මුට්ටියට පෙර හොරා යැවීම

May 18, 2003
Publication:
Ivan describes Mangala Samaraweera's push for the President to seize power quickly, possibly driven by a pending case over an attack on poster-pasting youths during the last election, and reads her takeover of the Development Lottery Board as a test of the Prime Minister. He warns that a clash between presidential and parliamentary power could turn bloody, and urges a French-style cohabitation in which the President leaves domestic government to the majority, while faulting the JVP, PA and UNP for opportunism over the 1978 Constitution and the independent commissions.

සාමාන්‍යයෙන් සිදු වන්නේ පළමුව මුට්ටිය යවා පසුව හොරා යැවීම වුවත් මංගල ජනාධිපතිනියගෙන් දිගින් දිගට ඉල්ලා සිටියේ මුට්ටිය නොයවා පළමුව හොරා යවන ක්‍රමයකි. එහෙත් ජනාධිපතිනිය ඒ වෙනුවට හොරා යවන්නට පෙර මුට්ටිය යවා බලන ක්‍රමයක් යොදා ගන්නා තැනකට තල්ලු විය.

කල් යල් බලා නොසිට ඉක්මනින් බලය ලබාගැනීමේ න්‍යාය මංගලගේ ය. ඒ න්‍යාය ක්‍රියාවට නැගීම සඳහා ජවිපෙ සහාය ලබාගන්නා තත්ත්වයක් ලබා දුන්නේ ද මංගල ය. “ඔවුන් අපට කළා සේ අපි ද කවර මිලක් ගෙවා හෝ ඔවුන්ගෙන් පිරිසක් අපේ පැත්තට ගෙන නොපමාව අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත යුත්තේය” යන්න මංගලගේ න්‍යායයෙන් කියැවුණු ධර්මතාව විය. ඒ න්‍යාය ජනාධිපතිනියගේ පමණක් නොව ඒ පැත්තේ සිටින බොහෝ දෙනකුගේ ද ආකර්ශනයට හේතු වී තිබුණි. එහෙත් ඒ න්‍යාය ක්‍රියාවට නැංවීම හිතන තරම් පහසු නොවන බව තේරුම් ගත් විට ඒ න්‍යාය කෙරෙහි දක්වන උනන්දුව ද අතහැරියේ ය. ඉන් පසු මංගල ඒ න්‍යායට ගැළපෙන අලුත් ධර්මතාවක් ඉදිරිපත් කළේ ය. ඔවුන්ගේ පිරිසක් අපේ පැත්තට ගෙන අපේ ආණ්ඩුවක් ඇතිකළ නොහැකි නම් විධායක බලය යොදා වැදගත් අමාත්‍යාංශ කිහිපයක් අප අතට ගෙන මැතිවරණයකට යා යුතුය යන්න එම ධර්මතාව විය.

මංගලට ඉක්මණින් ආණ්ඩු බලය ලබාගත යුතු යැයි කියන සිතුවිලි ඇතිවීම කෙරෙහි ඔහුට එරෙහිව ඇසෙන්නට නියමිත නඩු හබ ද බලපෑවා විය හැකි ය. මංගල පසුගිය මැතිවරණයේ දි විරුද්ධවාදින් බිය ගන්වා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා පෝස්ටර් අලවමින් සිටි කොලු කුරුට්ටන් රෑනකට ත්‍රාසජනක ප්‍රහාරයක් එල්ල කළේ ය. ඉන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර එක් අයකුට එක් ඇසක් අහිමි විය.

මෙම ත්‍රාසජනක අපරාධය සිදුවන අවස්ථාවේ දි එම මැතිරවණයෙන් තමන්ට තිබුණු ආණ්ඩු බලය අහිමිවනු ඇතැයි මංගල කල්පනා නොකළා විය හැකි ය. එහෙත් ආණ්ඩු බලය අහිමි වූ තත්ත්වයක් තුළ දැන් මංගලට ඒ වෙනුවෙන් නඩුවකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන අතර ඉන් ගැළවීමට නම් නැවත ඉක්මනින් ආණ්ඩු බලය ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ යයි කල්පනා කරන තැනකට මංගල තල්ලු වී සිටිනවා විය යුතු ය.

