අභ්යන්තර ස්වයං පාලනයක් සහතික කරන ෆෙඩරල් ක්රමයක් ලැබේ නම්, වෙනම රාජ්යයක් සඳහා කරන ඉල්ලීම අත්හැරිමට සූදානම් බවට කොටි සංවිධානය කර තිබෙන ප්රකාශයත් සමග ෆෙඩරල් ක්රමයක් යනු කුමක්ද? එවැනි ක්රමයක් අපේ රට වැනි රටකට ගැලපේද යන ප්රශ්න සංවාදයට ලක් කෙරෙන තැනකට ක්රමයෙන් රට යොමු වෙමින් තිබේ.
දැනටත් ඒ ගැන ආරම්භ වී තිබෙන සංවාදය තුළ මට පෙනෙන සීමාසහිතකම් දෙකක් පවතී. එක් සීමාසහිතකමක් වනුයේ රටට නව ආණ්ඩු ක්රමයක් අවශ්ය එකම හේතුව ජනවාර්ගික ප්රශ්නය වේය යන පදනමේ පිහිටා ඒ සංවාදය ගමන් ගනිමින් තිබීමය. ඊළග සීමිතකම වනුයේ ඒකීය ක්රමයකට හා ෆෙඩරල් ක්රමයකට ආවේණික මූලික ලක්ෂණ හඳුනා ගැනීමකින් තොරව මේ සංවාදය කරගෙන යාමය.
අපට නව ආණ්ඩු ක්රම ව්යවස්ථාව ගැන කල්පනා කරන්නට සිදුවී තිබෙන ප්රබලතම හේතුව ජනවාර්ගික ප්රශ්නය වන බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් නව ආණ්ඩු ක්රමයක් අවශ්ය වී තිබෙන එකම හේතුව එය පමණක් විය නොහැකිය. වාර්ගික අර්ථයෙන් ගත්විට පවතින දේශපාලන ක්රමය ගැන අතෘප්තියක් පවතින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර පමණක් නොවේ. මුස්ලිම් හා කර්කරයේ දෙමළ ජනතාව අතර ද පවතී. අදහස් පළවීම ඉතාමත් ශක්තිමත් තත්ත්වයක නොතිබුණත්, ආදිවාසී වැදිජනයා අතර ද පවත්නා ක්රමය ගැන අතෘප්තියක් පවතී.
ගංගොඩවිල සෝම හිමියන් වැනි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් ඇති කරන තත්ත්වයකට යොමුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මේ අතෘප්තිය බෞද්ධ ආගමික සමාජයේ විවිධ කණ්ඩායම් අතර ද පවත්නා බවය. වෙනත් සමහර ආගම් තවමත් පක්ෂ හදන තත්ත්වයකට යොමුවී නැතත්, ඔවුන් අතර අතෘප්තියක් නොපවත්නා බව ඉන් අදහස් වන්නේ නැත.
දෙමළ සමාජයෙන් මතුවන ප්රභාකරන් කෙනෙකු වෙනම රාජ්යයක් සඳහා යුද්ධ කිරීම, පවතින දේශපාලන ක්රමය පිළිබඳව දෙමළ ජනතාව අතර අතෘප්තිය ප්රකාශ කරන සාධකයක් ලෙස ක්රියා කරයි නම්, සිංහල සමාජයෙන් මතුවූ විජේවීර කෙනෙකු රාජ්ය බලය අල්ලා ගැනීමේ අරමුණින් කැරලි දෙකක් මෙහෙයවීමෙන් ප්රකාශ වන්නේ කුමක්ද? සිංහල සමාජයේද විවිධ සමාජ කණ්ඩායම් තුළ දේශපාලන ක්රමය පිළිබඳව අතෘප්තියක් පවත්නා බව නොවේද?
වර්ගය, ආගම, භාෂාව, කුලය, පන්තිය වැනි සාධක ඉක්මවා පිරිසිදු අර්ථයෙන් ප්රජාතන්ත්රවාදි නිදහස හා අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන පුරවැසියන් අතර පවා පවතින දේශපාලන ක්රමය ගැන අතෘප්තියක් පවතී. විධායක ජනාධිපති ක්රමය ගැන, ඒ ක්රමය යටතේ ජනාධිපතිට ලැබී තිබෙන අතිවිශාල බලය ගැන, ඇමති මණ්ඩලයේ විශාලත්වය ගැන, මහජන මන්ත්රීවරුන්ගේ ක්රියාකාරිත්වය ගැන, ආණ්ඩු ක්රමය මහජනතාවට වගකීමක් නැතිකම ගැන, පාරදෘශ්යභාවයක් නැතිකම ගැන, පවත්නා ඡන්ද ක්රමය ගැන, පක්ෂ ක්රමයේ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නැතිකම ගැන යනාදි වශයෙන් මේ දේශපාලන ක්රමය ගැන ප්රජාතන්ත්රවාදි අර්ථයෙන් ද සමාජය තුළ බලවත් විවේචනයන් සේ ම අතෘප්තියක් ද පවතී. මේ කථිකාව, කාන්තාවන්ට ලැබී තිබෙන අයිතියේ තරම ගැන යනාදි වශයෙන් ඉන් ඔබ්බට ද ගෙනයා හැකිය. ඒ සියල්ලෙන් පෙනීයන්නේ දේශපාලන ක්රමය පිළිබඳ අතෘප්තිය වාර්ගික තලයට පමණක් සීමාවූ දෙයක් නොවන බවත්ය.
