ඉදිරි පළාත් සභා මැතිවරණයේ ගමන් මග

August 17, 2003
Publication:
Ivan weighs the President's plan to test her strength in early provincial elections, comparing the 2001 parliamentary results with the later local government polls, in which the JVP fell from about a million votes to under 600,000. Recalling vote-rigging by the UNP from 1977 to 1994, the 1982 referendum and the PA's North Western Province poll, he argues that all three main parties prefer a 'thieves' system' of election plunder, and reads the President's remarks to editors about using thuggery as a sign of a looming fight to the death.

ඉක්මන් පළාත් මැතිවරණයකට යමින් බලය උරගා බැලීමක යෙදිම ජනාධිපතිනියගේ අපේක්ෂාව වී තිබේ.

පළාත් සභාවක හෝ කිහිපයක මැතිවරණ පවත්වා ඒවා ජයගැනීමට පොදු පෙරමුණ සමත් වේ නම්, එජා පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම අවුලට යවමින් නැවත ජයග්‍රාහී බලවේගයක් ලෙස මතුවීමේ හැකියාව පොදු පෙරමුණට ලැබෙනු නොවැළැක්විය හැකිය.

එහෙත් එය සරල හෝ පහසු දෙයක් නොවනු ඇති බව ද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ද ලැබෙන පරාජයක් ආණ්ඩුවේ පැවැත්ම විනාශ කිරීමට හේතුවන බව දැන, එය වළක්වා ගැනීම සඳහා උපරිම මට්ටමකින් සිය බලය හා ශක්තිය යොදා ක්‍රියාකරනු ඇති බව ද ජනාධිපතිනිය දන්නේය.

2001 අවසානයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල මත පදනම් වී කරුණු සලකා බලන්නෙකුට පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව තරග කළහොත් ළග ළග තරගයකින් පොදු පෙරමුණ ජයගනු ඇති බව පෙනෙනු ඇතත්, ඉන්පසු පවත්වන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත පදනම් වී කරුණු සලකා බලන්නෙකුට ලැබෙන චිත්‍රය ඊට වෙනස් විය හැකිය.

පළාත් පාලන මැතිවරණයේදි එජා පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ විශාල වර්ධනයක් පෙන්නුම් නොකළ ද පොදු පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණයේ සේම ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණයේ ද ශීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබුණ. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද දශ ලක්ෂයක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට එම පළාත් පාලන මැතිවරණයේදි ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 6කටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි.

පොදු පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ අඩුවීම කෙරෙහි පරාජිත හැගීම් බලපෑවා විය හැකිය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන අය දිනන්න බලාගෙනම ඡන්දය දෙන පිරිසක් නොවන අතර, ඕනෑම මර්දනකාරි තත්ත්වයක් යටතේ වුවත්, ඡන්දය පාවිච්චි කරන පිරිසක් වෙති. ඒ අනුව ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රමාණයේ අඩුවීම තේරුම් ගත යුතුව ඇත්තේ ලබාගත් ලක්ෂ 10 ඡන්ද ප්‍රමාණය ජනතා විමුක්ති පෙරමුණේ ස්ථිර ඡන්ද නොවන බවය.

එජා පෙරමුණට ඡන්දය දුන් ජනතාව අතර ආණ්ඩුව පිළිබඳව ආශ්වාදයක් ඇතැයි කිව නොහැකිය. මීට පෙර බලයට පැමිණ වෙනත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙන් පක්ෂ මට්ටමෙන් පාක්ෂික ජනතාවට විශේෂ වරප්‍රසාද ලබාදිමට මේ ආණ්ඩුව සමත් වී නැත. එහෙත් ඔවුන් තාමත් එජාපයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන තරමටම එජාප සමග උරණ වී ඇති බවක් ද පෙනෙන්නට නැත.

