකාරි වේ යැයි කියන්නට ජවිපෙ නායකයන් හැම විටම කැමතිය. එහෙත් සාම්ප්රදායික වාමාංශික නායකයින්ට තිබුණු ගැඹුර, තියුණුභාවය සමග සසඳන විට ජවි පෙරමුණේ නායකයින් සිටින්නේ ඉතා දිළිඳු තැනකය.
සාම්ප්රදායික වාමාංශික ව්යාපාරය සමාජවාදය වෙනුවෙන් සටන් කරන ව්යාපාරයක් ලෙස පෙනී සිටියත් ඇත්ත වශයෙන් ම ඔවුන් අතින් සිදුවනුයේ වැඩවසම් ක්රමයක සිට ධනේශ්වර ක්රමයකට පරිවර්තනය වෙමින් පැවති සමාජයට අවශ්ය සමාජ සවිඥාණකත්වය සමාජයට ලබා දිමය. ඔවුන්ට ද අවශ්ය නම් මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරිමේ හැකියාවක් තිබුණි. එහෙත් ඔවුහු අනුවණ ලෙස මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකළහ.
ශ්රී ලංකාවේ සමාජයට ප්රජාතන්ත්රවාදය කියා දුන්නේ ධනේශ්වර දේශපාලන පක්ෂෂ විසින් නොව සාම්ප්රදායික වමේ පක්ෂෂ විසිනි. ධනේශ්වර පක්ෂෂ, පක්ෂෂ අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහසකින් තොරව එක පවුලක් හෝ පවුල් කණ්ඩායමක් මත ක්රියා කරන විට අභ්යන්තර ප්රජාතන්ත්රවාදි නිදහසක් සහිත පක්ෂෂ ක්රමයක් රටට හඳුන්වාදුන්නේ ද සාම්ප්රදායික වාමාංශික ව්යාපාර විසිනි. පාර්ලිමේන්තු ක්රමයට පිළිගත් ප්රජාතන්ත්රවාදි පාර්ලිමේන්තු සාම්ප්රදායක් හඳුන්වා දෙමින් පාර්ලිමේන්තු සම්ප්රදායන් පෝෂණය කළේ ද ධනේශ්වර පක්ෂෂ විසින් නොව එම වාමාංශික පක්ෂෂ විසිනි.
සමාජ ප්රතිසංස්කරණ න්යායපත්රයක් වෙනුවෙන් පෙනී සිටීම එම වාමාංශික පක්ෂෂවලට තිබුණු ශක්තිමත්ම සාධකයක් විය. ගම්මුලාදෑනි ක්රමය අහෝසි කිරීම, නිදහස් අධ්යාපන ක්රමයක් හා සෞඛ්ය සේවයක් ඇති වීම, පැය 8 වැඩ දිනයක් ඇතිවීම, විශ්රාම වැටුප් ක්රමයක් ඇතිවීම යනාදිය එම ප්රතිසංස්කරණ ක්රියාමාර්ගවල ප්රතිඵල ලෙස සැලකිය හැකිය.
ඔවුන් ශ්රීලනිපය සමග සන්ධානයකට ගියේ ද මුහුකුරා ගිය දැනුමක් ඇතිව රාජ්ය පාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති විචක්ෂණ පිරිසක් ලෙස මිස සටන් පාඨවලට පමණක් සීමා වූ ගිරවුන් පිරිසක් ලෙස නොවේ. ඔවුන් ඇමතිධූරවලට ආ පසුව තමන්ට ඒ විෂය ක්ෂෙෂ්ත්රයන් පිළිබඳව ඇති ගැඹුරු දැනුම ප්රදර්ශනය කිරීමට සමත් වූවා පමණක් නොව තමන් කාර්යක්ෂෂම පරිපාලන හැකියාවක් පිරිසක් ඇති බව ද මනා ලෙස ඔප්පු කිරීමට කිරීමට සමත් විය.