නව ආණ්ඩු ක්රමයක් සඳහා කෙරෙන කථිකාව ජනවාර්ගික දුක්ගැනවිලිවලට පමණක් සීමා නොවී, ඒ හැම දුක්ගැනවිලිම සැලකිල්ලට ගත යුතුය. එසේ නොවී සංවාදය ජනවාර්ගික දුක්ගැනවිලිවලට සීමාවන රාමුවකට පමණක් හිරකරයි නම් සමස්ත කථිකාව සේ ම එය ඇති කරන ප්රතිඵල ද පටු රාමුවකට සීමාවූ තත්ත්වයක් ඇතිවිය හැකිය. ජනවාර්ගික ප්රශ්නය නොවැදගත් ප්රශ්නයක් වන බව ඉන් අදහස්වන්නේ නැත. නියත වශයෙන්ම එය ඉතා වැදගත් ප්රමුඛ ප්රශ්නයකි, එහෙත් එය තිබෙන ප්රධාන ගැටලු අතර තිබෙන අතිප්රධාන ගැටලුව පමණය. අති ප්රධාන නොවූවත් අනෙකුත් ප්රධාන ගැටලු ද සුදුසු ආණ්ඩු ක්රමයක් සොයා යන ගමනේදි සැලකිල්ලට ගත යුතුය. නව ආණ්ඩු ක්රමයක් සඳහා වන සංවාදය වාර්ගික විවිධත්වය තුළ ඒකත්වයක් ඉලක්ක කොට ගත් මහජන නිදහස පුළුල් කෙරෙන අර්ථවත් සංවාදයක් බවට පත්කරගත හැකි වනු ඇත්තේ එවිටය.
ෆෙඩරල් ක්රමය කුමක්ද, එය අපට සුදුසු ක්රමයක් ද යන ප්රශ්නයට ද ප්රධාන තේමාවක් වී තිබෙන තත්ත්වයක් ඉදිරියේදි උගතුන් විසින් මහජනතාවට අපභ්රංසයක් කොට ඇති ෆෙඩරල් ක්රමයේ මූලික ගති ලක්ෂණ හඳුනාගනිමින් ඒ සංවාදයට ප්රවේශවීම ද ඉතා වැදගත්ය.
ෆෙඩරල් ක්රමයක මූලික ලක්ෂණ
ෆෙඩරල් ආණ්ඩු ක්රමයක මූලික ලක්ෂණ හඳුන්වාදිමට යන්නට පෙර ඒකීය ක්රමය පිළිබඳව ජනප්රිය මහජන අදහස්වල ඇති සාවද්යතාව පැහැදිලි කිරීම වැදගත්ය. ඒකීය ක්රමයක් යන්නෙන් එක රටක් අදහස් වන බවට මහජනතාව අතර විශ්වාසයක් පවතී. ඒකීය යන්නෙහි තේරුම එක රටක්වන්නේ නැත. එය ව්යවස්ථාමය අර්ථයෙන් විශේෂ ආණ්ඩු ක්රමයක ස්වභාවය හඳුන්වාදිම සඳහා යොදාගෙන ඇති පදයක් පමණය.
ලෝකයේ මහා බලවතා වී සිටින ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන්නේ ඒකීය ආණ්ඩු ක්රමයක් නොව ෆෙඩරල් ආණ්ඩු ක්රමයකි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදය යනු එක් රටක් මිස රටවල් සමූහයක් නොවේ. ශ්රී ලංකාව තරම් පුංචි බෙල්ජියම හා ස්විට්සර්ලන්තයේ තිබෙන්නේ ද ඒකීය ආණ්ඩු ක්රම නොව, ෆෙඩරල් ආණ්ඩු ක්රමයන්ය. එහෙත් ස්විට්සර්ලන්තය හෝ බෙල්ජියම යනු එක රටක් මිස, රටවල් සමූහයක් නොවේ.
එකම මධ්යම ආණ්ඩුවකින් කෙරෙන පාලනයක් යන්න ඒකීය යන්නෙහි තේරුමය. රටේ සියලුම ව්යවස්ථාදායක හා විධායක කටයුතු එකම මධ්යම රජයක් අත පවත්නා බව ඉන් අදහස් වේ. එවැනි ආකෘතියක් යටතේ ද ඊට පහළින් තිබෙන විවිධ ආයතනවලට බලතල බෙදාහැරිමක් සිදුවිය හැකිය. එහෙත් එවැනි බෙදාහැරිමකදි තමන් කැමති අවස්ථාවක ඒ බලතල ආපසු ගැනීමේ බලය ද එම මධ්යම ආණ්ඩුව සතුය. ඒකීය ක්රමයක් යන්නෙහි ව්යවස්ථාමය තේරුම වන්නේ එයයි.
පුරවැසියන් කෙරෙහි බලපාන ආණ්ඩු වර්ග දෙකක් තිබෙනවා යන්න සන්ධීය හෙවත් ෆෙඩරල් යන්නෙහි සරල තේරුම වේ. ඒකීය ආණ්ඩු ක්රමයක් සඳහා ලිඛිත ව්යවස්ථාවක් අත්යාවශ්ය නැතත්, සන්ධීය ආණ්ඩු ක්රමයක් සඳහා ලිඛිත ව්යවස්ථාවක් අත්යාවශ්යය. එහිදි මධ්යයේ තිබෙන ආණ්ඩුව හා පරිවාරයේ තිබෙන ප්රාන්ත පළාත් හෝ ප්රාදේශීය ආණ්ඩු අතර ව්යවස්ථාදායක හා විධායක බලය බෙදියන ආකාරයත්, මධ්ය හා පරිවාරය භුක්ති විඳින ස්වතන්ත්රභාවයේ ප්රමාණයන් ගැනත් ඒ ව්යවස්ථාව තුළ පැහැදිලිව නිර්වචනය වී තිබිය යුතුය. ෆෙඩරල් මධ්යම ආයතනය තීන්දු ගන්නා විට ඒ තීන්දු ගන්නා ක්රියාවලියට පරිවාරයද සම්බන්ධ කරගන්නා ක්රමයක් තිබිය යුතුය. මධ්යම හා පරිවාරය අතර ඇති කරගන්නා ගිවිසුම ලෙස සැලකෙන ආණ්ඩුක්රම ව්යවස්ථාව පරිවාරයේ ද එකගත්වයකින් තොරව සංශෝධනය කිරිමේ හැකියාව මධ්යම ෆෙඩරල් ආණ්ඩුවට නොතිබිය යුතුය. මධ්යම ආණ්ඩුව හා පරිවාර ආණ්ඩු අතර ඇතිවන ආරාවුල් නිරාකරණය කරන ආයතන ක්රමයක් තිබීමද අත්යාවශ්යය. ෆෙඩරල් ආණ්ඩු ක්රමයක් යන්නෙන් අදහස් කරන්නේ එම මූලික ලක්ෂණ ඇතුළත් ආණ්ඩු ක්රමයකටය.