මැතිවරණ පරාජයක් බාරගත හැකි මානසික තත්ත්වයක් ආණ්ඩුව තුළ නොපවතී. එවැනි මැතිවරණයකින් ලබන පරාජයක් ආණ්ඩුව ඉක්මන් බිඳ දැමීමකට හේතුවන ක්‍රියාවලියක ආරම්භයක් වන බව ආණ්ඩුවේ නායකයින් දන්නේය. එවැනි තත්ත්වයක් තුළ පොදු පෙරමුණු යුගයේදි පොදු පෙරමුණ කළා සේ ම හොඳින් බැරිනම් නරකින් හෝ මැතිවරණ ජයගන්නා තැනකට ආණ්ඩුව යොමුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් දෙපක්ෂයටම ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. එජාප 77 සිට 94 දක්වා සිය පාලන යුගය තුළ මැතිවරණ ජයගැනීම සඳහා උපරිම ලෙස බලය යොදා ගන්නා හා ඡන්ද කොල්ලකන ප්‍රතිපත්ති අනුගමනය කළේය. ඒ තත්ත්වයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ දැඩි විරෝධය හේතු කොටගෙන ඡන්ද කොල්ලකන වැඩපිළිවෙළ ආපස්සට ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගැනීමේ හැකියාව පොදු පෙරමුණට ලැබුණේය.

පොදු පෙරමුණ ආරම්භක අවස්ථාවේදි බලයට පැමිණියේ මහජන බලයෙන් වුවත්, ඉන්පසු තමන්ට ලැබුණු ඒ බලය මැතිවරණවලදි ආරක්ෂා කරගන්නේ ජනතා බලය කොල්ලකන ප්‍රතිපත්තියක් ඔස්සේ ය.

දැන් එක්සත් ජාතික පෙරමුණ නැවත බලයට පත්ව සිටින අතර, එම ආණ්ඩුව ගමන් කරනු ඇත්තේ ද තමන්ට හුරු පුරුදු පැරණි මාවතේය.

1997 පළාත් පාලන මැතිවරණයේදි තෝරාගත් ප්‍රදේශ ගණනාවක ඡන්ද දූෂණ සිදුවූ අතර, ජනාධිපතිනිය තමන්ගේ දේශපාලන ගෝල බාලයන් කරන එම සාහසික වැඩපිළිවෙළ දෙස සිනාසෙමින් බලා සිටියා මිස, ඔවුන්ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. එය ජනාධිපතිනිය අනාගතයේ ගමන් කරන්නට යන දිසාව පෙන්නුම් කළ පැහැදිලි සංඥාවක් විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සමහර ප්‍රදේශවල සිදුවූ මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ද ජනාධිපතිනිය එදා අනුගමනය කළ ප්‍රතිපත්තියට සමානය. එය මැතිවරණ විෂයේදි ආණ්ඩුවේ අනාගත ගමන් මග පෙන්නුම් කරන සංඥාවක් ලෙස ද සැලකිය හැකිය. ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා ඡන්ද දෙපාර්ශ්වයටම තීරණාත්මක වනු ඇතිවා පමණක් නොව, එය දෙපක්ෂය අතර තරගකාරි ආකාරයකින් සිදු කෙරෙන වියරු කොල්ලයක් බවට පත්වීම ද නොවැළැක්විය හැකිය.

මේ විෂයේදි විප්ලවකාරි පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ පවා පෙනී සිටින්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් නොව, කොල්ල කා හෝ මේ මැතිවරණය ජයගත යුතුයි කියන දර්ශනයක් වෙනුවෙනි.

අවශ්‍යතාවක් තිබුණේ නම්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා පොදු පෙරමුණට කොන්දේසි පැනවීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ එවැනි ක්‍රියාමාර්ගයක නිරත නොවූවා පමණක් නොව, එම පාර්ලිමේන්තු මැතිවරණයේදි පොදු පෙරමුණ ක්‍රියාවට නගන ලද නීති විරෝධී ක්‍රියාකාරකම් හෙළා දකින තත්ත්වයකටවත් නොගියේය.

