රටේ පොදු යහපත සලකා නීතිය අකුරටම ක්රියාත්මක කරන රාජ්ය නිලධාරින් නැතිකම ශ්රී ලංකාව මුහුණ දි තිබෙන එක් අභියෝගයකි. රාජ්ය නිලධාරින් අතර රටේ පොදු යහපත සඳහා නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට සූදානම් අය සිටින්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකු පමණ ය. අවාසනාවකට ඒ සුළු පිරිසට පවා නිසි රැකවරණ ලබාදෙන තත්ත්වයක් රටේ නොපවතී.
දේශපාලන ශක්තියක් ඇති මහා පරිමාණයේ ව්යාපාරිකයකු කලක් තිස්සේ පවත්වාගෙන ගිය රේගු බදු වංචාවකට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට ගිය රේගු නිලධාරියෙකුට අවසානයේ මැරුම් කන්නට සිදුවූයේ ය. මධ්යම පළාත් සභාවේ අධ්යාපන අමාත්යාංශයේ සිදුවූ මහා පරිමාණයේ වංචාවකට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට ගිය විගණක අධිකාරිවරයෙකුට සිය දෙනෙත් අහිමි කරගැනීමට සිදුවූයේ ය. දැන් මේ සාහසික බලවේගය විසින් නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට උත්සාහ කළ වන ජීවී නිලධාරීයෙකුගේ ද ජීවිතය බිලිගෙන තිබෙන අතර, ඒ මිනිසාගේ මරණය සමාජ හදවත් තුළ සේ ම දේශපාලන ලෝකය තුළ ද බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවක් පෙනෙන්නට නැත.
මෙය රට මුහුණ දි තිබෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නීතිය අකුරටම ක්රියාත්මක කරන නිලධාරින්ට ඔවුන් රට වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් අවසානයේ ලැබෙන තෑග්ග ඛේදජනක මරණයක් වේ නම්, එවැනි නිලධාරින් ආරක්ෂා කිරීමට හා ඔවුන් රට වෙනුවෙන් කරන මහගු කාර්ය භාරය ප්රශංසාවෙන් සැලකීමට සමාජය සූදානම් නැතිනම් නීතිය අකුරටම ක්රියාත්මක කරන රාජ්ය නිලධාරින් අප දකින්නේ ඕනෑවට වැඩි නහරකාරයන් ලෙස නම්, එවැනි අවංකභාවයක් ඇති ඉතිරි සියලු දෙනා ද සිය ගමන් මග අතහැර වැඩිදෙනෙකු ගමන් කරමින් සිටින නිවට මාර්ගය ම තෝරාගනු නොවැළැක්විය හැකි ය.
අඩුම වශයෙන් සමාජ යහපත වෙනුවෙන් සිය දෙනෙත් අහිමි කරගත් විගණක අධිකාරිවරයාට සුදුසු වන්දියක් ගෙවන තරමටවත් තාමත් රට හා සමාජය කෘතවේදි වී නැත. එහෙත් මරණයට ගොදුරු වන දේශපාලන නායකයන් සඳහා නම් දශ ලක්ෂ ගණනින් වන්දි ගෙවන්නට රට සූදානම් ය. රටක් වශයෙන් අප මේ යමින් සිටින්නේ කොතැනට ද?