දේශපාලන අස්ථාවරභාවය

March 23, 2003
Publication:
Although a sea clash did not wreck the peace talks, uncertainty persists over whether the President, now allying with the JVP, will dissolve Parliament. The editorial argues that an early election is unlikely because the PA lacks a firm base, victory with the JVP could bring a worse war, and the international community backs the peace process. It adds that the government has failed to win respect beyond the peace effort, and that lasting peace requires deep reform of the political system rather than a mere truce.

සාමය

වට පහර දිමේ සිද්ධිය සාම සාකච්ඡා බිඳ දමන තත්ත්වයක් ඇති කිරීමට හේතු වූයේ නැතත් රටේ පවතින දේශපාලන අවිනිශ්චිතභාවය තවමත් අහෝසි වී නැත. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත වෙමින් සිටින තත්ත්වයක් ඉදිරියේ ජනාධිපතිනිය කොයි මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතිය යන හැගීමක් මහජනතාව තුළ පවත්නා අතර එම තත්ත්වය දේශපාලන අවිනිශ්චිතභාවයක් ඇති කිරීමට හේතු වී තිබේ.

තමන් සමග සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියන මතයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ සේම ජනතා විමුක්ති පෙරමුණට සමීප සමහර අය අතර පවතී. එහෙත් එවැනි තීරණයක් ගැනීම ඔවුන් හිතන තරම්ම සරල හෝ පහසු නැත.

ඉක්මන් මැතිවරණයකට ගොස් ස්ථිර ජයග්‍රහණයක් ලැබීමට අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් රටේ නොපවතී. මැතිවරණයකට ගොස් ඒ මැතිවරණයෙන් පරාජය වුවහොත් පොදු පෙරමුණ වඩා බෙලහීන තත්ත්වයකට ඇද වැටී ආණ්ඩුව වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් පෙරලා ජනාධිපතිනිය කෙරෙහිද නරක ලෙස බලපෑ හැකිය.

අනෙක් අතට මැතිවරණයකට ගොස් ඒ මැතිවරණය ජය ගත්තත් එය රටේ ස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට හේතු වනවාට වඩා විශාල අස්ථාවර භාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. මැතිවරණයක් අපේක්ෂෂා කරන්නේ ජවි පෙරමුණ ද ඇතුළත් ආණ්ඩුවක් නම් වඩා විනාශකාරි යුද්ධයක් ඇති වන තත්ත්වයක් ඇති විය හැකිය. ඕනෑම තීන්දුවක් ගන්නට පෙර ඒ තත්ත්වය සැලකිල්ලට ගැනීමට ජනාධිපතිනියට සිදුවන්නේය.

මේ සියල්ලට අතිරේකව ජාත්‍යන්තර මතය මුළුමනින් නොසලකා ක්‍රියා කිරිමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. සාම වැඩ පිළිවෙළට රටවල් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටී. ඒ වැඩ පිළිවෙළ බිඳ දැමීමට හේතු වන කවර ක්‍රියාමාර්ගයක්වත් ජාත්‍යන්තර ප්‍රජාව අනුමත කරන්නේ නැත.

මේ තත්ත්වය ඉදිරියේ මැතිවරණයක් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ හා මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක වැනි ජනාධිපතිනියගේ සමීපයින් කොතරම් වලි කෑවත් මැතිවරණයක් ඇති වීමට ඉඩක් නැත. සමහර විට මැතිවරණයක් වෙනුවට ජනාධිපතිනිය පෙරමුණ සමග එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් සමග සන්ධානයක් ඇති කර ගන්නා තත්ත්වයකට යා හැකිය.

ජනාධිපතිනිය අනුර බණ්ඩාරනායක හා මංගල සමරවීර වැනි අයට ජනතා විමුක්ති පෙරමුණ සමග ඉදිරියට යන්නට ඉඩ හැර ඇත්තේ විපක්ෂෂය ක්‍රියාකාරි හා සටන්කාමී තත්ත්වයක තබා ගැනීමේ උපාය මාර්ගික අරමුණෙන් ද විය හැකිය.