ඉන්පසු දැන් ස්වාධීන මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනය කරමින් සිටින්නේ ද ස්වාධීන මැතිවරණ කොමිසම නොපිහිටුවීම අරභයා ජනාධිපතිනිය පවත්වාගෙන යන ව්‍යවස්ථා විරෝධී පිළිවෙත අනුමත කරන හා ඊට සහාය දෙන පිළිවෙතකි.

අවසාන විග්‍රහයේදි ප්‍රධාන දේශපාලන ව්‍යාපාර තුනම ඡන්ද කොල්ලකන්නට ඉඩ ලැබෙන දැන් තිබෙන රාමුව පවත්වාගෙන යන්නට කැමතිය. අවසානයේ ඒ තරගයෙන් ජය ලැබෙනු ඇත්තේ වඩා සියුම් හා සටකපට ආකාරයට සිය කොල්ලකාරි වැඩපිළිවෙළ ක්‍රියාවට නගන කොල්ලකාරි පක්ෂයටය.

හැම දේශපාලන පක්ෂයකමත් පිළිගත් ආකල්පය වී ඇත්තේ මැතිවරණයකින් පරාජය වනවාට වඩා කොල්ලකන ප්‍රතිපත්තියකින් හෝ ජය ලැබීම නම්බුකාර බවය. ආණ්ඩු වෙනසක් ඇති කිරීමට හේතු නොවන මැතිවරණයකින් පවා ලබන පරාජයක් බලයේ සිටින ආණ්ඩුවක් බෙලහීන කිරීමට හේතුවේ. එහෙත් ඡන්ද කොල්ලකන ප්‍රතිපත්තියකින් හෝ ජය ලබාගැනීමට හැකිවේ නම්, එය බලයේ සිටින ආණ්ඩුවක් කෙරෙහි අපකීර්තියක් ඇති කිරීමට හේතුවිය හැකි වුවත්, ආණ්ඩුවේ පැවැත්ම බෙලහීන කිරීමට හේතුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමය.

82 ජනමත විචාරණයේදි එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ කොල්ලකාරි ප්‍රතිපත්තිය එම ආණ්ඩුව කෙරෙහි අපකීර්තියක් ඇති කිරීමට හේතු වුවත්, එම ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමට මිස, දුර්වල කිරීමට හේතුවූයේ නැත. එසේම පොදු පෙරමුණු පාලන කාලයේ සිදුවූ වයඹ ඡන්දකොල්ලය එම ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමට මිස, දුර්වල කිරීමට හේතුවූයේ නැත. අනෙක් අතට ඒ අවස්ථා දෙකේදිම බලයේ සිටි ආණ්ඩු පරාජය වී නම් ඇතිවන ප්‍රතිඵල ඊට වෙනස්ය.

77 බලයට පැමිණි එජාප ආණ්ඩුව අත්‍යවශ්‍ය අවස්ථා වලදි ඡන්ද කොල්ලකෑවේ 77 ලැබූ ජනතා ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම සඳහා එසේ කිරීම අත්‍යවශ්‍ය වේ යැයි සලකාය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩු කාලය තුළ ඔවුන් ඡන්ද කොල්ලකෑවේ එජාප කළ දේ කිරිමේ අයිතිය තමන්ට ද ඇති බව කියමිනි. ඉදිරියේදි දැන් බලයේ සිටින ආණ්ඩුව ඒ දේ කරනු ඇත්තේ සාම වැඩපිළිවෙළ ආරක්ෂා කරගැනීම සඳහා අකමැත්තෙන් හෝ ඒ දේ කරන්නට සිදුවූවායයි කියමිනි.

