83 කළු ජූලියෙන් උගත යුතු පාඩම

July 27, 2003
Publication:
Twenty years after Black July, the editorial calls it the most tragic event since independence, noting the involvement of sections of the ruling party, the President's failure to express regret and the constitutional amendment that drove Tamil MPs from Parliament. Citing Lee Kuan Yew's use of Sri Lanka as a model of failure, it blames ethnically divided parties and proposes that a peace process begin with the national leader apologising to Tamils on behalf of the Sinhalese.

1983 කළු ජූලිය ශ්‍රී ලංකාවේ ගමන් මගේ දැවැන්ත වෙනසක් කිරීමට හේතුවූ, නිදහසින් පසුව රටේ ඇතිවූ ඛේදජනක ම සිද්ධිය ලෙස සැලකිය හැකි ය. දෙමළ ජනතාව වෙනම රාජ්‍යයකින් මෙපිට තමන්ට විසඳුමක් නැත යන ස්ථාවරයට තල්ලුවීම කෙරෙහි එම අවාසනාවන්ත සිද්ධිය බලපෑවා පමණක් නො ව, රට කෙළවරක් නැති යුද්ධයකට තල්ලු කිරීම කෙරෙහි ද එය බලපෑවේ ය.

ඇතිවූ එම අවාසනාවන්ත සිද්ධීන් පෝෂණය කිරීමට එවකට බලයේ සිටි පාලක පක්ෂයේ ඇතැම් කණ්ඩායම්වල ද සම්බන්ධයක් තිබුණි. නීතියට පටහැනිව අහිංසක මිනිසුන්ට පහර දෙන, ඔවුන්ගේ දේපළ කොල්ලකන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවී ය. අඩුම වශයෙන් රටේ ජනාධිපති ජාතිය අමතා කරන ලද කතාවේදි දෙමළ ජනයාට සිදුවී තිබුණු විනාශය ගැන රටේ නායකයා වශයෙන් කණගාටුව පළකිරීමක්වත් සිදු නොවී ය. ඒ වෙනුවට සිදුවූයේ පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් පළවා හැරිමට හේතුවන ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගැනීම ය. දෙමළ සන්නද්ධ අරගලය වර්ධනය කිරීමට එය ද හේතුවක් විය.

83 කළු ජූලියට 20 වසරක් ලබා ඇතත් ජනවාර්ගික අර්බුදයට කල්පවත්නා විසඳුමක් සොයාගැනීමට තවමත් අප සමත් වී නැත. සිංගප්පූරුවේ ලික්වාන් යූ රටක් වශයෙන් තමන් ලැබූ සාර්ථකත්වය ගැන කරන හැම විචාරයකදිම අසාර්ථක රටක නිදර්ශනය ලෙස ගන්නේ ශ්‍රී ලංකාව ය. ඔහු ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ජනවාර්ගික ආවේගයන් කළමනාකරණය කිරීමට නොදන්නාකම නිසා විනාශ වූ රටක් වශයෙනි. ඒ තත්ත්වයට දේශපාලකයින් පමණක් නොව සමස්ත සමාජයම වගකිව යුතු ය.

තමන් අයත් ජාතියට, තමන් අදහන ආගමට හා තමන් කතා කරන භාෂාවට ආදරය කිරීම නිවැරදි ය. එය වැරදි නැත. එහෙත් එහිදි අනෙකුත් ජාතීන්, අදහන ආගම් හා කතා කරන භාෂා පහත් කොට සලකන ප්‍රතිපත්තියක් යහපත් නොවනවා සේ ම ගැටුම් ඇති කිරීමට ද හේතුවිය හැකි ය. මොනම සමාජ කණ්ඩායමක්වත් දෙවන තත්ත්වයක ලා නො සැලකිය යුතු ය. කවර ජාතිවාදයක් වුවත් යහපත් විය නො හැකි ය.

අපේ රටේ සියලු දේශපාලන පක්ෂ ජාතිවාදි පදනමක් මත පිහිටා ක්‍රියා කිරීම මේ ඇතිවී තිබෙන අවුල් කෙරෙහි බලපා තිබෙන තවත් හේතුවකි. 56න් පසුව දේශපාලන පක්ෂ ක්‍රමයට ජාතීන් අනුව බෙදි ගියේ ය. සිංහල ජනතාව අතර ප්‍රමුඛ තත්ත්වයකින් ක්‍රියා කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට දෙමළ ජනතාව අතර පදනමක් ඇත්තේම නැති තරම් ය. දෙමළ ජනතාව අතර ප්‍රකට දේශපාලන පක්ෂවලට ද සිංහල ජනතාව අතර පදනමක් නැත.

වර්ගය, ආගම, භාෂාව යන සාධක නොසලකා හා සියලු මිනිසුන් ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා ක්‍රියාකරන තැනකට තාමත් මේ දේශපාලන පක්ෂවලට ගමන් ගැනීමට හැකිවී නැත.

ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් සොයා යන වැඩපිළිවෙළ ආරම්භ විය යුතුව තිබුණේ රටේ නායකයා හෝ නායිකාව දෙමළ ජනයාට සිදුවී ඇති හිංසා, පීඩා වෙනුවෙන් සිංහල ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින ක්‍රියාමාර්ගයකිනි. එය එසේ වී නම් පෙරළා සිංහල හා මුස්ලිම් ජනයාට තමන් අතින් සිදුවී තිබෙන සාහසිකකම් ගැන සමාව ඉල්ලා සිටීමට දෙමළ ජන නායකයන්ට සිදුවන තත්ත්වය තුළ මේ විෂය පිළිබඳව රට තුළ වඩා ඵලදායක කතාවක් ආරම්භ කරන තත්ත්වයක් ඇති කළ හැකි වන්නට ඉඩ තිබුණි.

අවශ්‍ය නම් තාමත් එවැනි තැනකින් ඒ කතිකාවත ආරම්භ කළ හැකි ය.