බූරුවා සහ කැරට් අලය

May 4, 2003
Publication:
The LTTE's withdrawal from talks is a setback the government must resolve quickly. The piece argues that an undefeated adversary cannot be handled with the carrot of aid, warns against using American backing to intimidate the LTTE or irritate India, and says the government should not seek LTTE help for southern electoral ends as Chandrika Kumaratunga did in 1994. It faults the exclusion of the LTTE from the Washington pre-aid meeting and the failure to implement resettlement and rehabilitation.

අපට නුඹලා සමග සාමයක් අවශ්‍ය නැතැයි කියන අන්තවාදි තැනකට කොටි සංවිධානය තාමත් තල්ලුවී නැතත්, ඔවුන් තාවකාලික වශයෙන් හෝ සාකච්ඡාමය ක්‍රියාවලියෙන් බැහැරවීම අයහපත් වර්ධනයකි. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නොහැර ඉක්මණින් විසඳ ගැනීම ආණ්ඩුවේ වගකීමකි.

මේ තත්ත්වය කෙරෙහි සමස්ත ප්‍රවේශයේ ඇති දුර්වලතාව ද බලපා තිබෙනවා විය හැකිය.

විසඳුමක් ඇතිකර ගැනීමේදි පරාජය කරනු ලැබූ පුද්ගලයෙකු හා පරාජය කළ නොහැකි පුද්ගලයෙකු සමග එකම ප්‍රවේශයක පිහිටා ක්‍රියාකළ නොහැකිය. ගනුදෙනුව කරන්නේ තමන් අතින් පරාජයට පත්වූ පුද්ගලයෙකු සමග නම් සමානතාව පිළිබඳ කොන්දේසිය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නැත. ජයග්‍රාහකයා පරාජිතයාට සවන් දි ඔහු සමග එකගත්වයකට එන්නේ නැවත නැගී සිටීමක් ඇතිවීම වළකා ගැනීම සඳහාය. පරාජිතයා එහිදි තමන්ට ලැබෙන යමක් ගන්නේ ද එසේ නොකොට තවදුරටත් සටන් කිරිමෙන් තමන්ට විය හැකි වඩා විශාල විනාශයක් වළකා ගැනීම සඳහාය.

එහෙත් තමන්ට පරාජය කළ නොහැකි වූ පුද්ගලයෙකු සමග කරන ගනුදෙනුවකදි තමන්ට කැමති දෙයක් දිමෙන් පමණක් ප්‍රතිමල්ලවයා සතුටු කළ නොහැකිය. අනෙක් අතට පරාජය කිරීමට අසමත් වූ පුද්ගලයා ඒ සියලු ගනුදෙනුවලදි සමාන තත්ත්වයක් බලාපොරොත්තුවීම ද ස්වාභාවිකය.

විශේෂයෙන්ම මෙම සංකීර්ණ සමාජ ආරාවුලකදි බූරුවා සහ කැරට් අලය පිළිබඳ කතාවේ එන කැරට් අල න්‍යාය වලංගුවන්නේ නැත. එහෙත් ආණ්ඩුව කෙරෙන් ප්‍රකාශ වී ඇති ප්‍රවේශයේ අත්තිවාරම ලෙස ක්‍රියාකරමින් තිබෙන්නේ කැරට් අල න්‍යායයි.

දෙපිරිසම යුද්ධ කළ නොහැකි තරම් ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකට වැටී තිබෙනවා යයි කියන කතාවේ යම් ඇත්තක් තිබෙනවා විය හැකිය. යුද්ධය අතහැර සමාදානයකට යා හැකි නම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බොහෝ ආධාර ලබාගත හැකිවනු ඇතැයි කියන මතයේ ද කිසියම් සත්‍යයක් පවතී.

එහෙත් අප මේ ප්‍රශ්නයට විසඳුමක් ඇති කරගත යුතුව තිබෙන්නේ ඒ හේතු නිසා නොව, නැවත ශිෂ්ට සම්පන්න තත්ත්වයකට ඒමට අවශ්‍ය නම් මේ අවුල සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ලෙස විසඳ ගැනීම අවශ්‍ය නිසාය. එහිදි මෙම අමානුෂික ගැටුමට පදනම් වී ඇති හේතු හඳුනා ගනිමින් ඒවාට සුදුසු පිළියම් සොයා ගැනීමට සිදුවේ. ඊට අතිරේකව මෙතෙක් පැවති ගැටුම නිසා සිදුවී තිබෙන තුවාල ද හඳුනාගෙන ඒවාට ද පිළියම් යෙදිමට සිදුවන්නේය. දෙවැනි කාරණයේදි වඩාත්ම පිළියම් අවශ්‍යවන්නේ පෙනෙන්නට තිබෙන බාහිර තුවාලවලටත් වඩා නොපෙනෙන අභ්‍යන්තර තුවාලවලටය.