ෆෙඩරල් ආණ්ඩු ක්රම පවත්නා රටවල ෆෙඩරල් ක්රමයකට ආවේණික ඉහත විස්තර කරන ලද මූලධර්ම යොදාගෙන තිබෙන ආකාරය රට රටවලට වෙනස්ය.
බලතල උදුරා ගැනීමට තිබෙන නොහැකියාව
ඒකීය ආණ්ඩු ක්රමයක් තුළ ව්යවස්ථාදායකයේ තනි කැමැත්තට පමණක් ව්යවස්ථාව වෙනස් කළ හැකිය. එහෙත් ෆෙඩරල් ආණ්ඩු ක්රමයක් තුළ ව්යවස්ථාදායකයේ තනි කැමැත්තට පමණක් ව්යවස්ථාව වෙනස් කළ නොහැකිය. ඒ සඳහා පරිවාර ආණ්ඩුවල ද අනුකූලතාව අත්යාවශ්යය. එය ෆෙඩරල් ආණ්ඩු ක්රමයකට ආවේණික ප්රධාන ලක්ෂණයකි.
ප්රකට මාදිලි හතරක් නිදර්ශනය කොට ගනිමින් ඒ ක්රියාවලිය මෙසේ සලකා බැලිය හැකිය.
ඇමරීකා එක්සත් ජනපදය විධායක ජනාධිපති ක්රමයක් ක්රියාත්මක වන ෆෙඩරල් රාජ්යයකි. එහි ව්යවස්ථා සංශෝධනය ඉතාමත් දුෂ්කර හා පීඩාකාරි ක්රියාවලියකි.
ව්යවස්ථා සංශෝධනයක් සඳහා කෙරෙන ඉල්ලීමක් කොංග්රස් සභාවට අයත් එක් මන්ත්රී මණ්ඩලයක තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත විය යුතුය. ඉන්පසු එය පරිවාර ජනපද සංඛ්යාවෙන් හතරෙන් තුනක් අනුමත කළ යුතුය.
1789 සිට 1965 දක්වා කාලය තුළ ඉදිරිපත් වී ඇති ව්යවස්ථා සංශෝධන සංඛ්යාව 1900කි. ඉන් මේ දක්වා සම්මත වී ඇත්තේ 30ක් පමණය. ඔහියෝ ජනපදය ඉදිරිපත් කළ සංශෝධනයන් සම්මත වීමට ගතවී තිබෙන කාලය අවුරුදු 80කි.
ඉන්දියාවේ ක්රියාත්මකවන්නේ බ්රිතාන්ය පාර්ලිමේන්තු ක්රමයෙත්, ඇමරිකානු ජනාධිපති ක්රමයෙත් සමහර ලක්ෂණ එකතු කොට තනන ලද පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයකි. ඡෙද හතකට පමණක් සීමාවූ ලෝකයේ තිබෙන කෙටිම ව්යවස්ථාව ඇමරිකානු ව්යවස්ථාව ලෙස සැලකිය හැකි අතර, ලෝකයේ තිබෙන වඩාත්ම විස්තරාත්මක හා දිගම ව්යවස්ථාව ලෙස සැලකිය හැක්කේ ඉන්දියානු ව්යවස්ථාවයි. එයට ඇතුළත් ඡේද ගණන 395කි. උප ලේඛන ගණන 9කි.
ඉන්දියානු ව්යවස්ථාව ෆෙඩරල් ව්යවස්ථාවකට ආවේණික අනම්ය ස්වභාවයත්, ඒකීය ව්යවස්ථාවට ආවේණික නම්ය භාවයක් එකට කැටි කළ ව්යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහි තේරුම ව්යවස්ථාවට ඇතුළත් වන සමහර කාරණා සංශෝධනය කිරීම පහසුය. එහෙත් පරිවාර ආණ්ඩුවලට අදාළ බලතල වැනි විෂයයන්ට අදාළ කාරණා සංශෝධනය කිරීම ඉතාමත් අපහසුය. ව්යවස්ථා සංශෝධන විෂය පථය ගණ තුනක් යටතේ විස්තර කර ඇති අතර, පළමු ගණයට වැටෙන කරුණක් සංශෝධනය කිරීම සඳහා ද්වි මන්ත්රී මණ්ඩලයේ බහුතරයක් ද, එම සභා දෙක නැවත වෙන් වෙන්ව රැස්ව පැමිණ ඒ දෙකේම පැමිණි ඡන්ද සංඛ්යාවෙන් තුනෙන් දෙකකින්ද, පරිවාර ආණ්ඩුවල ව්යවස්ථාදායකයන්ගෙන් අඩකින් ද අනුමැතිය ලැබිය යුතුය. ඒ ගණයට වැටෙනුයේ ජනාධිපති, සන්ධීය හා පරිවාර ආණ්ඩුවල බලතල ශ්රේෂ්ඨාධිකරණය යන විෂයයන්ය. දෙවැනි ගණයට අතරමැදි ගණයට අයත් විෂයයන් ද, තුන්වැනි ගණයට ඒ දෙකටම නොවැටෙන විෂයයන් ද අයත් වේ. දෙවැනි ගණයට වැටෙන කරුණක් සංශෝධනය කිරීම සඳහා පරිවාර රාජ්යවල අනුමැතිය අවශ්ය නැත. තුන්වැනි ගණයට වැටෙන කාරණා බහුතර ඡන්දයකින් පමණක් වුවත් සංශෝධනය කළ හැකිය.
