ධීවර ඇමති මහින්ද විජේසේකර මහතා පිළිබඳව අතීතයේදි ලියන ලදැයි කියන කරුණක් පිළිබඳව මාධ්යවේදි ලුෂන් රාජකරුණානායක මහතාට ඇමති මහින්ද විජේසේකර මහතා මරණ තර්ජන එල්ල කර ඇත්නම් එය තරයේ හෙළා දැකිය යුතු දෙයක් වනවා පමණක් නොව, ඒ ගැන පරික්ෂණයක් සිදු කොට ඇමතිවරයා වරදක් කර ඇත්නම්, ඔහුට එරෙහිව නීතිමය වශයෙන් ක්රියාකිරීම ද ආණ්ඩුවේ වගකීමකි.
ඒ සමග ලුෂන් රාජකරුණානායක මහතා ලේක්හවුස් සභාපතිව සිටියදි පොදු පෙරමුණු ආණ්ඩු කාලය තුළ ජනමාධ්යවේදින් වෙත එල්ල වූ මර්දනයන්හි දි ඒ මහතා ක්රියා කළ සදාචාර විරෝධී ආකාරය ද මේ මොහොතේ සිහිපත් කිරීම වැදගත් ය. එජාප විරෝධතා ව්යාපාරයක් වාර්තා කරන්නට ගිය ජනමාධ්යවේදින්ට ජනාධිපති ආරක්ෂක අංශය පහරදි ඔවුන්ගේ කැමරා ආම්පන්න මංකොල්ල කෑ සිද්ධියේදි ඒ අමානුෂික ක්රියාව යුක්තිසහගත කරන්නට ඒ මහතා සිය පෑන හැසුරුවේ ය. එසේම “සටන” කර්තෘ රෝහණ කුමාර ඝාතනය කිරිමේ සිද්ධියේදි එහි වගකීම නොපෙනෙන පිරිසක් මත පටවා ඒ සාහසික ක්රියාවට දායක වූ සාහසිකයන් ආරක්ෂා කිරීම සඳහා සිය පෑන හැසුරුවේ ය.
ලුෂන් රාජකරුණානායක මහතා පිළිබඳව කෙරෙන මේ සිහිපත් කිරීම ඔහුට එල්ල වී තිබෙන තර්ජනය යුක්ති සහගත කරන්නේ නැත. එහෙත් මේ විශේෂ අවස්ථාවේදිවත් ලුෂන් රාජකරුණානායක වැනි පුද්ගලයෙකු තමනුත් ඊට තරමක් වෙනස් ආකාරයකින් හෝ ජනමාධ්ය මර්දකයෙකු ලෙස ක්රියාකර ඇති බව තේරුම් ගැනීම වැදගත් ය.