තමන්ගේ වැඩ පිළිවළෙට අවශ්‍ය කරන සහාය ජනාධිපතිනියගෙන් නොලැබීම ගැන මංගල තුළ සේ ම ජවිපෙ තුළ ද වර්ධනය වන කලකිරීමක් ගොඩනැගී තිබුණි. තමන් මින් ඉදිරියට බලා සිටින්නේ මාසයක් පමණක් බවත්, ලොකු නෝනා අවශ්‍ය ලෙස කටයුතු කිරීමට සූදානම් නැතිනම් තමා දේශපාලනයෙන් ඉවත් වී වෙනත් රස්සාවක් සොයාගන්නා බවත්, මංගල ප්‍රසිද්ධ රැස්වීමක දි ප්‍රකාශ කළේ මේ මෑතකදි ය.

ජනාධිපතිනියට මංගල ඉල්ලා සිටි ආකාරයට තමාගේ ඔලූව දමා බලන ප්‍රතිපත්තියකට යනවා වෙනුවට පළමුව මුට්ටිය යවා බලන ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකි සංවර්ධන ලොතරැයිය සිය පාලනය යටතට ගන්නා පිළිවෙතකට ගියේ තම විරුද්ධවාදි නායක අගමැති රනිල් වික්‍රමසිංහ නිදා සිටිනවාද යන්න සොයා බලනවාට අතිරේකව තමන් කෙරෙහි කලකිරීමක් ඇති කරගනිමින් සිටින මංගල, ජවිපෙ වැනි බලවේග අතර කිසියම් බලාපාරොත්තුවක් ඇති කිරිමේ අභිලාෂයෙන් විය හැකි ය.

රනිල්ගේ ප්‍රතිචාරය

ජනාධිපතිනිය විධායක බලතල යොදා උදුරාගන්නට යන්නේ නොවැදගත් පුංචි දෙයක් වුවත් ඊට ඉඩ හැර බලා සිටියොත් ඊළග වටයේ දි වැදගත්කමක් ඇති බොහෝ දේ උදුරා ගන්නට පසුබට නොවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ කල්පනා කළා විය හැකි ය. ඒ ප්‍රශ්නය බලය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් වූ නිසා ම ඔහු ද එතෙක් පවත්වාගෙන ආ නිශ්ශබ්දව බලා ඉන්නා පිළිවෙත අතහැර පෙරළා පහර දෙන තැනකට තල්ලු වූයේ ය.

එය පොදු පෙරමුණ අත තිබෙන විධායක ජනාධිපති බලයත් එක්සත් ජාතික පෙරමුණ අත තිබෙන පාර්ලිමේන්තු ආණ්ඩු බලයත් යන බල දෙක අතර කෙරෙන්නට යන මහා ද්වන්ද්ව යුද්ධයක ආරම්භයක් විය හැකි ය.

මෙවැනි ගැටුමක් ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල රාමුවක් තුළ ශ්‍රී ලංකාව වැනි රටක ගලා යන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිත ය. එවැනි තත්ත්වයක් සඳහා අවශ්‍ය කරන ඉවසීම හා සංයමය මේ දෙපක්ෂෂය තුළ ම නොපවතී. මේ අරගලය ව්‍යවස්ථාමය රාමුවෙන් පිට පැන මහ පාරේ කෙරෙන රස්තියාදුකාර අරගලයක් බවට පත්වුවහොත් එය ඇති කරන ප්‍රතිවිපාක ද ඉතාමත් විනාශකාරි විය හැකි ය. නිසැක වශයෙන් ම ලේ හැලෙන තත්ත්වයක් රටේ ඇති විය හැකි ය. ජයග්‍රහණය කාට ලැබුණත් දෙපක්ෂෂයට ම බරපතල තුවාල ඇතිවීම නොවැළැක්විය හැකි ය. ජයග්‍රාහකයා කවුරු වුවත් ඔහුට හෝ ඇයට ජයග්‍රහණය ලබන්නට වන්නේ ඇගේ ලේ තවරාගෙන ය. ඉන් පසු ඒ ජයග්‍රාහකයාට ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු හෝ නායිකාවක ලෙස පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේ නැත. එවැනි පරිසරයක් තුළ ගොඩනැගෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට බර තබා ක්‍රියාකරන රටක් වෙනුවට ඒකාධිපතිවාදයට බර තබා ක්‍රියා කරන රටකි. ඒ තත්ත්වය පෙරළා ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක්ඇතිකරගැනීමට දැරෙන ප්‍රයත්නයම අවුල් කිරීමට හේතුවනු නොඅනුමාන ය. එවැනි බිහිසුණු තත්ත්වයක් ඇති නොවීමට වගබලාගැනීම දෙපක්ෂෂයේ ම නායකයින්ගේත් දැනුවත් සමාජයේත් වගකීමකි.

අවුල නිරාකරණය කරගන්නේ කෙසේද?