ස්විට්සර්ලන්තය සෘජු ප්රජාතන්ත්රවාදි ක්රමයක් ක්රියාත්මක වන එකම රට ලෙස සැලකිය හැකිය. එහි පවතින ක්රමය තුළ ද මහජනයා තෝරාපත් කළ නියෝජිතයන් ගෙන් සමන්විත ව්යවස්ථාදායකයක් ක්රියාත්මක වේ. එහෙත් ව්යවස්ථා සම්පාදනයෙහිලා අවසාන තීන්දු දෙන්නා ලෙස ක්රියාකරන්නේ මහජනතාවය. මහජනතාව ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට සෘජු ලෙස සම්බන්ධවන්නටත්, ව්යවස්ථාදායකට තෝරාපත් කර යවන නියෝජිතයෙකු ආපසු කැඳවීමේ බලයක් මහජනයා සතුය. පුද්ගලයන් 50,000ක අත්සනින් ඕනෑම කරුණක් පිළිබඳව ජනමත විචාරණයක් මහජනයාට ඉල්ලා සිටිය හැකිය.
සමස්ත ව්යවස්ථාව සංශෝධනය කිරිමේ ක්රියාවලිය ඇමරිකා එක්සත් ජනපදයේ තරම්ම නොවූවත් ව්යාකූලය.
ෆෙඩරල් ව්යවස්ථාදායකයට සැදුම්ලත් මන්ත්රී මණ්ඩල දෙකේ යෝජනාවක් සම්මත කරගැනීම මගින් හෝ ස්විට්සර්ලන්ත වැසියන් 100000ක් අත්සන් කොට ඉදිරිපත් කරන පෙත්සමක් මගින් ව්යවස්ථා සංශෝධන ක්රියාවලියක් ආරම්භ කළ හැකිය. ව්යවස්ථාදායකය සැදුම් ලත් මණ්ඩල දෙකේ යෝජනා සම්මතයක් මගින් ආරම්භ කෙරෙන සංශෝධනයකදි එම යෝජනාව කෙටුම්පත් කොට ජනමතවිචාරණයක් සඳහා ඉදිරිපත් කළ යුතුය. ඊට ජනතාවගේ අනුමැතිය ලැබේ නම්, එය කැන්ටන් වලට ඉදිරිපත් කරනු ලැබේ. කැන්ටන් වලින් බහුතරයක් ද ඊට අනුමැතිය ලබා දේ නම් සංශෝධනය නීතිගත වේ.
ජනතා පෙත්සමකින් ආරම්භ කරන ව්යවස්ථා සංශෝධනයකදි පෙත්සමින් ඉල්ලා සිටින කරුණු අනුව ව්යවස්ථා සංශෝධනයට යා යුතු ද නැද්ද යන්න ජනමතවිචාරණයක් මගින් පළමුව මහජනතාවගෙන් කරුණු විමසීමක් කරනු ලබයි. ජනමතවිචාරණයේදි ජනතාව එය අනුමත කළහොත් පළමු කොට සන්ධීය මහ මණ්ඩලය විසුරුවා හැර අලුතෙන් නියෝජිතයින් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වේ. මහජනයා ඉල්ලා සිටින අලුත් ව්යවස්ථාව හෝ සංශෝධනය අලුතෙන් තේරි පත්වූ සන්ධීය මහ මණ්ඩලය විසින් කෙටුම්පත් කොට එය නැවත ජනතාව වෙත ජනමතවිචාරණයකට ඉදිරිපත් කෙරේ. ජනමතවිචාරණයෙන් ද එය අනුමත වේ නම්, කැන්ටන් වෙත ඉදිරිපත් කරන අතර, කැන්ටන් බහුතරයකින් ද ඊට අනුමැතිය ලැබේ නම්, ව්යවස්ථා සංශෝධනය නීතිගත වේ.
ඕස්ට්රේලියාව ෆෙඩරල් රටක් වුවත්, එහි ක්රියාත්මකවන්නේ වෙස්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්රමයකි. එහි ඇත්තේ අනම්ය ගණයට වැටෙන ව්යවස්ථාවකි. ව්යවස්ථා සංශෝධනයක් පළමුවෙන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. ඉන් අනතුරුව ජනමතවිචාරණයකින් ද සම්මත විය යුතු අතර, ඊටත් පසුව එය පරිවාර ආණ්ඩුවල ඡන්දයකින් ද අනුමත විය යුතුය. අදාළ සංශෝධනය කිසියම් ප්රාන්තයකට බලපාන්නේ නම්, එය නීතිගතවන්නේ ඒ සියල්ලටම අතිරේකව එම විශේෂ ප්රාන්තයේ බහුතර ජනතාවගේ ද අනුමැතිය ලැබේ නම් පමණය.