මේ අර්බුදය විසඳ ගැනීම සඳහා ලෝකයේ බලවත් රටවල් ගණනාවක් සහයෝගය දෙන තත්ත්වයකට පැත්ව තිබීම යහපත් තත්ත්වයකි. එහෙත් ඒ සාධකය පවා ඵලදායී වනු ඇත්තේ ප්‍රතිපක්ෂය තුළ සැකයක් ඇති කිරීමට හේතු නොවන ලෙස යොදාගැනීමට ආණ්ඩුව දක්ෂ වේ නම් පමණය. විශේෂයෙන්ම ඇමරිකන් සාධකය ප්‍රතිපක්ෂය බිය ගැන්වීම සඳහා යොදා නොගත යුතුය. ඇමරිකාව මේ ප්‍රශ්නයට සම්බන්ධ වී සිටින නිසා කුමන තත්ත්වයක් ඇතිවුවත් අප බිය යුතුව නැතැයි කියන උද්ධච්ච හැගීමක් ආණ්ඩුවේ නායකයන් තුළ ඇතිවිය හැකිය. මේ ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා ලෝකයේ මහා බලවතාගෙන් ආධාර ලබාගැනීම හොඳ දෙයක් වුවත්, දෑන් අප සමග වඩා ලොකු ගණන්කාරයකු සිටින නිසා ඔබලා අප කියන හැමදේකටම එකග විය යුතුයි කියන ප්‍රතිපත්තියක් ප්‍රශ්නය තවදුරටත් අවුල් කිරීමට මිස විසඳුමක් ඇති කරගැනීමට හේතුවන්නේ නැත. ඒ සාධකය අනවශ්‍ය තරමින් පාවිච්චි කරන තත්ත්වයක් අසල්වැසි ඉන්දියාවේද සතුටට හේතුවන්නේ නැත.

මේ සමාජ අවුල රනිල් වික්‍රමසිංහට හෝ ප්‍රභාකරන්ට ගණන්කාරකමෙන් විසඳිය නොහැකිය. දෙපාර්ශ්වයට අවශ්‍යව ඇත්තේ දයාව, කරුණාව මුල් කරගත් ප්‍රතිපත්තියකි. මෙවැනි සංකීර්ණ ආරාවුල්වලට විසඳුමක් සොයා යන ගමනේදි තමන් ප්‍රතිපක්ෂය රවටන්නට යන්නේය යන හැගීමක් කවර පක්ෂයක් තුළවත් ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. එසේම දකුණේ ඇති අවුල් විසඳ ගැනීමට කොටි සංවිධානයේ ආධාර ලබාගන්නා තත්ත්වයකට නොයා යුතුය. ඒ වැරැද්ද ජනාධිපතිනිය අතින් ද සිදුවූ අතර, ඒ සමාන ගණන් බැලීමක් මේ ආණ්ඩුව විසින් ද කරමින් තිබෙන බවක් පෙනී යයි.

1994දි අගමැති වශයෙන් බලයට පැමිණ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පසු පැවැත්වෙන ජනාධිපතිවරණයේදි දෙමළ සහාය ලබාගැනීම සඳහා කොටි සංවිධානයෙන් ආධාර ඉල්ලා සිටින තත්ත්වයකට තල්ලු වූවාය. ඒ ප්‍රවේශය චන්ද්‍රිකාගේ අවංකභාවය කෙරෙහි කොටි සංවිධානය තුළ සැකයක් ඇති කිරීමට හේතුවිය. මේ ආණ්ඩුව ද ඊළග මැතිවරණයකදි කොටි සංවිධානයේ ආධාර ලබාගැනීමේ අරමුණ ඇතිව ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු වුවහොත් මේ ආණ්ඩුව කෙරෙහි ද ඒ හා සමාන හැගීමක් කොටි සංවිධානය තුළ ඇතිවිය හැකිය.

දිර්ඝ කලක් යුද්ධ බිමේ සිටි, තමන්ගේම යැයි කිවහැකි හමුදාවක් ඇති කොටි සංවිධානය වැනි බලවත් සංවිධානයක් සමග සාර්ථක ගනුදෙනුවක යෙදිමට හැකිවනු ඇත්තේ ඔවුන් ඉදිරියේ නිවට හෝ උද්ධච්ච නොවී ඔවුන් කියන හැමදේකටම එකග නොවී හා විරුද්ධ නොවී ඔවුන්ට තිබෙන සාධාරණ ප්‍රශ්න තේරුම් ගනිමින් ඒවාට අවංක විසඳුම් ලබාදිමට තමන් ඇප කැපවී ක්‍රියා කරන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව සමත් වේ නම් පමණය.

