තක්කඩියන් රැකීම

August 17, 2003
Publication:
The editorial calls the Public Trustee, a former judicial officer close to the Chief Justice, a 'respectable crook' who placed Rs. 131.2 million of trust funds, including Rs. 18.1 million belonging to the Temple of the Tooth, in a bank and pocketed a commission of about Rs. 1.9 million. It notes that he admitted the commission once confronted with documents, that a Bribery Commission report recommending prosecution was suppressed, and that the ministry secretary has taken no disciplinary action.

ශ්‍රී ලංකාව ඕනෑම තක්කඩියෙකුට නීතියේ බාධාවකින් තොරව ප්‍රසිද්ධියේ ජීවත්විය හැකි රටක් බවට පත්වී තිබේ. අපට එසේ කියන්නට සිදුවී තිබෙන්නේ මහා භාරකාරධුරය උසුලන පුද්ගලයා සම්බන්ධයෙන් බලධාරින් අනුගමනය කෙරෙමින් තිබෙන නිවට නියාලු ප්‍රතිපත්තිය සළකා ය.

මහා භාරකාරධුරය වැනි උතුම් හා ගරු කටයුතු ධුරයක් හොබවන පුද්ගලයෙකු තක්කඩියකු ලෙස හඳුන්වන්නට වීම ගැන අපි කණගාටු වෙමු. ඔහු එසේ මෙසේ තක්කඩියකු නොව, ගරු කටයුතු තක්කඩියකි. ඔහු මහා භාරකාර ධුරයට ආවේ අධිකරණයේ සිට ය. ඔහු ඇසුරු කරන්නේ ද එසේ මෙසේ පුද්ගලයන් නො ව, මහා බලගතු පුද්ගලයන් ය.

රටේ අගවිනිසුරුතුමාගේ අගසව්වා ය. දේව පූජා සඳහා අගවිනිසුරු සමග සති අන්තවල දේවාල ගානේ යන විශේෂ කණ්ඩායමට ඔහු ද ඇතුළත් ය. ඔහු පරිහරණය කරන්නේ ද හිටපු අගවිනිසුරුගේ බෙන්ස් රියයි.

මේ නම්බුකාර තක්කඩි මිනිසා මහා භාරකාර දෙපාර්තමේන්තුව භාරේ තිබූ රුපියල් ලක්ෂ 1312ක් ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ වෙනුවෙන් රුපියල් 19 ලක්ෂයක් (රු. 1914525ක්) කොමිස් මුදල් වශයෙන් සිය සාක්කුවේ දමා ගත්තේ ය. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන ලද පරහා භාරකාර තිබෙන්නේ මහා භාරකාර හා මෙම ක්ෂණයේදි මහා භාරකාරයා ක්ලාන්ත විය. ඔහු පළමුවෙන් තමන් කිසිම කොමිස් මුදලක් ලබා නොගත් බව කීවේ ය. ඔප්පු කිරීමට අවශ්‍ය තරම් ලියවිලි ඇති බව පෙනුණු විට තමන් ඒ කොමිස් මුදල ලබාගත් බව පිළිගත්තේ ය. ඒ ගැන අල්ලස් කොමිසම ද විශේෂ පරික්ෂණයක් පැවැත්වී ය. මහා භාරකාරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව අල්ලස් කොමිසමේ සභාපතිගේ මතය විය. මහා භාරකාරයාට එම කොමිසමේ ඇතැම් ප්‍රධාන නිලධාරින් සමග තිබෙන කිට්ටු සම්බන්ධකම් නිසා ඒ ගැන අල්ලස් කොමිසමේ සභාපතිගේ වාර්තාව ද යට ගැසීමට ඔහු සමත් විය.

මේ තක්කඩි මිනිසා තෝරාගත් දේශපාලකයන් කිහිපදෙනෙකුට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ඇති ධනය උලාකන්නට දෙමින් ඔහු ද එම ධනය උලාකමින් සිටින බව විස්තරාත්මකව රටට කරුණු හෙළිදරව් කළේ මීට වසර තුනකට ඉහතදි ය. මහා භාරකාර දෙපාර්තමේන්තුව ගැන කරුණු සොයා බලන බව ජනාධිපතිවරිය ඒ හෙළිදරව්වෙන් පසු රටට කීවත්, කිසිම සොයා බැලීමක් සිදුවූයේ නැත. මහා භාරකාරයාගේ මිත්‍රයා නීතිපති තනතුරේ සිටියදි තිබුණු අර්ථ විවරණයන් අනුව මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති රජයේ අරමුදල් හැර පෞද්ගලික භාර පරික්ෂා කිරීමට විගණකාධිපතිට තිබූ බලය අහිමි කොට තිබුණි. එය මේ තක්කඩි පුද්ගලයාට නිදහසේ එම අරමුදල් ගසාකෑමට දෙන ලද විවෘත බලපත්‍රයක් විය.

ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කළ ලක්ෂ 1312කින් ලක්ෂ 181ක් දළදා මාලිගාවේ අරමුදල් ය. අවසානයේ මහා භාරකාරයා දළදා අරමුදලට ද විද්දේ ය. ඒත් මේ මිනිහා තාම මහා භාරකාර ධුරයෙන් ඉවත් කොට නැත.

දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ විනය භාරව ඇත්තේ අමාත්‍යාංශ ලේකම්ට ය. මෙබඳු බරපතළ වරදකදි දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වැඩ තහනම් කොට පරික්ෂණයකට යාම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීමකි. එහෙත් අමාත්‍යාංශ ලේකම් ඉන්නේ මර නින්දක ය. සමහරවිට ඇමතිගේ අසතුටට හේතුවන දෙයක් කරන්නට අමාත්‍යාංශ ලේකම් අකමැති නිසා විය හැකි ය. රටේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නම් මේ රටට අනාගතයක් තිබිය හැක්කේ කෙසේ ද?