පරීවාර ආණ්ඩුවලට ලබාදි තිබෙන බලතල මධ්යම ආණ්ඩුවට ඒකපාක්ෂිකව උදුරා ගත නොහැකි තත්ත්වයක් ෆෙඩරල් ආණ්ඩු ක්රමය ක්රියාත්මක වන හැම රටකම ඇතත්, ඉන්දියාවේ පමණක් හදිසි අවස්ථාවකදි ප්රාන්ත ආණ්ඩුවක් විසුරුවා හැර සියලු බලතල තාවකාලික ලෙස මධ්යම ආණ්ඩුවට පවරා ගැනීමේ බලය ජනාධිපති සතුය. එහෙත් හදිසි නීතිය යටතේ එවැනි බලයක් ක්රියාත්මක කළ හැක්කේ හයමාසයකට නොවැඩි කාලයක් සඳහා පමණ. මීට අතිරේකව ඉන්දියානු ව්යවස්ථාව අනුව පරිවාර රාජ්යයකට ලබාදි තිබෙන බලතල ක්රියාත්මක කිරීම තාවකාලිකව වැළැක්වීමේ බලයක් ද ඉන්දියානු රාජ්ය සභාව සතුය. එහෙත් එවැන්නක් රාජ්ය සභාවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක් පවා ක්රියාත්මක කළහැක්කේ එක් අවුරුදු කාලයක් සඳහා පමණය. නැවත එවැනිම සම්මත කරගැනීමක් මගින් ඒ තහනම තවත් දිර්ඝ කළ හැකි වුවත්, එසේ කළහැක්කේ තවත් මාස හයක කාලයක් සඳහා බලපාන ආකාරයට පමණය.
කේන්ද්රය හා පරිධිය අතර සම්බන්ධය
පරිවාර කේන්ද්රයට එක්තරා විශාල ප්රමාණයකට සම්බන්ධ කරගන්නා ක්රමයක් හැම ෆෙඩරල් ආණ්ඩුවකටම ආවේණිකය. ඒ නිසා මධ්යම ආණ්ඩුවේ තීන්දුගැනීමේ ක්රියාවලියට සම්බන්ධ වීමට පරිවාර ආණ්ඩුවලට ද අවස්ථාවක් ලැබෙන අතර, කේන්ද්රයේ වරදක් සිදුවන අවස්ථාවකදි එය නිවැරදි කරගැනීමේ හැකියාව ද ඒ නිසා පරිවාරවලට ලැබෙන්නේය. කේන්ද්රයට පරිවාර ආණ්ඩු සම්බන්ධ කරගන්නා ක්රියාවලිය සඳහා හැම රටක්ම පාහේ යොදාගෙන ඇත්තේ ද්විමණ්ඩල ක්රමයයි.
ඇමරිකාවේ ක්රියාත්මක වන ක්රමය තුළ සෙනෙට් මණ්ඩලය ඉතාමත් බලසම්පන්න ආයතනයකි. ඊට නියෝජිත මණ්ඩලයට සමාන බලතල පවතී. මුදල් කෙටුම්පතක් මුලින් ඉදිරිපත් කිරිමේ අයිතියක් සෙනෙට් සභාවට නැතත්, ඉදිරිපත් කරන මුදල් කෙටුම්පතක් සංශෝධනය කිරීම හෝ අනුමත නොකිරිමේ අයිතිය එය සතුය. ජනාධිපතිවරයා පත් කරන සියලු ප්රමුඛ නිලධාරින් අනුමත කිරිමේ හෝ නොකිරිමේ බලය ඇත්තේ ද සෙනෙට් මණ්ඩලයටය. ජනාධිපතිවරයා ඇතිකර ගන්නා ගිවිසුම් අනුමත කිරිමේ හා අනුමත නොකිරිමේ බලය ඇත්තේ ද එයටය. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල කටයුතු පරික්ෂා කිරිමේදි හා දෝෂාභියෝග විභාග කිරිමේ බලය ඇත්තේ ද සෙනෙට් මණ්ඩලයටය.
ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලය මන්ත්රීවරුන් සිය දෙනෙකුගෙන් සමන්විත වන අතර, පරිවාර ජනපද රාජ්යවල ලොකු, කුඩා බව නොසලකා එක් පරිවාර රාජ්යයක් සඳහා නියෝජිතයින් දෙදෙනෙක් බැගින් වන ලෙසට එම නියෝජිතයින් දෙදෙනා පරිවාර රාජ්යයේ ජනතාව විසින් ඡන්ද විමසීමකින් තෝරාපත් කරයි.
ස්විට්සර්ලන්තයේ උත්තර මන්ත්රී මණ්ඩලය ද ඇමරිකාවේ ක්රියාත්මක වන ක්රමයට සමාන ලෙස හැම කැන්ටනයකින්ම තේරි පත්වන නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත නියෝජිතයන් 46 දෙනකුගෙන් යුතුය. මහජන මන්ත්රී මණ්ඩලයට සමාන බලතල ඇතිව ලොව ක්රියාත්මක වන එකම උත්තර මන්ත්රී මණ්ඩලය වන්නේ ස්විස් උත්තර මන්ත්රී මණ්ඩලයයි.