පවතින මේ චෞර ක්‍රමය වෙනස් කිරිමේ අවංක අවශ්‍යතාවක් කිසිම දේශපාලන පක්ෂයකට නැත. ප්‍රතිසංස්කරණ ගැන ඉඳහිට කතා කෙරෙන්නේ චෞර ක්‍රමයට අහිංසක පෙනුමක් ලබාදිමේ කූට අරමුණෙනි. පක්ෂ වලට බෙදි සිටින මහජනයා ද පවතින මෙම චෞර ක්‍රමයට කැමතිය. තමන්ගේ විරුද්ධවාදි පක්ෂය රජය කරන අවස්ථාවලදි තමන් පීඩාවට ලක්වීමට සිදුවුවත්, නැවත තමන්ගේ පක්ෂය රජකමට ආවිට එක්තරා ප්‍රමාණයකට හෝ කොල්ලකෑමේ අයිතිය තමන්ට ලැබෙන බව ඔවුන් දන්නේය. ඒ ක්‍රමය තුළ වැරදි ලෙස සැලකෙන්නේ තමන්ගේ සතුරු පක්ෂය බලයේ සිටින විට කරන වැරදි පමණය. ඒ වැරදිම තමන් කැමති පක්ෂය බලයේ සිටින විට කරන විට ඒවා ඔවුන්ට පෙනෙනුයේ ආරක්ෂාව සඳහා අවශ්‍යයෙන්ම ගතයුතු හරි පියවරක් ලෙසය.

එහෙත් මේ ගමන හැමදාමත් මේ ආකාරයටම ඉදිරියට යා නොහැකිය. එය කෙළවර වන තැනක් පවතී. එහෙත් එය කෙළවර වනු ඇත්තේ සරල මටසිලුටු ආකාරයකට නොව, අතිවිශාල විනාශයක් ඇතිවන ආකාරයටය.

මෙතෙක් පැවති ක්‍රමය වූයේ තමාට වඩා බලසම්පන්න ප්‍රතිවාදියාට කිසියම් නියමිත කාලයක් නිදහසේ කොල්ලකා ගන්නට ඉඩදි තමන්ගේ වාරය පැමිණි කල තමන් ද උපරිම ලෙස කොල්ලකා ගැනීමය. එහෙත් දැන් ඒ ක්‍රමය ද ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. කලක් ඉඩදි බලා සිටින ප්‍රතිපත්තියෙන් ඉවත්වෙමින් ඒ අවස්ථාව හැකි ඉක්මනින් ලබාගැනීම සඳහා වියරු අරගලයකට තල්ලුවන ක්‍රමයකට මේ හැම පක්ෂයක්ම තල්ලු වෙමින් සිටී.

අනාගතයේ විය හැකි දේ ගැන එක්තරා සංඥාවක් ජනාධිපතිනිය පුවත්පත් කතුවරුන් අමතා කරන ලද පහත පළවන ප්‍රකාශයට ඇතුළත්ය. ඇය එම ප්‍රකාශය කර තිබුණේ පසුගිය සතියේ පුවත්පත් කතුවරුන් සඳහා ඇය සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකදිය.

මෙම උපුටා ගැනීම සිකුරාදා (අගෝස්තු 8) “ලංකාදිපයෙනි.”

“සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිළිබඳ සිද්ධිය ගැන සඳහන් කළ ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය තමාගේ තීරණය ක්‍රියාත්මක කරනු පිණිස එක්සත් ජාතික පෙරමුණට මෙන්ම තමාගේ පක්ෂයට ද මැර බලය පාවිච්චි කරන්නට සිදුවිය හැකි යැයි ද ක්‍රියාත්මක කිරීමට සිය සිත්හි ඇති සැලසුම් සමග සසඳන විට ලොතරැයි මණ්ඩල සිද්ධිය ඉතා සුළු එකකැයි ද අනාවරණය කළාය.”

එහි තේරුම වන්නේ චෞර රාජ්‍යයේ ප්‍රධාන පක්ෂ දෙක සිය සහාය බලවේගයන් සමග එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණ ලා කෙරෙන මාරාන්තික අරගලයක් අත ළග ඇති බවය.