ජනතා විමුක්ති පෙරමුණ සිය ගමන් මග ඇරඹිය යුතුව තිබුණේ සාම්ප්රදායික වම සිය ගමන අවසන් කළ තැන සිටය. එහෙත් අවාසනාවකට ඔවුන් ගමන් ගනිමින් සිටින්නේ ඒ වගේ ඉදිරියට නොව ආපස්සටය.
අඩුම වශයෙන් තමන්ගේ 87-90 කැරැල්ල දෙස විවේචනාත්මකව ආපසු හැරි බැලීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නම්, නව ඉදිරි මගක් සඳහා වන යථාර්ථවාදි දර්ශනයක් ඇති කර ගැනීමට සමත් වන්නට තිබුණි. 1987-90 කාලයේ සිදුවූ කැරැල්ල බිහිසුණු ඛේදවාචකයක් ලෙස සැලකීමට සූදානම් නැති ඊට ආණ්ඩුව පමණක් නොව තමන්ද වගකිවයුතු බව පිළිගැනීමට සූදානම් නැති, දේශපාලන පක්ෂෂයකට ඉදිරි දැක්මක් ඇති කර ගත හැක්කේ කෙසේද?
සුළු සුළු වෙනස්කම් තිබුණද, හරයාත්මක වශයෙන් තාමත් ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ 71 සිටි තැනමය. එහෙත් ලෝකය තිබෙන්නේ 71 තිබුණු තැන නොව ඊට බොහෝ වෙනස් තැනකය. ජ.වි.පෙ. දේවල් දකින ආකාරය හා විශ්ලේෂණය කරන ආකාරය ඉතාමත් නොගැඹුරුය. කැපවීම යනු දැනුම වර්ධනය කර ගැනීම සඳහා කැප වෙමින් ඒ ලබා ගන්නා දැනුම පොදු යහපත සඳහා කැපවීමකින් යුතුව යොදා ගැනීම මිස දිනපතා පෝස්ටර් ඇලවීම හෝ උද්ඝෝෂණ ව්යාපාරවලට සහභාගී වීම සාර්ථක කැපවීමක් ලෙස විග්රහ කළ නොහැකිය. විනය යන්නෙන් අදහස් කරන්නේ ද උද්ඝෝෂණවලදි හා පෙළපාලි වලදි විධිමත් බව හා විනය ගරුක බව ප්රදර්ශනය කිරීම නොව සමාජ ක්රියාකාරිත්වයේදි ප්රතිපක්ෂෂ මත ඉවසීම, අන්යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම, තමන් පණ පොවන මතවාදයන් ප්රශ්න කිරීමකින් තොරව භාර නොගැනීම වැනි ගුණධර්ම මත පිහිටා ක්රියාකිරීමය.
ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් සමාජ ප්රජාතන්ත්රවාදි න්යාය පත්රයක් නොතිබුණි. හැමදාමත් කළේ ඉක්මනින් ඇතිවිය හැකි අනතුරක් පිළිබඳ සිය පාක්ෂෂිකයන් බිය ගන්වා ඒ අනතුරින් ගැලවීම සඳහා ඇප කැප වීමෙන් ක්රියාකරමුයි කියන තැනකට ඔවුන් තල්ලු කිරීමය. 1971 දි කළේ හමුදා ආණ්ඩුවක් පිළිබඳ බියක් සිය සාමාජිකයන් තුළ ආරෝපණය කිරීමය. 87 දි කළේ ඉන්දියානු ආක්රමණයක් පිළිබඳව බියක් මවා පෑමය. දැන් ප්රජාතන්ත්රවාදි ප්රවාහයට මාරුවීමෙන් පසුවත් කරමින් සිටින්නේද ඒ හා සමාන ක්රියාවකි. රට බෙදිමක් ඇතිවන්නට යන බව මවා පා ඊට එරෙහිව සාමාජිකයින් බලමුලු ගැන්වීමය.