ඉන්දියාවේ සෙනෙට් මණ්ඩලය ලෙස රාජ්ය සභාව ක්රියා කරයි. එය ද ඇමරිකාවේ හා ස්විට්සර්ලන්ත සෙනෙට් මණ්ඩලය මෙන් අඛණ්ඩව පවතින ආයතනයකි. මන්ත්රීවරුන්ගෙන් තුනෙන් එකක් වර්ෂ දෙකකට වරක් ඉවත් වේ. එසේ ඉවත් වන්නේ වර්ෂ 6ක නිල කාලය සම්පූර්ණ කළ මන්ත්රීවරුන් ය. සභාවේ සාමාජික සංඛ්යාව 250කි. ඉන් 238ක් ප්රාන්ත මන්ත්රීවරුන්ගේ ඡන්දෙයන් තෝරාපත් කරන අතර ඉතිරි12 කලාව, විද්යාව හා සාහිත්යය වැනි විශේෂ අංශ සඳහා වන විශිෂ්ටයින් ජනාධිපති විසින් පත් කරනු ලබයි. ඉන්දියාවේ උත්තර මන්ත්රී මණ්ඩලය ලෙස සැලකෙන ලෝක සභාව බලවත් වුවත් ඇමරිකාවේ හා ස්විට්සර්ලන්තයේ සෙනෙට් සභාව තරම් බලවත් නැත.
ඕස්ට්රේලියාවේ පවතින සෙනෙට් මන්ත්රී මණ්ඩල ක්රමය ද ඇමරීකානු ක්රමයට සමාන ය. එක් පරීවාර රාජ්යයකින් නියෝජිතයින් 12 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබේ. ධූර කාලය අවුරුදු 6කි. මුදල් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමේ බලය නැතත් වෙනත් ඕනෑම කෙටුම්පතක් ඉදිරිපත් කිරිමේ බලය එය සතු ය. ඕනෑම කෙටුම්පතක් සංශෝධනය කිරිමේ හා ප්රතික්ෂෙෂ්ප කිරිමේ බලය ද එය සතු ය.
බලතල බෙදිම
ෆෙඩරල් ආණ්ඩු ක්රමයක් පවත්නා හැම රටකම පාහේ ෆෙඩරල් මධ්යම ආණ්ඩුවට තිබෙන බලතල හා පරිවාර ආණ්ඩුවලට තිබෙන බලතල පැහැදිලිව වෙන් කිරීමක් දැකිය හැකි ය. එහෙත් ඇමරිකන් ව්යවස්ථාව දක්වා ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුවට කළ හැකි දේවල් නොකළ හැකි දේවල් හා ප්රාන්ත ආණ්ඩුවලට නොකළ හැකි දේවල් පමණ ය.
ඒ අනුව විෂයයන් 18ක් සම්බන්ධ බලතල මධ්යම ෆෙඩරල් ආණ්ඩුව අයත් ය. බදු පැනවීම, එකතු කිරීම, අන්තර් ජනපද වෙළෙඳම, ආරක්ෂෂාව, මුදල්, කිරුම් මිණුම් ක්රම, විද්යාව දියුණු කිරීම, හමුදා සංවිධානය ෆෙඩරල් ආණ්ඩුවට අයත් විෂයයන් ය. හබයාස්කෝපස් නියෝගයක් අවලංගු කිරීම, ආගමික විශ්වාසයන්ට කතා කිරිමේ නිදහසට හා පුවත්පත් නිදහසට බලපාන නීති පැනවීම, ෆෙඩරල් ආණ්ඩුවට තහනම් වන අතර විදේශ බලවතුන් සමග ගිවිසුම් ඇතිකර ගැනීම, මුදල් ක්රම ඇති කිරීම හා හමුදා සංවිධානය ජනපද ආණ්ඩුවට තහනම් ය.
ස්විට්සර්ලන්තයේ ක්රියාත්මක වන ෆෙඩරල් ක්රමය අනුව මධ්යම ආණ්ඩුව වෙත පැවරෙන බලතල ව්යවස්ථාව මගින් ම දක්වා තිබේ. යුද්ධ ප්රකාශ කිරීම, සාමය ඇති කිරීම, විදේශ රටවල් සමග ගිවිසුම් ඇතිකර ගැනීම, මුදල් නිකුත් කිරීම, විනිමය අනුපාතිකය නියම කිරීම, ප්රමිති හා මිනුම් නියම කිරිමේ බලය, වෙඩිබෙහෙත් නිෂ්පාදනය හා අලෙවිය, තැපැල් හා විදුලි සංදේශ සේවා, දුම්රීය සේවා හා දුම්රිය මාර්ග පවත්වාගෙන යාම, මධ්යසාර නිෂ්පාදනය, සන්ධීය දේපළ පරිපාලනය, මධ්යම ආණ්ඩුව වෙත පැවරෙන වගකීම් වන අතර කාර්මික ව්යවසායන්, රක්ෂෂණය, පුවත් පත්, අධ්යාපනය හා මහා මාර්ග යන විෂයයන් සමගාමී ලේඛනයට ඇතුළත් බලතල වේ. අනෙකුත් සියලු බලතල කැන්ටන්වලට හිමි ය.
ඉන්දියානු ව්යවස්ථාව ද සිය 7වැනි උපලේඛනයෙන් මධ්යම ආණ්ඩුවට හා ප්රාන්ත ආණ්ඩුවලට තිබෙන බලතල දක්වා තිබෙන අතර ඊට ඇතුළත් පළමු ලේඛනයෙන් මධ්යම රජයට පමණක් බලය ඇති විෂයයන් 97ක් ද, දෙවැනි ලේඛනයෙන් ප්රාන්ත ආණ්ඩුවලට පමණක් බලය ඇති විෂයයන් 66ක් ද දක්වා ඇති අතර, 3 වැනි සමගාමී ලේඛනය මගින් මධ්යම ආණ්ඩුවට හා ප්රාන්ත ආණ්ඩුවලට සමගාමී බලය ඇති විෂයයන් 47ක් දක්වා තිබේ.