ජේ.ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව නිර්මාණය කළේ විධායක ජනාධිපතිධූරය එක් පක්ෂෂයකටත්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය තවත් පක්ෂෂයකටත් යාමට ද ඉඩක් තිබේද යන කාරණය සැලකිල්ලට ගනිමින් නොවේ. සමස්ත ව්‍යවස්ථාවම සකස් කොට ඇත්තේ ඒ බලය ආයතන දෙක හැම විට ම එකම පක්ෂෂයටම යනු ඇතැයි යන ප්‍රවේශය මත පිහිටා ය. දැන් ඇති වී තිබෙන අවුලේ හරය ඇත්තේ එතැන ය.

ජේ.ආර්. ජයවර්ධන පමණක් නොව ජේ.ආර්. ජයවර්ධන ගරුකොටගත් ප්‍රංශයේ ඩිගෝල් ප්‍රංශ ව්‍යවස්ථාව නිර්මාණය කර තිබුණේ ද විධායක ජනාධිපති බලය හා පාර්ලිමේන්තු ආණ්ඩු බලය එක් පක්ෂෂයක් අතට යායුතුයි කියන ප්‍රවේශය මත පිහිටා ය. එහෙත් ඒ ප්‍රවේශය හැමදාම වලංගු යථාර්ථයක් නොවීය. ප්‍රංශයට ද පළමු වරට මෙම පරස්පර විරෝධී තත්ත්වය අත්විඳින්නට සිදුවූයේ 1986 දි ය. ජනාධිපති ධූරය සමාජවාදී මිතරොන් අත තිබෙන අවස්ථාවක ඩිගොල්වාදි දක්ෂෂිණාංශික කණ්ඩායමක් පාර්ලිමේන්තු බලය ලබාගැනීම නිසා සමාජවාදි මිතරොන්ට දක්ෂෂිණාංශික ජැක් ශිරාක් අගමැතිවරයා ලෙස පත් කරමින් ඔහුගේ අභිමතයට අනුකූලව කැබිනට් මණ්ඩලයක් තෝරාගැනීමට ඉඩ දි විදේශ ප්‍රතිපත්ති හා ජාතික ආරක්ෂෂාව පිළිබඳ වගකීම පමණක් තම අත තබාගනිමින් අභ්‍යන්තර දේශපාලන විධායක බලය පූර්ණ වශයෙන් ජැක් ශිරාක්ට බාරදිමට සිදුවිය. ඉන් පසු පැවැති 1993 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද දක්ෂෂිණාංශික ඩිගෝල්, ඩිස්කාවරුන් ජයගන්නා තත්ත්වයක් තුළ බලතල බෙදා ගනිමින් ජනාධිපති හා අගමැති අලුතෙන් ඇතිකරගත් සීමා තුළ ක්‍රියා කරන සම්ප්‍රදායක් ගොඩනැගුණි.

ශ්‍රී ලංකාව මේ අවුල විසඳ ගත යුතුව තිබෙන්නේ ද ඊට සමාන ආකාරයකට ය. 78 ව්‍යවස්ථාව ගොඩනගා ඇත්තේ පරස්පර විරෝධී කණ්ඩායම් දෙකක් මේ බල මණ්ඩල දෙකට පත්වීමට ඉඩක් ඇතැයි යන පදනමේ පිහිටා නොවන නිසා ව්‍යවස්ථාවට ඇතුළත් මූලධර්ම නොසලකා, තිබෙන යථාර්ථයට ගැළපෙන ආකාරයට බලතල හඳුනාගෙන ඒවා පාවිච්චි කරන තැනකට යාම මේ ප්‍රශ්නයට තිබෙන විසඳුම වේ.

එහි දි අභ්‍යන්තර පාලනය මුළුමණන් ප්‍රතිපක්ෂෂයට ලබාදි ඊට ඇතුළත් බලතලවලට ඇගිලි නොගසන ප්‍රතිපත්තියකට ජනාධිපතිනිය එකග විය යුතු ය.

ව්‍යවස්ථාව අනුව නම් අගමැති පත්කරන්නේ ජනාධිපතිනියයි. තමන් කැමති ඇමති ධූර ඕනෑම ගණනක් තමන් අත තබාගැනීමේ බලය ජනාධිපතිනිය සතු ය. ඇමතිවරුන් වෙනස් කිරිමේ බලය ද ජනාධිපතිනිය සතු ය. එහෙත් එවැනි ප්‍රවේශයක් වලංගු විය හැක්කේ මෙම බල මණ්ඩල දෙකේම බලය එක් පක්ෂෂයකට ගිය අවස්ථාවක දි පමණ ය. එහෙත් එවැනි අවස්ථාවක පවා එවැනි ප්‍රතිපත්තියක් සාධාරණ හෝ පාරේලිමේන්තුවේ වැඩි පිළිගැනීමක් ඇති නායකයාගේ ගෞරවයට හේතුවන්නේ නැත.