එය ඒ මගින් එජාප ආණ්ඩුව කෙරෙහි පීඩනයක් ඇති කරමින් එජාප ආණ්ඩුවෙන් සිය ඉල්ලීම් ලබා ගැනීම එහි යටි අරමුණ වනවාද විය හැකිය. අනෙක් අතට ජවිපෙ සමග ඇති කරගන්නා සන්ධානයකට පොදු පෙරමුණ තුළ ඒකමතිකභාවයක් නොපවතී.

ඒ ගැන ශ්‍රීලනිපය තුළ ද ඒකමතික භාවයක් නොපවතී.

සාම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යා හැක්කේ මහජනයා තුළ ආණ්ඩුව කෙරෙහි ගෞරවයක් ඇත්නම් පමණය. සාම වැඩ පිළිවෙල නිසා පමණක් මහජනයා තුළ ආණ්ඩුව කෙරෙහි ගෞරවයක් ඇති වන්නේ නැත. ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාකාරම්ද ඒ කෙරෙහි බලපායි. එහෙත් ආණ්ඩුවේ කටයුතු මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වන තත්ත්වයට තබා ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. සාම විෂයේදි හැර අනෙකුත් අංශවල මනා පාලනයක් ඇති බව පෙනෙන්නට නැත. ආර්ථික වර්ධනයක් පෙනෙන්නට නැතත් ඒ තත්ත්වය වේගවත් කිරීමට හේතු වන මනා ආර්ථික කළමනාකරණයක් සිදුවන බව පෙනෙන්නට නැත.

සාම වැඩපිළිවෙළේද තිබෙන ලොකුම දුර්වලතාව වනුයේ එය ප්‍රධාන කොට ජාත්‍යන්තර බලපෑම් මත ඉදිරියට යන දෙයක තත්ත්වයක පැවතීමය. සාමයේ වූයේ එකිනෙකා කෙරෙහි පවතින වැරදි අවබෝධය නිසාය. ශක්තිමත් සාමයක් ඇති කරගත හැකි වනු ඇත්තේ ද ඒ වැරදි අවබෝධය තුරන් කරගනිමින් එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ජීවත්වීම සඳහා විශ්වාසයක් ඇති කරගැනීමෙනි. ඒ සඳහා සමාජ ආකල්පවල වෙනසක් ඇති කර ගැනීම අවශ්‍ය වුවත් ඒ සඳහා වන ව්‍යාපාරයක් රටේ නොපවතී.

එජාප ආණ්ඩුව හා කොටි සංවිධානය අතර ඇති කරගන්නා ලද අවබෝධයකින් පමණක් වුවත් එක්තරා ප්‍රමාණයක සාමයක් ඇති කළ හැකිය. එහෙත් එය ශක්තිමත් කල් පවත්නා සාමයක් බවට පත්වන්නේ නැත. අනෙක් අතට එවැනි එකගතාවක් දේශපාලන ක්‍රමයේ ගැඹුරට දිව යන ප්‍රතිසංස්කරණයක් ඇති කරන්නේ ද නැත. එය හුදෙක් යුද්ධ කරන දෙපාර්ශ්වයන් අතර යුද්ධ නොකර සිටීමට ඇති කරගන්නා එකගතාවයකින් ඔබ්බට යන්නේ නැත.

එහෙත් රටට අවශ්‍ය වී ඇත්තේ මේ කණ්ඩායම් දෙක අතර සාමයකින් ඔබ්බට ගිය විවිධ ජනවර්ග අවබෝධය හා ගෞරවය මත ඇති කරගන්නා සාමයකි. ඒ සඳහා දේශපාලන ක්‍රමයේ පූර්ණ වෙනසක් අවශ්‍ය කරන අතර බාහිර පෙනුමට පමණක් සීමා වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරට දිව ගිය අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත් කරගත යුතුය.