බලතල බෙදාදිමට අදාළව තිබෙන විවිධ ෆෙඩරල් වැඩපිළිවෙළට ආවේණික පොදු ලක්ෂෂණයක් වනුයේ ආරක්ෂෂාව, විදේශ සම්බන්ධතා ආගමනය හා විගමනය, බදු පැනවීමේ අයිතිය, මුදල් නිකුත් කිරීම හා තැපැල් යන විෂයයන් මධ්යම ආණ්ඩුව යටතේ තබා ගැනීම ඉන් පරීබාහිර අන් සියලු විෂයයන් සම්බන්ධයෙන් ක්රියා කිරිමේ බලය පරිවාර ආණ්ඩුවට ලබාදිමත් ය. එහෙත් ස්විට්සර්ලන්තයේ පමණක් එක් කැන්ටනයකට 300කට නොවැඩි යුද්ධ හමුදාවක් පවත්වාගෙන යාමේ බලය ද ලබා දි තිබේ. බදු පැනවීමේ අයිතියේ දි ඇමරිකාව ඒ අයිතිය මධ්යම ෆෙඩරල් ආණ්ඩුව පාවිච්චි කරන අතර පරිවාර ආණ්ඩුවලට ද බදු පැනවීමේ නිදහසට ඉඩ දි තිබේ. ජර්මනිය, බදු පැනවීමේ හා එකතු කිරිමේ අයිතිය සම්පූර්ණ වශයෙන් මධ්යම රජය යටතේ තබාගෙන ඇති අතර එසේ එකතු කරගන්නා බදු මුදල්වලින් කිසියම් විශාල කොටසක් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දක්වා ඇති මූලධර්මවලට අනුකූලව පරිවාර ආණ්ඩු අතර බෙදාහරි. හැම ෆෙඩරල් ක්රමයක් තුළ ම පරිවාර ආණ්ඩුවලට අරමුදල් බෙදා හැරෙන ක්රමයක් ක්රියාත්මක වේ. පරිවාර රාජ්යයන් අතර තිබෙන දුප්පත්ම රාජ්යයන්ට වැඩියෙන් අරමුදල් බෙදාහරීන ක්රමයක් ඇමරිකාවේ ක්රියාත්මක වේ. මහා ආණ්ඩුවෙන් ලැබෙන අරමුදල් ප්රධාන ඕස්ට්රේලියාවේ ප්රාන්ත රාජ්යයක වාර්ෂික ආදායමෙන් 60%ක් පමණ වන බවට ගණන් බලා තිබේ.
ලෝකයේ ක්රියාත්මක වන ෆෙඩරල් ආකෘති වැඩි ගණනක් අධ්යාපනය, කෘෂිකර්මය, පුණ්යාධාර, කර්මාන්තශාලා, සෞඛ්ය, වන සංරක්ෂණය, ධීවර කටයුතු, පොලිස් සේවය, බන්ධනාගාර සේවය, ප්රවාහනය හා නීතිය ක්රියාත්මක කිරීම යන කාරණා සඳහා වන බලය පරිවාර රාජ්යයන්ට ලබාදි තිබේ. සමහර රටවල් පරිවාර රාජ්යයන්ට තමන්ගේම වන ප්රාන්ත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හා අධිකරණ ක්රමයක් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදි තිබෙන අතර, තවත් සමහර රටවල මුළු රටම සඳහා එකම නීතියක් හා අධිකරණ ක්රමයක් ක්රියාත්මක වේ.
ඇමරීකාව, ඕස්ට්රේලියාව, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඉන්දියාව වැනි රටවල ෆෙඩරල් අධිකරණ ක්රමයකට අතිරේකව ප්රාන්ත උසාවි ක්රමයක් ද ක්රියාත්මක වේ. බොහෝ ෆෙඩරල් මාදිලි ප්රාන්ත ව්යවස්ථාවලින්ම ප්රාන්ත උසාවි ඇතිකර ගැනීමේ අයිතිය ලබාදි තිබේ.
ප්රාන්ත උසාවි ප්රාන්ත රාජ්ය නීතියට අදාළව සේ ම ෆෙඩරල් රාජ්ය නීතිවලට අදාළව ද නඩු විමසයි. මැතිවරණ පෙත්සම් විභාග කරන අතර, පහළ උසාවිවල අභියාචනා නඩු බාරගනී.
ආරවුල් නිරාකරණය
මධ්යම රාජ්යය හා පරිවාර රාජ්යයන් අතර ඇතිවන ආරාවුල් නිරාකරණය කිරීම සඳහා අධිකරණ ක්රමයක් ක්රියාත්මකවීම හැම ෆෙඩරල් ආකෘතියකට ආවේණික තවත් මූලික ලක්ෂණයකි. බොහෝ රටවල ඒ වගකීම පැවරි ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණයටය. එහෙත් ශ්රේෂ්ඨාධිකරණය පවා එහිදි අනුගමනය කරන පිළිවෙත් රටින් රටට වෙනස්ය. ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය සමාලෝචන බලය ඉක්මවා ගිය විශාල බලයක් භුක්ති විඳී. එයට ව්යවස්ථාදායකය පනවන ඕනෑම නීතියක් හෝ විධායකයේ ඕනෑම නියෝගයක් අවලංගු කළ හැකිය. එහෙත් ඉන්දියාව, ඕස්ට්රේලියාව හා කැනඩාව යන රටවල්වල ශ්රේෂ්ඨාධිකරණයට ඇත්තේ සමාලෝචන බලයක් පමණය. එයට ව්යවස්ථාදායකයේ පනත් හෝ විධායකයේ නියෝග අවලංගු කළ හැක්කේ ව්යවස්ථාවට පටහැනි අවස්ථාවලදි පමණය. ස්විට්සර්ලන්තයේ ක්රියාත්මක වන ක්රමය අනුව එහි නීතිගත කරන හැම නීතියක්මත් ජනමතවිචාරණයකට ලක්වන නිසා විවරණය කිරිමේ අයිතිය විනා සම්මත කරගන්නා ලද පනතක් අවලංගු කිරිමේ බලය ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණයට නැත.