කබරගොයා තලගොයා කර ගැනීම

ජවිපෙ 78 ව්‍යවස්ථාවේ එන ජනාධිපතිට ඒකාධිපති බල තල ලබාදෙන මූලධර්ම ප්‍රතික්ෂෙෂ්ප කළ පක්ෂෂයකි. එහෙත් අද එම පක්ෂෂය ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන ඒකාධිපති බලතල සපුරා පාවිච්චි නොකිරීම ගැන ජනාධිපතිනියට දොස් පවරන පක්ෂෂයක් බවට පත් වී සිටියි. අවසාන විග්‍රහයේ දි ජවිපෙ අනුගමනය කරමින් සිටින්නේ ද 78 ව්‍යවස්ථාව කොන්දේසි විරහිත ලෙස ආරක්ෂෂා කරන පිළිවෙතකි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද බලයට එන්නට පෙර 78 ව්‍යවස්ථාවට එරෙහිව බොහෝ දේ කතා කළා ය. දැන් ඇයට ඒ සියල්ල අමතක වී ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී තිබෙන බලතල ගැන පම්පෝරි ගසන නායිකාවකගේ තත්ත්වයට පත්ව සිටී.

එජාපයට ද හිතට විරුද්ධව වුවත් විපක්ෂෂයේ සිටිය දි විධායක ජනාධිපති ක්‍රමය ගැන විවේචනයක් තිබුණි. එහෙත් අද ඒ සියල්ල ඒ පක්ෂෂයට ද මතක නැත. ඒ වෙනුවට ඊළග ජනාධිපතිවරණයේ දි ඒ ධූරය අත්පත් කර ගැනීමේ කෑදර ආශාවකින් යුතුව ක්‍රියා කරන පක්ෂෂයක තත්ත්වයට පත්ව සිටියි.

අවස්ථාවාදය මේ හැම දේශපාලන පක්ෂෂයකටමත්, රසවත් විය හැකි වුවත් එවැනි ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. විරුද්ධ පක්ෂෂයක් බලයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අත්හැරිය යුතු නැතත්, රටේ පැවැත්ම පරදුවට තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් යුක්ති සහගත වන්නේ නැත.

එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රියා කරන බහු පක්ෂෂ ක්‍රමයක් වෙනුවට රටට අවශ්‍ය වී ඇත්තේ වෙනස් ප්‍රතිපත්ති මත එකිනෙකාට එරෙහිව තරග කරන හා රටටම බලපාන පොදු ගැටලුවල දි අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියා කරන බහු පක්ෂෂ ක්‍රමයකි.

ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් කරළියට පැමිණ අවස්ථාවේ දි ඒ ක්‍රමය ශක්තිමත් කොට පෝෂණය කරනවා වෙනුවට බලයේ සිටි පොදු පෙරමුණ ඒ ක්‍රමය අබ්බගාත කරන පිළිවෙතක් අනුගමනය කළේ ය. එහි දි ජනතා විමුක්ති පෙරමුණ පවා පොදු පෙරමුණ සමග ඇතිකරගෙන තිබූ සමගි වැඩ පිළිවෙළ තුළ පොදු පෙරමුණ පවත්වාගෙන ගිය ඒ විකෘති කිරිමේ ක්‍රියාවලිය ඉදිරියේ ඇස් වසාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කළා විනා එහි හරය රැකගන්නා පිළිවෙතක් අනුගමනය කළේ නැත.

ස්වාධීන කොමිෂන් සභා වැඩපිළිවෙළ විකෘති නොකොට ශක්තිමත් ලෙස තහවුරු වන්නට ඉඩ හැරියේ නම් අද එහි වාසිදායක ප්‍රතිඵල ලබන්නන් වන්නට ඉඩ තිබුණේ එජාපය නොව විරුද්ධ පක්ෂෂයේ සිටින පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ය. එජාපය ද විරුද්ධ පක්ෂෂයේ සිටිය දි ස්වාධීන කොමිෂන් සභා ගැන බොහෝ දේ කතා කළේ ය. තමන් බලයට පැමිණි පසු පොදු පෙරමුණ එහි ඇතිකර තිබෙන විකෘති අහෝසි කරන බවට වහසි බස් කීවේ ය. එහෙත් බලයට පැමිණි පසු ඒ කිසිවක් නොකළා පමණක් නොව එවායේ පැවැත්ම විනාශ වන්නට ඉඩ හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එහි ප්‍රතිවිපාක එජාපයට භුක්ති විඳින්නට සිදුවනු ඇත්තේ ආණ්ඩු බලයේ සිටින අද නොව කවදා හෝ ආණ්ඩු බලය ඇද වැටී විපක්ෂෂයට එන්නට සිදුවූ අවස්ථාවක ය.