ශ්රීලනිප හා ජවිපෙ අතර ඇති කරන්නට යමින් තිබුණු සන්ධානය වඩාත්ම ජවිපෙ සාමාජිකයන් අතරත් ඊට අඩු ප්රමාණයකට ශ්රීලනිප පක්ෂෂිකයන් අතරත් ආස්වාදජනක හැගීමක් ඇතිකිරීමට හේතු වී තිබුණි. ඒ නිසා ගම් මට්ටමේ සමහර ශ්රීලනි පක්ෂෂිකයින් ජවිපෙ කෙරෙහි විශ්වාසයක් ඇති කර ගන්නා තත්ත්වයකට යමින් තිබුණු අතර මේ දෙපක්ෂෂය එකට එකතු වී ගොඩ නගන ආණ්ඩුවේ අනාගත කොටස්කරුවන් වීමේ අභිලාෂයෙන් සමහර තරුණ කොටස් ජවි පෙරමුණට නැඹුරුවන තත්ත්වයක් ද තිබුණි. එහෙත් සන්ධානය බිඳ වැටීමෙන් පසුව දැන් ජ.වි. පෙරමුණේ සාමාජිකයින් සිටින්නේ අන්දමන්ද වූ තත්ත්වයකය. ඒ තත්ත්වය ජවිපෙ කෙරෙහි ඇති කරන බලපෑම යහපත්විය නොහැකිය.
මහින්ද විජේසේකරට ප්රජාතන්ත්රවාදය තිත්ත වීම
මහින්ද වජේසේකර දක්ෂෂ කතාකාරයෙකි. තමා වල් අලියෙකු මිස හීලෑ අලියෙකු නොවන බවත් ඒ නිසා හීලෑ අලියෙකු මෙන් හෙණ්ඩුවට බය නොවන බවත් ඔහු වරක් කීවේය. රනිල් වික්රමසිංහට නැති බලයක් අරන් දුන්නේ තමන් බවත් තමන් එසේ නොකළා නම් මේ වනවිට රනිල් වික්රමසිංහත් එම පක්ෂෂයෙන් එලවා අවසන් බවත්, මේ මිනිහට වැඩ බැහැයි කියා ඔහු එලවන්නට පක්ෂෂයේ අය කැරලි ගැසූ බවත්, එහෙත් තමන් රනිල් වික්රමසිංහට ආණ්ඩු බලය ලබා දි ඔහුගේ නායකත්වය රැක දුන් බවත්, තවත් වරක් මහින්ද විජේසේකර ප්රකාශ කළේය. ඊළගට දැන් ඔහු කියන අලුත්ම සින්දුව වී ඇත්තේ ලංකාව වැනි දියුණුවන රටකට ඕනෑවට වඩා ප්රජාතන්ත්රවාදි නිදහසක් දිම හොඳ නැති බවය. ඔහු පොලිස් කොමිසමට ද විරුද්ධය. ඔහු කියන්නේ ශ්රී ලංකාව වැනි නොදියුණු රටකට පොලිස් කොමිසම වැනි ආයතනයක් සුදුසු නැති බවය. මුරබල්ලා ස්වාධීන වූ විට ඌට ස්වාමියා සපාකෑමේ නිදහස ද ලැබෙනු ඇති බවය. මහින්ද විජේසේකරට අවශ්ය වී ඇත්තේ පොලීසිය සිය මුරබල්ලකු බවට පත් කරගැනීමය. තමන් අකමැති අය මුරබල්ලා ලවා හපා කවන තත්ත්වයක තබාගැනීමය. කොටින්ම මහින්ද විජේසේකර ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිසම හා අල්ලස් කොමිසම බල රහිත කර තිබෙන ආකාරයටම පොලිස් කොමිසම ද බල රහිත කළ යුතු බවය. ශ්රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට අනවශ්ය තරම් ප්රජාතන්ත්රවාදි නිදහසක් ලබා දිය යුතු නැතැයි කියන විට ඔහු ඉන් අදහස් කරනවා ඇත්තේ ද මේ රටේ මහජනතාව ප්රවේණිදාස තත්ත්වයක තබාගෙන පාලනය කිරිමේ අයිතිය පාලකයින්ට ලබා දිම විය හැකිය.