ජනප්රිය මිත්යා මත
ෆෙඩරල් ක්රමය ගැන උගතුන් විසින් ශ්රී ලංකාවේ පතුරුවා හැර ඇති සාමාන්ය මහජනතාව අතර ද ජනප්රිය වැරදි අදහස් ගණනාවක් පවතී.
ෆෙඩරල් ක්රමයක් ඇතිවිය හැක්කේ විවිධ හේතු මත රටවල් ගණනාවක් එකතුවීමෙන් පමණක්ය යන්න එක් මතයකි. ඒකීය රාමුවක් ක්රියාත්මක වූ කිසිම රටක් ෆෙඩරල් ක්රමයකට මාරුවී නැති බව කියන මතය ද තවත් එවැනි වැරදි මතයකි.
විවිධ හේතු මත ළග ළග තිබෙන රටවල් ගණනාවක් එකට එකතු වී ෆෙඩරල් ආණ්ඩු ක්රමයක් ඇතිකර ගැනීම මගින් එක රටක් බවට පත්වූ අවස්ථා ඇති බව සැබෑය. ඊට දැක්විය හැකි හොඳම නිදසුනක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය හා ඕස්ට්රේලියාවයි.
එහෙත් ඊට වෙනස්ව ඒකීය රාමුවක හිඳ, ඒකීය රාමුව අතහැර ෆෙඩරල් ආණ්ඩු ක්රමයකට මාරුවූ රටවල් ද ඇත්තේය. කැනඩාවේ ද 1840 සිට 1864 දි ෆෙඩරල් ආණ්ඩු ක්රමයකට මාරුවන තෙක් පැවතියේ ඒකීය ආණ්ඩු ක්රමයකි. බෙල්ජියම, ස්පාඤ්ඤය, බ්රසීලය හා නයිජීරීයාව වැනි රටවල් ද ඒකීය ක්රමයකින් ෆෙඩරල් ක්රමයකට මාරුවු රටවල් වේ.
ෆෙඩරල් ක්රමයක් සාර්ථක ලෙස ක්රියාවට නැංවීමට රටක් විශාල වීමම අවශ්ය නොවන බව හා එය ඉතාමත් කුඩා රටක පවා සාර්ථක ලෙස ක්රියාත්මක කළ හැකි ක්රමයක් බව සනාථ කරන ප්රධාන නිදර්ශන අතර තිබෙන (ස්විට්සර්ලන්තය හැරුණු විට) අලුත්ම නිදර්ශනය වන්නේ බෙල්ජියමයි.
බෙල්ජියමේ වර්ග ප්රමාණය වර්ග සැතපුම් 11,780කි. ජනගහනය කෝටියකට තරමක් වැඩිය. එහි 1830 සිට 1970 දක්වා පැවතියේ ඒකීය ආණ්ඩු ක්රමයකි. 1970, 1980, 1988, 1993 හා 2001 යන වර්ෂවල පියවරෙන් පියවර ඉදිරියට ගෙනා ව්යවස්ථා සංශෝධන 5ක් මගින් ඒකීය ආණ්ඩු ක්රමය අතහැර ෆෙඩරල් ආණ්ඩු ක්රමයක් ඇති රටක් බවට පත්විය. තවමත් බෙල්ජියමේ එම ප්රතිසංස්කරණ වැඩපිළිවෙළ අවසන් කොට නැත. එහි ක්රියාත්මක වන ෆෙඩරල් ක්රමය ප්රජා විවිධත්වය හා භූගෝලීය සාධක යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන ඇතිකර ගන්නා ලද ක්රමයකි. අද ඒ පුංචි රටේ පාර්ලිමේන්තු 5ක් ක්රියාත්මක වේ. පාර්ලිමේන්තු 3ක් ලන්දේසි බස, ප්රංශ බස හා ජර්මන් බස කතා කරන ප්රජාවන් සඳහාය. ඉතිරි පාර්ලිමේන්තු දෙක භූගෝලීය පදනමකින් ඇති කරන ලද පළාත් දෙකක් සඳහාය. ප්රධාන ෆෙඩරල් ආණ්ඩුව භාෂා තුනේ සමාන නියෝජිත පිරිසකගෙන් සමන්විතය. බෙල්ජියම් නිදර්ශනය අප සැමගේ අවධානයට යොමුවිය යුතු අත්දැකීමකි.
ෆෙඩරල් ක්රමයක් තුළ පරිවාර ආණ්ඩුවකට වෙන්වීමේ අයිතියක් ඇතැයි කියන මතවාදය ද ශ්රී ලංකාවේ ජනතාව අතර මුල් බැස ඇති වැරදි මතවාදයකි. වෙන්වීමේ අයිතිය සහතික කළ ෆෙඩරල් ක්රමයක් ලොව කිසිම තැනක නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශ කර ඇති ස්වයං නීර්මාණ අයිතිය හා වෙන්වීමේ අයිතිය අතර සම්බන්ධයක් ඇතත්, තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගත් කිසියම් ජන කණ්ඩායමකට වෙන්වීමේ අයිතිය ලැබෙන්නේ ඒ සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසි සම්පූර්ණ වී තිබෙන අවස්ථාවක පමණය. එය ද අවශ්යයෙන්ම ශ්රී ලංකාව වැනි රටක් සාකච්ඡාවට ලක් කළ යුතුව තිබෙන එක් වැදගත් මාතෘකාවකි.