එවේලේ ලබන කෙටි වාසි නොසලකා රටේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් අන්‍යොන්‍ය සහයෝගයකින් ගෞරවයකින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතිකරගන්නා තැනකට ඒමට මේ පක්ෂෂ අසමත් වුවහොත් අනාගතයේ එහි ප්‍රතිවිපාක රටට පමණක් නොව ඔවුන්ට ද භුක්ති විඳීමට සිදුවනු නොඅනුමාන ය.

නැවත සීලාචාර තත්ත්වයකට යාම අවශ්‍ය නම් ක්‍රීඩාවේ නීතිරිති හා එහි පිළිවෙළත් සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ලෙස වෙනස් කරගන්නා තත්ත්වයකට මේ සියලු දෙනා යා යුතු ය. ජනවාර්ගික ප්‍රශ්නය වැනි රටේ විනාශයට හේතු වී ඇති සංකීර්ණ ප්‍රශ්න විසඳගත් හැකි තත්ත්වයක් දිනාගත හැකිවනු ඇත්තේ එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රියා කරන දේශපාලනයට තිතක් තබා රටේ යහපත පිණස අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන තැනකට යාමෙන් පමණ ය. බ

අවුල ලිහා ගැනීම

මේ ප්‍රශ්නයේදි ජනාධිපතිනිය ක්‍රියාකළ ආකාරය අත්තනෝමතික වනවා සේ ම, එජා. පෙරමුණු ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වු ආකාරය ද, රස්තියාදුකාරය. මෙය බලය පිළිබඳ සංවේදි ප්‍රශ්නයකි. මේ පුංචි දේට ඉඩ දුනහොත් ජනාධිපතිනිය වඩා විශාල දේවලට අත ගසන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි යන බියක් අගමැති තුළ ඇතිවීම ස්වාභාවික වන වා සේ ම, එවැනි ක්‍රියාවකට එරෙහිව නැගී සිටින තැනකට යාම ද ස්වභාවික ය. එහෙත් එහිදි නැගී සිටීම කරන ලද ආකාරය වැරදිය. විය යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මවලට අනුකූල රාමුවක සිට නැගී සිටීමය. එහෙත් සිදුවූයේ රස්තියාදුකාර ආකාරයකින් විරෝධය පළ කරන තැනකට තල්ලු වීමය.

මේ ප්‍රශ්නය දෙපාර්ශ්වයටම සංවේදි ප්‍රශ්නයකි. අඩිය පස්සට ගැනීමේ හැකියාවක් දෙපැත්තටම නැත. ජනාධිපතිනිය ගන්නට යන දේ ගන්නට ඉඩ හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් තමන් ඕනෑම දෙයක් උදුරා ගැනීමේ බලයක් තමන්ට ඇතැයි කියන ප්‍රතිරූපයක් මවාගැනීමේ හැකියාවක් ජනාධිපතිනියට ලැබෙන්නේය. එවැනි තත්ත්වයක් ආණ්ඩුවේ පැවැත්ම අඩාල කරයි. අනෙක් අතට මේ ප්‍රශ්නය ඉදිරියේ පස්සට අඩිය තබන ප්‍රතිපත්තියක් ජනාධිපතිනිය අනුගමනය කළහොත් තමන්ට කිසිම බලයක් නැතැයි කියන හැගීමක් ජනතාව තුළ ඇතිවේ. එය ජනාධිපතිනියගේ පැවැත්ම දුර්වල කරයි. ඒ නිසා යටත්වීමේ හැකියාවක් දෙපක්ෂෂයට ම නැත.

ප්‍රශ්නය විසඳගත් යුතුව ඇත්තේ අවුලට මුල්වී තිබෙන කේන්ද්‍රීය ගැටලුව ලිහාගැනීමෙනි. මේ බල ආයතන දෙක ප්‍රතිපක්ෂ දෙකක් අතට ගිය අවස්ථාවක බලතල බෙදි යායුත්තේ කෙසේද යන ප්‍රශ්නය ප්‍රංශයේ මෙන් සාකච්ඡා කොට විසඳ ගන්නා තැනකට යොමුවීම ය.

.