මාධ්ය නිදහස වෙනුවෙන් කඳුළු සැලීම
“රනිල් ගේ මාධ්ය ජුන්ටාව පන්නමු” යන තේමාව යටතේ පවත්වන ලද විරෝධතා ව්යාපාරය පසුගිය අගහරුවාදා ලේක්හවුසිය ඉදිරිපිට පවත්වනු ලැබීය.
බේගල් පුවත් මවන, දූෂිතයින් රකින, සදාචාරය කෙළෙසන, භීෂකයින් රජ කරවන, බස වනසන, රට පාවා දෙන රනිල් ගේ මාධ්ය ජුන්ටාවට විරෝධය පළ කිරීම මේ විරෝධතා ව්යාපාරයේ අරමුණ වන බව එය සංවිධානය කළ ශ්රී ලංකා ජනමාධ්ය සංසදය හා ජාතික මාධ්ය ව්යාපාරය ප්රකාශ කර තිබුණේය.
මෙම සංවිධාන දෙක පිහිටුවා ඇත්තේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේදි විවිධ තනතුරු දැරූ මාධ්යවේදින් විසින්ය. විරෝධතා ව්යාපාරයේ පෙරමුණ ගත් ප්රධාන චරිතයක් වූයේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේ දිර්ඝ කලක් ජනමාධ්ය ඇමති ලෙස ක්රියා කළ මංගල සමරවීර මහතා ය.
මේ ආණ්ඩුව යටතේ ද අනියම් පුවත්පත් පාලනයක් පවත්නා බව සත්යයකි. එහෙත් එවැනි තත්ත්වයකට ඉඩ තැබීම ගැන පොදු පෙරමුණේ මංගල සමරවීර වැනි ඇමතිවරුන් ද වගකිව යුතුය.
රාජ්යය සතු මාධ්ය ආයතන රාජ්ය අයිතියෙන් නිදහස් කොට ඒවාට ස්වාධීන තත්ත්වයක් ලබාදෙන බවට පොදු පෙරමුණ 1994 දි ප්රසිද්ධ පොරොන්දුවක් දි තිබුණත් බලයට පත්වීමෙන් පසුව ඒවා නිදහස් කරනවා වෙනුවට සිදුවූයේ සිය පටු දේශපාලන අභිලාසයන් සඳහා උපරිම මට්ටමකින් යොදා ගැනීමය.
අනෙක් අතට පොදු පෙරමුණු පාලන යුගය තුළ ජනමාධ්ය විෂයයේදි සිදුකළ සාහසිකකම් වහාම අමතක කිරිමේ හැකියාවක් ජනමාධ්යවේදින්ට නැත. ඒ පාලන කාලය තුළ ද තමන්ට අකමැති ජනමාධ්යවේදින්ට හිංසා කරන ප්රතිපත්තියක් ක්රියාත්මක වූවා පමණක් නොව සමහර පුද්ගලයන් මරාදමන තරම් අන්තවාදි තත්ත්වයකටද ගියේය.
අද ජනමාධ්ය නිදහස වෙනුවෙන් කඳුළු හෙළන මේ උද්ඝෝෂකයන් අතරින් කී දෙනෙක් පොදු පෙරමුණු යුගයේ සිදුවූ ඒ සාහසිකකම්වලට එරෙහිව නැගී සිටියේ ද? ඔවුන් බොහෝ දෙනෙකු කළේ නැගී සිටිනවා වෙනුවට එම සාහසික කම් අනුමත කරන තත්ත්වයක පිහිටා ක්රියා කිරීමය. එවැනි පිරිසකට ජනමාධ්ය නිදහස දිනා ගැනීම හෝ පරිපූර්ණ කර ගැනීම සඳහා කෙරෙන අරගලයකට නායකත්වය දිය හැක්කේ කෙසේද?