පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලය සම්පූර්ණ වී තිබෙන තත්ත්වයක් තුළ ජනාධිපතිනිය කුමක් කරනු ඇත්ද යන ප්රශ්නය මහජනතාවගේ කතාබහට හේතුවී තිබෙන කරුණක් වී තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් ප්රකාශකයකු බවට පත්ව සිටින ජනාධිපතිනියගේ මල්ලාට (අනුරට) අනුව නම්, දෑන් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිනිය සතුය. ජනතා විමුක්ති පෙරමුණ සමග එක්සත් වැඩපිළිවෙළක් ඇති කරගත් වහාම ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත්තේය.
ව්යවස්ථානුකූලව නම් ජනාධිපති අක්කාට මල්ලා කියන ආකාරයේ බලයක් ඇති බව සත්යයකි. අවුරුදු තුනක කාලයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ඇය පාර්ලිමේන්තුවට සහතිකයක් දි ඇතත්, ඒ සහතිකය පොරොන්දුවක් ලෙස මිස, නීතිමය බැඳීමක් ඇති ලියවිල්ලක් ලෙස සැලකිය නොහැකිය.
එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම්, ඇය මැතිවරණයකට යායුතුය. මැතිවරණයකට යන්නේ නම් එය ජයගැනීමේ හැකියාවක් ද ඇයට තිබිය යුතුය. මහජනයා බලයට පත් කළ අලුත් ආණ්ඩුවකට වැඩ කරන්නට ඉඩ නොදි විසුරුවා හැර පවත්වන මැතිවරණයකින් නැවත ඒ පක්ෂයම බලයට පත්වුවහොත් ජනාධිපතිනිය මහජනයාගේ කෝපයට හසුවන තත්ත්වයක් ඇති විය හැකිය.
සාම ක්රියාවලිය ගැන හැර ආණ්ඩුවේ අනෙකුත් කටයුතු පිළිබඳ මහජනතාව අතර විශාල ප්රසාදයක් නැතත්, විරුද්ධ පක්ෂයට ද ඉතා වාසිදායක පරිසරයක් රටේ නොපවතී. ආණ්ඩුව බලයට පත් කළ මහජනතාව අතර, ආණ්ඩුව පිළිබඳව විවේචනයක් ඇතත්, තවමත් ඔවුන් ආණ්ඩු විරෝධී තත්ත්වයකට ද යොමුවී නැත.
අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ සමග මැතිවරණ එකගත්වයක් ඇති කරගැනීම ද හිතන තරම් සරල නැත. ආණ්ඩුවක් පෙරළා දැමීමේ කාර්යයකට ජවිපෙ හොඳ සහකරුවකු විය හැකි වුවත්, ඔවුන් සමග එකට එකතු වී ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපතිනිය සේ ම, ඇගේ ප්රධාන අනුගාමිකයෝ ද දනිති.
විසුරුවා හැරිමට නොගොස් ජනාධිපතිනියට අවශ්ය නම්, මේ අවස්ථාවේදි පාවිච්චි කළ හැකි වෙනත් තුරුම්පු ගණනාවක් ද ඇත්තේය.
පොදු පෙරමුණේ ද සහාය ඇතිව බහුතර බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් නිර්මාණය කොට නව අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත්කළ හැකිය. එහෙත් එවැනි ක්රියාමාර්ගයක් යථාර්ථයක් බවට හරවා ගැනීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය.
ආණ්ඩු පක්ෂයට බැලු බැල්මට තිබෙන්නේ ආසන 114ක් පමණය. ඉනුත් එජාපයට තිබෙන්නේ 94ක් පමණය. මුස්ලිම් කොංග්රසයට තිබෙන ගණන 12කි. පොදු පෙරමුණ අතහැර ආණ්ඩුවට එකතුවී සිටින, එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයට එකතු නොවූ අයගේ ගණන 04කි. ඊට අමතරව තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්රසයට 3කි. කඳුරට පෙරමුණට දෙකකි.
ආණ්ඩු පක්ෂයට බැලු බැල්මට තිබෙන ආසන ගණන 114ක් වන නිසා, ආණ්ඩු පක්ෂයෙන් තුන්හතර දෙනෙකු ඉවත් වුවත්, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය අහිමි වනු ඇතැයි යන හැගීමක් පවතී. එහෙත් ආණ්ඩු පක්ෂයට එකතුවී නැතත්, දෙමළ සන්ධානයේ 15 සිටින්නේ ද ආණ්ඩුව සමගය. එවිට ආණ්ඩු පක්ෂයට තිබෙන ආසන ගණන 114ක් නොව 129කි.
පොදු පෙරමුණට බහුතර බලයක් ලබාගැනීමට නම්, තම පැත්තට 113ක් සඳහා වන අඩු සංඛ්යාව එකතු කරගත යුතුය. පොදු පෙරමුණේ 76ට ජවිපෙ 16 දෙනා හා ඊපීඩීපී, ප්ලොට් යන පක්ෂ දෙකේ තුන්දෙනා ද එකතු කළවිට 96කි. 113 ඉලක්කය සඳහා තවත් 17 දෙනකු සොයා ගත යුතුය. වතු කම්කරු කොංග්රසයේ 3 දෙනා ද එකතු කරගත්තත් තවත් 14 දෙනකු අඩුය. මුස්ලිම් කොංග්රසය එක පොදියට තමන් වෙත ගත නොහැකිය. වැඩිම වුවහොත් කළහැක්කේ කිසියම් පංගුවක් දිනාගැනීම පමණය. එහෙත් අවසාන වශයෙන් 113 ඉලක්කය සපුරාගත හැක්කේ ඒ සියලු දෙනාට අතිරේකව එජාපයෙන් ඉතිරි අඩු සංඛ්යාව ලබාගත හැකි නම් පමණය. එහෙත් විනය ප්රශ්නයක් නැතිව එසේ කිරිමේ හැකියාව ඇත්තේ එජාපයෙන් පිටස්තරව ආණ්ඩුවේ සිටින අයට පමණය. එනිසා පුද්ගල පිරිසක් එහෙ මෙහෙ කොට ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ හැකියාවක් නැත.
අනෙක් අතට සාම ක්රියාවලිය මුළුමනින් බිඳ දැමීමට හේතුවන ආකාරයේ ආණ්ඩු පෙරළියක් ඇති කිරීම පහසු නැත. ජනාධිපතිනිය ද එවැනි හිතුවක්කාරි ක්රියාවක නිරත වෙතොත්, ඇය ජාත්යන්තර ප්රජාවගේ දැඩි විරෝධයට හසුවනු නොවැළැක්විය හැකිය.
අනෙක් අතට හුදු ආණ්ඩු පෙරළියක් ජනාධිපතිනිය අපේක්ෂා කරන අරමුණ සමග ගැලපෙන්නේ නැත. දෙවැනි පදවිප්රාප්ත කාලය අවසන්වීමත් සමග ජනාධිපතිනියට විශ්රාම ගන්නට සිදුවන්නේය. එහෙත් ඇගේ අභිලාෂය තම දරුවකු දේශපාලන කරළියට එන තෙක් පක්ෂ නායකත්වය කිසිවකුට නොදි තම අත තබාගැනීමය. ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ තමන්ට ක්රියාකාරි ලෙස තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමේ අයිතිය ලබාදෙන ව්යවස්ථා සංශෝධනයක් සඳහා එජාප සමග එකගත්වයක් ඇතිකර ගැනීමෙන් පමණය.