තමන්ගේ සහභාගීත්වයෙන් තොරව වොෂින්ටනයේදි පූර්ව ආධාර සමුළුවක් පැවැත්වීමේ සිද්ධිය කොටි සංවිධානය තුළ කලකිරීමක් ඇති කිරීම ස්වාභාවිකය. එය එසේ වනු ඇති බව ආණ්ඩුව කල්තියා නොදැක්කේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ දැක්මේ ඇති දිළඳුභාවයේ තරමය. ආධාර ලබාගැනීමේ කටයුතු දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් සිදුවිය යුතු බවට දෙපාර්ශ්වය අතර එකගත්වයක් ඇති කරගෙන තිබුණේ නම්, ඒ එකගත්වය වෙනුවෙන් ක්‍රියාකිරිමේ වගකීමක් ආණ්ඩුවට තිබුණ. ඇමරීකාව තුළ කොටි සංවිධානය කෙරෙහි බලපාන තහනම් නීති නිසා එම රටේ පැවැත්වෙන සමුළුවකට කොටි සංවිධානය සහභාගි කරවා ගැනීමේ හැකියාවක් ඇමරිකාවට නොතිබුණි. ඒ තත්ත්වය තේරුම් ගෙන සමුළුව වෙනත් තැනකට ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක යෙදුණේ නම්, ඒ උත්සාහය අසාර්ථක වුවත් එය ආණ්ඩුව කෙරෙහි කොටි සංවිධානය තුළ තිබෙන ගෞරවය වර්ධනය කරන හේතුවක් වන්නට ඉඩ තිබුණි. එහෙත් තමන්ට ඊට සහභාගිවන්නට ඉඩ නොලැබෙන බව දැන දැනම ආණ්ඩුව ඒ තත්ත්වය වෙනස් කිරීමට කිසිම උත්සාහයක් නොකළේය යන හැගීමක් ඒ නිසා කොටි සංවිධානය තුළ ඇතිවිය. සමහරවිට ඉන්දියාව වොෂින්ටන් ආධාර සමුළුවට සහභාගි කරගැනීමට අවශ්‍ය නිසා ආණ්ඩුව එසේ කළා ද විය හැකිය. ඊට බලපෑ ඇත්ත හේතුව එය නම් ඒ පිළිබඳව කල්තියා කොටි සංවිධානය දැනුවත් කොට ඔවුන්ගේ ද එකගතාව ලබාගැනීමේ යුතුකමක් ආණ්ඩුවට තිබුණි.

අධි ආරක්ෂිත කලාපය කේන්ද්‍රගත කොටගෙන අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳව ආණ්ඩුවට ඔවුන් වෙතින් එල්ලවෙමින් තිබෙන චෝදනා ඉතාමත් සාධාරණය. යුද්ධය නිසා විනාශ වී තිබෙන ජන ජීවිතය ප්‍රකෘතිමත් කිරීම සඳහා පොදු එකගතාවක් ඇති කරගෙන තිබෙන වැඩසටහන 10%කින්වත් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් වී නැත. එය ආණ්ඩුව හිතාමතා කරන ලද වරදකට වඩා නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව නිසා සිදුවූවක් වුවත්, එහි අවසාන වගකීම යන්නේ ආණ්ඩුවටය. ලස්සන තීන්දු ගැනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැත. ගනු ලබන තීන්දු ක්‍රියාවට නැගීම සඳහා වන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ද තිබිය යුතු අතර, ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරන වැඩපිළිවෙළක් ද තිබිය යුතුය.

අර්බුදයට සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමට දරන උත්සාහය අවබෝධයකින් හා කැපවීමකින් යුතුව කෙරෙන පූර්ණකාලීන උත්සාහයක් විය යුතුය. සාකච්ඡා වලට යන කණ්ඩායමේ සාමාජිකයන් මේ වැඩපිළිවෙළ සමග තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් මිශ්‍ර නොකරගත යුතුය. ඔවුන් සමගියෙන් එක් කණ්ඩායමක් ලෙස පෙනී සිටිය යුතුය.

දැන් ඇතිවී තිබෙන හිරවීම ඉදිරියේ කළහැකි හොඳම දේ මෙතෙක් පැමිණි තැන දක්වා අවංක ලෙස ආපසු හැරි බැලීමක යෙදිමය. ඇතිවී තිබෙන වැරදි හා අඩුපාඩු මොනවාදැයි හරියාකාරව තේරුම් ගැනීමට හැකිවනු ඇත්තේය. තමන්ගේ පැත්තෙන් වරදක් සිදුවී ඇත්නම් එය පිළිගැනීම නිවටකමක් වන්නේ නැත